Main Logo

Wednesday 14 May 2014

හරකුන්ටත් නිගා දෙන තර්ක


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා වැඩිම වුවහොත් බටහිර විද්‍යා කූඩුවේ සිටින ගිරා පෝතකයෙකි. පෙත්තප්පු කී විට ගිරවා පෙත්තප්පු යෑයි කියයි. පෙත්තප්පු බත් කෑවද කියා ඇසු විට ගිරවා ද පෙත්තප්පු බත් කෑවද යෑයි කියයි. අඩුම තරමෙන් පෙත්තප්පු බත් කෑවා යනුවෙන් පිළිතුරක්‌ නිර්මාණය කිරීමට ගිරවාට නො හැකි ය. අමරතුංග මහතාට ද කළ හැක්‌කේ බටහිර විද්‍යා කූඩුවේ සිර වී සිටිමින් මා ඉන් පිටත සිට අසන ප්‍රශ්න, කරන ප්‍රකාශ ආදිය පුනරුච්චාරණය කිරීම පමණකි. පසුගිය සතියේ (මැයි 07) ලිපිය එයට හොඳ ම උදාහරණයකි. අප ඒ ගිරාපෝතක බව පිළිබඳ පුදුම විය යුතු නො වේ. මෙරට උගතුන් යෑයි කියාගන්නා අයගෙන් අති විශාල බහුතරයට නිර්මාණශීලීත්වයක්‌ නැත. අපි එකී ලිපියෙන් උදාහරණයක්‌ ගෙනහැර දක්‌වමු. 

"විද්‍යාත්මක දැනුම වියුක්‌ත දැනුමක්‌ බව ද ඒ නිසා එය බොරුවක්‌ බව ද නලින් මහතා පැහැදිලි නො කළොත් මේ විවාදය ඉදිරියට ගෙන යා නොහැකි බව මා පැවසු විට ඔහුට බියක්‌ දැනී ඇත. මා ගේ නොදැනුවත්කම එළිදක්‌වන්නට ඇති අවස්‌ථාව නැති වී යා වී යෑයි සිති ඔහු බිය වී ඇත. ඔහු ගේ කාසියෙන් ම ඔහුට ආපසු ගෙවීමට මට ඇති වුවමනාව නැවැත්විය හැක්‌කේ විදුසර සඟරාවේ කර්තෘ මණ්‌ඩලයට පමණි." අමරතුංග මහතාට කළ හැක්‌කේ මා කී දේ ආපසු කීම පමණකි. මගේ එකම පැතුම විදුසර පුවත්පතෙහි (මෙය සඟරාවක්‌ නො වේ) කතුතුමා මේ සංවාදය දිගට ම ගෙන යාවි ය යන්න ය. 

ඒ ලිපියෙහි අමරතුංග මහතා මෙසේ ද කියයි. "එහෙත් මට අවශ්‍ය වී ඇත්තේ විද්‍යාව බොරුවක්‌ නො වන බව විද්‍යාව හදාරන අසරණ ශීෂ්‍යයන්ට පහදා දී නලින් මහතා කුමක්‌ කීවත් ඔවුන් කරන අධ්‍යාපනය කඩාකප්පල් කර නො ගන්නා ලෙස අවවාද කිරීමට ය. එහෙත් එය අවශ්‍ය දෙයක්‌ දැයි දැන් සිතේ. නලින් මහතා කියන දේ පිළිගන්නේ ඔහු ගේ කෙළෙඹි කැල පමණක්‌ බව අපට පෙනී යා යුතු ය". මා කී පමණින් සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීම අතපසු කරාවි යෑයි අමරතුංග මහතා කෙදිනක වුවත් සිතා සිටියේ නම් එයින් ද පැහැදිලි වන්නේ ඔහුගේ නොදැනුවත්කම ය. සංස්‌කෘතියෙහි බලපෑම ඒ මහතාට කිසිවිටෙක නො තේරෙයි. අද සිසුන් බටහිර විද්‍යාව ඉගෙන ගන්නේත් ඔවුන්ගේ මවුපියන් සිසුන් ඒ සඳහා පොලඹවන්නේත් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හේතුකොටගෙන දොස්‌තරවරුන්, ඉංජිනේරුවන් වීමට ය. අදාළ පීඨවලට ඇතුළුවීමට බැරි අය දන්ත වෛද්‍ය විද්‍යාව හා වෙනත් විද්‍යා හදාරති. ඔවුන්ගෙන් නොගිණිය හැකි සුළුතරයකට පමණක්‌ බටහිර විද්‍යාඥයන් වීමේ අවශ්‍යතාව ඇත. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ ආධිපත්‍යය දැනට අවුරුදු පන්සියයක පමණ කාලයක ලොව පුරා පැතිරෙමින් ඇත. අද වන විට එය ලංකාවේ ස්‌ථාපිත වී ඇත. මට කෙළෙඹි කැළක්‌ නැත. එහෙත් මට විරුද්ධව රට පුරා දැනුම් ආධිපත්‍යයක්‌ ඇති කෙළෙඹි කැළක්‌ නම් වෙයි. 

