Main Logo

Sunday, 6 October 2013

යටත්විජිත විරෝධය වෙනුවට ආදේශිත සිංහල විරෝධය

පඬියන් පුන පුනා කියන කරුණක් නම් මෙරට නිදහස් සටනක් නොතිබූ බැවින් අපට ජාතියක් ලෙස සිතීමට, කටයුතු කිරීමට නොහැකි වී තිබෙන බව ය. මෙහි ඇත්ත නැත්ත කෙසේ වුවත් සිංහලයන්ගේ යටත්විජිත විරෝධී සටනට ඇතැම් මුස්ලිමුන්ගෙන් ඇතැම් අවස්ථාවල සහායක් ලැබී ඇති නමුත් දෙමළ ජනයාගෙන් කිසිම සහායක් ලැබී නැත. අප කලින් ද කියා ඇති පරිදි බටහිර යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව සිංහලයන්ගේ සටන් ඇරඹුණේ මායාදුන්නේ රජුගේ නායකත්වයෙනි. ඩොයිලිගේ සටකපටවලට යට වී ගිවිසුමක් මගින් 1815 දී රට ඉංගිරිසින්ට භාරකර දෙන තෙක් අපි යටත් නො වීමු. 1816 වන විට ඉංගිරිසින් ගිවිසුම කැඩූ බැවින් සිංහලයෝ එදා සිට නැවතත් යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව තම අරගලය ආරම්භ කළහ. ඒ අතර ඉංගිරිසිහු තම පාසල් ඔස්සේ මැකෝලිගේ දරුවන් බිහිකිරීම ඇරඹූහ. මැකෝලිගේ දරුවෝ ද ටික කලක් ඇවෑමෙන් ඊනියා යටත්විජිත විරෝධී සටනක නිරත වූහ. ඉංගිරිසි කතාකළ ඔවුහු තමන් ඉංගිරිසින්ට ද වඩා හොඳ ඉංගිරිසිකාරයන් බව තම ස්වාමීන්ට ඒත්තු ගන්වා ඉතා සීමිත කටයුතු කිරීම තමන්ට පවරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුහු ඒ සඳහා ජාතික කොංග්‍රසයක් පිහිටුවා ගෙන තමන්ට අවශ්‍ය දේ පෙත්සම් මගින් ලබාගැනීමට උත්සාහ කළහ. ඔවුහු තමන් ලාංකිකයන් (සිලනීස්) ලෙස හඳුන්වා ගත්හ. එහෙත් ඊනියා ලාංකිකයෝ සාමාන්‍ය ජනතාවගෙන් වෙන්වු වෙන ම ජාතියක් වූහ. මෙහි ජාතිය යන්න විවිධාර්ථ දෙන අයුරින් යොදා ගැනී ඇත. මේ සිලනීස් (මෙය ජිප්සීස් යන්නෙන් එතරම් වෙනස් නො වේ) කණ්ඩායමේ පළමු නායකයෝ බර්ගර්වරු වූහ. බර්ගර්වරුන්ට එතරම් දෙයක් කළ නොහැකි බැවින් ඉංගිරිසිහු ඉන්පසු සිලනීස් නායකත්වයට වෙල්ලාල දෙමළ ජනයා පත්කර ගත්හ. සිලනීස්ලා මුල සිට ම සිංහල බෞද්ධයන්ට විරුද්ධ වූහ. සිලනීස් කණ්ඩායම ජනතාවගෙන් වියෝ වූ බැවින් එය ගබ්සා වී බිහිවූ ජාතියක් විය. බර්ගර් ඩෝර්න්හෝස්ට්ලාගේ සිට රාමනාදන්ලා හරහා රනිල් වික්‍රමසිංහ දක්වා අය මේ ජාතියේ සාමාජිකත්වය ලැබූහ. එ ජා ප හා විග්නේස්වරන්ලා (සුමන්තිරන්ලා)ගේ දෙමළ රාජ්‍ය පක්‍ෂය මේ ව්‍යාපාරයේ දේශපාලන පක්‍ෂ වෙයි. ඒ අතර හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය ද ඒ දේශපාලනයෙහි නිරත වෙයි. අද වන විට නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සිංහලෙන් බටහිර ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ පඬියෝ මේ සිලනීස් මළකුණ ඊනියා ලාංකික නමකින් ඉස්සීමට උත්සාහ කරති.  

