Main Logo

Wednesday 16 April 2014

වැලිකඩ හිර වූවෝ හා ගුරුත්වයේ හිර වූවෝ

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බොහෝ මහාචාර්යවරුන් හා උගතුන් මෙන් ම තමන් තරම් කියවා නැතැයි සිතන සාමාන්‍ය ජනතාව ඉදිරියේ වීරයන් වීමට තැත් කරන්නේ තමන් නො කියවූ එසේත් නැත්නම් කියවුව ද තේරුම් නො ගත් දේ ජනතාව ඉදිරියේ ගෙනහැර දැක්‌වීමෙනි. අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් හා මා පශ්චාත්නූතනවාදීන් යෑයි අප්‍රියෙල් 9 වැනි දා ලිපියෙහි සඳහන් කරයි. ඒ බව ඔහු මේ සංවාදය මුල දී ම පැවසී ය. එය එසේ නො වන බව මම 2013 ඔක්‌තෝබර් 30 වැනි දා ලිපියෙන් කරුණු සහිත ව පැහැදිලි කෙළෙමි. එහෙත් ඔහු මාස 5කට පමණ පසුව නැවතත් ඒ චෝදනාව ඉදිරිපත් කරන්නේ පාඨකයනට ඒ සියල්ල අමතක වී ඇතැයි සිතමින් ද?

තම බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා මෙන් ම අශෝක අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය යනු කුමක්‌ දැයි නො දනියි. අමරසේකර මහතා පශ්චාත්නූතනවාදය හදාරා නැත. ඔහු ඒ ගැන ජනප්‍රිය පොතක්‌ දෙකක්‌ පමණක්‌ කියවා ඇත. ඔහු ගෙන් පශ්චාත්නූතනවාදය යනු කුමක්‌ දැයි ඇසුව හොත් ඔහු දෙන පිළිතුර නම් ඒකෙන් වැඩක්‌ නැහැ යන්න ය. අමරතුංග මහතා කියන්නේ පශ්චාත්නූතනවාදය කඩාවැටී ඇති බව ය. අමරතුංග මහතා අන්තර්ජාලයෙන් වත් කියවා පශ්චාත්නූතනවාදයෙහි ලක්‍ෂණ කවරේ දැයි විස්‌තර කරන්නේ ද? හුදු ලැයිස්‌තුගත කිරීමක්‌ මෙහි දී ප්‍රමාණවත් නො වන බව ද ප්‍රකාශ කරමි. පශ්චත්නූතනවාදය යනු නූතනත්වයේ අවරෝධිත යුගය පිළිබඳව බටහිර බුද්ධිමතුන් පිරිසක්‌ නිර්මාණය කර ඇති දැනුම් පද්ධතියක්‌ පමණකි. පශ්චාත්නූතනත්වය නූතනත්වයේ කඩා වැඩීම පිළිබඳ ප්‍රපංචය වෙයි. අමරතුංග මහතාට ඒ බව කියා දීමට බටහිර උගතකු නො සිටිය ද පශ්චාත්නූතනත්වය පමණක්‌ නො ව නූතනත්වය ද ඒ සමග නූතනත්වයේ නිෂ්පාදිතයක්‌ වූ බටහිර විද්‍යාව ද කඩාවැටෙමින් ඇත. අමරතුංග මහතා පශ්චාත්නූතනවාදය විස්‌තර කරන අතර පශ්චාත්නූතනත්වය ගැන ද යමක්‌ කියන්නේ නම් මැනවි. එවිට ඔහු ගේ උගත්කම ගැන අපට වැඩිදුරටත් අවබෝධයක්‌ ලැබෙනු ඇත. 

