Main Logo

Friday 26 April 2019

මුස්ලිම් අන්තවාදයට එරෙහිව


මුස්ලිම් අන්තවාදයට එරෙහිව
   

ලංකාවේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ දිගුවක් බව අප දැන් දන්නවා.  අද වැඩියෙන් ම අමාරුවට පත් වී ඇත්තේ පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන්ට කිසිම ආකාරයකින් පාස්කු ඉරිදා උදයේ බෝම්බ ප්‍රහාරය ඊනියා සිංහල බෞද්ධ හෙජමනියේ එල්ලා තබන්න බැහැ. ඔවුන්ට පුළුවන් කමක් නැහැ මුස්ලිම් අන්තවාදයට හේතුව සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාකාරකම් කියා කීමට. 


එමෙන් ම මා කියෙව්වා ඊනියා පශ්චාත්නූතනවාදියකු සියල්ල ආර්ථිකයට ඌනනය කිරීමට තැත් කර ලියූ ඉතා අසාර්ථක ලිපියක්. ඒ ලිපිය කියවූ මට සිහිවූයේ ටොලමිගේ අපිචක්‍ර. ටොලමිලා වෘත්තාකාර චලිතය දිව්‍යමය චලිතයක් ලෙස සැලකුවේ. ඔවුන් පොළොව වටා ග්‍රහවස්තු චලනය වීම විස්තර කෙළේ වෘත්තවලින්. වෘත්තයකින් ග්‍රහ වස්තුවක චලිතයක විස්තර කරන්න බෑරි වුණා ම ඔවුන් වෘත්තය වටා තව වෘත්තයක් (පළමු වෘත්තයේ පරිධියේ දෙවැනි වෘත්තයේ කේන්ද්‍රය චලනය වන ආකාරයට) නිර්මාණය කළා. එයත් මදි වුණා ම තවත් වෘත්තයක්. අද ඉන්න ආර්ථික ඌනිතවාදීනුත් තම ඊනියා විස්තර කිරීම් මදිවුනා ම තව තවත් ආර්ථික අපිචක්‍ර එකතු කරනවා. 

මා හිතනවා ජාතිකවාදීන් (මොවුන් කියන විධියට ජාතිකවාදීන් ද ලිබරල් ආදී සංකල්ප යොදා ගන්නවා! ඒ ඔවුන්ගේ දැනුමයි) මේ පඬියන් පඬිපෝතකයන්, පඬි නැට්ටන් ගැන සැලකිලිමත් විය යුතු නැහැ කියා. ඔවුන්ට කියන්න දෙයක් නැහැ. ඔවුන් අනුන්ගේ ගීත කියන ඩ්‍රීම් ස්ටාර් තරගකරුවන් පමණයි. ඔවුන්ට තම තමන්ගේ පුවරුවල තම තමන්ට ම බයිලා කියා ගැනීමට ඉඩ හැරියොත් ඔවුන් නිකම් ම නිකම් පුස්සන් බවට පත්වේවි. 

ව්‍යාජ ජාතිකවාදීන් ව සිට රනිල්ට එකතු වී "ජාතිකත්වය" වෙනුවෙන් වැඩ කරන අයට අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මා මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ලිපි කීයක් ලියා තියෙනව ද කියන එක. මෙරට මුස්ලිම් ඉතිහාසය ගැන මා ලියා තිබෙනවා. ලෝනා දේවරාජා මහත්මිය අටවැනි සියවසට මුස්ලිම් ඉතිහාසය දික් කරල තියෙනවා. අද අග්‍රබෝධි රජු මුස්ලිමුන් වෙනුවෙන් මක්කමට ලිපි ලිව්ව කතා නැවතත් ඇහෙනවා. සමහරවිට මුස්ලිමුන්  අරාබියෙන් පැමිණ මෙරට සිංහල කාන්තාවන් සරණ පාවා ගෙන පදිංචි වූ අයගෙන් පැවත එන්නන් ලෙස නැවත කියන්නත් පුළුවන්. 

