Main Logo

Sunday 26 May 2013

මේ සිංහල බෞද්ධ රටයි

මේ වෙසක් සතියයි. ඉංගිරිසින් ලංකාව සටකපට ආකාරයෙන් යටත් කරගැනීමෙන් පසුව ඇති වූ වෘත්තීය සමිති ඉතිහාසයේ අසාර්ථක ම වැඩ වර්ජනයෙන් පසු වැඩ වර්ජනය මෙහෙයවූවෝ වෙසක් සතියෙන් පසු රටම අඩපණ කිරීමට වහසිබස් දොඩති. (මේ වහසිබස් ද වාසි බස් ද යන්න වෙන ම කතාවකි)  ඊනියා කම්කරු පංති විප්ලවය යනු මාක්ස් ගෙතූ කතාවේ මනෝ විකාරයක් පමණක් බව, තම බලාපොරොත්තුවේ සුසුමක් පමණක් බව මාක්ස්වාදය අබිං වූ ඊනියා කම්කරු පංති නායකයන්ට නො තේරෙයි.  මෙරට පමණක් නොව ලෝකයේ ම අසාධාරණයට ලක් වූවෝ වෙති. ඔවුන්ට සාධාරණය ඉටුකළ යුතු ය. ඔවුන්ට යහපතක් ඉටු කළ යුතු ය. ඔවුන් වෙනුවෙන් ඊනියා සටන් කරන්නෝ ද වෙති. විදුලි බිල ගෙවීමට නොහැකි අය වෙනුවෙන් වැඩියෙන් ම සටන් කළෝ ඉතා මෑතක දී රුපියල් ලක්‍ෂ හතළිහ පනහ ගෙවා බලපත්‍රවලට මෝටර් රථ ආනයනය කළ මාසයකට සාමාන්‍ය පුරවැසියකුගේ විදුලි බිල මෙන් විසිතිස් ගුණයක් ඉන්ධන බිල ගෙවන සරසවි ඇදුරෝ වෙති. වර්ජනයේ දී ඇතැම් ඇදුරන් තම පංතිය පැවැත්වීම කණිෂ්ඨයකුට පවරා තමන් පංතිය පැවැත්වූ මෙන් ම නොපැවැත්වූ ගණයට අයත්වීමට කටයුතු කළ බව ද රහසක් නො වේ. සිංහල බෞද්ධ චින්තනයෙහි න්‍යාය (ලොජික්) චතුස්කෝටිකය බැවින් එවැනි දේ සිදුවීම එතරම් අරුමයක් නො වේ. ඊනියා වෘත්තීය සමිති නායකයන්, සරසවි ඇදුරන් ආදීන් කෙතරම් මාක්ස්වාදීන් ලිබරල්වාදීන් ආදී වශයෙන් ගිරවුන් වීමට තැත්කළ ද ඔවුන් ජීවත්වන්නේ සිංහල බෞද්ධ චින්තනයෙහි න්‍යායට එකඟව ය.  මොවුන්ගෙන් අති විශාල බහුතරය මේ රට සිංහල බෞද්ධ රට යැයි කීමට විරුද්ධ වෙති. මේ සිංහල අපගෙ රටයි යන ගීය එක්තරා සුප්‍රසිද්ධ ගායිකාවක විසින් අකුළා ගනු ලැබුයේ මොවුන්ගේ වඳ පීදුණු මාක්ස්වාදී කසිකබල් සාහිත්‍ය විචාරය හේතුකොටගෙන ය. මේ කසිකබල් සාහිත්‍ය විචාරය හේතුකොටගෙන එකදු සම්භාව්‍ය කෘතියක් මෙරට බිහි වී ඇත් ද? සාහිත්‍ය විචාරයක අගය මනින මිනුම් දණ්ඩ විය යුත්තේ කුමක් ද? ඒ විචාරයට උසස් කෘතියක් බිහිකරවීමට නොහැකි නම් එය අඩිය පොළොවේ හප්පා බටහිරයකුගේ අදහස් පුනරුච්චාරණය කිරීම පමණක් නම් එයින් බලාපොරොත්තු වන්නේ පොරවල් පමණක් වීම නො වේ ද?   සම්භාව්‍ය කෘති යනු බටහිරයන් විසින් අගය කෙරෙන සිංහල බෞද්ධ විරෝධී කසිකබල් සිනමා කෘති වැනි දේ නොවන බව අමුතුවෙන් කිවයුතු නො වේ. ඒ කෙසේ වෙතත් අපි මේ වෙසක් සතියේත් ඉන් පසුවත් ඔවුන්ට මෛත්‍රී කරමු.

