Main Logo

Wednesday 30 April 2014

වියුක්‌ත දත


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය අප්‍රියෙල් 23 ලිපියෙහි මෙසේ කියයි.

"කොපර්නිකස්‌, ගැලීලියෝ, නිව්ටන්, අයින්ස්‌ටයින්, බොරුකාරයන් බව පවසන්නේ ඔහු ගේ මමත්වයේ ඇති විශාලත්වය සහ මෝඩකම ලොවට ම ප්‍රදර්ශනය කරමිනි. විශ්වවිද්‍යාලයෙන් තමාට හිමි වූ මහාචාර්ය පදවිය පවා රැකගැනීමට නොහැකි වු කෙනකු මෙසේ හැසිරෙන්නට ඉඩ ඇති බව මනෝවෛද්‍යවරුන් පවසනවා ඇත. ආනුභවික යන්නෙන් මා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි නලින් මහතා මගෙන් අසයි. ඊට උත්තර දීමට පෙර විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ වන්නේ කෙසේ ද ඒ නිසා එය බොරුවක්‌ වන්නේ කෙසේ දැයි නලින් මහතා පැහැදිලි කළ යුතු ව ඇත. එසේ නොමැති ව මේ විවාදය තව දුර ගෙන යැම තේරුමක්‌ නැත."

කොපර්නිකස්‌ ආදීන් පිළිබඳ මගේ පෞද්ගලික විවේචනයක්‌ නැත. මා ඔවුන් බොරුකාරයන් බව පවසා නැත. එහෙත් ඔවුන් ගේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව මා පෙන්වා දී ඇත. එසේ කරන්නේ මගේ මමත්වයේ විශාලත්වය නිසා යෑයි කිව හැක්‌කේ අමරතුංග මහතා ගේ ගණයේ මහාචාර්යවරුන්ට ය. විශ්වවිද්‍යාලයෙන් මට හිමි වූ මහාචාර්ය ධූරයක්‌ නැත. මා ඒ ධූරය ලබාගත්තේ එයට අදාළ නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසුව ය. මට එය රැකගැනීමට නොහැකි වී යෑයි කීම අමරතුංග මහතා ගේ අඥානකම තවදුරටත් විදහාපාන්නකි. සම්මානිත මහාචාර්ය පදවියක්‌ ලැබීම යනු මහාචාර්ය පදවිය රැකගැනීමක්‌ නො වේ. ඇතැම් මහාචාර්යවරුන් යම් යම් නිර්ණායක සපුරා ඇත්නම් අදාළ පීඨ මණ්‌ඩලයේ හා සනාතන සභාවේ නිර්දේශය මත ඔවුන්ට සම්මානිත මහාචාර්ය ධුර පිරිනැමීමට අදාළ විශ්වවිද්‍යාලයයේ පාලක මණ්‌ඩලය තීරණය කරයි. මා ඒ අදාළ නිර්ණායක සම්පූර්ණ කර නැත. එයට ඇත්තේ අධ්‍යයන නො වන හේතු බව මා කලින් කියා ඇත. ඒ නිර්ණායක සම්පූර්ණ කළත් හිටපු පීඨාධිපතිවරයකු වූ මගේ ඡායාරූපයක්‌ අනෙක්‌ හිටපු පීඨාධිපතිවරුන් ගේ ඡායාරූප එල්ලා ඇති ශාලාවේ නො එල්ලීමට තීරණය කර ඇති කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨ මණ්‌ඩලය සම්මානිත මහාචාර්ය ධූරයක්‌ සඳහා මා නිර්දේශ නො කරන බව මම දනිමි. කෙසේ වෙතත් සම්මානිත මහාචාර්යවරයකු ලෙස පත්වීමක්‌ නො ලද්දකු මමත්වය හා මෝඩකම ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇති බව බටහිර මනෝවෛද්‍යවරුන් පවසන්නේ නම් එයින් හෙළිදරවු වන්නේ ද බටහිර මනෝවිද්‍යාව පට්‌ටපල් බොරු බව ය. සම්මානිත මහාචාර්ය පදවිවලට පත් කරනු නො ලැබූ තවත් මහාචාර්යවරු සිටිති. ඔවුන් ගැන බටහිර මනෝවිද්‍යාඥයන් කුමක්‌ කීමට ඉඩ ඇත් ද?