කලකට පෙර අමරතුංග මහතා කියා සිටියේ මා ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය පිළිබඳ අලුත් කරුණු කිසිවක්‌ නො දන්නා බව ය. එසේ නො දැන සිටීම නිසා ගුරුත්වාකර්ෂණය හා විශේෂ සාපේක්‍ෂතාවාදය එකතු වීමෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය ලැබෙන බව මා නො දන්නේ යෑයි අමරතුංග මහතා නො පැකිළව ප්‍රකාශ කළේ ය. 2011 වන තුරු විශ්වවිද්‍යාලයයේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉගැන්වූ මා නො දන්නා එහෙත් පොතපතින් සාපේක්‍ෂතාවාදය ඉගෙන ඇති අමරතුංග මහතා දන්නා කරුණු ඉගෙනගැනීමේ ආශාවක්‌ මට ඇති විය. කාගෙන් වුවත් ඉගෙනගැනීම මට ප්‍රශ්නයක්‌ නො වේ. එහි දී විශේෂයෙන් බලපෑ කරුණක්‌ විය. ඒ ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය අතර ඇතැයි කියන සම්බන්ධය ය. අමරතුංග මහතා කිසි ම පදනමකින් තොර ව දිගින් දිගට ම කියා සිටියේ විශේෂ සාපේක්‍ෂතාවාදයට ගුරුත්වාකර්ෂණය එකතු කිරීමෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය ලැබෙන බව ය. මා දන්නා මා උගන්වා ඇති සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව එය එසේ නො වේ. 

සාධාරණ සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙනි. විශේෂ සාපේක්‍ෂතාවාදයේ අවස්‌ථිති සමුද්දේශ රාමු ඉවත් කළ විට විශේෂ සාපේක්‍ෂතාවාදය පමණක්‌ නො ව ගුරුත්වාකර්ෂණය ද ඉවත් වෙයි. අපි ගුරුත්වාකර්ෂණය මොහොතකට පැත්තකට දමමු. අවස්‌ථිති සමුද්දේශ රාමු ඉවත් කළ විට විශේෂ සාපේක්‍ෂතාවාදය අහෝසි වෙයි. විශේෂ සාපේක්‍ෂතාවාදය පවතින්නේ ම අවස්‌ථිති සමුද්දේශ රාමු මත පදනම් ව ය. අවස්‌ථිති සමුද්දේශ රාමු නැත්නම් විශේෂ සාපේක්‍ෂතාවාදයක්‌ නැත. එවිට ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු කිරීම යන්න ම පරස්‌පරයක්‌ වෙයි. එහෙත් අමරතුංග මහතාට පරස්‌පර ගැන වැටහීමක්‌ නැත. ඔහු ජීවත් වන්නේ පරස්‌පරවලින් පිරි ලෝකයක ය. 

ගුරුත්වාකර්ෂණය පිළිබඳව දීර්ඝ වශයෙන් පසුව කරුණු දැක්‌වීමට අදහස්‌ කරමි. අමරතුංග මහතා ගේ දැනගැනීම සඳහා දැනට කිව යුත්තේ අවස්‌ථිති සමුද්දේශ රාමු ද ගුරුත්වාකර්ෂණය මෙන් ම පට්‌ටපල් බොරුවක්‌ බව ය. අවස්‌ථිති සමුද්දේශ රාමු අර්නස්‌ට්‌ මාක්‌ නම් භෞතික විද්‍යාඥයා ගේ හා විද්‍යාවේ දාර්ශනිකයා ගේ දැඩි විවේචනයට හසු විය. අවස්‌ථිති සමුද්දේශ රාමු යනු වියුක්‌ත සංකල්පයකි. අවස්‌ථිති සමුද්දේශ රාමු ගැන කියවා ඇති අමරතුංග මහතාට ඒ රාමු ඇත්තේ කොහේ දැයි කිව හැකි ද?