මැකෝලිගේ දරුවන් ගබ්සා වූ සිලනීස් කන්ඩායමට පණ දීමට උත්සාහ දරද්දී සිංහලයෝ විවිධ ආකාරයෙන් තම යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිත විරෝධී සටන ඉදිරියට ම ගෙන ගියහ. වාරියපොළ සුමංගල හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේ ද අනගාරික ධර්මපාලතුමා ද, කැප්පෙටිපොළ නිළමෙ ඇතුළු ගිහියෝ ද එයට සහභාගි වූහ. එහෙත් ඇතැම් මුස්ලිමුන්ගෙන් එයට සහායක් ලැබුණ ද උඩ සිට පගළට ක්‍රියාත්මක වන දෙමළ ජාතිකවාදය හේතුවෙන් දෙමළ ජනයාගෙන් ඒ සඳහා කිසිම ආධාරයක් නො ලැබිණි. අරුමුගම් නවලාර්තුමාගේ ව්‍යාපාරය වුව ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී රාමුව තුළ ම වූ හින්දු පුනර්ජීවනයක් පමණක් විය. ඉංගිරිසිහු සියළු ජනවරග, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගය සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. ඉංගිරිසින්ට හා පොදුවේ බටහිරයන්ට යුද්ධයෙන් පරාජය කළ නොහැකි වූ ජාතින් අතර ප්‍රධාන ම තැනක් ගත්තේ සිංහල ජාතිය ය. බටහිරයන්ගේ ඉන්ද්‍රිය පිනවන, පෞද්ගලිකත්වය ඉස්මතු කරන සංස්කෘතියට අභියෝග කළ හැකි එකම සංස්කෘතිය හෙළ (සිංහල) බෞද්ධ සංස්කෘතිය යැයි සිතමි. අපේ ගැමියන්ගේ අනේ අනිච්චන් යන්නෙහි ඇති දාර්ශනික ගැඹුර හෙරක්ලිටස්ලාගේ ප්ලේටෝලාගේ නිෂ්ට්ස්සේලාගේ රසල්ලාගේ විට්ගන්ස්ටයින්ලාගේ මාක්ස්ලාගේ හෙගල්ලාගේ ඩෙරීඩාලාගේ ජියැක්ලාගේ දර්ශනවල නැත. (අනාත්ම හෙවත් නොපැවැත්ම පිළිබඳ ප්‍රශ්නය විදුසර පත්‍රයෙහි දිගින් දිගට ම සාකච්ඡා කෙරෙයි) බටහිර දාර්ශනිකයන්ගෙ පඹගාල පශ්චාත්නූතනවාදීහු ව්‍යාජ විදග්ධ වචනවලින් ප්‍රදර්ශනය කරති. පට්ටපල් බොරු වූ කතන්දරවලින් සමන්විත බටහිර විද්‍යාවට සමස්තයක් ලෙස ගත්කල ලෝකය කාලකණ්නිකිරීම හැර කළහැකි දෙයක් නැත. 