කෙසේ වෙතත් අමරතුංග මහතා මා බටහිර විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ වන්නේ කෙසේ ද, ඒ නිසා එය බොරුවක්‌ වන්නේ කෙසේ ද යන්න පැහැදිලි නො කර මේ විවාදය තවදුර ගෙන යැමේ තේරුමක්‌ නැතැයි කී විට මට බියක්‌ ඇති විය. ඒ මහතා එවැනි ප්‍රකාශයක්‌ කර විවාදයෙන් පැන ගිය හොත් පාඨකයන්ට ඒ මහතා ගේ අතාර්කික බව, අසංගත බව, නොදැනුවත්කම, යමක්‌ තේරුම්ගැනීමට ඇති නොහැකියාව ආදිය තවදුරටත් දැනගැනීමට ඇති අවස්‌ථාව නැති වීම පිළිබඳ බියක්‌ වෙයි. මා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පෙන්වා දී ඇත. ඒ බව තේරුම්ගත් පාඨකයෝ වෙති. මා කියා ඇත්තේ මෙයයි. බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත (abstract) වෙයි. වියුක්‌තය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. උදාහරණයක්‌ ලෙස සරල රේඛාව යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය අනුභූතියක්‌ අත්දැකීමක්‌ නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවස්‌ථිති සමුද්දේශ රාමු ද පරමාණුව ද වියුක්‌ත ය. බටහිර විද්‍යාවෙහි එවැනි පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම මාක්‌ ගේ දැඩි විවේචනයට ලක්‌ විය. අමරතුංග මහතා අනුභූතිය යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි නො කරයි.

එහෙත් අමරතුංග මහතා ආනුභූතික යන්න යොදාගන්නේ එම්පිරිකල් යන්න සඳහා යෑයි සිතමි. ඒ බව උපකල්පනය කිරීමට ඒ මහතා ගේ පෙබරවාරි 14 ලිපියෙහි පහත සඳහන් ඡේදය ඉවහල් වෙයි. "මිනිසා කොහේ ජීවත් වුවත් ඔහු ගේ ඉන්ද්‍රිය පද්ධතිය බොහෝ සෙයින් එක සමාන විය. මිනිසා ගේ පරිසරයේ සහ ස්‌වභාවධර්මයේ වෙනස්‌කම් තිබුණ ද මූලික ගුණාංග ජීවීන්ට ඔබින ආකාරයේ සමානත්වයක්‌ පිළිබිඹු කළේ ය. තව ද මිනිසා තුළ විපරමට, විමසුමට තිබූ සහජ අවශ්‍යතාව ඔහු කොතැනක සිටියත් එක ලෙස පැවතිණි. විද්‍යාව ආනුභූතික වූ (empirical) පදනමක පිහිටි බව මින් අදහස්‌ වේ. මේ නිසා මොන රටක ජීවත් වුවත් මිනිසා ගේ විද්‍යාව සමාන ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම අනිවාර්ය විය." බටහිර දර්ශනයෙහි කියෑවෙන මේ අනුභූතිය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මිස වෙනත් දෙයක්‌ නො වේ. සරල රේඛා ආදිය ආනුභවික නො වේ. අමරතුංග මහතා සත්‍ය සොයන්නේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වල ය. ඒ නයින් ගත් කල ද වියුක්‌ත පට්‌ටපල් බොරු ය. ඒවා පට්‌ටපල් බොරු වන්නේ බුදුන් වහන්සේට අනුව ද්වයතානුපස්‌සනා සූත්‍රයෙහි දැක්‌වෙන පරිදි පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතුළු නාම රූප මුසා නිසා ය. 

බුදුදහම ආනුභවික ය යන්නෙන් අමරතුංග මහතා කියන්නේ පට්‌ටපල් බොරුවක්‌ ය. පටිච්චසමුප්පාදය ආනුභවික නො වේ. සසර, පුනබ්භවය ආදිය ආනුභවික නො වේ. ගුණදාස අමරසේකර මහතා අප්‍රේල් 27 සිළුමිණ පුවත්පතෙහි සසර ආදිය බුදුදහමට අනවශ්‍ය යෑයි කියන්නේ ඔහු ද අමරතුංග මහතා මෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලට බුදුදහම කොටු කිරීමට සූදානම් වන බැවිනි. ඔවුන් එසේ කරන්නේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කිරීමට ය. සසර ආදිය ද මහායානයෙන් ගත් මිථ්‍යාවන් යෑයි අමරතුංග මහතා කියන්නේ ද?


