Main Logo

Friday 23 November 2012

දහතුන අහෝසි කරමු

බමුණු කුලය පැරදවීම පහසු කාර්යයක් නො වේ. අද බොහෝ ප්‍රශ්නවලට මුල මේ බමුණු කුලය ය. බටහිර අධ්‍යාපනයක් ලබා සමාජයේ ඉහළ යැයි සම්මත විවිධ ස්ථරවලට එකතු වී ඇති මොවුහු දැනුම්වත් ව හෝ නොමැතිව හෝ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය හා බටහිර ඒජන්තයන් විසින් විවිධ කටයුතු සඳහා මෙහෙයවනු ලැබෙති. සරසවි ඇදුරන් මේ බමුණු කුලයේ විවිධ තැන්වල ස්ථානගත වී ඇත. ඔවුන්ගේ ව්‍යාජ ඉල්ලීම් මත පදනම් ව ඔවුන් ලවා කෙරුණු අර ඩේ මේ ඩේ ෆෝරම්කාරයන් ඇතුලු ඉහළ බමුණු කුලයේ ජනතා සහායක් නොලැබූ ආණ්ඩු විරෝධී අරගලය තේරුම් ගැනීමෙන් පසුව ආණ්ඩුව කිසිවක් ලබා නොදී ඇදුරන් ආපසු සරසවිවලට යැවී යැයි සිතිය හැකි ය. ඉහළ බමුණු කුලය වර්ජනය නැවැත්වීමට විරුද්ධ බව ද පැහැදිලි ය. අයවැයෙන් අනෙක් රජයේ හා සංස්ථාවලට දෙන දීමනා හැරෙන්නට වෙනත් දීමනා ඔවුන්ට නො ලැබෙන බව කිව හැකි ය. ආණ්ඩුව ඇදුරන් පිළිබඳ ව කලකට පසු දැඩි ස්ථාවරයකට එළඹීම පිළිබඳ ව බමුණු කුලයෙන් පිටත සිටින අයට සතුටු විය හැකි ය. 6% පුස්සක් බවත් පණ්ඩිතමානී ව්‍යාජ ඉල්ලීමක් බවත් බමුණන්ට හැරෙන්නට අනෙක් අයට අවබෝධ වී ඇත. එහෙත් ඇදුරන් කියන්නේ ඔවුන්ගේ තකතීරු ඉල්ලීම සමාජගත වී ඇති බව ය. එය සමාජගත වී ඇති බව සැබෑ ය. එය පුස්සක් ලෙස සමාජගත වී ඇත. බටහිර අධ්‍යාපනයෙන් මුසපත් වී ඇති බමුණන් හැර අනෙක් අය පුස්ස හඳුනාගත්හ. අද රටට බලපාන තවත් ප්‍රශ්නයකට ද මුල බටහිර විද්‍යාවට වන්දනාමාන කරන තකතීරු බටහිර විද්‍යාඥයන් ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම නාථ දෙවියන් හා විපස්සක දෙවියන් නමින් හැඳින්වෙන්නන්ගේ මාර්ගයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් එකතුවන ආසනික් බවත් එහෙත් ආසනික් නිසා ම වකුගඩු රෝගය නොසෑදෙන බවත් එයට කිවුල් ජලය හා කුඹුරු පස ද තිබීම අවශ්‍ය බවත් රටට ප්‍රකාශ කර කලක් ගත වී ඇත. ඒ පිළිබඳ ව පසුව බටහිර විද්‍යාවට අනුකුලව පර්යේෂණ කර අවස්ථා කිහිපයක දී ම කෘෂිරසායනික ද්‍රව්‍යවල ආසනික් ඇති බව හෙළි කෙරී ඇත. එහෙත් තම පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියාකරන ඇතැම් ඇදුරෝ එකී ද්‍රව්‍යවල ආසනික් නැතැයි පුන පුනා කියති. බටහිර විද්‍යාව ගැන දන්නා ඇතැම් ඇමතිවරු ද බටහිර විද්‍යාවට වන්දනාමාන කරන එහෙත් ඒ ගැන කිසිම අවබෝධයක් නැති ඇතැම් ඇමතිවරු ද අප වැරදි යැයි කියති. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ආසනික් පිළිබඳ ව රටට හෙළිකළ ආචාර්යවරුන්ට බටහිර විද්‍යාව කටගාගත් එහෙත් එහි දර්ශනය පිළිබඳ කිසිවක් නොදත් බමුණු කුලයේ ඇතැම්හු හිරිහැර කරතිෂ හැකි නම් ආසනික් කණ්ඩායම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පිඹුරුපත් සකස් කරති. කෙසේ වෙතත් ආසනික් හැරෙන්නට ආවර්තතා වගුවේ අනෙක් හැම මූල ද්‍රව්‍යයක් ම වකුගඩු රෝගයට හේතුව යැයි කියන මේ ඇදුරෝ අද කෘෂිරසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්ගේ ඒජන්තයන් බවට පත් වී සිටිති. ඔවුහු කෘෂිරසායනික ද්‍රව්‍ය ගෙන්වන්නන් සමග එකතු වී ආසනික් හෙළිදරවු කළ කණ්ඩායමට ආරාධනා නොකර ඕස්ටේ‍ර්ලියාවෙන් හා ජපානයෙන් ඊනියා විද්්වතුන් ගෙන්වා ගන්නොරුවේ හා වෙනත් තැන්වල ඒකපාක්‍ෂික සම්මන්ත්‍රණ පවත්වා ආසනික් කතාව බොරු යැයි කීමට උත්සාහ දරති. මේ ඒජන්තයන්ගෙන් කී දෙනෙක් ඇදුරන්ගේ වර්ජනයේ දී බමුණු කුලයේ සාමාජිකයන් ලෙස වර්ජනයට සහභාගි වූවෝ ද? මා දන්නා තරමින් ඔවුන්ගෙන් කිසිවෙක් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පුස්ස බිඳීමට ඉදිරිපත් නො වු හ. කොන්ද පණ නැති මේ බමුණෝ හා බැමිණියෝ ඇමතිවරුන්ට සමීප වෙමින් ඉච්චා බස් දොඩමින් බමුණු හිණිමඟේ ඉහළට යෑමට උත්සාහ දරති. මේ අතර ඇතැම් පඬියෝ අප වකුගඩු රෝගයට එකම හේතුව ආසනික් යැයි කී බවක් පවසා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා වෙනත් පළාත්වල වකුගඩු රෝගය නැත්තේ ඇයි දැයි අපෙන් අසති. ඔවුන්ගේ නිල් කණ්නාඩිවලට අප වකුගඩු රෝගයට තවත් හේතු දෙකක් ඇති බව කියා ඇති බව, ලියා ඇති බව නො පෙනෙයි. ඔවුහු ද අවසාන වශයෙන් ගත්කල බමුණෝ ම වෙති. මේ බමුණන්ට හා බැමිණියන්ට බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ නමින් පළ වී ඇති පොතෙහි සඳහන් කරුණු ගැන විවාදයකට ආරාධනය කරමු.

මේ බමුණු කුලයේ ඇත්තන් ගැන තවදුරටත් කතාකිරීම අවශ්‍ය නමුත් අවුරුදු විසිපහක් තිස්සේ ජාතියට තර්ජනයක්ව පවතින පළාත් සභා හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන අද කතාකිරීමට අවශ්‍ය වෙයි. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි දහතුන්වැනි ව්‍යවස්ථාව බටහිරයන්ගේ ද අනුග්‍රහය ඇතිව ඉන්දියාව විසින් තර්ජනයෙන් හා ගර්ජනයෙන් පරිප්පු දේශපාලනයක් ඔස්සේ අප මත බලහත්කාරයෙන් පටවන ලද්දකි. ඉන්දියාවට එරෙහිව ඇමරිකාව තමන්ට ආධාර කරනු ඇතැයි ජේ ආර් ජයවර්ධන බලාපොරොත්තු වුව ද එය ඉටු නො වී ය. රජිව් ගාන්ධි මෙරටට විශේෂයෙන් පැමිණ අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ තමන් මෙරට යුවරජු යැයි සිතා සිටි දික්සිත් නම් උද්ධච්ච තානාපතිවරයාගේ ද ආධාරයෙනි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කුණු කූඩයට දැමිය යුතුව තිබූ ඉන්දු ලංකා ගිවිසුම මත පදනම් විය. එදා ද බමුණු කුලය ඒ ගිවිසුම සමග සිටි බවත් ගිවිසුම වෙනුවෙන් පෙත්සන් අත්සන් කළ බවත් ලිපි ලියූ බවත් අමතක නොකළ යුතු ය. එදා භාරතයේ බමුණෝ බුදුන්වහන්සේටත් බුදුදහමටත් විරුද්ධ වූහ. අද මෙරට බමුණෝ රට යටත්විජිතයක් බවට පත්කර සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ක්‍රියාකරති. භාරතයේ සාම්ප්‍රදායික බමුණු කුලයේ රජිව් ගාන්ධිට මෙරට වත්මන් බමුණන් බෞද්ධ සංස්කෘතියට එරෙහිව එකතුවීම කිසිසේත් ම අහම්බයක් නො වේ. එදත් අදත් බමුණන් වැඩකරන්නේ බෞද්ධයන්ට හා බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය.

