Main Logo

Sunday 19 May 2013

විදුලි වසන්තය හා නිදහස


ඕනෑම වසරක මැයි 18 සිට 22 දක්වා දින පහ මෙරට නිදහස සම්බන්ධ දින ලෙස සැලකිය යුතු යැයි සිතමි. පෙබරවාරි 04 වැනි දින අපට ලැබුණේ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයකි. එහි දී අපට එංගලන්්තයේ රජු අපේ ද රජු ලෙස සැලකීමට සිදුවිය. අප ජනරජයක් බවට පත්වූයේ මැයි 22 වැනි දිනක ය. කලකට පෙර ජනරජ දින මෙරට නිවාඩු දිනයක් විය. දැනුදු අපට නිදහස් දිනයක් අවශ්‍ය නම් එයට සුදුසු මැයි 22 මිස පෙබරවාරි 04 නො වේ. අනෙක් අතට මැයි 18 යනු ප්‍රභාකරන් හා දෙමළ ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබූ දිනය විය. මැයි 18 මෙන් ම මැයි 22 ද අප ඉංගිරිසින්ගෙන් යම් ආකාරයක නිදහසක් ලැබූ දින විය. දෙමළ ත්‍රස්තවාදය පිටුපස සිටියේත් අදත් එදත් දෙමළ ජාතිවාදය පසුපස සිටින්නේත් ප්‍රධාන වශයෙන් ම ඉංගිරිසින් ය. අපට දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කළ හැක්කේ එය මෙහෙයවෙන බලවේග හඳුනාගැනීමෙන් පමණකි. ඉංගිරිසින් සමග ඇමරිකාව, වෙනත් බටහිර රටවල්, ඉන්දියාව මෙරට බටහිර රාජ්‍ය විසින් හැසිරවෙන්නෝ වෙති.

ජනරජයක් පිහිටු වූ දිනයේ සිට අද වන විට අවුරුදු හතළිස් එකක් ගෙවී ඇත. 1948 සිට ගතහොත් කිසියම් ආකාරයක නිදහසක් ලැබී අවුරුදු හැට පහකි. ඒ අතර නිදහස් අධ්‍යාපනයට වසර හැත්තෑවක් පමණ වේ. විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවා අවුරුදු අනූ දෙකක් වන අතර ලංකා විශ්වවිද්‍යාලය කොළඹ ඇති කර අවුරුදු හැත්තෑවකට වැඩි ය. එහෙත් අපට ලැබී ඇත්තේ, එසේත් නැත්නම් අප ලබාගෙන ඇත්තේ කුමක් ද? අදින් වසර හතරකට පෙර කොටි ත්‍රස්තවාදතීන් පරාජය කිරීම හැරෙන්නට අපට ආඩම්බර විය හැකි දෙයක් ගැන අපට කතාකළ හැක්කේ එල් සැල්වදෝරය හා වෙනත් දකුණු ඇමරිකානු රටවලට අප ලබාදුන් දැනුම පමණක් යැයි සිතමි. මේ ගැන දැනටමත් මා විදුසර පුවත්පතට ලිපියක සඳහන් කර ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගත නොහැකි ව තිබූ අවධියක කැලණි ආසනික් කණ්ඩායම එයට ප්‍රධාන හේතුව ආසනික් බව අනාවරණය කළේ ය. ඇතැම් දකුණු ඇමරිකානු රටවල්වල උක් ගොවීන් අතර ද එවැනි වකුගඩු රෝගයක් පැතිරී ගොස් ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව එයට ද හේතුව නොදැන සිටියේ ය. ඔවුන් එම රෝගය හඳුන්වන්නේ සාම්ප්‍රදායික නොවන හේතූන් නිසා ඇතිවන වකුගඩු රෝගය ලෙස ය. පසුගිය නොවැම්බරයේ දී අප ආසනික් කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන මහතාගෙන් ඔවුන්ට මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ දී කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල දැනගැනීමට හැකි විය. ඒ අනුව පර්යේෂණ පැවැත්වූ කියුබානු හා එල් සැල්වදෝර විද්‍යාඥයෝ දකුණු ඇමරිකානු රටවල ද වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව දැනගත්තෝ ය. ආසනික් කෘෂි රසායන ද්‍රව්‍ය නිසා එකතුවන බව ද ඔවුහු දැන් දනිති. මෙරට බටහිට විද්‍යා හා වෛද්‍ය ඉතිහාසයේ අවුරුදු එකසිය පනහකට අධික කාලයක ලංකාවෙන් ලෝකයට දුන් එකම දැනුම එය වුව ද, ඒ සම්බන්ධයෙන් අප මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජනතාවට දැනුම් දීමට කටයුතු කළ ද සුපුරුදු පරිදි බොහෝ මාධ්‍ය ආයතන එය වාර්තා නො කළේ ය. සමහර ඇමතිවරුන්ගේ ඕනෑ එපාකම් පමණක් පිරිමසන එක් රජයේ රූපවාහිනී ආයතනයක් වැනි ඇතැම් ආයතන අඩුම තරමෙන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමටවත් කටයුතු නො කළේ ය. මෙරට බටහිර සිනමා අධ්‍යක්‍ෂවරුන්, ක්‍රිඩකයන් ආදීන් සම්මාන ලබාගත්විට ඔවුන්ට ලැබෙන ගෞරවය කැලණි ආසනික් කණ්ඩායමට නොලැබුණේ අප බටහිර විද්‍යාවට පිටින් ගොස් අපේ ම වූ ආධ්‍යාත්මික ක්‍රමයකට මෙම දැනුම ලබගත් නිසා බව පැහැදිලි ය. ආසනික් කතාව අප කී දවසේ සිට අපට මෙරට කසිකබල් විද්‍යාඥයන්ගෙන් ලැබුණේ ගල්මුල් ය. සාමාන්‍ය ජනතාව අප බටහිර විද්‍යාවට පහර දීම අනුමත කරන බව රටේ ඇවිදින විට මට පැහැදිලි වන නමුත් ඊනියා ජනමාධ්‍ය වේදීන් ඇතුළු බටහිර විද්‍යාව හා දැනුම කටගාගත් අයට අප අරහං වීම අපේ කසිකබල් අධ්‍යාපනයේ ම ප්‍රතිඵලයකි.