අමරතුංග මහතා අදටත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දනියි. එහෙත් ඔහු පෙබරවාරි 5 ලිපියෙහි වියුක්‌තය පට්‌ටපල් බොරු නො වේ යෑයි කීවේ ය. අමරතුංග මහතා වචන මිස ඒවාහි අර්ථය නො දනියි. බොහෝ ඊනියා උගතුන් මෙන් නූගතුන් යෑයි ගැනෙන්නන් ඉදිරියෙහි වචන දමාගැසීමෙන් ඒ මහතා තම ඊනියා උගත් බව ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරයි. අප්‍රියෙල් 23 ලිපියෙහි ඔහු මෙසේ කියයි. "වියුක්‌ත යන්නෙන් ඔහු අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පහදා දී නැත. එහි අදහස abstract බව ඔහු සඳහන් කොට ඇත. abstract යන්නෙන් ඔහු අදහස්‌ කරන දේ පැහැදිලි කොට නැත. ඔහු අසන්නේ වියුක්‌ත යන්නේ අරුත නො දැන ද මා මේ සංවාදයට යොමු වූයේ කියා ය. මේ වචනවල තේරුම් කිහිපයක්‌ ඇති නිසා වියුක්‌ත හෝ abstract හෝ යන වචනයේ නලින් මහතා අදහස්‌ කරන තේරුම පහදා දී විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ වන්නේ කෙසේ ද, ඒ නිසා එය බොරුවක්‌ වන්නේ කෙසේ දැයි පහදා දිය යුතු ව තිබිණි. එසේ නො කර වෙනත් මනස්‌ගාත පැවසීම ප්‍රශ්නයෙන් පැන යැමකි". අප සාකච්ඡා කරන්නේ බටහිර විද්‍යාවේ දර්ශනය පිළිබඳ ප්‍රශ්නයකි. එහි වියුක්‌තය ගැන ඇත්තේ එක්‌ තේරුමක්‌ පමණකි. අමරතුංග මහතා ඒ නො දනියි. එහෙත් ඒ බව නො පිළිගනියි. 


අමරතුංග මහතා අප්‍රියෙල් 02 ලිපියෙහි මෙසේ කියයි. "මා මුලින් ම නලින් මහතාට පවසා තිබුණේ විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ වන්නේ කෙසේ ද යන්න පහදා දෙන මෙන් ය. ඒ මහතා එය ඉටු නො කළ නිසා ශබ්ද කෝෂවල ඇති වචන යොදා මම විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ නො වන බව පහදා දුන්නෙමි. (විදුසර 05.02.2014) ඔක්‌ස්‌ෆර්ඩ් ඉංගිරිසි ශබ්ද කෝෂයේ abstract යන වචනයේ තේරුම හැටියට formimg general concepts from specific instances යන්න සඳහන් වේ. නලින් මහතා අදහස්‌ කරන අරුත මෙය දැයි නො දනිමි. ඉහත සඳහන් ඉංගිරිසි වාක්‍යයේ අර්ථය ද වෙන් වූ, ඈත් වූ යන්නෙන් උපන් බව පෙනේ. ඒ කුමක්‌ වුවත් abstract යන වචනය යොදා විද්‍යාව බොරු බව ඔප්පු කළ නොහැකි බව පෙන්වා දිය හැකි ය. එසේ කළ යුත්තේ නලින් මහතා විද්‍යාව abstract දැනුමක්‌ වන්නේ කෙසේ දැයි පහදා දුන් පසු ය."

අමරතුංග මහතා ගේ පරිවර්තනය මුළුමනින් ම වැරැදි ය. formimg general concepts from specific instances යන්නෙහි තේරුම වෙන් වූ, ඈත් වූ යන්න නො වේ. සංකල්ප යනු කුමක්‌ දැයි නො දන්නා අමරතුංග මහතා මෙය කෙසේ අවබෝධ කර ගන්නේ ද? මෙහි තේරුම විශේෂිත අවස්‌ථාවලින් සාධාරණ (general යන්නට අමරතුංග මහතා යොදාගන්නා සාමාන්‍ය යන්න නිවැරැදි නො වේ) සංකල්ප තනාගැනීම ය ෘ උදාහරණයක්‌ ලෙස එකිනෙකා ගේ දත් යන විශේෂිත අවස්‌ථාවලින් දත යන වියුක්‌ත සංකල්පය තනාගැනීම දැක්‌විය හැකි ය. දත යන වියුක්‌ත සංකල්පයෙන් කාගේ වත් දතක්‌ ගැන නො කියෑවෙයි. දත යන්න වියුක්‌ත සංකල්පයක්‌ මිස වෙනත් අර්ථයකින් දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු උගන්වත් ද?


