Main Logo

Saturday 12 May 2012

ඉන්දීය ක්‍ෂෙත්‍ර චාරිකා

ඉන්දීය ඇමතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්ඩායම් වශයෙන් ද සති දෙකකට වරක් පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක් බවට පත් වී ඇත. ඔවුන්ට අමතරව එරට නිලධාරීහු ද මෙරටට පැමිණෙති. ඔවුන් මෙරටට එන්නේ අපේ සුව දුක් බැලීමට නොවන බව පැහැදිලි ය. ඉන්දියාව හෝ එයට පෙර එහි තිබූ ප්‍රදේශ හෝ අපේ ලොකු අයියා හෝ සහෝදරයකු හෝ ලෙස ක්‍රියා කර නැත. ඉන්දියාවට නිදහස ලැබෙන කාලයේ සිට ම තිබුණේ ලංකාව ද එයට ඈඳා ගැනීමේ අවශ්‍යතාව ය. යම් අයුරකින් පෝක් සමුද්‍ර සන්ධිය නොතිබෙන්නට අප ඇතැම් විට ඉන්දියාවේ තමිල්නාඩුවේ ම කොටසක් හෝ වෙනත් ප්‍රාන්තයක් හෝ බවට පත්වීමට ඉඩ තිබිණි. එසේ වී නම් සිංහලයන්ට අත්වීමට තිබූ ඉරණම සිතාගත හැකි ය. ඉන්දියාව තවමත් ඒ අදහස නැතිකරගෙන ඇතැයි සිතිය නො යුතු ය. නේරුලාට ඉන්දිරා ගාන්ධිලාට රජිව්ලාට ද ඒ අදහස තිබුණු අතර දැනටත් සෝනියාලා හා මංමෝහන්සිංලා මෙන් ම කරුණානිධිලා හා ජයලලිතාලා ද ඒ අදහස දරති. පසුව කී දෙදෙනා වඩාත් කැමතිවනු ඇත්තේ ලංකාව තමිල්නාඩුවේ ම කොටසක් කර ගැනීමට ය. මේ අදහස නොදැරු රාජ්‍ය නායකයකු ඉන්දියාවේ සිටියේ නම් ඒ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතා විය යුතු ය. ඉන්දීය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ දෙමළ ජනතාවට ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට ය. ඔවුහු බලය බෙදීම ගැන කතාකරති. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා යන විසඳුම් ගැන කතාකරති. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලකරති. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව ඉන්දියාව බටහිරයන් හා අනෙක් සිංහල විරෝධීන් ඉගෙන ගන්නේ කවදාද?

