Main Logo

Wednesday 31 July 2013

ඇස් පෙනෙන්නෝ හා නොපෙනෙන්නෝ

අප මෙහි දී අදෘශ්‍යමානය යන්නෙන් අදහස් කරන්නේ ඇසට නොපෙනෙන දේ පමණක් නො වේ. මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සියල්ල අදෘශ්‍යමාන ලෙස අපි සලකමු. අදෘශ්‍යමානය යන්නෙහි වචනාර්ථය පමණක් අපි නො සලකමු. අපට මෙහි දී වැදගත් වන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පවතින්නේ ද යන්න ය. එහෙත් අප අවධාරණය කළ යුතු දෙයක් වෙයි. ඒ පවතින්නේ ය යන්න ද අපේ නිර්මාණයක් සංකල්පයක් පමණක් බව ය. සියළු සංකල්ප ශූන්‍ය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. ඒ අපේ නිර්මාණ පමණකි. 

ඒ අර්ථයෙන් ගත්කල අදෘශ්‍යමානය පමණක් නොව දෘශ්‍යමානය ද නො පවතියි. ඒ සියල්ල පවතින්නේ අපේ සංකල්පීය ලෝකයෙහි පමණ ය. එහෙත් සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. පුටුව යන්න පවතින්නේ සංකල්පීය ව පමණ ය. එය පරමාර්ථ වශයෙන් නොපවතී යැයි කීමට මම අකමැත්තෙමි. සියල්ල පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. ඇතැමුන්ට අනුව නිවන පරමාර්ථ සත්‍යයකි. මම ද කලක් ඒ එසේ යැයි විශ්වාස කළෙමි. නිවන පරමාර්ථ වශයෙන් සත්‍යයක් යැයි ගත්ත ද නිවන පවතින්නේ යැයි කියන්නෝ වෙත් ද?

අවාසනාවකට එසේ සිතන්නෝ වෙති. ඇතැමුන්ට අනුව නිවන යනු සත්ත්වයන්ට සදාකාලික ව පැවතිය (ජීවත්විය) හැකි වූවකි. එහෙත් නිවන් අවබෝධ කළ තැනැත්තා නැවත නූපදි යි. එසේ නිවන් අවබෝධ කරගන්නා තැනැත්තකු ද නැති වුවත් සම්මුති වශයෙන් ඇති තැනැත්තා නිවන් අවබෝධයෙන් පසු නැවත භවයක ජාතියක්, ජන්මයක් නො ලබයි. නිවන් අවබෝධය යනු චුති චිත්තයෙන් පසුව වෙනත් චිත්ත ඇතිවීම නැවැත්වීම ය. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් චිත්තය යන්න ද අපේ සංකල්පයක් බව ය. 

චුති චිත්තය නිවන් අවබෝධයත් සමග ඇති වීම අනිවාර්ය නොවන බැවින් නිවන් අවබෝධයත් සමග පරිනිර්වාණය සිදු වීම අනිවාර්ය නො වේ. එබැවින් බුදුන් වහන්සේ ද රහතන් වහන්සේ ද නිවන් අවබෝධයෙන් පසුව ද යම් කාලයක් ජීවත් වෙති. ඒ කාලයෙහි උන්වහන්සේට ක්‍රියා සිත් ජනිත වෙයි. අවශ්‍ය වූ විටෙක නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි ය. ඒ කුමක් වුවත් නිවන යනුවෙන් තැනක් නැත. නිවන් යෑමෙන් (අවබෝධයෙන්) අප යන තැනක් ගැන නො කියැවෙයි. 

අපට ඇත්තේ සම්මුති සත්‍ය ය. ඒ සම්මුති සත්‍ය පවතින්නේ සම්මුති වශයෙන් පමණකි. අප පුටුවක් ඇතැයි කියන්නේ සම්මුතියෙනි. අප දන්නා සියල්ල සම්මුති වශයෙන් පමණක් සත්‍ය වන අතර සම්මුති වශයෙන් පමණක් පවතියි. දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවතින දෙයින් කොටසක් පමණක් වෙයි. වෙනත් වචනවලින් කිවහොත් දෘශ්‍යමානය යනු සම්මුති වශයෙන් පවත්නා දේවල කුලකයේ උප කුලකයක් පමණකි.  

