Main Logo

Sunday 13 November 2016

මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත්


මගේ ලෝකය සම්මන්ත්‍රණය නැවතත්

මගේ ලෝකයට තිස්වසරක් යන තේමාවෙන් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය අසාර්ථක යැයි මා කියන්නේ එහි දී ප්‍රතිචාර දැක්වූ ආකාරය හා ජනමාධ්‍ය දුන් ප්‍රචාරය අනුව. මගේ දේශන අසා පුරුදු අයට එහි අමුත්තක් තිබුණා ය කියා මා හිතන්නේ නැහැ. මා ඇතැම් විට හාස්‍යය යොදා ගන්නවා. එමෙන් ම මගේ ශෛලිය එකම රේඛාවක් දිගේ ගලා යන්නක් නොවෙයි. හාමුදුරුවන් ධර්මය දේශනා කරන්නේ එකම රේඛාවක් දිගේ නොවෙයි. එහෙත් එයින් කියන්නේ දේශනය අසංගත යන්න නොවෙයි. මා පරස්පර සහිත දේශන පවත්වන්නේ නැහැ. එහි මුලක් මැදක් හා අගක් තිබිය යුතුම නැහැ. වෘත්තයක මුල මැද අග කුමක් ද? මා සිංහල බෞද්ධයකු ලෙස ඉන්නේ රේඛීය චින්තනයක නොවෙයි. අගක් මුලක් නැති සංසාරයේ අගක් මුලක් ඇති දේශන කොහේ ද? චක්‍රිය චින්තනයෙහි දේශනයක් අසා නැති අයට, පාසල්වල, ආධාරක පංතිවල හා විශ්වවිද්‍යාලවල මුලකින් පටන්ගෙන අගකින් කෙළවර වන රේඛීය චින්තනයේ අසංගත දේශනවලට පමණක් ඇහුම්කම් දී ඇති අයට මගේ දේශනය අගක් මුලක් නැති එකක් ලෙස වැටහෙන්න ඇති. ඔවුන් ගැන මා අනුකම්පා කරනවා.

එදා පැමිණි බොහෝ දෙනා මගේ දේශනවලට කලින් සවන් දී නැති අය. ඇතැමුන් මගේ ලෝකය කියවා තිබුණෙත් නැහැ.  ඔවුන් සමහර දෙනා පැමිණියේ දේශපාලන කතාවක් අහන්න. තවත් සමහරු හොඳ ශාස්ත්‍රීය කතාවක් අහන්න පැමිණියා. මා නීරස ශාස්ත්‍රීය කතා කරන්නෙක් නොවෙයි. මේ රටේ මිනිසුන්ට ශාස්ත්‍ර බැහැ. එසේ තිබියදීත් උගතුන් මුලක් මැදක් අගක් ඇති ඊනියා ශාස්ත්‍රීය කතා පවත්වනවා. මා එහෙම කරන්නේ නැහැ. මා චක්‍රීය චින්තනයේ සංගත කතාවක් කරනවා. මා දේශපාලනය ගැන කතාකරන විට සමහරු අත්පොළොසන් දුන්නා. ඒ ඔවුන්ගේ දේශපාලනය හා මගේ දේශපාලනය සමපාත වූ විට. ඒත් මගේ කතාවේ දේශපාලනය ඔවුන් හඳුනාගත්තා ද යන්න සැකයක්. මා කතා කෙළේ ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකය කඩාවැටී ජාතිකත්ව මත පදනම් වූ ලෝකයක් බිහිවීම පිළිබඳ ව. චින්තන විප්ලවයක් පිළිබඳ ව. ජාතිකත්ව දේශපාලනවල ප්‍රධාන පුරුෂයන් පස්දෙනා ගැන. මගේ ලෝකය ලියැවී ඇත්තේ චින්තන විප්ලව ගැන කීමට. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ගැන කීමට. චින්තනය යන සංකල්පය හඳුන්වාදීමට. ගුණදාස අමරසේකර මහතා නැෂනල් තෝට් යන්නෙන් විජාතිකයකු ඉදිරිපත් කර තිබූ අදහසක් ජාතික චින්තනය ලෙස පරිවර්තනය කරගත් බවත් මා එය චින්තනයක් ලෙස ගත් බවත් සම්මන්ත්‍රණයේ දී කිවුවා. මගේ ලෝකය දාර්ශනික පොතක් මෙන් ම දේශපාලනික පොතක් ද වෙනවා. දාර්ශනික පොතක් දේශපාලනික පොතක් ද වන්නේ කෙසේ දැයි ශාස්ත්‍ර වෙන්කර ගන්නා අයකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.  වෙන් කිරීම මගේ චින්තනයේ, මගේ ලෝකයේ, නොව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ අංගයක්.