අවස්‌ථිති සමුද්දේශ රාමු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ කිසි දිනෙක නිරික්‍ෂණය කළ නො හැකි ය. යම්කිසි අයුරකින් අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ තිබිණි නම් එයට නිරීක්‍ෂකයකු ගොඩවැදුණු විගස එය තවදුරටත් අවස්‌ථිති සමුද්දේශ රාමුවක්‌ වන්නේ නො වේ. මාක්‌ පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප බටහිර භෞතික විද්‍යාවේ යොදාගැනීමට විරුද්ධ විය. මේ අදහස්‌වලින් තරුණ අයින්ස්‌ටයින් ආභාසය ලැබී ය. අයින්ස්‌ටයින් අවස්‌ථිති සමුද්දේශ රාමු ද ඒ සමග ගුරුත්වාකර්ෂණය ද බටහිර භෞතික විද්‍යාවෙන් පළවා හැරියේ මාක්‌ ගේ අදස්‌වලින් ආභාසය ලැබීමෙනි. 

මට අවශ්‍ය වූයේ මා නො දන්නා අලුත් කරුණු අමරතුංග මහතා ගෙන් ඉගෙන ගැනීමට ය. එයට මූලික ම හේතුව වුයේ ඉහත සඳහන් ආකාරයට විශේෂ සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය එකතු වීමෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය ලැබෙන්නේ කෙසේ දැයි ඒ අලුත් කරුණුවලින් තහවුරු වන ආකාරය දැනගැනීමට ය. අප්‍රියෙල් 09 වැනි දා ලිපියෙන් ඔහු ඒ සඳහා කරුණු කිහිපයක්‌ දක්‌වා ඒ කරුණු මා නො දන්නේ යෑයි සිතීමට නොහැකි බවක්‌ පවසයි. අන්තර්ජාලය පරිශීලනය නො කරන, තවමත් අතීතයේ ජීවත් වන, අලුත් කරුණු නො දන්නා, මෝඩ ප්‍රශ්න අසන මා ගැන හදිසියේ එවැනි දෙයක්‌ කීමට ඒ මහතා පොලඹවනු ලැබුවේ කුමක්‌ විසින් ද?

ඒ මහතා දක්‌වා ඇති කරුණු අවුරුදු අනූවක්‌ පමණ පරණ ය. ඒ කරුණු නො දැන අවුරුදු 45කට පමණ ඉහත දී මට සාපේක්‍ෂතාවාදී තාරකා භෞතිකයෙන් ලොවේ උසස්‌ ම විශ්වවේදියකු ගේ අධීක්‍ෂණය යටතේ (ඇත්තට ම ඔහු ගේ වුවමනාවට) ආචාර්ය උපාධියක්‌ ලබාගැනීමේ හැකිකමක්‌ නො වී ය. අමරතුංග මහතා දක්‌වන සංකල්ප මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ ඇතුළත් වෙයි. ඒ මහතා ගේ දැනගැනීම පිණිස කිව යුතු කරුණක්‌ නම් එක්‌තරා ආකාරයකින් ගත් කල මා ගුරුත්වජ කාච (gravitational lenses) අධ්‍යයනයෙහි පුරෝගාමියකු වූ බව ය. ගුරුත්වජ කාච මාගින් බහු ප්‍රතිබිම්බ (multiple images) සෑදෙන බව පළමුවරට සඳහන් වන්නේ මගේ නිබන්ධනයෙහි ය. මා ඒ සම්බන්ධයෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා ද ඊනියා ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවල පළ කර ඇත. මගේ පුරෝකථනය එයට අවුරුදු 15කට පමණ පසු නිරීක්‍ෂණය කෙරිණි. මා මේ සියල්ල සඳහන් කරන්නේ මා ඒ අගයන නිසා නො ව උගත් ඩී. එස්‌. සී උපාධිධාරී සම්මානිත මහාචාර්ය අමරතුංග මහතා කියන තරම් ම මා මෝඝ පුරුෂයකු නො වන බව පෙන්වීමට ය. අදාළ සියලු සංකල්ප පට්‌ටපල් බොරු බවත් ඒ සමග සඳහන් කළ යුතු ය. 