මා මේ කතා විශ්වාස කරන්නේ එක් ප්‍රමාණයකට පමණයි. එකල අරාබියෙන් පැමිණි අය සිංහල කාන්තාවන් සරණ පාවා ගෙන මෙහි පදිංචි වෙන්න ඇති. අග්‍රබෝධි රජු ලිපි ලියන්නත් ඇති. එහෙත් මෙරට වත්මන් මුස්ලිමුන් පැවත එක්නේ ඔවුන්ගෙන් නො වෙයි. ඔවුන්ගෙන් පැවත එන මුස්ලිමුන් හිටිය නම් ඔවුන් ද  දාහතරවැනි සියවසෙන් පමණ පසුව මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන් විසින් තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන තියෙනවා. නැත්නම් ඒ පිරිස අදත් එක්කෝ අරාබි කතා කළ යුතුයි නැත්නම් සිංහල කතා කළ යුතුයි. කෙසේ වෙතත් අද මෙරට මුස්ලිමුන් සිංහල කතාකරන පිරිසක් බවට පත්වෙමින් සිටිනවා. එය හොඳ ප්‍රවනතාවක්. 
  
මෙරට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් දශක දෙකක් පමණ. එහි ආරම්භකයා කවුද කියා කියන්න බැහැ. කෙසේ වෙතත් විසිවැනි සියවසේ මුල ගම්පොළ ඇසුරු කරමින් ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය අවසාන වශයෙන් ගත් කල ඉංගිරිසින් මැදිහත් වීමෙන් කළ එකක්. ඉංගිරිසින් සුපුරුදු පරිදි මුස්ලිමුන් සිංහල බෞද්ධනයට එරෙහි ව ප්‍රකෝප කළා. බෞද්ධ පෙරහැරවලට අවහිර කළා. ඔවුන් එය දහනවවැනි සියවසේ අගභාගයේත් කොටහේනේත් සිංහල බෞද්ධයනට එරෙහිව කතෝලිකයන් යොදවා කළා. මේ සියල්ල පිටුපස හිටියේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය. එය සංස්කෘතික ප්‍රපංචයක් පමණක් නො වෙයි. අප සංස්කෘතික ඌනිතවාදීන් නො වෙයි. ඒ වගේ ම අපි ඊනියා ව්‍යුහවාදීනුත් (structuralists) නො වෙයි. සිංහල බෞද්ධයන් ලෙස අප ඒක හේතුවාදීන් වන්නේ නැහැ.

දශක දෙකකට පමණ පෙර ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය මෙරටටත් පැමිණියා. එයට පෙර අශ්රොෆ් මුස්ලිම් ජාතිවාදී පක්‍ෂයක් ආරම්භ කළා. ඔහු ආභාසය ලැබුයේ එක් පැත්තකින් දෙමළ ජාතිවාදයෙන්. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මුස්ලිම් ජාතිවාදයෙන්. ඔහු නැගෙනහිර පළාතේ මුස්ලිම් අයෙක්. එතෙක් මෙරට මුස්ලිමුන් එක්සත් ජාතික පක්‍ෂය සමග හෝ ශ්‍රී ල නි පක්‍ෂය සමග හෝ දේශපාලන සම්බන්ධකම් පැවැත්වුවා. ඇතැමුන් දෙමළ ජාතිවාදී පක්‍ෂවලත් කටයුතු කළා. අශ්රොෆ් ජාතිවාදී   දේශපාලනඥයකු ලෙස  මුස්ලිම්කම යොදා ගෙන බලයට පත්වීමට අදහස් කළා. 