මෙරට විශ්වවිද්‍යාලවලින් සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය. එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය. හිණිමගට පයින් ගැසූ මට ද තරමක් සම්ප්‍රදායෙන් පිට වුව ද දෙවැනි අවස්ථාව හිමි වූ බව කෘතඥතා පූර්වක ව සඳහන් කළ යුතු ය. විශ්වවිද්‍යාලයෙන් මා ලබාගත් අධ්‍යාපනයක් නොමැති බව ද ඒ සමග කිව යුතු ය. මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙස ය. මේ සියල්ල අපේ මාතෘකාවට අදාළ වන්නේ කෙසේ දැයි ඇතැමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අපි අපේ රාජකාරියෙන් බැහැර වී අනුන්ගේ රැකියා කරමු. අපි අපේ දැනුම ප්‍රතික්‍ෂෙප කරමු. අපි එයට මිථ්‍යා යැයි කියමු. මට අවශ්‍ය ආපසු වැඩවසම් ක්‍රමයට යෑමට දැයි බටහිර දැනුම කටගාගත් පඬියකු ප්‍රශ්න කරනු ඇත. මෙරට කිසි දා වැඩවසම් ක්‍රමයක් තිබී නැති බැවින් ප්‍රශ්නයේ වලංගු භාවයක් නැති බවත් එය ඇතැම් සරසවි ඇදුරන් විශ්වවිද්‍යාල පරී්ක්‍ෂණවල දී දෙන ප්‍රශ්නවලින් වෙනස් නොවන බවත් පමණක් සඳහන් කරමි. අපේ මාතෘකාව අප අපේ සම්ප්‍රදායෙන් බැහැර වී බටහිරයන් අනුකරණය කිරීම හා බටහිරයන්ගේ නියෝජිතයන්, ගැත්තන් ලෙස කටයුතු කිරීම පිළිබඳ ව ය. අපට හරිහමන් නිදහසක් නැති වීම පිළිබඳ ව ය. අප බටහිරයන් අනුකරණය කරනතාක් ඊනියා රාජ්‍ය නොවන ආයතනවල බැළයන් පමණක් නොව රජයේ විශ්වවිද්‍යාලවල ද වෙනත් රජයේ ආයතනවල ද ඔවුන්ට සේවය කරනතාක් අපට නිදහසක් නැත. බටහිරයන්ගේ හා ඉන්දියාවේ අණට නොනැමී රණවිරුවන්ට දේශපාලන නායකත්වයක් ලබාදුන්, එසේ ම බටහිරයන්ගේ කසිකබල් මතවාද ප්‍රතික්‍ෂෙප කරමින් අපට දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළ හැකි ය යන විශ්වාසයෙන් ක්‍රියාකළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් හමුදාවට මග පෙන් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් නොවන්නට ප්‍රභාකරන් බටහිර හා ඉන්දියාවේ ආධාරයෙන් ඊළම දිනාගැනීමට නියමිත ව තිබිණි. අප නිිදහස සම්පුර්ණ කරගත යුත්තේ ද බටහිරයන්ගේ හා ඔවුන්ගේ ගැත්තන්ගේ බහට කන් නො දීමෙනි.