ජේ ආර් ජයවර්ධන අවසානයේ දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ හමුදා ආරක්‍ෂාව යටතේ මන්ත්‍රීවරුන් කොළඹ හෝටලයක සිට පාර්ලිමේන්තුවට රැගෙන යෑමෙනි. එයට විරුද්ධ ව සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වූ බවත් ආණ්ඩූවට ඇඳිරි නීති පැනවීමට සිදු වූ බවත් අද ආණ්ඩුවේ සිටින කුමාර් රූපසිංහගේ ජනවේගකාරයන් ඇතුලු ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික ඇමතිවරුන්ට ද මතක්කර දිය යුතුව ඇත්තේ ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂයට, ම එ පෙරමුණට, ජ වි පෙරමුණට ඉන් කැඩී ගිය ජා නි පෙරමුණට මෙන් ම ජාතික හෙළ උරුමයට ද දහතුනට විරුද්ධ වීමට නියමිත ව ඇති බව සඳහන්කිරීමට ය. ජනවේගකාරයන්ට අවශ්‍ය නම් දහතුන ආරක්‍ෂාකරගැනීමට කියමු. එහෙත් ඔවුන්ට මන්ත්‍රීධුර ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ල නි පක්‍ෂය ඉඩදිය යුතු නො වේ. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට තර්ජනයකි. බමුණන් කියනු ඇත්තේ අපට ඒකීය රාජ්‍යය හිමිවූයේ ඉංගිරිසින්ගෙන් බව ය. එහෙත් බමුණන් නොදන්නා කරුණ නම් එක්සේසත් රාජ්‍යය මෙරට අනාදිමත් කාලයක සිට ඇති බවත් ඒ රාජ්‍යය අද බටහිරයන්ගේ වහර අනුව වුවත් ඒකීය රාජ්‍යයක ප්‍රභේදයක් බවත් ය. අවුරුදු විසිපහකට පෙර ද දහතුනේ ඇති ආදීනව අපි පෙන්වා දුනිමු. එකල ආරම්භ කළ කාලය සඟරාව අද වෙබ් අඩවියක් ලෙස පමණක් පවත්වාගෙන යන නමුත් චින්තන පර්ෂදය ඒ ඔස්සේ දහතුන මගින් ජනතා පරමාධිපත්‍යය නැතිවන බව පැහැදිලි කර දුන්නේ ය. එදා කී දේ අද අත්දැකීම් ඔස්සේ තහවුරූ වී ඇත. දිවිනැගුම පනත සම්මත කරගැනීමට නම් එයට පළාත්සභාවල ද අනුමැතිය තිබිය යුතු බව භ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. මෙයින් සිදුවන්නේ පාර්ලිමේන්තුවට මුළු රටට ම බලපාන පරිදි පනත් සම්මත කර ගැනීමට තිබූ තනි අයිතිය නැතිවීම ය. පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වුවත් එය රටේ නිතිය බවට පත්වීම වැළැක්වීමට තනි පළාත්සභාවකට හැකි ය. අද රටේ සියලු පළාත්සභාවල බලය ආණ්ඩු පක්‍ෂයට වෙයි. එහෙත් එය එසේ නොවන දිනයක් ද තිබිය හැකි ය. දිවිනැගුම පනත කාගේත් ඇස් හරවන නරක පූර්වාදර්ශයක් සපයයි. පාර්ලිමේන්තුවේ බලය සීමිත බවත් පාර්ලිමේන්තුව ඔස්සේ ක්‍රියාත්මක වන ජනතා පරමාධිපත්‍යයේ තටු කපා ඇති බවත් පැහැදිලි ය. එදා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට යොමු කළ අවස්ථාවේ දී අධිකරණයේ විනිසුරුවෝ හතරදෙනෙක් පනත ව්‍යවස්ථාවට එකඟ නොවන බවට තීන්දු