මේ දැනුම් ආධිපත්‍යය සංස්‌කෘතික ක්‍ෂෙත්‍රයට අයත් ය. පැරණි චීනයේ තිබු ලාඕතුමාගේ හා කුං ගුරුතුමාගේ සංස්‌කෘතික ආධිපත්‍යය හේතුවෙන් බටහිර විද්‍යාව එරට ඇති නොවූ බව නීඩ්හම් මහතා උපුටා දක්‌වමින් අමරතුංග මහතා ද සති දෙකකට පෙර පවසා තිබුණත් ඒ අවබෝධයකින් නො වේ. ඔහු අද සංස්‌කෘතික බලපෑම ප්‍රතික්‍ෂෙප කිරීමට මා කියන්නේ බහුබූතයක්‌ යෑයි කීමට ඉඩ ඇත. තමන්ට නොතේරෙන දේ බහුබූත ලෙස හැඳින්වීම ඔහුගේ පිළිවෙත ය. මගේ ලිපි කිහිපයකින් බටහිර විද්‍යා ආධිපත්‍යය කඩා බිඳ දැමීමට නොහැකි බව මම දනිමි. සංස්‌කෘතික ආධිපත්‍යය එතරම් බලවත් ය. අමරතුංග මහතාට ඒ බව නොතේරෙන්නේ ඔහු දැනුමට සංස්‌කෘතියෙන් වන බලපෑම ගැන නොදන්නා බැවිනි. අමරතුංග මහතාට බිය වීමට කරුණක්‌ නැත. බටහිර වෛද්‍ය පිඨයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන්නවුන් ඉදිරියේදීත් දන්ත වෛද්‍ය පීඨයට ඇතුළු වී දන්ත වෛද්‍යවරුන් ලෙස සේවය කරනු ඇත. 

අමරතුංග මහතා මෙසේ පවසයි. "වෙරි හිඳුණු හන්දියේ චණ්‌ඩියා මෙන් වකුගඩු රෝගය ගැන දැන් ඔහු කතා නැත. වකුගඩු රෝගය ගැන පමණක්‌ නොව වෛද්‍ය විද්‍යාව ගැන ද වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට කියා දෙන්නට නලින් මහතාට පුළුවන් බව ඔහු පවසයි. මෙවැනි උද්ධච්ඡ කතා ද "වෙරි" හිඳුණු පසු නවතිනවා ඇතැයි බලාපොරොත්තු විය හැකි ය." අමරතුංග මහතා නොදන්නවාට අපි තවමත් වකුගඩු රෝගය ගැන කතාකරමු. අපි ඒ රෝගීන් සිංහල පාරම්පරික වෛද්‍යවරුන් ලවා සුව කිරීමට කටයුතු කරමු. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි කෘෂිරසායනික වකුගඩු රෝගය ප්‍රතිකාර නොතිබුණ ද පාරම්පරික වෙදකමෙහි ඒ සඳහා ප්‍රතිකාර ඇත. මේ රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ වෙයි. මෙරට බටහිර වෛද්‍යවරුන් හා බටහිර විද්‍යාඥයන් ඒ බව නොපිළිගන්නේ අප ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එක`ගව ඒ දැනගැනීමට කටයුතු නොකළ බැවිනි. ඒ බටහිර විද්‍යා ආධිපත්‍යය ය. අප දැනුම ලබාගත්තේ දෙවියන්ගෙනි. ඒ දෙවියෝ ඩාවින්ලා නො වූහ. 

