Main Logo

Saturday 19 May 2012

සිංහල බෞද්ධයන්ගේ කරුමය

සිංහල බෞද්ධයන් තරම් අන්‍ය ආගමිකයන්ගේ ද ඊනියා බුද්ධිවාදීන්ගේ ද බටහිරයන්ගේ ද වෙනත් ඒ අයගේ ආවතේවකාරයන්ගේ ද අවඥාවට, විවේචනයට, දෝෂ දර්ශනයට ලක්වන තවත් පිරිසක් ලෝකයේ නැති තරම් ය. එයට පළමුවැනි වරදකරුවන් වනුයේ අන් කවරකුවත් නොව සිංහල බෞද්ධයන් ය. තවමත් අවසන් නැති අවුරුදු පන්සියයකට අධීක යටත්විජිත පාලනයකින් සිංහල බෞද්ධයන්ගේ පිටකොන්ද කඩා දමා ඇත. එහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙන්නේ ඉංගිරිසින් විසින් අපට දෙනු ලැබූ මැකෝලේගේ අධ්‍යාපනය ය. අදත් මෙරට බටහිර දැනුමේ ආධිපත්‍යය අප මත පැටවී ඇත. සිංහල බෞද්ධ බලයක් යනුවෙන් තබා සිංහල යනුවෙන් කිවහැකි අධ්‍යාපනයක් මෙරට නැත. අප කල්පනා කරන්නේ, නැත අප කතාකරන්නේ, ලියන්නේ බටහිරයන්ගේ යටත්විජිතවාදී දැනුමෙහි සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගනිමිනි. මෙරට තුට්ටු දෙකේ අනුකාරක විශ්වවිද්‍යාල මෙහි දී ප්‍රධාන තැනක් ගනියි. සුද්දන්ගේ (බටහිර යටත්විජ්තවාදීන්ගේ යන අරුතින්) කසිකබල් මත වැමෑරීම හැරෙන්නට මෙරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයක් කරන වෙනත් කාරියක් නැත. මෙරට සිංහල බෞද්ධ රටක් බව නොබියව කීමට ඉදිරිපත්වන්නේ මෙරට ජනතාවගෙන් කී දෙනකු ද? පඬියෝ ඒ පිරිසට ලිංමැඩියන්, අන්තවාදීන්, ජාතිවාදීන් ආදී නම් පටබඳිති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා සෑම පාසලක ම භාවනාකිරීම සඳහා වෙනම කාමරයක් තිබීමේ වැදගත්කම ගැන කතා කළේ ය. එයට කලකට පෙර මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධීපති වශයෙන් සේවය කරද්දී භාවනාකිරීම සඳහා කාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසු වෙන් කළෙමි. පීඨයේ අබෞද්ධ ගුරුවරුන්ගෙන් මෙන් ම ඊනියා බෞද්ධ විද්‍යාඥයන්ගෙන් ද එයට තදබල විරුද්ධතාවක් එල්ල විණි. ඒ සම්බන්ධයෙන් විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යන මැයෙන් දිවයින ඉරිදා සංග්‍රහයට ලිපියක් ලිවීමට ද මට සිදුවිය. කෙසේ වෙතත් අද භාවනා වැඩසටහනකට පංති කාමරයක් වෙන්කිරීමට වත්මන් බෞද්ධ පීඨාධිපතිවරයා අකමැති වෙයි. ඒ කතෝලික සිසුන්ට යාඥාකිරීමට ද පංති කාමරයක අවස්ථාව ලබා දී තිබිය දී ය. අද සිංහල බෞද්ධ දැනුමක් ගොඩනැගීමට විද්‍යාලංකාරයේ විද්‍යා පීඨයේ බටහිර විද්‍යාව කටගාගත් එහෙත් උපන්තේකට බටහිර විද්‍යා සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩනගා නැති ඊනියා බෞද්ධ ගුරුවරු ද විවිධාකාරයෙන් අකුල් හෙළති. අවශ්‍ය නම් මේ කරුණු සම්බන්ධයෙන් විවාදයකට එළඹීමට කැමැත්තෙමි.

