Main Logo

Sunday 23 June 2013

දහතුන හා ජනමතය

අපවත් වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය පසුගිය සතියේ යෙදී තිබිණි. ලිපියේ ඉඩකඩ ප්‍රශ්නයක් හේතුවෙන් උන්වහන්සේ විසින් සිදුකරන ලද ජාතික හා ශාසනික සේවය කෙටියෙන් වුවත් අගය කිරීමට නොහැකිවීම ගැන කණගාටුවෙමි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට උන්වහන්සේ මුල සිට විරුද්ධ වූහ. එසේ වුවත් එය තවමත් මෙරට ව්‍යවස්ථාවේ කොටසක් ලෙස සැලකෙයි. අද අපට උන්වහන්සේ වෙනුවෙන් පුද කළ හැකි උපරිම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතියෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ නීති පොතෙන් ඉවත්කිරීම ය.  මේ ලිපිය ද ඒ වෙනුවෙනි. අපි උන්වහන්සේට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතිය නොවේ ය යන්න මගේ පෞද්ගලික හැඟීම ය. අඩුම තරමෙන් එහි 154 උ (2) (ආ) හා 154 උ (3) (ආ) වගන්ති කිසිසේත් ම මෙරට නීතිය නො වේ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ එහි වගන්ති වෙන වෙන ම සලකමින් නොව සමස්ත සංශෝධනය ම එකට ගැනීමෙනි. එබැවින් එහි වගන්ති වෙන වෙන ම ගෙන නීති පොතෙන් ඉවත්කළ හැකි නො වේ. එබැවින් එහි එක් වගන්තියක් වුව ද නීතිය නොවේ නම් සමස්ත සංශෝධනය ම නීතිය වන්නේ නො වේ. කෙසේ වුවත් එය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබිය යුත්තකි. අපි ඒ නීති ගැටළුව සම්බන්ධයෙන් පසුව වැඩිදුරටත් කතාකරමු. 

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අපකිර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. එය දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණකම්වලට විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරුණකි. ඉන්දු ලංකා ගිවිසුම අද වන විට අහෝසි වී ඇත. එහි සඳහන් අන්දමට ඉන්දියාව ක්‍රියා නොකෙළේ ය. ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ නො කළේ ය. කොටි සංවිධානය නො පැරදවී ය. ඊනියා සාම සාධක හමුදාවක් මෙරටට එවූ නමුත් එය විසින් ඇති කෙරුණු සාමයක් නැත. ඔවුහු ඒ වෙනුවට සිංහලයන්ට ද දෙමළ හා මුස්ලිම් ජනයාට ද හිරිහැර කළහ. අඩත්තේට්ටම් කළහ. ඉන්දු ලංකා ගිවිසුම කඩකරනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි කඩකිරීමට දෙයක් ඉතිරි වී නැත. ඉන්දු ලංකා ගිවිසුම අනුව ලංකාව පළාත් සභා පිහිටුවිය යුතුව තිබිණි. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා පනතත් ගෙන එනු ලැබුයේ ඒ අනුව ය. ඉන්දු ලංකා ගිවිසුමේ තම කොටස ඉටු නොකර ගිවිසුම කැඩූ ඉන්දියාවට ලංකාවට ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලකිරීමට නොව අයැදීමටවත් කිසිම නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත.  දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ඊනියා ප්‍රශ්නයක් ගැන කතාකිරීමට ඉන්දියාවට යෑම දේශද්‍රෝහි ක්‍රියාවකි. ඔවුහු එමගින් ලංකාවේ ස්වෛරීභාවය පාවා දෙති. ඒ මන්ත්‍රීවරුන් ද ඇතුළු මෙරට දෙමළ ජනයා නාගදීපයේ ජීවත් වූ සිංහලයන්ගෙන් හා ලන්දේසීන් විසින් 1750 න් පසු කෝරමණ්ඩළ වෙරළෙන් දුම්කොළ වගාව සඳහා ගෙන්වනු ලැබූ දෙමළ ජනයාගෙන් ද, පසුව ඉංගිරිසින් විසින් නැගෙනහිර පළාතේ හා කඳුකරයේ පදිංචිකරවනු ලැබූ දෙමළ කුලීකරුවන්ගෙන් ද පැවත එන්නෝ වෙති. එබැවින් දෙමළ ජනයා ලෙස මෙරට ඔවුන්ගේ පැවැත්ම අවුරුදු දෙසිය පනහකට පමණක් සීමා වෙයි. එසේ වුවත් ඔවුහු මෙරට පුරවැසියෝ වෙති. ඒ පිලිබඳ අපට කිසිම ගැටළුවක් නැත. පුරවැසියන් ලෙස ඔවුන්ට මෙරට අහිමිවන අයිතිවාසිකමක් නැත. එහෙත් ඔවුන් තවමත් තමන් ඉන්දියාව සමග ඇති සම්බන්ධය නවතා නැත. උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා සාම්ප්‍රදායික වාසභූමි ලෙස අවලංගු වී ඇති ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් කරවා ගැනීමට ද ඔවුහු උත්සුක වූහ. එහෙත් දෙමළ ජනයාගෙන් බහුතරය ජීවත්වන්නේ ඒ පළාත්වලින් පිට ය. දෙමළ ජාතික සංධානයේ නායකයන් වහාම තමන් පුරවැසියන් වන්නේ ඉන්දියාවේ ද නැත්නම් ලංකාවේ ද යන්න තීරණය කළ යුතු ය. වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි යැයි සිතිය හැකි සිංහ ගෝත්‍රිකයන් (ට්‍රයිබල් අර්ථයෙන් නො වේ) සමග සිංහලයන්ගේ සම්බන්ධයක් තිබිණි ද සිංහලයෝ තමන් ඉන්දියාවේ පුරවැසියන් යැයි සිහිනෙන්වත් නො සිතති. ධර්මාශෝක රජුගේ ද මිහිඳු හිමියන්ගේ ද සම්භවය වත්මන් දකුණු ඉන්දියාවේ සිංහ ගෝත්‍රික මුරා පෙළපතට (මෞර්ය වංශයට) සම්බන්ධ වුවත් සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ තැකීමක් නැත. දෙමළ නායකයන් ඇතැයි කියන තම ප්‍රශ්න මෙරට දී විසඳා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නයක් නැත. ඊනියා අසාධාරණ අන්කිසිවක් නොව ඉංගිරිසින්ගෙන් නිලතල ලැබූ ඉංගිරිසි උගත් වෙල්ලාලයනට ක්‍රමයෙන් තමන් ලැබූ අයුතු වරප්‍රසාද නැතිවී යෑම පිලිබඳ ප්‍රශ්නයකි. ඒ පිලිබඳ ව මේ තීරුවෙන් හා පොතපතින් මා කරුණු දක්වා ඇති නමුත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකුට ද ඒ පිළිබඳ හැඟීමක් නැතිවීම කණගාටුවට කරුණකි. 