ආසනික්‌ වකුගඩුවලට ගෙනයැම පිළිබඳ යාන්ත්‍රණයක්‌ ද දෙවිවරුන් පවසා ඇත. ආසනික්‌ සම`ග දැලිසක්‌ සාදන ග්ලියිෆොසේට්‌ එහි දී වාහකයක්‌ ලෙස ක්‍රියා කරයි. ග්ලයිෆොසේට්‌ පිළිබඳ පර්යේෂණ කැලිෆොaර්නියාවේ විශ්වවිද්‍යාලයක කෙරී එය තහවුරු වී ඇත. එපමණක්‌ නොව අදාළ පර්යේෂණය කළ ලංකාවෙන් එහි ගොස්‌ ඇති බටහිර රසායනික විද්‍යාඥයාගේ පර්යේෂණ ද ඇගයීමට පාත්‍ර වී ඇත. කැලිෆොaනියාවේ අය දැලිස පිළිබඳ කතාව දෙවියන්ගෙන් ලැබුණු එකක්‌ බව නො දනිති. එහෙත් අප සම`ග කටයුතු කළ එක්‌ බටහිර වෛද්‍යවරයෙක්‌ කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නොව ග්ලයිසොෙෆ්ට්‌ බව දෙවියන්ට හොරා පෙන්වීමට ගොස්‌ තරමක්‌ අමාරුවේ වැටී ඇත. කෙසේ වෙතත් ඔහුට ද රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව පිළිගැනීමට සිදුවනු ඇත. වකුගඩු රෝගයට හේතුව දැන ගත්ත ද එයට ප්‍රතිකාර තිබුණ ද ඒ ප්‍රතිකාර (පාරම්පරික) කිරීමට අවශ්‍ය පහසුකම් රාජ්‍ය මට්‌ටමෙන් සැලැස්‌වීමට ඉඩ නොදෙන්නෝ ද බටහිර වෛද්‍යවරු වෙති. පාරම්පරික වෛද්‍යවරුන් රෝගය සුව කළහොත් තම සමාජ තත්ත්වයට, පිළිගැනීමට හා ආධිපත්‍යයට එයින් කැළලක්‌ වන බව බටහිර වෛද්‍යවරු දනිති. එබැවින් තමන්ට ඇති දේශපාලන සම්බන්ධතා උපයෝගී කරගනිමින් ඔවුහු අපට අකුල් හෙළති. අද කෘෂිකාර්මික වකුගඩු රෝගීන් මියයන්නේ බටහිර විද්‍යාවේ කුහක වත හා ආධිපත්‍යය හේතුකොටගෙන ය. ලෙඩා මළත් දොස්‌තරගේ බඩ සුද්ද වී ඇත. 

අමරතුංග මහතාට අමතක වීමේ හෝ වුවමනාවෙන් ම අමතක කිරීමේ ප්‍රවණතාවක්‌ ද වෙයි. වකුගඩු රෝගය ගැන මා බටහිර වෛද්‍යවරුන්ට කියා දීමට ඉදිරිපත් වූයේ ස්‌වේච්ඡාවෙන් උද්ධච්ඡකමකට නො වේ. අනෙක්‌ අතට ඔවුන්ට බටහිර වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට හැකි යෑයි මා කියා නැත. අමරතුංග මහතා එහි දී බොරු කියයි. බොරු කීම ඔහුගේ විධික්‍රමයට අයත් යෘ මා එසේ කියා ඇත්තේ කොහේ දැයි අමරතුංග මහතා අදාළ කොටස්‌ උපුටා දක්‌වමින් පවසන්නේ ද? වකුගඩු රෝගය ගැන කතාවේ මුල මෙසේ ය. පසුගිය මාර්තු 12 වැනිදා ලිපියෙන් ඒ මහතා අභියෝගයක්‌ කළේය. "ආලෝකයේ වේගයට අඩු වේගයකින් (90%) ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි බව නලින් මහතා දන්නේ නැති බව මා පෙන්වා දීම නිසා ඒ මහතාට කේන්ති ගොස්‌ ඇත. විශ්වවිද්‍යාලයේ සිසුන් ගේ සහ ඒ මහතාගේ අධ්‍යාපනය පිණිස මේ දේවල් ගැන මා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශන පවැත්විය යුතු බව ඒ මහතා පවසයි. මට කියන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳව නලින් මහතා දේශන පවැත්විය යුතු බවයි" මාර්තු 19 වැනි දා මගේ ලිපියෙන් මෙසේ කීවෙමි. "මම ඒ අභියෝගය පිළිගනිමි. කරුණාකර ඒ සඳහා දේශනයක්‌ හෝ දේශන කිහිපයක්‌ හෝ පේරාදෙණියෙහි හෝ වෙනත් විශ්වවිද්‍යාලයක හෝ වෛද්‍ය පීඨයක (දන්ත වෛද්‍ය පීඨයෙහි වුව ද කම් නැත) සංවිධානය කරන්න"