මෙහි දී කිව යුතු කරුණක්‌ වනුයේ මේ කාචවලට ගුරුත්වජ කාච යෑයි කියනු ලබන්නේ එහි දී ගුරුත්වාකර්ෂණය යෙදෙන නිසා නො වේ. අද එය හුදු නමක්‌ පමණකි. අද බොරැල්ල හා දෙමටගොඩ අතර සුද්දන් විසින් මවුන්ට්‌ මේරි නමින් හඳුන්වනු ලැබූ ප්‍රදේශයෙහි පිහිටි වැලිකඩ හිරගෙදරට එසේ කියන්නේ එය එදා කෙසේ වෙතත් අදත් වැලිකඩ පිහිටා ඇති නිසා නො වේ. සමහර නම්වල ඇත්තේ ඵෙතිහාසික වැදගත්කමක්‌ පමණකි. ඇතැමුන් වැලිකඩ හිරගෙදර කොටු වී ඇති අතර බොහෝ බටහිර වෛද්‍යවරුන් ද (දන්ත වෛද්‍යවරුන් ද ඇතුළුව) බටහිර විද්‍යාඥයන් ද ගුරුත්වයෙහි හිර වී ඇත. මොවුන් මගේ අදහස්‌වලට කෙතරම් ද්වේශ කරන්නේ ද යත් ඔවුන් ගේ ඉහළ ම සංවිධාන මට තහනම් නියෝග නිකුත් කරමින් මට විරුද්ධ ව යෝජනා සම්මත කරගත් අතර කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨය මගේ ඡායාරූපයක්‌ අනෙක්‌ හිටපු පීඨාධිපතිවරුන් ගේ ඡායාරූප සමග එල්ලා තැබීම ප්‍රතික්‍ෂෙප කර ඇත. මා දරන්නේ මිථ්‍යා මත යයි යමකු පවසන්නේ නම් එයින් කියෑවෙන්නේ මෙරට සුවාසුදහසක්‌ ජනතාව මිථ්‍යා මතවල එල්බගෙන ඇති බව ය. 

ගුරුත්වජ කාච පිළිබඳ කිසි ම ගණනය කිරීමක්‌ නිවුටන් ගේ පට්‌ටපල් බොරු ගුරුත්වාකර්ෂණ නියමය පදනම් කරගනිමින් කර නැත. සියල්ල අයින්ස්‌ටයින් ගේ පට්‌ටපල් බොරු සංකල්ප මත පදනම් වි ගණනය කෙරී ඇත. ඒ සංකල්ප ද එකක්‌ වත් පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. අවකාශ-කාල වක්‍රතාව තබා අවකාශ-කාලය වත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒවා ඉස්‌තරම් ගණයේ වියුක්‌ත සංකල්ප වෙයි. පට්‌ටපල් බොරු වුවත් මම වියුක්‌ත සංකල්පවලට ඇලුම් කරමි. කුඩා කල සිට මා පුරුදු වී ඇත්තේ වියුක්‌ත ව සිතීමට ය. මගේ සංසාරය දික්‌ වීමට එය ද හේතුවක්‌ වන්නේ යෑයි සිතමි. 

අයින්ස්‌ටයින් මාක්‌ ගේ අභාසයෙන් අවස්‌ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් පළවා හැරිය ද, ඔහු එයට වඩා භයානක සංකල්ප බටහිර භෞතික විද්‍යාවට හඳුන්වා දුන්නේ ය. මෙහි දී කිව යුත්තක්‌ නම් මාක්‌ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන තිබූ විශ්වාසය කෙතක්‌ ද යත් ඔහු ඉන්ද්‍රියානුභූතවාදය (Positivism) නමින් ඇති දර්ශනවාදයක ආරම්භකයකු වූ බව ය. අමරතුංග මහතා මේ සතියේ හෝ ඊළඟ සතියේ හෝ අනුභූතිවාදය (empiricism) ගැන පැහැදිලි කිරීමක්‌ කරන්නේ නම් මැනවි. එයට ප්‍රධාන හේතුව මා පසුගිය සතියේ ද සඳහන් කළ පරිදි ඔහු ආනුභවික යන්න නිතර යෙදීම ය. එසේ ම අනුභූතිවාදය ඉන්ද්‍රියානුභූතවාදයෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද යන්න ද දැනගැනීමට කැමැත්තෙමි. මේ සංකල්ප පිළිබඳ ව අමරතුංග මහතා දරන අදහස්‌ පැහැදිලි කරගැනීමෙන් අපට මේ සංවාදය වඩා සාර්ථක ව කරගෙන යැමට හැකි වනු ඇත.