වෙල්ලාලයන්ගේ වරප්‍රසාද ක්‍රමයෙන් නැතිවීම විය යුත්තක් මිස ඊනියා ප්‍රශ්නයක් නො වේ. අවුරුදු එකසිය අනූවක් පමණ වෙල්ලාල ඉල්ලීම්වලට ඊනියා විසඳුම් ලෙස බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ආදිය ද ඉන්දු ලංකා ගිවිසුම ද ඊනියා සාම සාකච්ඡා ද ඉදිරිපත් විණි. එහි විකාශයේ අවසන් ප්‍රතිඵලය වූයේ ප්‍රභාකරන් ය. (වැඩි විස්තර කාලය වෙබ් අඩවියෙන් ලබාගත හැකි  ප්‍රභාකරන්  ඔහුගේ සියලා බාප්පලා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.) ප්‍රභාකරන්ගේ පරාජයත් සමග වෙල්ලාලයන්ට දේශපාලන විසඳුමක් ලැබිණි. අද අවලංගු වී ඇත්තේ ඉන්දු ලංකා ගිවිසුම පමණක් නො වේ. නැති ප්‍රශ්නයකට විසඳුම් ලෙස ඉදිරිපත් වූ සියළු ගිවිසුම් ද පළාත් සභා ද නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබිණි. දේශපාලනිකව ඒ එසේ වුවත් සෑමදාම අනෙක් සෑම ක්‍ෂෙත්‍රයකට ම පිටුපසින් ඇති නීතියෙන් එය තවමත් පිළිගැනී නැත. දහතුන තවමත් නීති පොතේ ඇත්තේ එබැවිනි. එය ඉවත්කිරීමට තරම් අද ජනමතයක් මතු වී ඇත. එහෙත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අද මහජන මතයට එරෙහිව ඇත. සංධානයෙන් පිට තරග කළහොත් ඡන්ද දාහක් ලබාගත නොහැකි ඇමතිවරු අද දහතුන අහෝසි කිරීමට බාධා කරති. අද කළ යුත්තේ ජනමතයට ඉඩ දී මේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පරාජයකර ඉවත්කිරීමට ක්‍රමවේදයක් සකස්කර ගැනීම ය.


නලින් ද සිල්වා

2013-06-23