මට කීමට අවශ්‍ය දේ සියල්ල මා කිවුවා. කාලය කළමනාකරණය  ප්‍රශ්නයක් වූයේ නැහැ. ශාලාව දිය යුතු බව කියන විට මා අවශ්‍ය සියල්ල කියා අවසානයි. ඇතැම් අවස්ථාවක මා මේ දේ කිවුවොත් ඔබ ගෙදර යාවි ආදී වශයෙන් කියන්නේ ඒ දේ කීමට මට අවභ්‍ය නිසා නොවේ. එය රසවත් ව කිව නොහැකි නිසා. එවැනි දේ මා කීමට බලාපොරොත්තු වන දේ නොවෙයි. මා කිසිම දාක කතාවක් ලියාගෙන ඇවිත් කර නැහැ. ඒත් කිවයුතු දේ පිළිබඳ කටු සටහනක් මගේ (නැති) මනසේ තිබෙනවා. අසන පිරිස අනුව ඒ කටු සටහන මා විස්තර කරනවා. එතන මහින්ද රාජපක්‍ෂ නොසිටින්නට මා කරන්නේ වෙනත් කතාවක්. එහි දී මට කීමට අවශ්‍ය කරුණක් වූයේ ඊනියා ජාත්‍යන්තරවාදී නූතනත්ව ලෝකය 1930 පමණ සිට කඩා වැටෙන බවත් බිහිවන ජාතිකත්ව ලෝකයකට මහින්ද රාජපක්‍ෂ ද නායකත්වය දෙන බව. බොහෝ දෙනා මගේ ලෝකය කියවා නැතැයි මට හැඟුන බැවින් සුළුවෙන් නමුත් එහි ඉතිහාසය හා අඩංගු දේ කීමට සිදු වුනා.

මගේ ලෝකය ගැන කතාකරන විට අනිවාර්යයෙන් ම දෙමළ ජාතිවාදය ගැන කතාකරන්නට සිදුවෙනවා. මගේ ලෝකයෙන් කියන්නේ දැනුම නිර්මාණය කිරීම පිළිබඳ ව. එහි දී අප විසින් පහුගිය අවුරුදු තිහක කාලයෙහි සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව නිර්මාණය වූ දැනුම්වලින් කිහිපයක් සඳහන් කළ යුතුයි. දෙමළ ජාතිවාදය පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරුණු දැනුම් රාශියක් වෙනවා. දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය එයට අදාළයි. ඒ විකාශය නන්දිකඩාල් ජයග්‍රහණයෙන් කෙළවර වූ බවත් ඉන්පසු ඒ ගැන තවත් කතා අනවශ්‍ය බවත් මා කලක සිට කියන්නක්. මා එය නැවතත් කිවුවේ මහින්ද රාජපක්‍ෂ එතැන සිටි නිසා. එමෙන් ම අප විසින් නිර්මාණය කෙරුණු නිජභූමිය පිළිබඳ නව සංකල්පයත් මා එහි දී කිවුවා. එයින් ගම්‍යවන්නේ ලංකාව සිංහලයන්ගේ පමණක් නිජභූමිය බව කී විට අසන්නන් අත්පොළොසන් දුන්නා. ඒ මා කිවු දේ ඒ ආකාරයෙන් ම තේරුම් ගෙන නොවෙයි. මා කී දේ ඔවුන් සිතාගෙන සිටින ලංකාව සිංහලයන්ගේ රට බව කියන දළ අදහස සමග සමපාත වන නිසා.  ජනමාධ්‍යවලට ඒ කිසිවක් වැදගත් වූයේ නැහැ.