දෘශ්‍යමානය යනුවෙන් ගන්නා දේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අද්‍යශ්‍යමානය යනුවෙන් ගන්නා දේ අප බොහෝ දෙනකුගේ ඉන්ද්‍රියවලට ගෝචර නො වෙයි. එහෙත් ඇතැමුනට අප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ යැයි කියන දේ මනේන්ද්‍රියට දැනෙයි. අපේ මනස්වලට ඒ හසු නොවන බැවින් අපි එසේ මනේන්ද්‍රියන්ට ගෝචරවන දේ ඇතැයි, පවතින්නේ යැයි නො පිළිගනිමු. වෙනත් අයට එසේ ඇතැම් දේ මනේන්ද්‍රියට ගෝචර වන්නේ යැයි කියන්නේ ඔවුන්ගේ මනසේ ඇතිවන භ්‍රාන්තියක් නිසා යැයි අපි කියමු.

එය අන්ධ මනුෂ්‍යයකු අපට කිසිවක් නො පෙනෙන්නේ යැයි කීමට සමාන ය. එවැන්නකු කියනු ඇත්තේ ඊනියා පෙනෙන දේ ඇතැමුන්ගේ භ්‍රාන්තියක් පමණක් බව ය. කිසිවක් නොපෙනෙන ලෝකයක ඇතැම් දේ පෙනෙන්නේ යැයි කීම භ්‍රාන්තියක් නොවන්නේ ද? එහෙත් අන්ධ මනුෂ්‍යයෝ එසේ නො කියති. එයට හේතුව අති විශාල බහුතරයක් පෙනෙන දේ ඇතැයි කීම ය. යම් හෙයකින් අන්ධ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව අති විශාල වී නම් හා පෙනෙන අයගේ සංඛ්‍යාව ඉතාමත් සුළුතරයක් වී නම් සමාජයෙහි ඒ සුළුතරය ගැන කිනම් මතයක් ඇතිවීමට ඉඩ තිබිණි ද? 

බහුතරය යන්න ද බොහෝ විට සමාජ බලයක් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ එලෙස බහුතරය සමාජ බලයක් ලෙස ගැනීමෙනි. අඩුම තරමෙන් එසේ ගන්නා බවට මතයක් ඇති කිරීමෙනි. බහුතරය සමාජ බලයක් විය යුත්තේ අසන පිරිස් නැතිවා නො වේ. අද මෙරට ඇතැමුන් අසන ප්‍රශ්නයක් නම් බහුතරය සිංහල වූ නිසා සිංහලයන්ගේ මතය සමාජයට බලයෙන් පිළිගැන්විය යුතු ද යන්න ය. එය එසේ විය යුතු නො වේ. බහුතර මතය ගලා එන්නේ කිනම් සාධක මත ද යන්න එහි දී සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය වෙයි. 

කෙසේ වුවත් එහි තවත් පැත්තක් ද වෙයි. අප සමාජය මත සුළුතරයේ මතය බලයෙන් පැටවිය යුතු ද? එහි දී විදේශීය රටවල සහාය ලබාගැනීම කෙසේ යුක්තියුක්ත කරන්නේ ද? එසේත් නැත්නම් විදේශිය රටවල් තම මතය බහුතරය මත පැටවීමට සුළුතරය යොදා ගන්නේ ද? විදේශීය රටවල දේශපාලන හා ආර්ථික ශක්තිය යොදා ගැනීම යුක්තියුක්ත කළ හැකි ද? අද ලංකාවේ සිදුවන්නේ එවැන්නකි. විදේශික බලවේග සිංහල බහුතරය මත තම මතය පැටවීමට දෙමළ සුළුතරය යොදා ගනියි. එය බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට වුව ද එකඟ නොවනමුත් අද මෙරට සිදුවන්නේ ඒ ක්‍රියාදාමය ය. එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් හා ඉන්දියාව තම මතය සිංහලයන් මත පැටවීමට දෙමළ හා මුස්ලිම් සුළුතරය යොදා ගැනීමට උත්සාහ කරති. 