ඔහු දෙමළ කතාකරන කියන එක වැදගත් දෙයක් ලෙස සැලකුවා. ඒ නිසා ම දෙමළ ජාතිවාදී පක්‍ෂ සමග සම්බන්ධකම් පැවැත්වූවා. ඒහෙත් ඔහුගේ බිරිය ෆේරියල් අශ්රොෆ් ඔහුට තරමක් වෙනස්. ඇය ගම්පොළ. ඇය අශ්රොෆ්ට වඩා බටහිර සංස්කෘතියට හුරු වූ අයෙක්. අශ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් කොංග්‍රසය දෙමළ බලපෑමෙන් තරමක් මිදුණා. එය අශ්රොෆ් සිටියදීමත් වෙන්න පටන් ගත් දෙයක්. 

අශ්රොෆ් 1976 වඩුකොඩෙයි සම්මේලනයටත් සහභාගි වුණා. එහෙත් දෙමළ පක්‍ෂ කැමති වුණේ නැහැ ඊනියා උතුරු නැගෙනහිර කලාපයක මුස්ලිම් කලාපයක් දීමට. ජාතිවාදී මුස්ලිමුන්ට අද වෙන ම කලාපයක් ඉල්ලීමේ හැකියාවක් නැහැ. එහෙත් ඔවුන් ලංකාව පුරා මුස්ලිම් සංස්කෘතිය ව්‍යාප්ත කරනවා. විවිධ පාසල් එහි එක් ආයුධයක්. මේ පාසල්, විශේෂයෙන් ම මද්‍රාස් පාසල් ප්‍රශ්නයක් වේගෙන යනවා. ඇතැම් රටවල ඒ පාසල් තහනම් කෙරිලා. අපි පසුව මෙය සාකච්ඡා කරමු. 

අප සංස්කෘතියකට විරුද්ධ විය යුතු නැහැ. එහෙත් සංස්කෘතික ආධිපත්‍යයක් පැතිරවීමට නම් විරුද්ධයි. අපට ජාත්‍යන්තර  මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බැහැ. එහෙත් එය ලංකවේ ක්‍රියාත්මක වීම නවත්වන්න පුළුවන්. ඒ කියන්නෙ ලංකාවේ මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න පුළුවන්.
 
මුස්ලිම් සංස්කෘතිය නිසගයෙන් ආක්‍රමණශීලියි. ක්‍රිස්තියානි සංස්කෘතියත් එසේමයි. අද ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයේ බලවත්. අපට මිදෙන්න අවශ්‍ය මේ ආධිපත්‍යයෙන්. මා ඒ ගැන වැඩිපුර කතා කරන්නේ එබැවිනුයි. මෙරට මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයට දිගු කලක් නැහැ. එය සිංහල බෞද්ධ සංස්කෘතික ආධිපත්‍යයක් නිසා ඇති වුවක් නො වෙයි. එය ජාත්‍යන්තර මුස්ලිම් ජාතිවාදයේ බලපෑමෙන් ඇති වුවක්. සිංහල බෞද්ධයන් එයට ප්‍රතිචාර දැක්වුවා පමණයි.

අවාසනාවකට ජාතික හෙළ උරුමය තම දේශපාලන අවශ්‍යතා සඳහා සිංහල බෞද්ධ ප්‍රතිචාරය යොදා ගත්තා. ජාතික හෙළ උරුමයට කිසි දා ජාතිකත්වයක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහලකම විකුණා බලයට පත්වීමට පමණයි. ජාතික හෙළ උරුමය ගැන මා කියා ඇති බැවින් නැවතත් කීමට අවශ්‍ය නැහැ. ඔවුන්ට රටේ දේශපාලනයේ දැන් තැනක් නැහැ. 