වියුක්‌ත යනු කුමක්‌ වුවත් අමරතුංග මහතාට කම් නැති. ඔහුට අනුව වියුක්‌ත (abstract) යන වචනය යොදා බටහිර විද්‍යාව බොරු බව ඔප්පු කළ නොහැකි බව පෙන්වා දිය හැකි ය. මා බටහිර විද්‍යාව වියුක්‌ත දැනුමක්‌ වන්නේ කෙසේ දැයි පෙන්වා දුන් පසු ඔහු වියුක්‌ත යන වචනය යොදා බටහිර විද්‍යාව බොරු බව ඔප්පු කළ නොහැකි බව පෙන්වා දෙනු ඇත. මෙතරම් උදධච්ඡ කතාවක්‌ කියන්නේ කෙසේ ද? ඔහුට අනුව මා වියුක්‌ත යනු කුමක්‌ දැයි කියා නැත. මා කුමක්‌ කීවත් ඔහුට එය ප්‍රශ්නයක්‌ නො වේ. ඔහුට තමාට අවශ්‍ය දේ පෙන්වා දිය හැකි ය.

අමරතුංග මහතාට දත යන වියුක්‌ත සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර වේ ද? අප මෙහි දී කතා කරන්නේ අහවලා ගේ අහවල් දත ගැන නො වේ. බටහිර විද්‍යාවේ වියුක්‌ත සංකල්ප හා ප්‍රවාද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. (අමරතුංග මහතා විදුසර වෙබ් අඩවියට හෝ කාලය වෙබ් අඩිවියට හෝ ප්‍රවිෂ්ට ව 2013 වසරේ මා විදුසරට වියුක්‌තය ගැන ලියා ඇති ලිපි කියවන්නේ නම් මැනවි). කෙසේ වෙතත් අමරතුංග මහතා වියුක්‌ත දත ගෝචර කරගන්නේ පංචෙන්ද්‍රියන් ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද? බටහිර විද්‍යාවට ඇති මේ මූලික ප්‍රශ්නය අමරතුංග මහතාට අවබෝධ කරගැනීමට නොහැකි බව මම දනිමි. මා මේ ලිපි ලියන්නේ ඒ මහතාට තේරුම් ගැනීමට නො ව ඇතැම් පාඨකයන්ට තේරුම්ගැනීමට ය. එසේ තේරුම් ගන්නා අය ඇති බව ඔවුන් ගේ ප්‍රතිචාරවලින් මට වැටහෙයි.


බටහිර විද්‍යාවට තම ප්‍රවාද සත්‍ය බව පෙන්වා දිය නොහැක්‌කේ ඒවා වියුක්‌ත බැවිනි. බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ ප්‍රවාද සත්‍ය බව පෙන්වා දීම නො වේ. ඒ වෙනුවට එහි කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය (abstract) යොදාගනිමින් යම් නිගමනවලට (අපෝහනවලට - Deductions) පැමිණ ඒ අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සංසන්දනය කිරීම ය. එලෙස සංසන්දනය කිරීමෙන් පසු යම් එක`ගතාවක්‌ වේ නම් එවිට අදාළ ප්‍රවාදය සත්‍ය ලෙස පිළිගැනෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණු දෙකක්‌ වෙයි. පළමුව බටහිර විද්‍යාවේ ප්‍රවාද කිසි දිනෙක සෘජු ව සත්‍ය බව පෙන්වා නො දෙන බව ය. එසේ පෙන්වා දෙන්නේ කෙසේ ද? බටහිර විද්‍යා ප්‍රවාද සම්මුති ආකාරයකින් වුවත් බටහිර අර්ථයකින් සත්‍ය බව පෙන්වීමට නම් ඒවා පංචෙන්ද්‍රියන්ට ගෝචර විය යුතු ද? එහෙත් වියුක්‌ත වූ බටහිර විද්‍යා ප්‍රවාද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. දෙවනුව බටහිර විද්‍යාවේ වක්‍ර ව පෙන්වා දෙන්නේ වියුක්‌ත ප්‍රවාදයකින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග යම් එක`ගතාවකට පැමිණෙන බව ය. එහෙත් කිසිදු අවස්‌ථාවක එහි සියයට සියයක එක`ග වීමක්‌ නැත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමින් ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් කරන බව පෙන්විය හැකි ය. එහෙත් ග්‍රහ වස්‌තු එසේ අචල ඉලිප්සවල ගමන් කරන්නේ ඉතා සන්නිකර්ෂණව ය. එය සන්නිකර්ෂණයක්‌ පමණකි. 