කෙසේ වෙතත් ඇස් නොපෙනෙන්නන්ගේ ලෝකයක ජීවත්වන ඇස් පෙනෙන්නන් සුළුතරයකට  මුහුණ පෑමට සිදුවන ගැටළු සිතාගත හැකි ය. ඇස් පෙනෙන සුළුතරයට විදේශීය සහායක් නොලැබුණහොත් (ඔවුන්ට ඇස් පෙනෙන්නේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වේ.) ඔවුන් මානසික වශයෙන් ප්‍රශ්න ඇති අය, විකාර කියවන්නන් ආදීන් වශයෙන් හැඳින්වෙනු ඇත. එලෙස ම මිනිසුන්ගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන දේ ගෝචරවන්නේ යැයි පවසන සුළුතරය පංචෙන්දිය්‍රට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි කියන ලෝකයක මානසික රෝගීන් ලෙස හඳුන්වනු ලැබීම බලාපොරොත්තු විය යුත්තකි.

පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යනු හුදෙක් අවයව පහට ගොදුරු වීමක් නොවන බව අවධාරණය කළ යුතු ය. ඉන්ද්‍රියයක් යනඑ අවයවයකට වැඩි දෙයකි. ඉන්ද්‍රියයක් ඇති වන්නේ අදාළ අවයව මනස සමග එකතු වීමෙනි. මනස නොමැතිව කිසිම ඉන්ද්‍රියයක් නැත. මෘත ශරීරයකට ද අවයව පහ ඇත. එහෙත් මෘත ශරීරයකට පංචෙන්ද්‍රිය නො වේ. මෙහි දී සැලකිය යුත්තක් නම් බටහිර විද්‍යාව කුමක් කීව ද සිංහල බෞද්ධයනට මනස යන්න ද ඉන්ද්‍රියයක් බව ය. එහෙත් මනස නම් ඉන්ද්‍රිය සමග බද්ධ වූ අවයවයක් නැති බව අප කලකට පෙර සඳහන් කර ඇත.  

මනස හදවත සමග හෝ මොළය සමග හෝ බද්ධ වී නැත. මනස ඇත්තේ හදවතෙහි යැයි කිවහැකි නො වේ. එමෙන් ම මස මොළයට ඌනනය කළහැක්කක් ද නො වේ. මනස යන ඉන්ද්‍රියට පැවතීමට (සම්මුති වශයෙන් බව නිතර ම කිවයුතු නො වේ. එහෙත් වරදවා තේරුම් ගැනීම වැළැක්වීම සඳහා ඒ බව විටින් විට කිවයුතු වෙයි.) අවයවයක් අවශ්‍ය නො වේ. නො එසේ නම් සිත මිස කය නැති බඹ ලොවක් තිබිය නො හැකි ය. (එය තර්කයක් නොවන බව ද මම දනිමි. එයට හේතුව අප අති විශාල බහුතරයට බඹ ලොව පැවැත්ම ගැන  කිසිම දැනුමක් හෝ විශ්වාසයක් හෝ නැති බැවිනි.) 

එහෙත් මනසක පැවැත්ම ගැන අපට අවබෝධයක් ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ ප්‍රායෝගික ව ය. එහි දී ද අප යොදා ගන්නේ ජීවත්වන්නකු හා මෘත ශරීරයක් අතර ඇති වෙනස ය.  නරක් නොවුණු මෘත ශරීරයක මොළය ද ඇතුළු සියළු අවයව වෙයි. එහෙත් මෘත ශරීරයට කිසිවක් නො දැනෙයි. මෘත ශරීරයක් හා ජීවත්වන්නකු අතර ඇති වෙනස ද එයයි. සිහි නැති පුද්ගලයකුට ද කිසිවක් නොදැනෙන්නේ යැයි කිසිවකු කියනු ඇත. සිහි නැති පුද්ගලයකු සහ මෘත ශරීරයක් අතර ඇති වෙනස කුමක් ද? 