මෙරට රජයේ ආයතන බොහෝමයක් පාඩු ලබයි. එයට ප්‍රධාන හේතුව අප රැකියාවක් මිස රාජකාරියක් නො කිරීම ය. මෙරට කොමිස් කාක්කන් වැඩිපුර ම දැකිය හැක්කේත් බලාධිකාරයෙන් මත්වී කටයුතු කරන මාෆියා නායකයන් වැඩිපුර ම දැකීමට හැක්කේත් දේශපාලනඥයන් හා පාතාල අයියලා අතර නොව නිදහස් අධ්‍යාපනය ලබා රජයේ උසස් තනතුරුවලට පත් වූ ඉහළ නිලධාරි අයියලා අතර ය. අප බොහෝ දෙනා ඉගෙන ගන්නේ ඉහළට යෑමට හා මුදල් හම්බකිරීමට මිස රටට සේවයක් කිරීමට නො වේ. ඒ අතර අපේ ජීවන රටාව ද බටහිර ආධිපත්‍යය යටතේ බටහිර අනුකරණය කරමින් අපට ඔරොත්තු නොදෙන ආකාරයෙන් වෙනස් වී ඇත. මා කුඩා කළ අප නිවසේ විදුලිය නො තිබිණි. අප විදුලිය ලබාගත්තේ මා තුන්වැනි පංතියේ සිටිය දී ය. එදා සිට මා පශ්චාත් උපාධියක් ලබාගෙන විදුලි උපකරණ භාවිතය හඳුන්වා දෙන තෙක් අප නිවසේ විදුලි පරිභෝජනය ඒකක තිහකට අඩුවිය. එහෙත් අද වන විට මගේත් සහෝදර සහෝදරියන්ගේත් නිවෙස්වල විදුලි පරිභෝජනය ඒකක සියය ඉක්මවා ගොස් ඇත. අද බටහිර ලෝකයේ දියුණුව යන්නෙන් අදහස් කරන්නේ ශක්ති පරිභෝජනය ඉහළ යෑම ය. අපේ ඉඳුරන් වැඩි වැඩියෙන් පිනවීම ය. ඉඳුරන් පිනවීම පිනක් ද යන්න තීරණය කෙරෙන්නේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. අප නමින් සිංහල බෞද්ධ වූවත් සංස්කෘතියෙන් බටහිර ක්‍රිස්තියානි වෙමු. ඒ තාක් අපට නිදහසක් නැත.