මේ අතර රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ද ඉන්දියාවට යති, එති. ඔවුන් යන්නේ දඹදිව නොවන බව නම් ඉතා පැහැදිලි ය. චන්ද්‍රිකා කුමාරතුංග සිතන්නේ ඊනියා ඉන්දු ලංකා සබඳතා ඇගේ උරුමයට ලැබුණු දෙයක් ලෙස ය. ඉන්දිරා නැන්දා (ආන්ටි) ගෙන් ඇයට ඒ සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් හිමි වී ඇතැයි සිතනවා විය හැකි ය. සෝනියා අක්කා (නංගි) නිතර හමු වී ගෙවල්වල තොරතුරු කතා කරනවා මෙන් ඉන්දු ලංකා සබඳතා ගැන කතාකරගත හැකි යැයි ඇය සිතනු නො දනුමාන ය. ඇයට අමතක වී ඇත්නම් මතක් කළ යුත්තේ ඇගේ මව සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කළේ බමුණු කුලයේ ගාන්ධිලා සමග නොවන බව ය. රනිල් වික්‍රමසිංහ දිල්ලි යන්නේ බටහිරයන් කියන්නේ නම් මොන දිල්ලියට ගියත් කම් නැත යන තේරුමෙන් මිස වෙනත් අර්ථයකින් නො වේ. ඔහු යාපනයට ගොස් මැයි දිනය පවත්වන්නේ යාපනයේ කම්කරු පංතියක් ඇමතීමට නොවන බව නොදන්නකු ඇතැයි නො සිතමි. එහෙත් ඔහු එහි යන්නේත් දෙමළ ජාතික සංධානය සමග මැයි දිනය පවත්වන්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට බව බොහෝ දෙනා නො දනිති. බටහිරයන්ගේ කීමට මෙරට ක්‍රියා කරන පක්‍ෂ අතර එ ජා ප, දෙමළ ජාතික සංධානය හා කෙකරගාමී (පෙරටුගාමී) පක්‍ෂ වෙයි. ඒ අතර බටහිරයන් විසින් මෙහෙයවනු ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මගින් නඩත්තු කෙරෙන පක්‍ෂ ද වෙයි. දෙමළ ජාතික සංධානය පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ආධාර කළේ ද බටහිරයන්ගේ අවශ්‍යතාවට ය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් විහිළු නො වේ. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති කළෝ බටහිරයෝ ය. නිදහසෙන් පසුව ඒ ප්‍රශ්නය පවත්වාගෙන යෑමට හා ගින්නට පිදුරු දැමීමට ඉන්දියාව ක්‍රයා කර ඇත. ප්‍රභාකරන්ට මෙන් ම උමා මහේස්වරන්ට ද ආයුධ සපයා දෙමළ ත්‍රස්තවාදය නිර්මාණය කළේ ඉන්දියාව ය. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වූ අතර දෙමළ ත්‍රස්තවාදය ඉන්දියාව විසින් බිහි කෙරිණි. එහි දී ද ඉන්දියාවට බටහිරයන්ගේ සහාය ලැබිණි. ඉන්පසු ඒ ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා යැයි විවිධ අවස්ථාවල ඊනියා විසඳුම් ඉන්දියාවෙන් ඉදිරිපත් කෙරිණි. ඉන්දු ලංකා ගිවිසුම හා ඒ මත පදනම් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊනියා විසඳුම් අතර වෙයි. අප අමතක නොකළ යුත්තක් නම් පසුගිය කාලයෙහි ඉන්දියාව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිර සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ බව ය. ඉන්දියාව නොදැනුවත්ව බටහිර රටවල් ඒ සම්බන්ධයෙන් කිසිවක් නො කළේ ය. අද ද එසේ ම ය. ජෙනීවා යෝජනා ඉන්දියාවේ සහභාගීත්වයෙන් කෙටුම්පත් කෙරී ඇති අතර ඒ යෝජනා සම්මත කර ගැනිම සඳහා ඉන්දියාව ආසියාතික රටවලට, විශේෂයෙන් ම දෙමල ජනයා යම් ප්‍රමාණයක් සිටින රටවලට බලපෑම් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතියි. මැලේසියාව හා මුරුෂියස් දුපත් එහි දී කැපී පෙනෙයි. එහෙත් බොහෝ ආසියාතික රටවල්, විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් ඉන්දියාවට ඇහුම්කන් නො දිණි. අද ඉන්දියාවට ඔවුන් සිතන ආකාරයේ නායකත්වයක් දකුණු ආසියාවේවත් නැත. ඉන්දියාව ආර්ථික අතින් දියුණු යැයි කීව ද මිසයිල තිබුණ ද දුර්වල රාජ්‍යයකි. බටහිර නොමැතිව ඉන්දියාවට පැවැත්මක් නැත. මෙරට දෙමළ ජනයා සිටින්නේ යැයි කියමින් අපේ කටයුතුවලට ඇඟිලි ගසන ඉන්දියාවට එහි බෞද්ධයන් සිටින බව පමණක් දැනට මතක් කරමු.

