Main Logo

Sunday 14 December 2014

රටට එරෙහි සියලු බලවේග පරාජය කිරීම ජනතා යුතුකමක්


“මා කල්පනා කරන විදියට මේ ජනාධිපතිවරණ සටන තුළ අද වනවිට ජාතිකත්ව කඳවුරත් විජාතිකත්ව කඳවුරත් දෙකට බෙදී තිබෙනවා.

ජාතිකත්ව කඳවුරේ පැහැදිලි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එලෙස ජාතිකත්ව කඳවුරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දෙද්දී විජාතික කඳවුරට නායකත්වය දෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හෝ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල නොව මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා ය.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ ඒ විජාතික වැඩපිළිවෙළ මේ රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය දෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ඇගේ වෛරයත් සමඟ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ වැඩපිළිවෙළ ඇගේ ම වැඩපිළිවෙළක් ලෙස ඇය ක්‍රියාත්මක කරන්නේ රටට ආදරයකින් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් පහකර දමන්නට ද ඇයට තිබෙන වුවමනාව මතයි.

පසුගිය සතියේ ජනාධිපතිවරයා සමඟ එක්වූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ වුවමනාව වුණේ එජාපයෙන් තමන්ගේ ම වූ අපේක්ෂකයෙක් මෙවර ජනාධිපතිවරණයටවත් ඉදිරිපත් කිරීමය. මේ අරමුණ හරි හෝ වැරදි වේවා එජාපයට තමන්ගේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා ඉඩදුන්නේ නැත.

චන්ද්‍රිකාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි තරහව එළිපිට පෙනෙන්නට තිබුණත් ඇය සැබෑ ලෙස ම රනිල්ටත් විරුද්ධ ය. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති අවදියේ චන්ද්‍රිකාගේ පුත් විමුක්ති කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු කිරීමට ඉඩ නොදීමේ තරහ ඇගේ සිතේ රනිල්ට විරුද්ධව අදටත් ඇත. ඇයට රනිල්ව ජනාධිපති කරන්නට හෝ අගමැති කරන්නට වුවමනාවක් නැත. චන්ද්‍රිකාට අවශ්‍යය වී ඇත්තේ මේ ඇති කරන අවුල මැද්දේ ඇයම නැවත වරක් ජනාධිපති හෝ අගමැති වීමට ය.

සරත් සිල්වා ඉදිරිපත් කර ඇති නීති තර්ක නිසා ඇයට නැවත වරක් ජනාධිපති තරගයකට ඉදිරිපත් විය නොහැකි ය. මේ නිති ප්‍රශ්නය නිසා චන්ද්‍රිකාට අවශ්‍ය වී ඇත්තේ ඊළඟ වතාවේත් රටේ බලය තමන් සතු කර ගැනීම සඳහා ඉතා ම දුර්වල මිනිහෙක් ලෙස ඇය සලකන මෛත්‍රිපාල මහතා නමට රටේ ජනාධිපති කරවීමට ය. මෛත්‍රීපාල පඹයෙක් නැතිනම් ඉත්තෙක් ලෙස හැසිරවිය හැකි යැයි ඇය කල්පනා කරනවා විය යුතු ය. එම වුවමනාව නිසාමය ඇය මෛත්‍රීපාල මහතා බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්ගේ වුවමනාව අනුව ආණ්ඩුවෙන් එළියට ගෙන එය විපක්ෂයේ පොදු වුවමනාව බවට පත් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ජාතිකත්වයක් තියනවා කියා හිතන ජාතික හෙළ උරුමයේ රතන හාමුදුරුවන්වත් මෙතනදී ප්‍රයෝජනයට ගන්නා බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයේ නායකත්වය දරන රතන හාමුදුරු‍වන් ඇතුළු උඩ ඉන්න කිහිප දෙනෙකුට මා කීප විටක් පෙන්වා දී ඇති පරිදි ජාතිකත්වයක් නොමැති නමුත් එම පක්ෂයේ බොහෝ දෙනෙකුට ඉතා වැඩි පිරිසකට ජාතිකත්වයක් තිබෙන බවත් මෙතනදී කිව යුතු ය.