අමරතුංග මහතා කළ අභියෝගය මා පිළිගත්තේ උද්ධච්ඡකමට නො වේ. මට වෛද්‍ය පීඨයට පැමිණි මගේ වුවමනාවට දේශන පැවැත්විය නො හැකිය. දේශන සංවිධානය කළ යුත්තේ අමරතුංග මහතා ය. එහෙත් ඒ මහතා ඒ නොකළ බැවින් මම ඒ බව මතක්‌ කළෙමි. එහි ඇති උද්ධච්ඡකම කුමක්‌ද? හැකිනම් දැන්වත් අදාළ දේශන සංවිධාන කරන මෙන් අමරතුංග මහතාගෙන් ඉල්ලා සිටිමි. මට උද්ධච්ඡකමක්‌ නැතිවුවත් අමරතුංග මහතා මට සාපේක්‌ෂතාවාදය ඉගැන්වීමට උත්සාහ කරන්නේ මා විශ්වවිද්‍යාල තුනක කිසිවකුගේ දොaෂදර්ශනයට ලක්‌ නොවී සාපේක්‌ෂතාවාදය උගන්වා ඇති විටය. ඒ මහතාගේ 90% කතාව වැරදි බව විශේෂ සාපේක්‌ෂතාවාදයේ (ක-ඩ2රැජ2)1රැ2 සාධකය යොදාගනිමින් මම පෙන්වා දුන්නෙමි. අයින්ස්‌ටයින් අවස්‌ථිති සමුද්දේශ රාමු ද ගුරුත්වාකර්ෂණය ද ඉවත්කර සාධාරණ (අමරතුංග මහතා යොදා ගන්නා සාමාන්‍ය යන්න වැරදි ය) සාපේක්‌ෂතාවාදය නිර්මාණය කර ඇති බව මම කිහිප වතාවක්‌ ම පෙන්වා දුන්නෙමි. මේ පිළිබඳව වැඩිදුර අවබෝධයක්‌ ලබාගැනීමට කැමති පාඨකයකුට (අමරතුංග මහතාට නොවේ. ඔහුට මේ කපේ ඒ තේරුම්ගත නොහැකි ය.) අයින්ස්‌ටයින්ගේ තුල්‍යතා මූලධර්මය කියවිය හැකි ය. 

තමන්ට කිසිවක්‌ නොතේරෙන සාපේක්‌ෂතාවාදය ගැන මට කියා දීමට (ඔහුගෙන් වුවත් ඉගෙනීමට මා සූදානමින් සිටි බව ප්‍රකාශ කළ යුතුය) ඉදිරිපත් වූ අමරතුංග මහතා පසුගිය සතියේ මට තර්කශාස්‌ත්‍රය ඉගැන්වීමට පෙරට එයි. මම තර්කශාස්‌ත්‍රය( න්‍යාය- Logic) විද්‍යාවේදී උපාධියට හදාරා ඇත්තෙමි. එසේ ම එය උගන්වා ඇත්තෙමි. එහෙත් අමරතුංග මහතා මා කෙරෙහි කරුණාවෙන් (උද්ධච්ඡතාවෙන්) මට එය ද උගන්වයි. ඇතැම් විට දන්ත වෛද්‍ය මහාචාර්යවරයා සිතනු ඇත්තේ තමන්ට විද්‍යා පීඨයේ හිටපු කථිකාචාර්යවරුන්ට අදාළ විෂය ඉගැන්වීමට හැකි බව ය. එහෙත් ගණිත ඇදුරකුට තමන් ද යම් ආකාරයකින් පර්යේෂණයට හවුල් වී ඇති වකුගඩු රෝගය ගැන බටහිර වෛද්‍යවරුන් හමු වී දේශන පැවැත්විය නොහැකි යෑයි ඒ මහතා සිතන්නේ ද? 