අප රට සිංහල බෞද්ධ රට වනුයේ මෙරට අයත්වනුයේ සිංහල බෞද්ධයනට පමණක් ය යන අර්ථයෙන් නො වේ. මෙරට තම රට ලෙස සලකන, මේ රට ආරක්‍ෂා කිරීමට කටයුතු කරන, මෙරට ඉතිහාසය තමන්ගේ ඉතිහාසය ලෙස සලකන, මෙරට සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින සහ තවත් එවැනි නිර්ණායකවලට අනුකූලව ජීවත්වන සියල්ලන්ට මේ රට අයිති ය. මෙරට ඉතිහාසය කවදා ඇරඹිණි දැයි කීමට මම නො දනිමි. එහෙත් මා දන්නා කරුණ නම් මෙරට ඉතා ආදී කාලයේ යක්‍ෂ. රාක්‍ෂස, නාග දේව යනුවෙන් ගෝත්‍රවලට අයත් ජනයා ජීවත් වූ බව ය. මෙහි ගෝත්‍ර යන්න යෙදෙන්නේ බටහිරයන්ගේ ට්‍රයිබ්ස් යන වචනයේ පරිවර්තනයක් ලෙස නො වේ. මෙරට ගෝත්‍ර බටහිරයන්ගේ අප්‍රිකානු ගෝත්‍රවලට වෙනස් ය. අපේ ගෝත්‍රවලට රාජ්‍ය තිබිණි. එහි රජවරු සිටියහ. (අපට ගෝත්‍ර තිබුණේ බටහිරයන් අප රටවලට පැමිණීමට පෙර ය. සිදුහත් කුමරු අයත් වූයේ ගෞතම ගෝත්‍රයට ය.) මෙරට තිබූ ගෝත්‍ර දෙස බෑලිය යුත්තේ බටහිරයන්ගේ ගෝත්‍ර සංකල්පයෙන් නොවන බව විශ්වවවිද්‍යාලවල ඉතිහාසය උගන්වන්නන්ට නොවැටහීම පුදුමයක් නො වේ. මෙරට තිබූ ගෝත්‍ර දඹදිවින් පැමිණි අර්ධ වෛදිකයන් සමග මිශ්‍ර වී සිංහල ජාතිය ගොඩනැගුණු බවට සාක්‍ෂි ඇත. මෙය පණ්ඩුකාභය කාලයේ දී සිදු වූ බව පිළිගැනෙයි. ඉංගිරිසි ජාතිය ගොඩනැගුණේ විලියම්ගේ 1066 නෝමන් ආක්‍රමණයෙන් එංගලන්තයේ වාසය කළ ඇංග්ලො සැක්සන්වරුන් හේස්ටිංග්ස් සටනින් පරාජය කිරීමෙන් පසුව බව පිළිගන්නා මෙරට බටහිර කසිකබල් විශ්වවිද්‍යාලයීය ඉතිහාසඥයන්ට පණ්ඩුකාභය කතාව පිළිගැනීමට නොහැක්කේ ඔවුන්ගේ නිවටකම නිසා ය. පොරවල් වීමට දඟලන මේ පුස්සන්ට ඒ සඳහා ඇති එකම මාර්ගය සිංහල බෞද්ධයනට නිග්‍රහ කිරීම සහ සිංහලයන්ගේ ඉතිහාසය මිථ්‍යාවක් ලෙස සැලකීම ය. මා ජාතිකත්වය අනුව කතාකළ වරදට අද ඊනියා උපදේශකවරයකු වී සිටින අයකුගේ ප්‍රධානත්වයෙන් මට විරුද්ධව බොරු චෝදනා නගා (මේ චෝදනා බොරු බව උසාවියේ දී ඔප්පු විය) මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස්කිරීමට නම් පුස්සෝ කටයුතු කළහ.