බටහිරට මෙන් ම ඉන්දියාවට ද අද අවශ්‍ය ලංකාව අස්ථායී කිරීමට ය. එයට හරස්ව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස චන්ද්‍රිකා නංගි (අක්කා) හෝ සූරතල් රනිල් මල්ලී හෝ නො වේ. අද බටහිරට මෙන් ම ඉන්දියාවට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැට්ටවීමට ය. ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ක්‍ෂෙත්‍ර චාරිකා ඒ සඳහා ය. උගත් පාඩම් කොමිසමේ යෝජනා හෝ දහතුනට එහා යන ඊනියා විසඳුමක් හෝ ක්‍රියාත්මක කීිරීම ආණ්ඩු සිය දිවි නසා ගැනීමකි. ආණ්ඩුවේ සිටින වමේ යැයි කියන තුන් බෑ ජටිල (මාක්ස්වාදය ද ජටාවකි. එකල මාක්ස්වාදය තිබිණි නම් එය ද බ්‍රහ්මජාල සූත්‍රයෙහි නම් කෙරෙනු ඇත) ඇමතිවරුන් ගේ කැමැත්ත සත පහකට මායිම් කළ යුතු නැත. ඔවුන් අද ඇමතිකම් දරන්නේ ඔවුන් විරුද්ධ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාට අනුපාත ක්‍රමය යටතේ ද තුනෙන් දෙකක ඡන්ද ලබාගත හැකි බව අපි කලකට පෙර පෙන්වා දුනිමු. ඒ සිංහල ඡන්දවලින් සියයට හැත්තෑපහකට වැඩි ඡන්දයක් ලබා ගැනීමෙනි. ඒ සඳහා සිංහලයන් එකතු කරන සටන්පාඨ අවශ්‍ය විය. අද බටහිර, ඉන්දියාව හා මාක්ස්වාදී තුන් බෑයන් ආදීන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා දෙමළ ජාතිවාදී ඉල්ලීම් ලබා ඉඩ දී ආණ්ඩුවට ඡන්දය දෙන සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කලකරවීමට ය. ඒ සමග කෙකරගාමින් ලවා තැන තැන සිද්ධි ඇතිකර මානව අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමින් ආණ්ඩුව පෙරළා දැමීම බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ උත්සාහය ය. මෙහි ඇති සරදම නම් එමගින් මාක්ස්වාදී තුන් බෑයන්ට ද ඇමතිකම් අහිමි වීම ය. තමන්ට අවශ්‍ය ඇමතිකම් නොව රටට සේවය කිරීමට යැයි මේ තුන් බෑ ජටිලයන් කීමට ඉඩ ඇත. එහෙත් ඒ බයිලා පමණ ය. තුන් බෑ ජටිලයන් දමනය කර ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිතුමාට අපහසු කාර්යයක් නො වේ.

ඒ සඳහා කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ ජනතාවට පිළිගත හැකි යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ය. ආණ්ඩුව විසින් පත්කළ පමණින් කොමිසමක යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව අමතක නොකළ යුතු ය. ඒ අතර දහතුන ධන සෘණ සම්පුර්ණයෙන් අමතක කිරීම ය. පළාත් සභා අසාර්ථක බව උගත් පාඩම් කොමිසම ද කියයි. ආණ්ඩුව එය හිතට ගත යුතු ය. අසාර්ථක වූවක් දිගට ම ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ය. මේ ජයවර්ධන ව්‍යවස්ථාව එහෙන් මෙහෙන් තළා පෙළා සකස් කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට කළ යුත්තේ මහින්ද චින්තනයෙහි ද සඳහන් ආකාරයට වෙනත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම ය. මහජනයාගේ වරමක් ද ලැබී ඇත්තේ එයට මිස ජයවර්ධන ව්‍යවස්ථාව අතනින් මෙතනින් සංශෝධනය කිරීමට නො වේ. මෙරටට ඔබින ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමේ දී අප අනුගමනය කළ යුත්තේ අපේ එක්සේසත් රාජ්‍යය. අවාසනාවකට මෙරට ඉතිහාසඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ රාජ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. එය ලංකාවට ම ආවේණික වූ රාජ්‍යයකි. අවශ්‍ය නම් නූතන වචන යොදා ගනිමින් එය ඒකීය රාජ්‍ය විශේෂයක් ලෙස හඳුනාගත හැකි ය. එහි දේශපාලනය මධ්‍යගත විය. එහෙත් පරිපාලනය උපරිම වශයෙන් විමධ්‍යගත විය. රාජ පුරුෂයෝ රජ අණ, එනම් රාජ්‍යයේ අණ ක්‍රියාත්මක කළ පිරිසක් වුහ. ඔවුහු එංගලන්තයේ මෙන් දරදඬු මධ්‍යගත පරිපාලනයකට අයත් පිරිසක් නොවුහ. ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැණුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ගම්සභාවලින්, වරිගසභාවලින් ආදියෙනි. මේ ගම්සභා හා රාජ සභාව අතර සම්බන්ධයක් නො වී ය. අද වචනවලින් කියන්නේ නම් ගම්සභාවල දේශපාලනඥයෝ නො වුහ. එකල ෆෙඩරල්වාදීන් වූ ඇතැම්හු අද අවස්ථාවාදීව ගම්සභා දේශපාලනඥයන්ට හිමිකර දීමට පිඹුරුපත් සැකසීම සිනහවට ලක්විය යුතු ය. ඒ අතර වර්තමාන පරිපාලන රටාව ද අනුගමනය කරමින් සංක්‍රමණීය පියවරක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවා ඒවාට ඇතැම් කාර්යයන් හිමි කර දිය හැකි ය. මේ දූිස්ත්‍රික්ක යථා කාලයේ දී සුද්දන්ගෙ මායිම් අනුව නොව භූගෝලීය, පාර්සරික, ඓතිහාසික හා සංස්කෘතික කරුණු පදනම් කරමින් රටවල් හා කෝරළ ලෙස (අටදහස් රට දොළොස්දහස් රට නුවර කලාවිය, පස්දුන් කෝරළය ආදී වශයෙන්) සකස් විය යුතු ය. දිස්ත්‍රික් සභාවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය හැකි ය. මේවා කළ නොහැකි කාර්යයන් යැයි කොටින් පැරදවීමට බැරි බව කී ජටිලයන් හා ඇංකරයන් පවසනු ඇත. එමෙන් ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් අපට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවණු ඇතැයි කියමින් ජනතාව බිය වැද්දීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. එහෙත් උගත් පාඩම් කොමිසමේ යෝජනා හා දහතුන ධන යනු අවසානයක් නොව තව තවත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට මග පෑදීමක් පමණකි. චෙල්වනායගම් ප්‍රතිපත්තිය වූයේ දැන් ටිකක් පසුව හුඟක්් යන්න ය. ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට එරෙහිව බටහිරයන් ආක්‍රමණය කළහොත් ජනතාව කිනම් අමාරුකම් මධ්‍යයෙහි වුවත් ජනාධිපතිතුමාට සහාය දෙන බව බටහිරයන්ටවත් ඔවුන්ගේ ගැත්තන්ටවත් නො වැටහෙයි.