බටහිර වෛද්‍ය විද්‍යාව එයට කියනු ඇත්තේ සිහි නැති පුද්ගලයකුගේ හදවත හා මනස ක්‍රියාකරන බව ය. හදවත ක්‍රියා නොකළත් මනස ක්‍රියා කරන බව ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මිය යෑම යනු මොළය මිය යෑම ය. මෙහි දී මිය යෑම යන වචනය යොදා ගැනීම තරමක ප්‍රශ්නයකි. මොළය මිය යෑම යනු මොළය අක්‍රීය වීම විය හැකි ය. මෙයින් කියැවෙන්නේ මනස යනුවෙන් සංකල්පයක් නොයොදා ගෙන මිය යෑම තේරුම් ගත හැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය හෝ එසේ ක්‍රියාකාරි වීමේ ප්‍රතිඵලයක් හෝ වෙයි. 

එය එසේ යැයි පිළිගත්ත ද පංචෙන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙයි. අදාළ අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය මත පදනම් වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ඇස කණ ආදී අවයවවලට ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් මොළය යනු ද අවයවයකි. එසේ නම් මොළය හා වෙනත් අවයවයක් අතර ඇති වෙනස කුමක් ද? මොළයට එතරම් විශේෂත්වයක් අත්වන්නේ ඇයි? අනෙක් අවයවයකට මොළයේ ක්‍රියාකාරීත්වය නොමැතිව ක්‍රියාකාරි වීමට නොහැකි වුවත් වෙනත් කිසිම අවයවයක ක්‍රියාකාරීත්වය නොමැතිව මොළයට ක්‍රියාකාරී විය හැක්කේ කෙසේ ද? 

මෙහි දී පැන නගින ප්‍රශ්න දෙකක් වෙයි. මොළය නම් අවයවය ඇති සියළු සතුන්ට මනසක් වේ ද? එසේත් නැත්නම් මනස යන වචනය යොදා ගැනීමට අකමැත්තක් වේ නම් මොළය ඇති සියළු සතුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මිනිසුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය අතර වෙනසක් නැත් ද? අනෙක් සතුන්ගේ ද මොළය හැරෙන්නට අනෙක් අවයවවල ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය හා බැඳී ඇත් ද? මනස යනුවෙන් කුමක් කියැවෙන්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොමැතිව වුව ද මෑතක් වන තුරුම බටහිර විද්‍යාව කියා සිටියේ මිනිසුනට හැරෙන්නට අනෙක් සතුන්ට මනසක් නැති බව ය. 

එහෙත් දැන් දැන් මේ මතය වෙනස්වනු දැකිය හැකි ය. සුපුරුදු පරිදි බටහිර විද්‍යාවේ එක් ප්‍රවාදයක් වෙනුවට වෙනත් ප්‍රවාදයක් ආදේශ වෙයි. මිනිසුන් නොවන සතුන්ට මනස් නැතැයි කී බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු සතුන්ගෙන් කිහිප දෙනකුට වුවත් මනසක් ඇතැයි කීම එතරම් ම පුදුමයට කරුණක් නො වේ. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් කිහිප දෙනා මනස යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි අපි නො දනිමු. එය බටහිර වෛද්‍ය විද්‍යාඥයන් කියන මොළය ද? එසේත් නැත්නම් වෙනත් කිසිවක් ද?  එය අවයවයක් සමග බැඳී ඇත් ද?     


අනෙක් ප්‍රශ්නය වනුයේ මොළයක් යනුවෙන් කිවහැකි අවයවයක් නැති සතුන්ට මනසක් නැත් ද යන්න ය. මනසක් නැත්නම් මේ ජීවීන් සංසාර ගමනක නො යෙදෙන්නේ ද? ඔවුන්ට මීළඟ භවයක් නැත් ද? බුදුදහමෙහි සියළු සතුන් යන්නෙන් අදහස් කෙරෙන්නේ කවුරුන් ද? ඒ සතුන්ට මනසක් ඇත් ද? නැත් ද? මේ ප්‍රශ්න පිළිබඳ ව බටහිර විද්‍යාව ද බුදුදහම ද විශ්වාස කරන අය කියන්නේ කුමක් ද? ඔවුන්ට සංගත පිළිතුරු දිය හැකි ද?



නලින් ද සිල්වා

2013-07-31