ජාතික හෙළ උරුමයේ ගම්මන්පිල මහතා ද නැවත වරක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට වේදිකාවට නැග්ගේ ඔහුට ජාතිකත්වයක් තිබෙන නිසා විජාතිකත්වය සමඟ සිටිය නොහැකි බව අවබෝධකර ගැනීමෙන් පසුව බව පැහැදිලි ය. ඒ නිසා ජාතික හෙළ උරුමයේ පිරිසෙන් මේ ඊනියා විපක්ෂ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට ගත් ජාතික හෙළ උරුමය ගත් තීරණය සමඟ අවසානයේ සිටින්නේ එම පක්ෂයේ එම තීරණය ගැනීමට එකතු වූ හතර පස් දෙනෙකුහෝ පස් හය දෙනකු පමණක් බව ඉදිරියේ වඩා හොඳින් පැහැදිලි වනු ඇත.”

“දැන් මේ උත්සාහය දරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන සිංහල බෞද්ධ අතිබහුතර ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේන මහතාට සිංහල - බෞද්ධ ආරෝපණයක් කර කඩා දැමීමට ය. නමුත් මේක කරන්නට ලැබෙන්නේ නැත. ඒ මේ රටේ බුද්ධිමත් මිනිස්සු ජාතිකත්වයක් ඇති පිරිස හඳුනා ගැනීමට සමත් නිසා ය.

විපක්ෂ පොදු අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයත් සමඟ කිසිදු ගිවිසුමක් නැති බව කීවත් එතන ද හෙළි නොකරන ගිවිසුමක් තිබෙන බව පැහැදිලි ය. මේ ගිවිසුමේ අරමුණ වනු ඇත්තේ උතුරු නැ‍ඟෙනහිර පළාත් දෙක නැවත එකට එකතු කර පෙඩරල් රාජ්‍යයකට පාර කැපීම ය. එංගලන්තයට ඇති මේ වුවමනාව අනුව චන්ද්‍රිකාගේත් කැමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ මෙවැනි ගිවිසුමකට මෛත්‍රීපාල මහතා අස්සන් කරනු ඇත.

මෙතන තිබෙන ලොකුම අනතුර වනු ඇත්තේ ඡන්දයෙන් කෙසේවත් පරාජය කළ නොහැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඡන්දය ජයගෙන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වුවත් බටහිර වුවමනාව අනුව ඔහුව ඝාතනය කිරීමට ඇති අනතුරයි.‍

ඡන්දයෙන් පරාජය කරගත හැකි වුණොත් බලයෙන් පහ කළ ජනාධිපතිවරයා හා හමුදා නිලධාරීන් හේග් යුද අධිකරණය වෙත ගෙන ගොස් විදුලි පුටුවේ ඉන්දවීමේ බටහිර වුවමනාව ඉටු කරගත හැකි වුණත් ඔහු ඡන්දයෙන් පැරදවිය නොහැකි නම් එලෙස බලයේ සිටින ජනාධිපතිවරයාව යුද අධිකරණයට ගෙන යාමට හැකි වන්නේ නැත.

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල - සිරිසේන මහතා පෝස්ටර් කටවුට් ගහන්නේ නැතැයි රටට කීවත් ඔහුට සිදුව ඇත්තේ ඔහුගේ පෝස්ටර් හෝ කටවුට් ගැසීමට සංවිධානයක් හෝ කෙනෙකු නොමැතිවීම ය. ඔහුගේ ආධාරකරුවන් සිටින පොළොන්නරුවේ ඔහු ඇති තරම් පෝස්ටර් කටවුට් ගසා ගත්තත් රටපු‍රා ගොස් එසේ කරන්නට යාන්ත්‍රණයක් මෛත්‍රීපාල මහතාට නැත.

යූඇන්පී යාන්ත්‍රණය රටපුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපති කරන්නට පෝස්ටර් ගහන්නේ නැත. එවැනි වුවමනාවක් එජාප නායකත්වයට ද ගමේ සිටින යූඇන්පී කාරයා තුළ ඇති කළ නොහැක. රනිල් හෝ සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නම් මේ යූඇන්පී කාරයන් පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවා රට පුරා ඇති තරම් පෝස්ටර් කටවුට් ගසනු ඇත. රට පුරා පෝස්ටර් කටවුට් ගහන්නට බැරි වූ මෛත්‍රීපාල මහතා දැන් කියන්නේ තමන්ට පෝස්ටර් කටවුට් ගැසීමට බැරි බව නොව එසේ නොකරන බව ය.

