Main Logo

Friday 8 September 2023

බ්‍රවන්රිග්ගේ අවජාතක දරුවෝ

 

බ්‍රවන්රිග්ගේ අවජාතක දරුවෝ

 

මට සතුරන් රාශියක් සහ මිතුරන් කිහිප දෙනකු ඉන්නවා. එයට අමතර මා දන්නා හඳුනන කිහිප දෙනකු ලංකාවේත් පිටරටත් ඉන්නවා. එහෙත් ඔවුන් මිතුරන් නො වෙයි. මට ශිෂ්‍යයන් නම් නැහැ. මා ගුරුවරයකු නොවන නිසා. කඩින් කඩ මා විශ්වවිද්‍යාල තුනක වැඩ කර තියෙනවා. එහෙත් මා උගන්නපු දෙයක් නැහැ. මෙටාවේ සමහරු හිතන් ඉන්නෙ අනුජ මංචනායක උපාලි කොහොඹන් තමලු පියදිගම චරිත කාරියවසම් මගේ සිසුන් කියා. අපොයි නැහැ. ඔවුන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීන්. එපමණක් නොවෙයි. ඔවුන් මට වඩා දන්නවා.

 

තවත් සමහරු හිතනවා දිලිත් ජයවීර මගේ සිසුවෙක් කියා. ඔහු කොළඹ නීති පීඨයෙන් උපාධි ලැබූවෙක්. ඔවුන් කිසිවකු කිසි දා චින්තන පර්ෂදයේ රැස්වීමකටවත් සහභාගි වෙලා නැහැ. දිලිත්ගේ රූපවාහිනිය මට කිසිම විශේෂ සැලකිල්ලක් දක්වා නැහැ. පහුගිය අවුරුදු දහසයට මා සහභාගි වී ඇති වැඩ සටහන් ගණන අටකට අඩු කියා මා හිතන්නේ. ජාතිකවාදීන් අතරත් මට සතුරන් ඉන්නවා. ජාතිකවාදී විද්‍යාඥයන් මාක්ස්වාදීන් ප්‍රගතිගාමින්. ඔවුන්ට අනුව මා පසුගාමියෙක්.  පඬි නැට්ටන්ට අනුව ඔවුන් රාජපක්‍ෂලාට කොපමණ කඩේ ගියත් මා පමණට අපහාසයට පරිභවයට ලක් නොවන්නේ මා කඩේ යනවා මදි නිසා කියා දන්නේ නැහැ.   

 

මෙය තරමක් දිග ලිපියක්. එය කොටස් වශයෙන් ලියැවෙන්නේ. මට නුවර පෙරහැර හා පුරාවිද්‍යාව ගැන ලියන්න තිබුණත් මා කල් දානවා. මා දන්නවා මගේ සතුරන් කියන බව හෑලි කියවන්න අපට වෙලාවක් නැහැ, එහෙම නැත්නම් නුවර පෙරහැර ගැන හරි පුරාවිද්‍යාව ගැන හරි මට ලියන්න සුදුසුකම් නැහැ කියා. මට කිසිම දෙයක් ගැන ලියන්න කිසිම සුදුසුකමක් නැහැ. අර කවුද කියා තිබුණා මා එක් එක් අයගේ ඉංගිරිසි වැඩ සටහන් බලා සිංහලෙන් කියනවා කියා. ගැන පසුවට. මා ලියන්නේ මගේ අදහස් නිරවුල් කර ගන්න. සකර්බර්ග් ලිපි ආරක්‍ෂා කරනවා. මා ලියන දේ දිරව ගන්න බැරි නම් කියවන්නෙ මොන කෙහෙම්මලකට ?

 