අප සිංහල ජාතිය බවට පත්වීමේ දී හා ඉන්පසුව මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන්ට විශාල අසාධාරණයක් වී ඇති බව පෙනෙයි. එහෙත් අපේ සංස්කෘතියෙන් ඉතා විශාල කොටසක් අපට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ උරුම වූ දේ ය. ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මණින් යක්‍ෂ ගෝත්‍රිකයන්ට මෙරට ඉතිහාසයේ හිමි විය යුතු තැන ලබාදීමට කටයුතු කළ යුතු යැයි සිතමි. අද යක්‍ෂ ගෝත්‍රිකයන් යනුවෙන් පිරිසක් නොමැතිවීම මෙහි දී ප්‍රශ්නයක් නොවිය යුතු ය. පණ්ඩුකාභය රජු යක්‍ෂ ගෝත්‍රිකයන්ට නිසි තැන දී ඇති බව මහාවංසයෙන් පැහැදිලි වෙයි. එහෙත් ඉන්පසුව ඇතැම් යුගවල ඉතිහාසයෙන් පෙන්නුම් කෙරෙන්නේ සියවස් ගණනාවක දී යක්‍ෂ ගෝත්‍රිකයන් සමාජයේ නොවැදගත් තැනකට පත්කෙරුණු බව ය. මෙරට පණ්ඩුකාභය සමයේ සිංහල ජාතිය ඇරඹීමට පෙර ද බෞද්ධයන් වාසය කර ඇති නමුත් නිල වශයෙන් බුදුසසුන මෙරටට හඳුන්වා දී ඇත්තේ දේවානම් පියතිස්ස රජු දවස ය. ඉන්පසු මෙරට බහුතරය සිංහල බෞද්ධ වී ඇති අතර ගැමුණු රජ දවස සිංහල බෞද්ධ රාජ්‍යය මෙරට ස්ථාපිත වී ඇත. මෙවර රාජ්‍ය අනුග්‍රහයෙන් වෙසක් උත්සවය පැවැත්වෙන යුදඟනාව අපේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් බව නිසැක ය. ගැමුණු කුමරුට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සහාය ද ලැබී ඇත. එතුමා කොත්මලේ දී යම් විරසකයකට පත්වී සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් සමග සුහදත්වයක් ඇති කර ගැනීමට ද කටයුතු කර ඇති බවත් යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක් සහේට ගෙන  ඇති බවත් වංසකතා පරීක්‍ෂාවෙන් කියවන කල පැහැදිලි වෙයි. තිස්ස කුමරු හා ගැමුණු  කුමරු අතර යුදඟනාවේ දී සටනක් ඇතිවූයේ තිස්ස කුමරුට රජකම පැවරීමට ඇතැම් සිංහලයන්ගේ තිබූ කැමැත්ත, එනම් ගැමුණු කුමරුට තිබූ අකමැත්ත, නිසා ය. ඒ අකමැත්තට හේතුව ගැමුණු කුමරුගේ යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධකම් යැයි සිතිය හැකි ය.

පණ්ඩුකාභය රජුට පසුව යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශ්වාසය දිනාගත් රජතුමා ගැමුණු රජතුමා බව පැහැදිලි ය. යුදඟනාවේ දී අපි මේ සියල්ල මෙනෙහි කරමු. එසේ කරන්නේ ඒ කතාව අපට අදට ද විලෝම වශයෙන් වුව වලංගු බැවිනි. මෙරට ගැමුණු රජතුමාගෙන් පසුව ද සියවස් කිහිපයක් යක්‍ෂයන්ගේ ආරෝව පැවති බවට මහාවංසය සාක්‍ෂි දරයි. මහසෙන් කාශ්‍යප යුග ඒ බව ද සුභ සහ යසගෙන් ඇරඹි ලම්බකර්ණ වාංශික ගැටුම් ද, මහාවිහාර අභයගිරි ප්‍රශ්නය ද  අපට ඉතිහාසයේ වැදගත් පාඩම් කියා දෙයි. ඒ කෙසේ වෙතත් ගැමුණු රජු ඇතිකළ සිංහල බෞද්ධ රාජ්‍යය නොකඩවා දිගට ම ගෙනයෑමට අපට හැකි විය. ලම්බකර්ණ, මෞර්ය ආදී වාංශික රජවරු මෙරට වරින් වර රජකළත් රජවරු සිංහල රජවරු මිස භාරතයේ මෙන් වාංශික රජවරු නො වූහ. පසු කලෙක නායක්කාර් වාංශිකයන් ද සිංහල රජවරුන් වූයේ ඒ සම්ප්‍රදාය අනුව ය. නායක්කාර් රජවරු ද ගැමුණු රජුගේ සිංහල බෞද්ධ රාජ්‍යයේ රජවරු වූහ. ඔවුන් ද්‍රවිඩ රජවරුන් යැයි කියන්නේ ආතක් පාතක් නැති විශ්වවිද්‍යාලයීය හා ඊනියා රාජ්‍ය නොවන ඉතිහාසඥයන් ඇතුළු පිරිසකි. ආන්ද්‍ර ප්‍රදේශයේ සිට භාරතයේ දකුණට සංක්‍රමණය වූ නායක්කාර් වාංශිකයෝ මෙරටට පැමිණීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරමින් සිංහල බෞද්ධ රජවරු වූහ. ඔවුන් මෙරට භාරකරුවන් වූ අතර සිංහල බෞද්ධයන්ගේ රජවරු වූහ. පසු කලෙක  ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නොපණත්කම් හේතුවෙන් ඔහුට රජකම ද අපට සිංහල රාජ්‍යය ද අහිමි විය. නායක්කාර් වාංශිකයන් වඩිගයන්, ද්‍රවිඩයන් ආදී වශයෙන් මිස සිංහල බෞද්ධ රජවරුන් ලෙස නොහඳුන්වන නිවටයන්ට හා පුස්සන්ට (නිවටයන් හා පුස්සන් හැඳිනගැනීමට මැයි 22 වැනි දා විදුසර කියවන්න) මතක් කර දිය යුත්තේ ටියුඩර් ආදී වාංශිකයන් ඉංගිරිසි රජවරුන් ලෙස මිස වාංශික රජවරුන් ලෙස ඉංගිරිසි ඉතිහාසයෙහි සඳහන් නොවන බව ය.

මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය හා සිංහල ජාතිය ඇතිවීමෙන් පසු මෙරටට දකුණු භාරතයෙන් සංක්‍රමණය වුවෝ පරම්පරාවක් දෙකක් ඇතුළත සිංහල බෞද්ධ වූහ. එසේ නොවී නම් මෙරට දෙමළ ජනාවාස තිබිය යුතු විය. එහෙත් යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත්කළ තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පවසන්නේ මෙරට ස්ථිර දෙමළ ජනාවාස ඇතිවන්නේ දොළොස්වැනි සියවසෙන් පසුව බව ය. (එතුමාගේ උපාධි නිබන්ධනයේ පිටපතක් මා සතු වෙයි.) මේ කාලයේ දී පමණ මෙරටට මුස්ලිම් සංක්‍රමණයක් ද සිදු වී ඇත. ඒ සිදු වූ වකවානුව නිශ්චිතව කීමට තරම් සාධක නැතත් මෙරට මුවර් මුස්ලිමුන් යනුවෙන් හැඳින්වෙන ජනයා දකුණු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ දෙමළ කතාකරන ජනවර්ගයක් වෙයි. පොන්නම්බලම් රාමනාදන් මහතාට අනුව නම් මුවර් මුස්ලිමුන් වත්මන් දකුනු ඉන්දියාවෙන් පැමිණි දෙමල ජනයා ය. ඇතැමුනට අනුව ඔවුහු භාරතීය සමාජයේ ඊනියා අඩුකුලයට අයත් ජනයා වූහ. ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ ජනවර්ගය නියෝජනය කළ රාමනාදන් මහතා එහි මුවර් මුස්ලිම් ජනයා වෙනුවෙන් නියෝජිතයකු පත්කිරීමට විරුද්ධ වුයේ මුස්ලිම් ජනයා යනු ඉස්ලාම් ආගම අදහන දෙමළ ජනවර්ගය බවත් තමා හින්දු මෙන් ම ක්‍රිස්තියානි කතෝලික හා ඉස්ලාම් ආගම් අදහන සියළු දෙමළ ජනවාර්ගිකයන් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය කරන බවත් ප්‍රකාශ කරමිනි. එහෙත් පසුව අබ්දුල් අසීස් මහතා වැනි අය එයට විරුද්ධ වූහ. මේ පිලිබඳ කෙටි විස්තරයක් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි දැක්වෙන අතර එය කාලය වෙබ් අඩවියෙන් නොමිළයේ බාගත හැකි ය. අප රටට මුස්ලිම් ජනයා සංක්‍රමණය වුයේ අරාබියෙන් නොවන බව නම් පැහැදිලි ය. ඇතැමුන් කියන ආකාරයට මුවර් මුස්ලිම් ජනයා යනු අරාබි පියවරුන්ගෙන් හා සිංහල මවුවරුන්ගෙන් පැවත එන්නන් නම් ඔවුන් අරාබි හෝ විශේෂයෙන් ම සිංහල හෝ කතා නොකර දෙමළ කතාකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට පිලිතුරු දීගත නොහැකි ව ඇතැමුන් විවිධ කතා ගොතනු දැකිය හැකි ය. එහෙත් ඒ කතා පරස්පර විරෝධී බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකි ය. (මතු සම්බන්ධයි)

2013-05-26

නලින් ද සිල්වා