අමරතුංග මහතාට වියුක්‌තය ගැන තවමත් කිසිම අවබෝධයක්‌ නැත. ඒ බව ඔහු වියුක්‌ත දත හා විද්‍යාත්මක දත ගැන කරන ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්‌ත ප්‍රවාද බවත් වියුක්‌ත ප්‍රවාද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බවත් ඔහුට තේරුම්ගත නොහැක්‌කේ වියුක්‌තය යනු කුමක්‌දැයි ඔහු නොදන්නා බැවිනි. වියුක්‌ත දත පංචන්ද්‍රියයන්ට ගෝචර වන්නක්‌ නොවේ. එපමණක්‌ නොව වියුක්‌ත දත සිතෙන්වත් මවාගත නොහැකිය. එය මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්පයක්‌ පමණි. සරල රේඛා, ගුරුත්වාකර්ෂණය, අවස්‌ථිති රාමු පමණක්‌ නොව කෙහෙල් ගෙඩිය යන්න ද වියුක්‌ත සංකල්පයකි. අමරතුංග මහතාට කෙහෙල් ගෙඩිය සිතෙන් මවාගත හැකිද? කෙහෙල් ගෙඩිය සිතෙන් මවාගත හැකි යෑයි විශ්වාස කරන පුද්ලගලයකු මවා ගන්නේ තමන් දැක ඇති කෙහෙල් ගෙඩියකට සමාන කෙහෙල් ගෙඩියක්‌ මිස වියුක්‌ත කෙහෙල් ගෙඩියක්‌ නොවේ. අවාසනාවකට ලංකාවේ විවිධ බටහිර විද්‍යා උගන්වන පාසල් ගුරුවරුන්ගෙන් මෙන් ම සරසවි ඇදුරන්ගෙන් ද අතිවිශාල බහුතරයකට (99% කට පමණ) වියුක්‌තව සිතන්නට බැරිය. මෙරටින් හරිහමන් විද්‍යාඥයන් බිහි නොවීමට එක්‌ හේතුවක්‌ එය ය. අද බටහිර ගණිතය ඉගැන්වීම ඊනියා විශේෂඥයන්ගේ කතාබහට ලක්‌වෙයි. බටහිර ගණිතය හරිහැටි ඉගැන්වීමට නම් කළ යුත්තේ වියුක්‌ත සංකල්ප ගැන මවාගැනීම්වලින් තොරව සිතීමට ඉගැන්වීම ය. 

කෙසේ වෙතත් අමරතුංග මහතාගේ තර්ක ශාස්‌ත්‍ර කතාව අපි විශ්ලේෂණය කරමු. ඒ මහතා මැයි 07 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "නලින් මහතා කියන්නේ විද්‍යාවේ සංකල්ප ඉන්aද්‍රිය ගෝචර නොවන නිසා ඒවා බොරු බවය. මින් අදහස්‌ වන්නේ ඉන්ද්‍රිය ගෝචර යන ගුණය යමක්‌ තුළ නැත්නම් එය බොරුවක්‌ වන බවය. එහෙත් ඔහුට අනුව (බුදුදහම විකෘති කොට තනාගත් ඔහුගේ අදහසකට අනුව) ඉන්ද්‍රිය ගෝචර දේවල් ද බොරුය. එමනිසා ඉන්ද්‍රිය ගෝචර යන ගුණය ද බොරුවකි. මේ බොරු ගුණය විද්‍යාවේ සංකල්ප තුළ නැති නිසා එම සංකල්ප බොරු වන්නේ ය. යමක්‌ තුළ බොරුවක්‌ නැති වූ විට එය බොරුවක්‌ වන්නේ කෙසේද? යමක්‌ බොරුවක්‌ වන්නේ ඇත්ත එය තුළ නැති වූ විටය. මෙය වටහා ගැනීමට අවශ්‍ය ඥනය නලින් මහතා තුළ නැත. ඒ නිසාය, ඔහු තර්කයක්‌ ලෙස මෙවැනි මනස්‌ගාත ඉදිරිපත් කරන්නේ. ඇත්තක්‌ වීමට නම් B නැමති ගුණය A තුළ පිහිටා තිබිය යුතුය. එහෙත් Bගුණය බොරුවකි. යමක්‌ ඇත්තක්‌ වීමට එය තුළ බොරුවක්‌ තිබිය යුතුය. නලින් මහතා කියන්නේ මෙය ය. බොරු සොබනේට ඔහු ඇරිස්‌ ටෝටලියානු තර්ක ශාස්‌ත්‍රය ගැන කතා කළාට ඔහු දන්න තර්ක ශාස්‌ත්‍රයක්‌ නැත."

