Main Logo

Sunday 27 October 2013

බෞද්ධ කෑලි එල්ලාගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය


මෙරට සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව පමණ ය. මෙය කිසිසේත් ම ඊනියා ඓහික (අනාගමික) රාජ්‍යයක් ද නො වේ. එවැනි රාජ්‍ය ලොවේ කිසිතැනක නැත. එවැනි රාජ්‍ය ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ දේශපාලන විද්‍යාඥයන් ඇතුළු සමාජ විද්‍යාඥයන් විසින් ලියන ලද පොත්පත්වල, ඊනියා පර්යේෂණ පත්‍රිකාවල හා වෙනත් ලිපි ලේඛනවල පමණකි. අප රට ද ලොවෙහි බොහෝ රටවල් මෙන් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ රටකි. අප රට එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ටේ‍ර්ලියාව ආදී යුදෙවු ක්‍රිස්තියානි රටවලින් (රාජ්‍යවලින්) වෙනස් වන්නේ මෙරට සංස්කෘතියෙහි බෞද්ධ කෑලි ටිකක් එල්ලා තිබීම නිසා ය. මෙහි කෑලි යන වචනය යොදා ගැනෙන්නේ සාමාන්‍ය අප්‍රාණවාචී අර්ථයෙනි. එහෙත් අවශ්‍ය නම් පෞද්ගලික බස් කොන්දොස්තර භාෂාවේ කෑලි මෙන් එය මිනිසුන්ට ද යොදාගත හැකි ය. අපි දරුවන්ට යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දෙමු. අපි ඊනියා මහා පිපිරුම, ඩාවින්ගේ පට්ටපල් බොරුව වූ පරිණාමවාදය සෘෂි භාෂිතයක් ලෙස පිළිගනිමු. ඒ අතර සංවට්ටකප්ප විවට්ටකප්ප ඇතුළු අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් මිනිස් පරිණාමය යන බෞද්ධ කෑල්ල ද ඉඳහිට මතක්කරමු. අපට අවශ්‍ය ඇමරිකාව අනුගමනය කරමින් යුදෙවු ක්‍රිස්තියානි ආකෘතියේ සංවර්ධනයක් ඇතිකර ගැනීමට ය. එහෙත් ඒ අතර කැසිනෝවට ද විරුද්ධ වී අපේ බෞද්ධකම ප්‍රදර්ශනය කරමු. අපට බටහිර යුදෙවු සංස්කෘතිය අවශ්‍ය පරිදි අවශෝෂණය කරගැනීමට නොහැකි වී ඇත. එයට හොඳම උදාහරණය නම් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නමින් හැඳින්වෙන පාලන තන්ත්‍රය ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය කඩා වැටෙන නමුත් අපට එය නො වැටහෙයි. අපි පල්ලි නොගොස් ම ඉඳහිට පන්සල් ගොස් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරමු. ඒ අතර කඨින පිංකම්, ශීල සමාදාන, ධර්ම දේශනා, දාන මාන පවත්වමු. අනුරාධපුර යුගයේ අවසන් භාගයෙහි යක්‍ෂ ගෝත්‍රික දේශපාලන නායකත්වය පරාජය වූ දින සිට අපේ උගතුන් දන්නේ අනුකරණය පමණකි. ඔවුන්ට නිර්මාණශීලීත්වයක් හෝ අවශෝෂණ හැකියාවක් හෝ නැත. ඔවුහු තිථියෙහි එල්ලී සිටිතිි.    

දෙවියන් වහන්සේ මියගොස් ඇතැයි නිට්ෂේ නම් දාර්ශනිකයා කියා ඇත. එය එසේ විය හැකි ය. එහෙත් දෙවියන් වහන්සේගේ භූමදාන කටයුතු තවම සිදු වී නැතැයි මම කියමි. දෙවියන් වහන්සේට ජීවිතයක් තිබුණේ කතෝලික සාමූහිකත්වය මත පදනම් ව ය. මාටින් ලූතර් දහසයවැනි සියවසේ දී දෙවියන් වහන්සේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික දෙවියන් වහනසේ බවට පත්කිරීමත් සමග දෙවියන් වහන්සේගේ පෞද්ගලිකත්වය නැති වී  මිය යෑම ඇරඹිණි. මිනිසුන්ට පල්ලි යෑමේ අවශ්‍යතාව ඒ සමග නැතිවන්නට පටන් ගත්තේ ය. පහළොස්වැනි සියවසේ සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතුවීම, ඉන්ද්‍රිය පිනවීම ඇගයීම, පංචෙන්ද්‍රියයන්ට මුල්තැන දීම, තර්ක බුද්ධිය යනුවෙන් කියැවෙන්නකට වැදගත්කමක් ඇටවීම, වියුක්ත චින්තනයෙන් ලබාගන්නා විද්‍යාත්මක යැයි හැඳින්වෙන පට්ටපල් බොරුවලට වියුක්ත දෙවියන් වහන්සේට ලබාදී තිබූ තැන හිමි කිරීම ආදිය සමග නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයක්, නව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් බිහිවීම ඇරඹිණි. අද ලෝකය පාලනය කෙරෙනුයේ මේ චින්තනයෙන් හා සංස්කෘතියෙනි. ලෝකයට, එනම් බටහිරෙන් පාලනය වන ලෝකයට දෙවියන් වහන්සේ ජීවමාන ව අවශ්‍ය නැත. දෙවියන් වහන්සේ මියගියත් නැතත්, බටහිර රටවල පල්ලි්වල මිනිසුන් ගැවසුනත් නැතත්, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට දෙවියන් වහන්සේ භූමදාන කළහොත් පැවැත්මක් නැත. එබැවින් බටහිරයෝ දෙවියන් වහන්සේ මියගියත් භූමදාන නො කරති. 