අපි දැන් නැවතත් අමරතුංග මහතා ගේ අප්‍රේල් 2 වැනි දා ලිපියට යන්නේ පසුව ඉඩ ලැබෙන අයුරින් අප්‍රේල් 9 වැනි දා ලිපියට ඒමේ බලාපොරොත්තුවෙනි. එහි "ඔපනයික" යන වචනයට බුදුදහමේ ප්‍රායෝගික බව යන තේරුම දී ඇත. "පච්චත්තන්වේදිතබ්බෝ ú[aûys  " යන්නට ඥනවන්තයකුට තමන් ගේ ම උත්සාහයෙන් වටහාගත හැකි යන තේරුම දී ඇත. මෙම තේරුම් දෙක ම වැරැදි බව උගත් ධර්මධර භික්‌ෂුන් වහන්සේලා ගේ අදහස ය. ඔපනයික යන්නෙන් කියෑවෙන්නේ නිවනට පමුණුවන යන්න ය. පච්චත්තන්වේදිතබ්බෝ ú[aûys යනු විඤ්ඤූන් (නුවණැතියන්) විසින් ප්‍රත්‍යක්‌ෂව වටහාගත යුතු ය යන්න ය. අමරතුංග මහතා මෙවැනි වැරැදි අර්ථකථන දෙන්නේ ප්‍රත්‍යක්‌ෂ යන්න මඟහැරීම සඳහා ද?

අමරතුංග මහතා අප්‍රේල් 2 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "බුදු දහමේ අරටුව වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය අපට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයෙන් වටහාගත හැකි බව පැවසුවෙමි. ඉන්ද්‍රිය ගෝචර නො වූ කිසිවක්‌ බුදු දහමේ නැති බව ද මා පවසා ඇත. එසේ නම් පුනබ්භවය, කර්මය, සසර, බුදුදහමට අයත් නැද්දැයි නලින් මහතා අසයි. බුදු දහමේ අරටුව ඉන්ද්‍රිය ගෝචර නම් ඒ වටා ඇති අදහස්‌, සංකල්ප අප ගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක්‌ ද යන්නට අදාළ නැතැයි සිතා විදුසර පිටු නාස්‌ති නො කිරීම පිණිස ඒ ගැන සාකච්ඡා කිරීමෙන් වැළකී සිටිමු".

අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයෙන් වටහාගත හැකි බව කීම එකකි. ඒ බව පෙන්වා දීම තවත් එකකි. අනාත්ම යන්න ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ දැයි ඇසූ විට අමරතුංග මහතා කියන්නේ ආත්මයක්‌ නැති නිසා එය ඉන්ද්‍රිය ගෝචර නො වන බව ය. මෙය වැඩි ම වුව හොත් යන්නේ කොහෙ ද මල්ලේ පොල් ගණයේ පිළිතුරකි. අපේ ප්‍රශ්නය අනාත්ම ගැන ය. හැකි නම් අනාත්ම ඉන්ද්‍රිය ගෝචර බව පෙන්වන්න. හුදෙක්‌ ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රමාණවත් නො වේ. පාඨකයා ගේ නිරවුල් අවබෝධය සඳහා පිටු පිරවීම නාස්‌තියක්‌ නො වේ. අනිත්‍ය යනු හුදු වෙනස්‌ වීම නො වන බව පමණක්‌ දැනට සඳහන් කරමි.