මේ දීර්ඝ ලිපිය එහෙමත් නැත්නම් හෑල්ල මට ලියන්න හිතුනේ ඊයේ සහ පෙරේදා මා පළ කළ කෙටි සටහන් දෙකකට ලැබුණු ප්‍රතික්‍රියා හා ප්‍රතිචාර නිසා. ඉන් පළමු සටහන මෙසේයි. "චැනල් 4 කුමන්ත්‍රණයක් නොවේ. එය බ්‍රවුන්රිග් ඩා ඔයිලි (ඩොයිලි) සිංහල ජාතිකත්වයට එරෙහි ඇරඹූ ක්‍රියා දාමයෙහි තවත් පුරුකක් පමණකි."  මේ සටහනට දැනට හා හා ප්‍රතික්‍රියා 1400ක් පමණ ලැබී තියෙනවා.  සටහන උගත් තරුණ තරුණියන්ට විහිළුවක් ලෙස පෙනීම අරුමයක් නොැවයි. ඔවුන් බ්‍රවුන්රිග්ලා ඇරඹූ ක්‍රියා දාමයෙහි ප්‍රතිඵල බැවින්. මාත් කලක් එවැනි උගතකු වී සිටි බැවින් ඔවුන්ගේ ප්‍රතික්‍රියාව මට වැටහෙනවා. දෙයියන්ගෙ පිහිටෙන් දැන් මා නූගතෙක්. සමහරුන්ට අනුව නාකියාගෙ මොළේ ස්නායු මැරිලා.

 

ඊයේ ගෝඨාභය රාජපක්‍ෂ චැනල් 4 ගැන ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. මා සලේගේ හොඳක් කියන්නේ නැහැ. ඔහුත් උගතෙක්. ඔහු ධම්මික පැණිය ගැන නැහැසුම් කර තීරණයක් ගැනීමට ඉඩ තිබ්බේ නැහැ. ඔහු එය තමාගේ ක්‍රමයට ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට තමා ලත් උගත්කම් අනුව ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. කොහොම වෙතත් සලේ ඔය චැනල් 4 කතාවෙන් කියැවෙන කාලයේ මැලේසියාවේ ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවයි ගෝඨාභය කියන්නේ. එය විදේශ අමාත්‍යංශයෙන් අසා දැන ගන්න පුළුවන්. ආණ්ඩුවට ඉක්මණින් පැය කිහිපයකින් එය දැන ගන්න පුළුවන්. තවමත් එය කර නැත්තේ ඇයි? එයට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය ම  නැහැ. ඕන නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනුත් අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් සලේ දැන් ලංකාවේ ඉන්නවා නම් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කරන්න පුළුවන්. ආණ්ඩූව එකක්වත් නොකර ඉන්න එක ගැන නම් සැකයක් ඇති වෙනවා.

 

ඒත් අවුරුද්දක් පමණ නිෂ්ශබ්ද සිටි ගෝඨාභය මේ වෙලාවේ ප්‍රකාශයක් කිරීම අනවශ්‍ය බවයි මගේ හැඟීම. එය වාර්තාගත වීම පමණයි ඉන් සිදුවන්නේ. ඔහු කියන දෙයක් ඔහුට විරුද්ධ කිසිවකු පිළිගන්නේ නැහැ. අද සමාජයේ මහින්ද හා ගෝඨාභය ගෙදරකටචත් වද්ද ගන්න නුසුදුසු පුද්ගලයන් ලෙසයි සැලකෙන්නෙ. අතින් බ්‍රවුන්රිග්ලා ඇරඹූ ක්‍රියාදාමය සාර්ථක වෙලා තියෙනවා. අවුරුදු තිහකට පමණ පෙර චන්ද්‍රිකා බලයට පත්කර ගත් අය තම වරද තේරුම් ගත්තෙ කාලයක් ගිහින්. ගෝඨාභය එළව ගත්ත ඔවුන්ගෙ දුදරුවන්ට තම වරද තේරුම් ගන්න ඊටත් වඩා කල් යාවි. එතෙක් ගෝඨාභය කියන කිසි දෙයක් සමාජයේ බහුතරයක් අතර වලංගු වෙන්නෙ නැහැ.

 

බ්‍රවුන්රිග්ලා කිසිසේත් අපේක්‍ෂා නොකළත් මාක්ස්වාදී අදහස් ඔවුන් ඇරඹූ ක්‍රියාදාමය ශක්තිමත් කරන්න හේතු වුණා. විශ්වවිද්‍යාලයේ පංති සාමාර්ථයක් ලබා ගැනීමට කරන සටන හැරෙන්න වෙනත් කිසිම  පංති සටනක් ලෝකයේ නැති වුණත් කිහිප දෙනකුට සිහින මවන්න අදහස් දීමට මාක්ස්වාදය සමත් වෙලා තියෙනවා. අදහස් උඩ ක්‍රියාකරන පිරිසක් තවමත් ලංකාවේ ඉන්නවා. චන්ද්‍රිකා බලයට පත්කෙළේත් අදහස් මත පිහිටලා. අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ඊනියා බුද්ධිමත් ජනයා දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් දොට්ට දමා ජාතිකත්වය අඩපණ කළා. ඔවුන්ගේ දරුවන් පරගලයේ නගුට බවට පත් වී ගෝඨාභය දොට්ට දැමීම ගැන නගුට වැනුවා. එහි දී මාක්ස්වාදී අදහස් නග්නව නැති වමට නොව දකුණට සේවය කළා. මේ සියල්ලෙහි ප්‍රතිඵල ජාතිකත්ව නායකත්වයක් බිහි කර නොගත්තොත් තව අවුරුදු දහයකින් පමණ දැනේවි.

