Main Logo

Monday 16 April 2012

ඕස්ට්‍රේලියාවේ නොයෙල් මුදලිගේ

ඊනියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත්මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. එහෙත් ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු අද බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ පුවත්පත වූ ජනරළ පඩංගුවට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙයි. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොටින් ආධාර කළ බව ද රහසක් නො වේ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඒ සඳහා පෙරහුරු කටුනායක දී හා හලාවත දී දැනටමත් සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර දේශපාලනය ගැන නොදන්නා සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. ඒ සියල්ලෙහි ප්‍රධානියා එංගලන්තය ය. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් සිංහල ගොවිකමට (කොම්පෝස් පොහොර යොදා කරන අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන්නවුන් කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී නියම ඩයස්ලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ පුස්තකාල සේවකයන්ගෙන් වුව ද පලිගැනීම ය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දඩබ්බර හා පතෝල නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවන අය මුග්ධයෝ වෙති. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත.

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කසිකබල් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ගොස් ඇත. පසුගිය සතියේ ඔහු අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී (පෙරටුගාමී) සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. මේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ සිද්ධි මාලාව විග්‍රහ කරමු.

පසුගිය සතියේ කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ විවාහක පුරුෂයා නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ‍රිලියානු රජයත් මෙරට ඕස්ටේ‍රිලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම් මහතාට නම් කීයක් තිබේ ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් ගමන් බලපත්‍ර කීයක් තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ (විවාහක නොවන?) බිරිය හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අද අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණකි.

කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් කුමාර් ගුණරත්නම් ගැන ක්‍රියා කළ අන්දම පිළිබඳ ව ඕස්ට්‍රේලියාව විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුදු හම ඇත්තන් හා ඇත්තියන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් කුමාර් මහත්තයා වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට හිස ගිණි ගත්තවුන් මෙන් සූදානම් විය යුතු ය. ඒ අතර නොයෙල් මුදලිගේලා වැනි ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි මාක්ස්වාදී සමාජවාදීවාදීන්ට කළහැකි දෙයක් වෙයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, එහි කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් උර දී කටයුතු කිරීම ය.