තමන්ට එජාජ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එජාපයෙන් ඉවත් වූ තිස්ස අත්තනායක මහතාගේ ක්‍රියාමාර්ගයෙන් පෙන්වන්නේ සැබෑ එජාප පාක්ෂිකයන්ගේ වුවමනාව ය. මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් නොගසන එජාප පාක්ෂිකයන් එජාප නායකයන් කුමක් කීවත් අන්තිමේ තම විරුද්ධවාදී පිලෙන් ආ මෛත්‍රීපාල මහතාට ඡන්දය දීමෙන් ද වැළකෙනු ඇත.

එදා විපක්ෂ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගේ පොස්ටර් කටවුට් 2010 ජනාධිපතිවරණයේදී ගැසූ ජවිපෙ ද මෙවර මෛත්‍රීපාල මහතාගේ පෝස්ටර් කටවුට් ගසන්නේ නැත.

ජනාධිපතිවරණයේදී ජේවීපීයට තමන්ට ජනාධිපතිවරණය දිනන්නවත් වෙන අයකු දිනවන්නවත් නොහැකි නිසා ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සියයට 50 ඉක්මවීම වැළැක්වීම ය. ජේවීපී ය ජනාධිපතිවරයා පරදවන බව කියන්නේ ඔවුන්ගේ මේ වුවමනාව අනුව ය. කිසිම අපේක්ෂකයකුට සියයට 50 ට වැඩිය ගන්න නොදී දෙවැනි මනාපයක් ගණින අරාජිකත්වයක් ඇති කර ලොකු විප්ලවයක් කර මෛත්‍රීපාලට බලය අරන් දීමේ බ්‍රිතාන්‍ය වුවමනාව අනුව ජේවීපීය හා එජාපය මෙහෙයවන්නට ඉඩ තිබේ.

මේ එකදු සැලැස්මක් හෝ ක්‍රියාත්මකවීමට ඉඩ නැත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් සියයට පනස් පහකවත් ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අත් කරගන්නා නිසා ය.

ඡන්දයෙන් පරදවන්නට බැරි මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වර ජනාධිපතිවීමෙන් පසු වෙනත් රටවල ශක්තිමත් නායකයන් ඝාතනය කළ ආකාරයට මේ නායකයා ද ඝාතනය කරන්නට ‍බටහිර රටවල් ක්‍රියා කරන්නට ඉඩ ඇත.

සෝභිත හාමුදුරුවන් විධායක ජනාධිපතිධූරය අහෝසි කර යහ පාලනය ඇති කරන්නට කතා කළත් උන්වහන්සේ ගේ යහපාලන කොතරම් ද පෙන්වමින් උන්වහන්සේගේ ගෝලයා ද පන්සලෙන් පැන ගොස් ඇතැයි වාර්තාවෙයි. අද සෝභිත හාමුදුරුවන් පස්සේ ඉන්නේ ඇට්ටකුණා වුණ සරසවි ආචාර්යවරු දෙතුන් දෙනෙකු පමණ ය.

පැරැණි වම අධිරාජ්‍ය විරෝධී වුවමනාව අනුව යමින් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙද්දී ජේවීපීයට සිදුව ඇත්තේ විජාතිකත්ව පිලට සහාය දීමට ය.

දේශපාලන පෙළ ගැස්වීම අනුව මෙන් ම ජ්‍යෝතිෂඥයන්ගේ පොදු මතය අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ය. එය සියයට 55 ක ජයග්‍රහණයක් නොකර සියයට 65 ක තුනෙන් දෙකක ජයග්‍රහණයක් බවට පත් කර රටට විරුද්ධ සියලු බලවේග එකවර පරාජය කිරීම ජනතාවගේ වගකීම වනු ඇත.



නලින් ද සිල්වා

2014-12-14