මා දැන් විශ්වාස කරන පරිදි මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් මුල් කරගත් හෙළ බොදු සංස්කෘතියක් බුදුන් වහන්සේගේ කාලයේ සිට ම පැවතී ඇත. එය පසු කාලීනව මහා විහාර අධීක්‍ෂණය යටතේ තුන්වැනි සංගායනාවේ බුදුදහම සුරකින, අටුවා ටීකාවලින් අර්ථදැක්වෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පත් වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියේ යම් ප්‍රමාණයකට හෙළ බොදු සංස්කෘතිය ගැබ් වී ඇත. මෙරට ඇති දහස් ගණන් ලෙන් වලගම්බා රජුගේ නිර්මාණ නොව (මව් පසින් යක්‍ෂ ගෝත්‍රික සම්භවයක් ඇතැයි සිතිය හැකි එතුමා විසින් කරවන ලද ලෙන් එකක්වත් නැතැයි මෙයින් නො කියැවෙය)ි යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් වීමට පෙර සෘෂිවරුන් වෙනුවෙනුත් බෞද්ධයන් වූ පසු භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙනුත් නිර්මාණය කරන ලද ආරාම යැයි කිව හැකි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සිරිත් විරිත් හෙළ බොදු සංස්කෘතියටත් පසුව සිංහල බෞද්ධ සංස්කෘතියටත් අවශෝෂණය වි ඇත. සිංහල බුද්ධාගමේ මහසෙන් වැනි දෙවියෝ බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ නෑ යක්කු (දෙවියෝ) වෙති. යුරෝපීයයන් පැමිණෙන තෙක් සිංහල බුද්ධාගම හා සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම මහාවිහාරයේ නීති රීතිවලට යටත්ව අපට ප්‍රශ්නයක් නො වී ය. එහෙත් එය නො වෙනස් ව පැවති යැයි අනේ අනිච්චං යැයි කීමට පුරුදු වූ සංස්කෘතියක කිසිවකු නොකියන්නට ඇත. අපි භාරතයේ ඇතැම් දේ පොළොන්නරුව යුගයේත් ඉන්පසුවත් අනුකරණය කළෙමු. එහෙත් සිංහල බෞද්ධ අධ්‍යාත්මය නැතිකර නොගත්තෙමු. තුන්වැනි සංගායනාවේ හා අටුවාවේ පරමාර්ථ ධර්මවලට යටත්ව නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම හා නිවන අපේ අධ්‍යාත්මය සකස් කළේ ය.

අනාත්මය හා බැඳුණු අනිත්‍ය දහම තරම් ගැඹුරු දහමක් මුළු ලෝකයේ ම දක්නට නැත. උත්පාද භංග යන්නට එකතු වී ඇති තිථිය එදා අපට ප්‍රශ්නයක් නො වී ය. අනුකාරක උගතුන් තිථිය එල්ලාගන්නට ඇතත් සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට වෙනස්වීම ප්‍රශ්නයක් නො වී ය. අනේ අනිච්චං කී ගැමියෝ අනිච්චේ දුක්කේ සංසාරේ යැයි කීමට ද අමතක නො කළහ. ඔවුහු කසිකබල් උගතුන් මෙන් නොව මහාප්‍රාණ රහිත ව පුනරුත්පත්තිය පිළිගත්හ. සසරට බියවූහ. බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලට මුළා වී සසරක් නැතැයි, පුනරුත්පත්තියක් හෝ පුනබ්භවයක් හෝ නැතැයි  කී උගත්තු අනාත්මය පිළිබඳ බොරු කතා ගෙතුහ. මාර්ටින් වික්‍රමසිංහ මහතා ආත්මයක් ද නැත අනාත්මයක් ද නැත යනුවෙන් තමන්ට නොතේරෙන චතුස්කෝටිකයක් ගැන කීවේ ය. වාසනාවකට ගැමියෝ ඔහුගේ පොත් නො කියවූහ. එහෙත් අද එදා මෙන් නො වේ. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුම ඈත ගම්වලට ද පැතිරී ඇත. රූපවාහිනිය ද ඒ දැනුම පිරිත් බණ වැනි බෞද්ධ කෑලි සමග ප්‍රචාරය කරයි. අද බටහිර දැනුම විසින් අප පාලනය කෙරෙයි. අද මිනිසුන් සසරට බය නැත. ඔවුන්ගේ ලජ්ජා බය තුරන් කෙරී ඇත. ඔවුගු අද අනිත්‍ය අනාත්ම පැත්තකට දමා නොමියන මිනිසුන් මෙන් ජීවත් වෙති. ඒ අතර ඉඳහිට පන්සල් ද යති. අද තිථිය ක්‍ෂණයකට සීමා වී නැත. ඒ මදිවාට අනුකාරක ඇංකර් උගතුන්ට ක්‍ෂණය අර්ථදැක්වීමට ද නො හැකි ය. (මතු සම්බන්ධයි)                 


නලින් ද සිල්වා

2013-10-27