 

බ්‍රවුන්රිග්ලාට අවශ්‍ය වුණේ ජාතිකත්වයට පහර ගහන්න. බ්‍රවුන්රිග් හොඳාකාරව දැන සිටි දෙයක් තමයි මෙරට භික්‍ෂූන් වහන්සේට ඇති තැන නැති නොකර ඉංගිරිසින්ට අප යටත් කර ගත නොහැකි බව. ඔහු භික්‍ෂූන් වහන්සේට කිවුවේ කහකඩයන් කියා ඉංගිරිසියෙන්. අද ඔහුගේ අවජාතක දරුවන් භික්‍ෂූන් වහන්සේට සිංහලෙන් කහකඩයන් කියනවා. බ්‍රවුන්රිග්ලා ඇරඹූ ක්‍රියා දාමය අදත් ක්‍රියාත්මකයි.

 

බිරිතානියේ හතරවැනි නාළිකාව හෙවත් චැනල් 4 තමයි අද බ්‍රවුන්රිග්ට හා ඩා ඔයිලිට අවශ්‍යවූ දේ කරන්නේ. නාළිකාව හුදෙක් මහින්දට හා ගෝඨාභයට පහර දීමක් නො වෙයි කරන්නේ. ඔවුන් ජාතිකත්වයට පහර ගහනවා. ඔවුන්ට නන්දිකඩාල් පරාජයේ පළිය ගන්න තියෙනවා. බ්‍රවුන්රිග් කිසි දා හිතන්නෙ නැතුව ඇති අවුරුදු සියයකට මෙහා පැත්තෙ ඉංගිරිසින්ගෙ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදීන් නන්දිකඩාල් කලපුවේ ගිල්ලාවි කියා. බ්‍රවුන්රිග්ට සේවය කරන මෙරට වමාලා ජෙප්පන් හා අනෙක් අය ත්‍රස්තවාදීන් පරාජය වේ යැයි සිතුවේ නැහැ. අර ඊනියා යුද විශේෂඥ රොහාන් ගුණරත්න පුන පුනා කිවුවෙ ත්‍රස්තවාදීන් පරාජය කරන්න බැහැ කියලා. එහෙත් මහින්ද හා ගෝඨාභය සරත් ෆොන්සේකා සමග එකතු වී   කතා සියල්ල සුන්නත් දුලි කළා.

 

බටහිරයන් සරත් ෆොන්සේකා බිලි බාගෙන ජනාධිපතිවරණයටත් ඉදිරිපත් කළා. ඊනියා මානව හිමිකම් කඩවීම ගැන මහින්දට හා ගෝඨාභයට චෝදනා පිට චෝදනා කරන චැනල් 4 ඇතුළු බටහිරයන් සරත් ෆොන්සේකා ගැන නිහඬ ඇයි? මා කියන්නේ ඔහූ මානව හිමිකම් කඩ කළ බවක් නො වෙයි. බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයේ කුහක බව. ලෝක ඉතිහාසයේ මානව හිමිකම් වැඩියෙන් කඩ කර තියෙන්නෙ ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයේ ප්‍රධාන රටවල් වන එංගලන්තය හා ඇමරිකාව. කවුරු හරි පඬි නැට්ටකු තම තර්ක බුද්ධිය විදහා දක්වමින් අහාවි මා ඇමරිකාවෙ ඉන්නෙ ඇයි කියා.  (මතු සම්බන්ධයි)   


ඊයේ සටහනටත් ප්‍රතිචාර දැක්වීම නතර කළා. අපායෙ ඉන්ටවල් ඉවරයි.