විදුලි බිල වැඩිවීම ගැන කිසිදු අයකු සතුටට පත් නො වේ. පසුගිය දා ඇතැමුන් පෙළපාලි ගියේ විදුලි බිල වැඩිකිරීමට පක්‍ෂව නොවන බව පාර්ලිමේන්තුවේ දී මුග්ධ ප්‍රශ්න අසන විපක්‍ෂයේ කිහිප දෙනාට නොතේරුණ ද මෙරට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත. ඔවුන් පෙළපාලි ගියේ විරුද්ධ පක්‍ෂය බටහිරයන්, විශේෂයෙන් ම ඇමරිකානු තානාපතිනිය, සමග එක් වී ආණ්ඩුව අස්ථායී කර රට අවුල් කර දෙමළ ජාතිවාදයට රට යටකිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව ය. මෙරට වත්මන් අමෙරිකානු තානාපතිනිය රටවල් අස්ථායී කර අවුල් කිරීම පිලිබඳ නම් දැරූ අයෙකි. ඇය මෙරට කුණු අහුලන්නේ කුණු දමමින් ය. දැනට සති කිහිපයකට පෙර ඇය ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතුවලට අත දැමීමට කිසිදු තානාපතිවරයකු එතෙක් කර නොතිබූ අයුරින් කටයුතු කළේ මෙරට අමෙරිකාවේ යටත්විජිතයක් ලෙස සලකමිනි. විදුලි බිල වැඩිවීමට හේතු ගණනාවකි. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ හේතු එකින් එක ගෙන ජනතාවට පැහැදිලි කිරීම ය. එසේ ම එයින් නැතිකිරීමට හැකි හේතු සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙසේ වෙතත් ආණ්ඩුව දැන් ඒකක හැටකට අඩු අයට විදුලි බිල වැඩි නොකිරීමට කටයුතු කර ඇත. අද විරුද්ධ පක්‍ෂය පෙළපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නේ ඒකක හැටකට වඩා විදුලිය පරිභෝජනය කරන්නන් වෙනුවෙනි. එනම් අධික විදුලි පරිභෝජකයන් වෙනුවෙනි. ඔවුහු රටේ බහුතරයක් නො වෙති. මගේ දෙමවුපියන් ජීවත් ව සිටියේ නම් ඔවුන්ට මේ උද්ඝෝෂණයෙන් කිසිම ප්‍රතිලාභයක් අත්නොවනු ඇත. මෙරට බහුතරයකට මේ උද්ඝෝෂණය වැඩක් නැත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විරුද්ධ පක්‍ෂයේ කාර්යභාරය ආණ්ඩුව අවශ්‍ය විට විවේචනය කරමින් රටට වැඩදායක වන අයුරින් කටයුතු කිරීම මිස බටහිර තානාපතිවරුන් සමග එක් වී ආණ්ඩු පෙරළිම නො වේ. කසිකබල් මාක්ස්වාදී පක්‍ෂ නම් බලාපොරොත්තුවන්නේ ඊනියා කම්කරු පංති විප්ලවය සිදු කිරීමට ය. මාක්ස්වාදය යනු ඊනියා කම්කරු පංති නායකයන්ට බලාපොරොත්තු ගෙන දෙන අබිං ය. බටහිර ගැති ඊනියා රාජ්‍ය නොවන සංවිධාන බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආණ්ඩුව පෙරළිමට වසන්ත කිහිපයක් පසු කළේ ය. කටුනායක, ධීවර, විශ්වවිද්‍යාල, අලුත්කඩේ කඩේ වසන්ත ඒ අතර විය. තවම ක්‍රිකට් වසන්තයේ නායකයාට අවශ්‍ය ජනප්‍රියතාව නැති බැවින් ඔවුන් විදුලි වසන්තයකට මාරු වී ඇත. බටහිරයන්ට අවශ්‍ය තමන්ට අවනත නො වී ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල් වූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා රාජ්‍ය නොවන බැළයන්ගේ කසිකබල් මාක්ස්වාදීන්ගේ හා ලිබරලයන්ගේ ආධාරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යවා අප ලබාගෙන ඇති සීමිත නිදහසත් නැති කිරීම ය’’, රට බෙදීම ය. විරුද්ධ පක්‍ෂයේ උද්ඝෝෂකයන් විදලි වසන්තය ක්‍රියාත්මක කිරීම සඳහා මැයි 21 තෝරාගැනීම අපට සංකේතාත්මක ව යමක් කියා දෙයි. මැයි 21 වැටෙන්නේ මැයි 18 (නන්දිකඩාල්) හා මැයි 22 (ජනරජ) දින අතරට ය. ත්‍රස්තවාදය පැරදවීමට විරුද්ධ වූ මොවුන් බොහෝ දෙනාට අවශ්‍ය රට බෙදීම ය. විදුලි වසන්තය ද බටහිර අධ්‍යාපනය විසින් බිහිකරෙී ඇති කසිකබලුන් ද පරදවා පුර්ණ නිදහස දිනා ගනිමු. 
(13/05/19)

නලින් ද සිල්වා