බටහිරයන් මේ සියළු චන්ඩිකම් කරන්නේ දෙමළ ජාතිවාදය උපයෝගි කරගනිමිනි. දෙමළ ජාතිවාදය අද දේශපාලනික ව පවත්වාගෙන යනු ලබන්නේ් බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදය තවමත් වඩුකොඩෙයි යෝජනා අත්හැර දමා නැත. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, 1889 දී බෙදනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි බව ආදිය මෙන් ම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ද දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවසති. බටහිරයන් සිංහල ජනතාවට තමන් වරදක් කර ඇතැයි යන හැඟීම බටහිර ගැති කසිකබල් උගතුන් ලවා ඇතිකර ඇත. සිංහලයන් මේ බිය නැතිකර ගත යුතු ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වූවා නොව ඉංගිරිසින් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන ලබා නොදීමට දෙමළ ජාතිවාදය යොදාගෙන ඇත. මාස තුනකින් අවසන් වන දෙදහස් හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අඩු තරමෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට විරුද්ධ වන්නෝ සිටිත් ද? සාමාන්‍ය දෙමළ ජනයාට දහතුන්වැනි සංශෝධනයක් අවශ්‍ය නැත. දහතුන්වැනි සංශෝධනය යනු වඩුක්කොඩෙයි හා තිම්පු යෝජනාවලට තාවකාලික විකල්පයක් ලෙස බටහිර ආශිර්වාදය සහිතව ඉන්දියාව විසින් ජේ ආර් ලවා දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන ලද්දක් පමණ ය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් යනු බටහිරයන් අපට පෙන්වා දෙන ව්‍යාජයන් නොව ඔවුන්ගේ ජීවිත හින්දු හා බෞද්ධ ආකල්පවලට අනුව යහපත් මට්ටමකට ගෙන ඒම ය. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජ්ිතවාදී සංවර්ධනයක් ඔස්සේ පාරිභෝගික තණ්හාධික එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන තරගකාරී සමාජයක් ඇතිකිරීම නො වේ. අපි මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක් දෙමු.