පසුගිය දා දඹුල්ලේ ප්‍රජා භූමියේ හෝ ඒ සමීපයේ හෝ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යෑමට බෞද්ධයෝ විරුද්ධ වූහ. එයට නායකත්වය දුන් භික්‍ෂූන්වහන්සේ මේ අවස්ථාවේ කිනම් කරුණක් නිසා මැදිහත්විණි දැයි නො දනිමි. උන්වහන්සේ අතීතයේ දී ක්‍රියා කර ඇති ආකාරය හා අරමුණ කුමක් වුවත් මෙහි දී සිංහල මුස්ලිම් භේදයක් ඇතිකිරීමට ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි ප්‍රශ්න මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල ඇති නොවන්නේ ඇයි? එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ රටවල අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකිරීමේ දී ම නීතියෙන් බාධා පැමිණවීම ය. පඬියන් කියනු ඇත්තේ මුස්ලිම් රටවල් තිබුණ ද ක්‍රිස්තියානි රටවල් නැති බව ය. බටහිර ඇත්තේ ඓහික (අනාගමික) රටවල් බව ඔවුන් කියනු ඇත. ඒ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ සුද්දන්ගේ ප්‍රවාද පුනරුච්චාරණය කිරීම මිස අනෙකක් නො වේ. සුද්දන්ගේ දැනුම යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අධිපතිවාදී දැනුම බව පඬියන්ට පුන පුනා කියා දිය යුතුව ඇත. සුද්දන් විසින් සිංහල බෞද්ධයන් මේ දැනුමට බියකරනු ලැබ ඇත. එංගලන්තයේ රාජ්‍ය නායිකාව මෙන් ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි පල්ලියේ නායිකාව ද එලිසබෙත් වින්ඩ්සර් හෙවත් ඔවුන්ගේ රැජන ය. මුළු මහත් බටහිර සංස්කෘතිය ම යුදෙව් ක්‍රිස්තියානි වන අතර බටහිර දැනුම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වෙයි. ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට උපුටා දක්වනු ලබන එරික් ෆ්‍රොම් මහතා පවසන්නේ අද බටහිර ඇත්තේ කාර්මික ක්‍රිස්තියානියක් මිස ක්‍රිස්තියානියක් නොවන බව ය. එහෙත් ඒ එසේ නො වේ. බටහිර ක්‍රිස්තියානි නිකායන් බිහිවූයේ ඊනියා පුනරුදයෙන් පසුව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ය. අද බටහිර පවත්නේ ඒ චින්තනයෙහි බිහිවුණු මාටින් ලූතර්, කැල්වින් ආදීන්ගේ ක්‍රිස්තියානියේ විකාශයක් මිස ඊනියා කාර්මික ක්‍රිස්තියානියක් නො වේ.

දඹුල්ලට අමතරව කූරගල ද නගෙනහිර පළාතේ ද සිංහල බෞද්ධ උරුමයට පහර එල්ල වෙමින් ඇත. කූරගල ප්‍රශ්නය තාවකාලිකව පසුගිය දා උසාවියෙන් විසඳුණි. මඩකලපුවේ භික්‍ෂූන් වහන්සේ නමකට එක්තරා දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් විසින් පහර දෙනු ලැබිණි යැයි පසුගිය දා වාර්තා විණි. උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ අයකු නැත. එහි දී බෞද්ධයන්ට විරුද්ධව අවි අමෝරාගෙන සටන් වදින, බටහිර රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මුනිවත රැක්කේ ය. යම් අයුරකින් අන්‍යාගමික පූජකවරයකුට සිංහල බෞද්ධයන් විසින් පහර දෙනු ලැබිණි නම් කුමක් සිදුවිය හැකිව තිබිණි ද? මේ සිංහල බෞද්ධ රටේ මෙසේ සිදුවන්නේ කුමක් නිසා ද? බටහිරයන් අපට කියන්නේ සිංහල බෞද්ධයන් අන්‍යයන්ට අසාධාරණකම් කරන බව ය. එහෙත් සුළුතර ජනවර්ගවලට මෙරට තරම් වරප්‍රසාද හිමි වී ඇති රටක් තවත් නැත. බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකර සිල් රුකිය යුතු පිරිසක් යැයි බටහිර සුදු පඬුවෝ හා ඔවුන්ගේ මෙරට හෙංචයියලා හා හෙංචක්කලා අපට කියති. අපිදු ගැමුණු කුමරු අමතක කර සිල් රැකීමට යමු.