අනෙක්‌ අතට එය සියයට සියයක්‌ ම එක`ග වී යයි සිතමු. එවිට වුව ද බටහිර විද්‍යා ප්‍රවාදය සත්‍ය යෑයි කිව නොහැකි ය. මම මෙය වියුක්‌ත ව පවසමි. ඒ අමරතුංග මහතා තේරුම් නො ගන්නා බව හොඳින් ම දැනගෙන ය. p යනු වියුක්‌ත ප්‍රවාදයක්‌ යෑයි සිතමු. ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් p→q යෑයි පෙන්විය හැකි බව ද q සත්‍ය යෑයි ද සිතමු. එහෙත් එයින් ච සත්‍ය යෑයි ගම්‍ය නො වේ. p→q යන්නෙන් ච සත්‍යයක්‌ නම් q සත්‍ය යෑයි කිව හැකි ය. එහෙත් q සත්‍ය නම් ච සත්‍ය යෑයි නිගමනය කළ නොහැකි ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් විද්‍යා පීඨයේ භෞතීය විද්‍යා සිසුවකු ගෙන් මෙය පැහැදිලි කරගත හැකි ය. 

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය යොදාගැනීමෙන් සියයට සියයක එක`ගතාවක්‌ නැති වුව ද හඳට රොකට්‌ටුවක්‌ යෑවිය හැකි ය. එහෙත් එයින් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ නියමය සත්‍ය බව නිගමනය නො වේ. ගුරුත්වාකර්ෂණ නියමය නොමැති ව අයින්ස්‌ටයින් ප්‍රවාදය යොදාගැනීමෙන් ද හඳට රොකට්‌ටු යෑවිය හැකි ය. (එහි ගණනය කිරීම අමරතුංග මහතාට මේ කපේ දී අවබෝධ කරගත නොහැකි ය.) එයින් කියෑවෙන්නේ නිවුටන් මෙන් ම අයින්ස්‌ටයින් ද සත්‍ය බව ද? දෙදෙනා ම කියා ඇත්තේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වන පට්‌ටපල් බොරු ය. මා යන්න පට්‌ටපල් බොරුවක්‌ වුවත් අපි මා යන සංකල්පය යොදාගනිමින් ලිපි ලියමු. පොත් කියවමු. ආහාර අනුභව කරමු. එහෙත් එයින් කියෑවෙන්නේ මා යන්න සත්‍ය බව නො වේ.


සාපේක්‌ෂතාවාදය ගැන අමරතුංග මහතාට කිසි ම අවබෝධයක්‌ නැති බව පහත අප්‍රේල් 23 ලිපියෙහි සඳහන් ප්‍රකාශවලින් ද පැහැදිලි වෙයි.

1) සාපේක්ෂතාවාදය රඳාපවතින්නේ සමුද්දේශ රාමු මත වන්නේ ය. 2) විශේෂ සාපේක්ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එම වාදය වලංගු වන්නේ අවස්ථිත (වෙනස් නො වන වේගයකින් චලනය වන) සමුද්දේශ රාමුවලට පමණක් වන නිසා ය. 

3) විශේෂ සාපේක්ෂතාවාදය පවසන්නේ සිදුවීම් දෙකක් අතර තිබෙන්නේ නිශ්චිත කාල පාරාසයක් පමණක් නො ව නිශ්චිත අවකාශ-කාල පාරාසයක් බවයි. 


1) සාපේක්‍ෂතාවාදය පමණක් නොව සියල්ල සමුද්දේශ රාමු මත රඳා පවතියි. එබැවින් සමුද්දේශ රාමු මත රඳා පැවතීම විශේෂ සාපේක්‍ෂතාවාදයට විශේෂිත වූවක් නො වේ. 2) මෙහි වෙනස් නොවන යන්නෙන් කියැවෙන්නේ කාහට සාපේක්‍ෂව යන්න ද? අවස්ථිත යන්නෙහි තේරුම වරහන් අතර සඳහන් වන ආකාරයට වෙනස් නොවන වේගයකින් චලනය වන්නේ ය යන්න නො වේ. 3) විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සිදුවීම් (සිද්ධි) දෙකක් අතර නිශ්චිත (අමරතුංග මහතා අදහස් කරන්නේ අවිචලක යන්න ද?) කාල පරාසයක් (අවිචලක කාල පරාසයක්) නැත. අමරතුංග මහතාට විද්‍යා පීඨයේ භෞතික විද්‍යාව හදාරණ සිසුවකුගෙන් මේ කරුණු සවිස්තර ව දැනගත හැකි ය. 


නලින් ද සිල්වා

2014-04-30