ඉංගිරිසිහු දෙමළ නායකයන්ට පළමුව සිංහල විරෝධයක් ඇතිකළහ. ඔවුන්ට වරප්‍රසාද හා තනතුරු ලබා දී සිංහල ජාතිකත්වයේ විරෝධය එයට එල්ලවත් ම ඉංගිරිසිහු දෙමළ වෙල්ලාල නායකයන් යටත්විජිත විරෝධී වීම වළකා ඒ වෙනුවට ඔවුන් කෙරෙහි සිංහල විරෝධයක් ඇති කළහ. (ඇතැම් ක්‍රිස්තියානි/කතෝලික පූජකයන් හා ප්‍රභූන් අතර ද මේ විරෝධය වෙයි.) වෙනත් වචනවලින් කියන්නේ නම් යටත්විජිත විරෝධය වෙනුවට සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරොධයක් ආදේශ කිරීමට කටයුතු කළහ. එමගින් ඉංගිරිසිහු සිංහලයන්ගේ යටත්විජිත විරෝධී අරගලය අඩපණ කිරීමට උත්සාහ ගත් හ. දෙමළ වෙල්ලාල නායකයන් සාමාන්‍ය දෙමළ ජනයා පීඩනයට ලක්කළ ද දෙමළ සංස්කෘතියේ ස්වභාවය හේතුවෙන් නායකයන්ට තම මතය සාමාන්‍ය ජනයා මත පැටවිය හැකි ය. අද ද දෙමළ ජනයාට යටත්විජිත විරෝධයක් වෙනුවට සිංහල විරොධයක් ඇති කිරීමට බටහිරයෝ කටයුතු කරති. එහි දී ඔවුහු ඉංගිරිසි අධ්‍යාපනයක් ලද (මාධ්‍යය කුමක් වුවත්) විසුරුණු දෙමළ ජනයා ද , රාජ්‍ය නොවන පඬියන් ද, නායක පූජකයන් ද ආදීන් යොදා ගනිති. විග්නේෂ්වරන්  ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි  විනිසුරුවකු වූයේ දෙමළ ජනයාට අසාධාරණකම් කෙරෙන්නේ යැයි කියන රටක ය. පඬියන් එවැනි තනතුරු ලැබීම් හඳුන්වන්නේ අහම්බ ලෙස ය. එහෙත් එවැනි අහම්බ සිදුවීමේ සම්භාවිතාව බටහිර සංඛ්‍යානය අනුව ගණනය කළත් අපට පෙනෙන ප්‍රමාණයට බෙහෙවින් අඩුවිය යුතු ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවන අසාධාරණයක් නැත. දෙමල නායකයන්ට ද අද ඒ බව පිළිගැනීමට සිදු වී ඇත. ඔවුන්ට ඇත්තේ අභිලාෂ බව ඔවුහු ම කියති. සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනයා මෙහෙයවීම බටහිරයන් අතින් පමණක් නොව සිංහලයන්ට සදාකාලික ව විරුද්ධ ඉන්දියාවෙන් (භාරතයෙන්) ද කෙරෙයි. එහෙත් මෙහි අවසානයකට අපි අද පැමිණෙමින් සිටිමු. ඉන්දියාවේත් බටහිරත් අවශ්‍යතා අතර වෙනස ඉදිරියේ දී ඉස්මතු වනු ඇත. දැනටමත් උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් පත්කිරීමේ දී ඒ වෙනස පෙනෙන්නට පටන්ගෙන ඇත. ඉදිරි කාලයේ දී ටී එන් ඒ සංවිධානය දෙකඩ වීම වැළැක්විය නො හැකි ය. ඒ අතර අප දෙමළ ජාතිවාදයේ ක්‍රියාවලට හුදු  ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඉදිරි දැක්මක් සහිතව දෙමළ ජාතිවාදයේ ස්වභාවය තේරුම් ගෙන එය දේශපාලනික ව පරාජය කිරීමට කටයුතු කළ යුතු ය. සාමාන්‍ය දෙමළ ජනයා කසිකබල් මාක්ස්වාදයට අනුව (මාක්ස්වාදීහු අවසාන විග්‍රහයෙහි බටහිර යටත්විජිතවාදීහු වෙති) නොව ජාතිකත්වයට අනුව  බටහිර යටත්විජිත විරෝධීන් බවට පත්කිරීමේ කාර්යයට තරුණ දෙමළ නායකත්වයක් සමග අතගැසීමට කාලය පැමිණ ඇත. 


නලින් ද සිල්වා

2013-10-06