සිංහලයෝ කිසිවකුට කිසි දා යටත් නොවුහ. ඒ අපේ සංස්කෘතියෙහි හා ජානවල ඇති යක්‍ෂ හා නාග උරුමය නිසා සිදුවූවකි. අවසානයේ දී 1815 දී අපි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි ප්‍රධාන බලකොටුවක් වූ කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙහි උගත් ඩොයිලිගේ ගිවිසුමට රැවටී සුද්දන්ට රටකරවීම භාර කළෙමු. සිංහලයෝ් යුද්ධයෙහි හා වෙනත් ශිල්පවල දක්‍ෂයන් වුවත් ගිවිසුම් සම්බන්ධයෙන් රැවටෙති. අපි පෘතුගීසීන්ට මුළා වී ඊනියා ගෙරිහමක ප්‍රමාණයට කොළඹ ලබා දුන්නෙමු. 1776 දී ලන්දේසීන් සමග නැගෙනහිර පළාත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කර අමාරුවේ වැටුනෙමු. ඉන්දු ලංකා ගිවිසුම තවමත් අප පාලනය කරයි. ඒක පාර්ශිකව ඉන්දු ලංකා ගිවිසුම අහෝසි කළ හැකි දැයි සොයා බැලිය යුතු ය. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් ද අගය කරන සුද්න්ගේ ඊනියා ජාත්‍යන්තර නීති, එක්සත් ජාතින්ගේ ඊනියා ප්‍රඥප්ති එහි දී අපට හරහට සිටිනු නො අනුමාන ය. ගෙරිමස් කන සුද්දන්ගේ ගෙරිහම් මෙන් ම ඔවුන්ගේ ගෙරිදැනුම ද අවශ්‍ය පරිදි ප්‍රතික්‍ෂෙප කිරීමට අප පසුබට විය යුතු නො වේ. අප 1815 සිට පරදින්නේ සුද්දන්ගේ ගිවිසුම්වලට හා කසිකබල් එහෙත් දේශපාලන ආධිපත්‍යය නිසා රැකෙන බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට ය. මැකෝලේගේ දරුවෝ ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඒ කෙසේ වෙතත් 1815 ගිවිසුම එංගලන්තයේ රජු හා සිංහල නායකයන් අතර සමානත්වතාව පදනම් කරගෙන ඇතිවූවකි. එය ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර වූ ගිවිසුමක් නො වේ. සිංහල නායකයන් ඒ ගිවිසුම අත්සන් කළේ බ්‍රවුන්රිග් හා ඩොයිලි බුද්ධාගම රැකීමටත් සිංහල නීතිය අනුව රට කරවීමටත් පොරොන්දු වූ බැවිනි. එංගලන්ත පාර්ලිමේන්තුවේ එයට විරුද්ධත්වයක් ඇතිවූයේ ක්‍රිස්තියානි රජුට ඊනියා මිථ්‍යාදෘෂ්ටික ආගමක් රැකීමට සිදුවීම නිසා මිස ගිවිසුමෙන් අන්‍යාගම්වලට අසාධාරණයක් වේය යන හේතුවක් නිසා නො වේ. අද අපට එහි වැදගත්කම ඇත්තේ මේ ගිවිසුම මත පදනම් ව දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැනවූ “නීතියක්” හේතුකොටගෙන ය. එයට අනුව අන්‍යාගමික සිද්ධස්ථානයක් ගොඩනැගීමේ දී ඒ සඳහා ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු ය. ඒ නීතිය අදත් වලංගුවන අතර බෞද්ධ සිද්ධස්ථාන සඳහා අදාළ නො වේ. මේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් දඹුල්ලේ හෝ කූරගල හෝ මුහුදු මහා විහාරයේ හෝ ලංකාවේ වෙනත් කිසිම තැනක හෝ අනවශ්‍ය සිද්ධි ඇති නොවනු ඇත. අද කළ යුත්තේ මේ නීතිය වහාම ක්‍රියාත්මක කිරීම ය. එය ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු යැයි අප කියන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන් බොහෝ දෙනකු චන්ද්‍රිකාගේ ඇමතිවරුන් වීමත් සුද්දන්ගේ දැනුමට ආවඩන්නන් නිසාත් ය.