මෙරට මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයට විරුද්ධව සිංහල බෞද්ධයන් මෙහෙයවීමට ඉදිරිපත් වූයේ බටහිර රටවල්! ඒ අර ලෝකයේ ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම නිසා. බටහිරයන්, විශේෂයෙන් ම නෝර්වේ රාජ්‍යය මුදල් ආධාර කිරීමෙන් හා වෙනත් ක්‍රමවලින් සිංහල බෞද්ධයන් මුස්ලිමුන්ට විරුද්ධ ව මෙහෙයවූවා. එය මුස්ලිම් සංස්කෘතික ආක්‍රමණයට වඩා මුස්ලිමුන්ට විරුද්ධව මෙහෙයවූවක්. ජාතික හෙළ උරුමයේත් බටහිර රටවලත් උපාමාරුවල ගොදුර  වූණේ ගලබඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්. අද උන්වහන්සේ හිර ගෙදර ඒ අතර නෝර්වේ තැත් කළා පාස්කු ඉරිදා ඝාතනවලට සිංහල බෞද්ධයන් වගකිව යුතු බව ලෝකයට කියන්න. 

පාස්කු ඉරිදා ඝාතන ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදයේ වැඩක් බව දැන් හොඳට ම පැහැදිලියි. එහෙත් අප එහි දී මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කටයුතු කරන්න බටහිර රටවල සහාය නොපැතිය යුතුයි. බටහිර හමුදා නොව හමුදා පොලිස් ඔත්තුසේවා විශේෂඥයන්වත් අප ඒ සම්බන්ධයෙන් රටට ගෙන්වා නොගත යුතුයි. අපේ බුද්ධි අංශ නිලධාරීන් ඒ සඳහා හොඳට ම ප්‍රමාණවත්. අර හිරේ ඉන්න බුද්ධි අංශ නිලධාරීන් කිසිම විභාගයක් නැතිව රඳවා ගෙන සිටින්නේ කා සතුටු කරන්න ද? 

සිංහල දේශපාලනඥයන් මුස්ලිම් දේශපාලනඥයන් සමග ගණුදෙනු (deal) දේශපාලනයක නොයෙදී සෘජුව ඒ ජනතාව අතරට යා යුතුයි. දෙමළ කතාකරන ජනතාව සම්බන්ධයෙන් ද විය යුත්තේ එයයි. ජාත්‍යන්තර මුස්ලිම් ජාතිවාදයට අන්තවාදයට සම්බන්ධ මුස්ලිමුන් යම් ප්‍රමාණයක්, විශේෂයෙන් ම යමක් කමක් ඇති පවුල්වල, සිටියත් බහුතර මුස්ලිමුන් එට සම්බන්ධ නැහැ. අප මෙහි දී අමතක නොකළ යුතු කරුණක් නම් අපේ බුද්ධි අංශවල මුස්ලිම් නිලධාරීන් ගෞරවනීය සේවයක් ඉටු  කළ බව.

රනිල්ගේ අමන කතා නවතින පාටක් නැහැ. ඔහු ඊයේ කියා සිටියේ අයිසිස්  (ISIS) සාමාජිකයන් ලංකාවේ ඉන්න බව දන්නා නමුත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නීති නැති බවයි. රනිල් නීති ක්‍රියාත්මක කරන්්නෙක් ද නීති හදන්නෙක් ද? අප පාර්ලිමේන්තුවක් පත් කර ඇත්තේ තියෙන නීති ක්‍රියාත්මක කිරීමට නො වෙයි. එයට පොලීසිය හා අධිකරණ පද්ධතිය තියෙනවා. පාර්ලිමේන්තුව නීති හදන තැන. අයිසිස් සාමාජිකයන් පමණක් නොව දේශීය විදේශීය ඕනෑම ත්‍රස්තවාදී  සංවිධානයක සාමාජිකයන් අත් අඩංගුවට ගෙන පරක්‍ෂණ පැවැත්වීමට නීති හදන්න. ඒ අතර ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් ආරක්‍ෂා කරන මුජිබර්ලා අලි අසාද්ලා රිෂාඩ් බද්‍යුද්දීන්ලාත් අත් අඩංගුවට ගැනීමට නීති තියෙන්න ඕන.