ඇල්ලේ හාමුදුරුවන්ගේ කතාව සම්මන්ත්‍රණයේ තේමාවට අදාළ නැහැ. උන්වහන්සේ මගේ ලෝකය කියවා ඇත්දැයි මා දන්නේ නැහැ. උන්වහන්සේට අනුශාසනාවක් කිරීමට සංවිධායකයන් ආරාධනා කර ඇත්තේ උන්වහන්සේ ජාතික ව්‍යාපරයේ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ නමක් නිසාත් මා සමග සමීප ඇසුරක් පවත්වන නිසාත්. උන්වහන්සේගේ දේශනය ජනමාධ්‍ය විසින් වැළඳ ගනු ලුබුවා. හිරු හා දෙරණ ප්‍රචාරය කෙළේ උන්වහන්සේගේ දේශනයේ ප්‍රධාන තේමාව වූ ෆයිල් කතාව හා මහින්ද එයට දැක්වු ප්‍රතිචාරය. දෙරණ එක් ප්‍රවෘත්ති ප්‍රචාරයක පමණක් මා ට්‍රම්ප් හා මහින්ද එකතු කරමින් කී සුළු කොටසක් ද ප්‍රචාරය කළා. මහින්ද රාජපක්‍ෂ පැමිණි රැස්වීමක් වුවත් මුද්‍රිත මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හෝ සම්මන්ත්‍රණය ගැන කිසිම සඳහනක් කෙළේ නැහැ. හිරු හා දෙරණ එය ප්‍රචාරය කළේ සම්මන්ත්‍රණය ඇල්ලේ හාමුදුරුවන්ගේ ලෝකය ගැන වූ සම්මනත්‍රණයක් වන අදහසක් ප්‍රේක්‍ෂකයාට දෙමින්.

ජනමාධ්‍යයේ ඉන්නා බොහෝ පඬියන්ට මා කැමති නැහැ. ඔවුනුත් මට කැමති නැහැ. ඔවුන් මුහුණු පොතේ ඉන්නා ඇතැම් පඬියන් වගේ. කිසිම දෙයක් ගැඹුරට කල්පනා කරලා නැහැ. ජනමාධ්‍යයේ ඉතා සුළු පිරිසක් හැර අනෙක් අය මට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. මට මේ පඬියන් සමග සම්බන්ධයක් ඇතිකර ගන්න බැහැ. එය මගේ දුර්වලකමක් විය හැකියි. දෙරණේ මට 360 ලබාදුන්නේ ජනමාධ්‍යවේදීන්වත් එහි ආයතනික ප්‍රධානියාවත් නොව දිලිත් ජයවීරයි. මගේ අදහස් ජනතාවට අතරට නොයන්නේ විද්‍යුත් මාධ්‍ය ඒ අදහස්වලට තැනක් නොදෙන නිසා. එහෙත් ගම්වල මිනිසුන්ගේ අදහස් මගේ අදහස්වලට ඉතා කිට්ටුයි. පඬියන් මෙන් නොව ගැමියන් දෙයියන් බුදුන් සිහිකරනවා. ඔවුනට දෙවියන් යනු මිථ්‍යාවක් නො වෙයි. කලකට පෙර මා දොරමඬලේ දැක්වූ අදහස් පඬියන්ට හා මධ්‍යම පංතියට දිරවා ගත නොහැකි වුවත් ගැමියන් බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන එක වැළඳ ගත්තා. එහෙත් ජනමාධ්‍යවල පඬියන් හා කසිකබල් විද්‍යාඳයන් හා වෛද්‍යවරුන් එයට විරුද්ධයි. ඒ අය අතර මාක්ස්වාදය විද්‍යාවක් යැයි කියන කසිකබල් මාක්ස්වාදීන් ද ඉන්නවා.  මේ රටට වැඩියෙන් ම හානිකර ඊනියා ලිබරල් හෝ මාක්ස්වාදී හෝ වෘත්තීයකයන්. ඔවුන් තම ලෝකය කඩා වැටෙන බව දන්නේ නැහැ. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේත් එයයි. ඔහුගේ ජයග්‍රහණයට විරුද්ධව බොරු වාම හෝ ලිබරල් හෝ ජාත්‍යන්තරවාදීන් පෙළපාළි යන්නේ තම ලෝකය කඩා වැටීම දරාගන්න බැරුව.




නලින් ද සිල්වා
2016 නොවැම්බර් 13