සිංහල බෞද්ධයන්ගේ කරුමය සුද්න්ගේ (බටහිර ක්‍රිස්තියානි යටත්විජ්තවාදීන්ගේ මිස ඇතැම් නිවට පුහු පඬියන් සිතන ආකාරයට පාරේ යන ඕනෑම සුද්දකුගේ නො වේ. බටහිර රටවල සුදු හිඟන්නෝ ද වෙති) දැනුමට ඇති බය ය. මේ බය නැතිකිරීමට ධර්මපාලතුමා කී දෙයක් සංශෝධනය කරමින් බටහිර මහා බුද්ධිමතුන් යැයි කියන්නන්ගේ පඹයන් තනා ඒවාට පහර දීය යුතු ය. පඬියන් මෙයට විරුද්ධව මැසිවිලි නගනු ඇත. එහෙත් පඬියෝ පඹයෝ ම වෙති. අවාසනාවකට මෙරට මැති ඇමතිවරු ද සුද්දන්ගේ දැනුමට බිය වෙති. එංගලන්තය පැහැදිලිව ම ක්‍රිස්තියානි රටක් වුව ද එහි රාජ්‍ය සංකේත මගින් ක්‍රිස්තියානි නොවන ආගම් හෝ ඇග්ලො සැක්සන් නොවන ජනවර්ග නියෝජනය නොවුණ ද අප සිංහල බෞද්ධ රටක් යැයි කීම තහනම් ය. බටහිර රටවල ඊනියා බහුසංස්කෘතියක් නැත. එහි ක්‍රිස්තියානි සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතිය වෙයි. එංගලන්තයේ, ප්‍රංශයේ ඕස්ටේ‍රිලියාවේ මුස්ලිම් කාන්තාවන් පර්දාව ඇඳීමට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්විණි. ඇතැම් රටවල එසේ ඇඳීම තහනම් ය. මුස්ලිම් රටවල හෝ ක්‍රිස්තියානි රටවල හෝ පල්ලි මිස අන්‍යාගමික සිද්ධස්ථාන දැකිය හැක්කේ කලාතුරකිනි. එහෙත් ලංකාවේ හතර දිග්භාගයේ ම ආගම් හතරක සිද්ධස්ථාන දැකිය හැකි ය. ඒ ආගම්වවල වැදගත් දිනවල ලංකාවේ නිවාඩු ලබා දී ඇත. එංගලන්තයේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක වෙසක් දා අඩුම තරමෙන් බෞද්ධයනට නිවාඩු ලැබිණි ද? ඒ රටවල බෞද්ධයන්ට වෙසක් උදාවන්නේ වෙසක් පෝයට පසුව එන ඉරිදා ය. එහෙත් අපි සුද්දන්ගේ හා ඔවුන්ගේ හෙංචයියන් හා හෙංචක්කලා වූ පඬියන්ගේ දැනුමට යටත්ව බැට කන්නේ ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයක් පැවැත්වීම සම්බන්ධයෙනි. අප බැටකෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදේශ අමාත්‍යාංශය ය. අප ලවා තව තවත් බටහිරයන්ට හිස නැම්මවීමට අද විදේශ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙයි. ජෙනීවා හි අප තානාපති ව සිටි දයාන් ජයතිලක වැන්නන්ට වඩා ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කල තමරා කුණනායගම් මහත්මිය එතැනින් මාරුකර යවන්නේ බටහිර ගැති විදේශ ඇමතිගේ හා ලංඩනයේ මහා කොමසාරිස් ලෙස කටයුතු කළ එවැනි ම වූ ගැත්තියකගේ අවශ්‍යතාව පරිදි ද? සියළු ආකාරවල පඬියෝ තමන් බටහිර ක්‍රිස්තියානි දැනුමෙහි දාසයන් බව නො දනිත් ද? ඔවුහු නිවටයෝ වෙති. මේ නිවටයන් නිසා මුළු මහත් ජාතියක් සුද්දන්ට හා ඔවුන්ගේ දැනුමට හිස නැමිය යුූතු ද? අප මේ කරුමය වහා අහෝසි කර්මයක් කළ යුතු ය.