Main Logo

Thursday 16 June 2022

කෝ මේ ආතල්ගම

 

කෝ මේ ආතල්ගම

 

මෙය ඉතා කෙටි සටහනක්. දැන් ජාතික රූපවාහිනයේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ ආතල්ගම ගැන සඳහන් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ රූපවාහිනිය රනිල් අගමැති වූ පසුත් ආතල්ගම දිගින් දිගට ම ප්‍රචාරය කළා. රනිල් ආතල්ගමේ හිතවතෙක්. ඔහු රුවන් විජේවර්ධනට ආතල්ගම ගැන සොයා බලන්නත් කිවුවා. රුවන් හොයා බැලුවෙ නැද්ද? ආතල්ගමට සිද්ධවෙලා තියෙන්නෙ මොකක් ද කියල රුවන්ට පුළුවන් ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වල අර ජනතාවට කියල දෙන්න.

 

ජනතාව ඉන්නෙ අපහසුවෙන් ද දන්නෙ නැහැ ආතල්ගම ගැන කිසිවක් දැනගන්න විධියක් නැතුව. ආතල්ගමට බිරියානි දුන් අය දැන් උණ්ඩියල් ක්‍රමයට වටලප්පන්වත් දෙන්නෙ නැද්ද?   ජනතාව වෙනත් නාළිකාවලින් ආතල්ගම ගැන දැන ගන්නවා ද කියල මා දන්නෙ නැහැ. ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් ඉංගිරිසි විධියට සිංහල උච්චාරණය කරද්දි පවා මා දැන් බලන්නෙ ජාතික රූපවාහිනියෙ ප්‍රවෘත්ති පමණයි.

 

 ඒ දවස්වල පඬි නැට්ටකු හිටියා බොහොම ආතලෙන්. ඔහු කතෝලික සම්භවයක් ඇත්තෙක්. බටහිර විද්‍යා ක්‍ෂෙත්‍රයක පශ්චාත් උපාධියක් තියෙනව කියලත් කියනවා. ඔහු අපට ආතල්ගමේ අරගලය තේරෙන්නෙ නැහැ කියල කිවුව. ඔහු සහ තවත් පඬි නැට්ටන් අරගලය ගැන විවිධ කතා කිවුව. සෝවියට් ආතල්ගමක් හදනකම් කෙමියුනිස්ට් සමාජයක් ඇති වෙනකම් පඬි නැට්ටන් පමණක් නොව අර විශ්වවිද්‍යාලෙට ආගිය සුපිරි බුද්ධිමතුන් ද බලා සිටියා.

 

ඒත් විප්ලවය ආවෙ නැහැ. අපි හිතුව විප්ලවය ගිහින් කියල. ඒත්  කාගෙන් අහන්න ද?  සුපිරි බුද්ධිමතුන්ගෙ සුපිරි හෙළුව නම් පේන්න තියෙනවා. සමහරු මේ සුපිරි බුද්ධිමතුන් සමග මා සංසන්දනය කරනවා. අපොයි එහෙම කරන්න එපා. මට අරගලය තේරෙන්නෙ නැහැ.  මා බටහිරයන් කියන දේ  පුනරුච්චාරණය කරන්නෙ නැහැ.  

 

ආතල්ගම අරගලය දැන් ක්‍රියාත්මක වන්නෙ දුරස්ථ ක්‍රමයට ද? මා දුරස්ථ ක්‍රමය කියන්නෙ පඬියන් මාර්ග ගත කියන ක්‍රමයට. ඉංගිරිසියෙන් නම් ඔන්ලයින් ක්‍රමයට. ඔන්ලයින් මාර්ග ගත වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නැහැ. ඒක රනිල්ගෙ මාර්ග සිතියමේවත් තියෙනවා ද දන්නෙ නැහැ.

 

ඒ මොනව වුණත් මැයි නවවැනි දා නම් දුරස්ථ ක්‍රමයට ගිනි තැබීම් කෙරුණා. සමහර නාළිකා ගින්නට තෙල් දැම්මා. අරගලයෙ ස්පාටකස් කෙනෙක් හිටියෙ නැද්ද? හිටියත් වැඩක් නැහැ. ඊනියා පීඩිත පංතිය ලෝක ඉතිහාසයෙ අරගලවලින් දිනල නැහැ. අරගල හර්තාල් නිසා මිනිසුන් මැරෙනවා. ඒත් සමහරුනට ආතලුත් ලැබෙනවා.

 

ජාතික රූපවාහිනිය ජනතාවට කියනවා ද ඔවුන් මුල දි අනුග්‍රහය දැක්වූ අරගලයට මොකද වුණෙ කියල. සමහර විට ඔවුන්ට දැන් ඕස්ට්රේලියානුවන්ගෙ  ලංකා සංචාරය වඩාත් ආතල් දෙනවා ඇති.