කළහ. පනත ව්‍යවස්ථාවට එකඟ බවට තීන්දුවක් දුන්නේ ද විනිසුරුවන් හතරදෙනකු පමණ ය. එක් විනිසූරුවෙක් එක් පැත්තකටවත් එකඟ නොවී තින්දුවක් දුන්නේ ය. ඉතා පැහැදිලිව ම ශ්‍රෙෂ්ඨාධිකරණය වැඩි ඡන්දයකින් පනත ව්‍යවස්ථාවට එකඟ බවක් නො කීවේ ය. එහෙත් ජයවර්ධන ඉතා කපටි ලෙස ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි එක් පැත්තකටවත් පක්‍ෂව තීන්දුවක් නොදුන් විනිසුරුවරයාගේ තීරණය ද පනත ව්‍යවස්ථාවට එකඟ යැයි කී තීරණයක් ලෙස පෙන්නුම් කරමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එබැවින් පනතේ නීත්‍යානුකූල බව පිළිබඳව ම ප්‍රශ්න ඇති බව වනසුන්දර විනිශ්චයකාරතුමා පෙන්වා දී ඇත. දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පැහැදිලි වන්නේ රටේ ස්වෛරීභාවයට හා ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අහෝසි කළ යුතු බව ය. මේ බව අප සැප්තැම්බර් 26 වැනි දා “දි අයිලන්ඩ්” පුවත්පතට සැපයූ ලිපියකින් පැහැදිලිවම කියා ඇත. ඒ ලිපිය බොහෝ දෙනා අමතක කළ ද අද ප්‍රශ්නයේ බැරූරුම්කම යම් පිරිසකට අවබෝධ වී ඇත. දහතුන අහෝසි කළ යුතුව තිබුණේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ විගස ම යැයි අප කියා ඇත්තේ ද ඇතැමුන් මෙන් අද ඊයේ නො වේ. එදා ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමට බාධා තිබෙන්නට ඇත. එහෙත් අද එසේ නො වේ. ආණ්ඩු පක්‍ෂයේ කිහිප දෙනකු ඡන්දය නොදී සිටිය ද අද ආණ්ඩුවට තුනෙන් දෙකේ ඡන්දය ලබාගැනීමේ හැකියාව ඇත. අද දිවිනැගුම පනත ඔස්සේ ආණ්ඩුවටත් ජනතාවටත් ප්‍රායෝගික අත්දැකීමක් ලැබී ඇත. ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යය හා පාර්ලිමේන්තුවට මුළු රටටම බලපාන අයුරින් බාධාවකින් තොරව පනත් සම්මත කිරීමට තිබිය යුතු අයිතිය තහවුරු කරමින් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට වහාම පියවර ගත යුතු ය.

දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති සරත් ෆොන්සේකාගේ කටයුතු ගැන කතාකිරීමට තරම් දෙයක් නොමැති වුව ද දහඅටවැනි දා පවත්වන ලද එක්සත් භික්‍ෂු පෙරමුණ විසින් සංවිධානය කරන ලදැයි කියන රැස්වීම ගැන කෙටි සටහනක් කළ යුතුව ඇත. අද මෙරට ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. එහි දී ව්‍යාජ සිංහල බෞද්ධ බලවේගයක්වත් ගොඩ නොනගා විජාතික බලවේගවලට සටනක් කළ නොහැකි ය. මේ සජිත්, සෝභිත හිමි ආදීන්ට ගොඩ නැගීමට නොහැකි වූ ව්‍යාජය නැවත සරත් ෆොන්සේකා ලවා ගොඩනැගීමට බමුණන්, විජාතික බලවේග කරන අසාර්ථකවන උත්සාහයක් පමණකි.