අමරතුංග මහතා ඒ කිසිවක්‌ ඉන්ද්‍රිය ගෝචර බව පෙන්වා නැත. ඔහු සසර කර්මය ආදිය ඉන්ද්‍රිය ගෝචර බව නො පෙන්වා පළා යන්නේ මහාචාර්යවරුන්ට සුපුරුදු ආකාරයට ය. කරුණාකර අනාත්ම ඉන්ද්‍රිය ගෝචර බව පෙන්වා ඉන්පසු හෝ එයට පෙර හෝ පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර බව පෙන්වන්න. එය පුනබ්භවය බටහිර විද්‍යාත්මක ව ඔප්පු කරන මෙන් ඉල්ලා සිටින අයට ද ආකර්ෂණයක්‌ වනු ඇත. 

අමරතුංග මහතා අදාළ ලිපියෙහි මෙසේ ද කියයි. "මිථ්‍යා සහ පාරභෞතික මත විද්‍යාව තුළ නොමැති වීම ඔහු දකින්නේ බටහිර චින්තනයේ ආභාසය නිසා සිදු වූවක්‌ ලෙස ය. ඒවා නැති වීම විද්‍යාවේ දුර්වලතාවක්‌ ලෙස ය ඔහු දකින්නේ." මා මෙසේ කිසා ඇත්තේ කොතැනක ද? කරුණාකර එවැනි ප්‍රකාශයක්‌ කර ඇත්නම් ඒ බව උපුටා දක්‌වන්න. උපුටා දක්‌වන්නේ නැති අමරතුංග මහතාට ඕනෑ ම බොරුවක්‌ කියා පැන්න හැකි ය. 

අවසාන වශයෙන් ඒ ලිපියෙහි ඇති මේ කොටසට පාඨකයා ගේ අවධානය යොමු කරමි. "බටහිර විද්‍යාවේ ප්‍රවාද  (Theory)  ඔප්පු කිරීමට සාක්‌ෂි තිබේ දැයි නලින් මහතා මගෙන් අසයි. සමහර ප්‍රවාද සාක්‌ෂි නැති නිසා ප්‍රවාද පමණක්‌ වශයෙන් පවතියි. (Theory only) ග සමහරක්‌ ඔප්පු කොට ඇති ප්‍රවාද වන්නේ ය. උදාහරණයක්‌ වශයෙන් the big bang theory තවමත් ඔප්පු කොට නැත. සත්ත්ව පරිණාමවාදය (Darwin's theory of evolution) ඔප්පු කිරීම පිණිස අවශ්‍ය සාක්‌ෂි ඕනෑවටත් වඩා අප සොයාගෙන ඇත. එසේ ම විද්වත් අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ඔප්පු කිරීමට අවශ්‍ය සාක්‌ෂි සොයාගෙන.." මට අවශ්‍ය වූයේ අමරතුංග මහතා ප්‍රවාද පමණක්‌ යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි දැනගැනීමට ය. ඒ ඔහු ඒ වචන වා පිත් සෙම් ප්‍රවාදය සඳහා යොදාගත් බැවින් ය. එයට විස්‌තරාත්මක පිළිතුරක්‌ පසුව දෙමි. එහෙත් ඔහු ගේ දැනගැනීම සඳහා කිවයුත්තේ විශ්වවේදය (Cosmology) පට්‌ටපල් බොරුවක්‌ වුවත් ඔහු කියන ආකාරයේ ප්‍රවාදයක්‌ පමණක්‌ නො වන බව ය. පසුගිය සති දෙකේ නිව්සයන්ටිස්‌ට්‌ සඟරාව කියවී නම් (අමරතුංග මහතා දැනුම නිතර යාවත්කාලීන කරගනියි) මේ සම්බන්ධයෙන් තවත් කරුණු දෙකක්‌ ඒ මහතාට දැනගත හැකි වනු ඇත. අනෙක්‌ අතට මහා පිපුරුම ඉදිරිපත් කෙරෙන්නේ අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදයේ අභ්‍යුහනයක ලෙස ය. අමරතුංග මහතා කියන්නේ සාපේක්‌ෂතාවාදය තවමත් ඔප්පු වී නොමැති බව ද?


නලින් ද සිල්වා

16-04-2014