අමරතුංග මහතා තමන් ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි අ යන්න ආ යන්නවත් නොදන්නා බව පෙන්වීමට මෙතරම් ඉක්‌මන් වන්නේ ඇයි? මම බුදුදහම විකෘති නොකළෙමි. මා කළේ ද්වයතානුපස්‌සනා සුත්‍රයෙන් ගාථාවක්‌ ඉදිරිපත් කිරීම පමණකි. මේ සුත්‍රය බුදුන් වහන්සේ සාමාන්‍යයෙන් දේශනා කර ඇති කච්චායනගොත්ත සූත්‍රය වැනි දේශනාවලට වඩා වෙනස්‌ වෙයි. අනෙක්‌ සුත්‍ර ද්වෛතය වැරදි බව පෙන්වා පටිච්චසමුප්පාදය දේශනා කිරීමට උපයෝගීකරගෙන ඇත. වච්චගොත්තයට අදාළ සුත්‍රය දේශනා කළේ යම් සන්දර්භයකය. ඔහුට අවශ්‍ය වූයේ සම්‍යක්‌දෘෂ්ටික යනු කුමක්‌දැයි තේරුම් ගැනීමටය. ඇත යනුවෙන් ගැනීම මෙන් ම නැත යනුවෙන් ගැනීම ද ද්වෛතයෙහි අන්ත දෙකය. මේ ඇරිස්‌ටෝටලීය අන්ත ය. ඒ පෘථග්ජනයන්ගේ පැත්තෙන් බැලූ විට ය. ඇත යන්න මෙන් ම නැත යන්න ද ඉවත්කර යමක්‌ ප්‍රත්‍යය කරගෙන තවත් යමක්‌ හටගන්නා බව බුදුන් වහන්සේ දේශනා කළහ. මේ ප්‍රත්‍යතාව සම්‍යක්‌දෘෂ්ටිය ලෙස බුදුන් වහන්සේ දේශනා කළහ. එහෙත් එය ද දෘෂ්ටියකි. ලෞකික ලෝකෝත්තර ද්වෛතය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‌ෂේප නොකරන ලදි. ද්වයතානුපස්‌සනා සූත්‍රයෙන් කියෑවෙන්නේ මේ ද්වෛතය ය. 

අදාළ ගාථාව නැවතත් උපුටා දක්‌වමි. "මහණෙනි, යම් නාම රූපයක්‌ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුශ සුඛ ආත්ම වශයෙන්) මේ සත්‍යයි දක්‌නා ලද නම්, ඒ නාමරූපය බුද්ධාදී ආර්යයන් විසින් තෙල මෘෂායෙකැ යි සම්‍යක්‌ ප්‍රඥවෙන් යථාභූත කොට දක්‌නාලදය යන මේ එක්‌ අනුපස්‌සනායෙක. මහණෙනි, යම් නිරාවරණයක්‌ සදෙවක...... දෙව්මිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් තෙල මෘෂායෙකැ දක්‌නා ලද නම්, ඒ නිවන ආර්යයන් විසින් තෙල නිවන සත්‍යය යි යථාභූත කොට සම්‍යක්‌ ප්‍රඥයෙන් මොනවට දක්‌නාලද ය යන මෙ දෙවන අනුපස්‌සනා යි". ලෞකිකයන් සත්‍ය ලෙස සලකන නාම රූප සියල්ල ආර්යයන් විසින් මුසා ලෙස දකිනු ලබන බව මෙහි අදහසය. මා විකෘති කළ බුදුදහමක්‌ නැත. බුදු දහම විකෘති කරන්නෝ බටහිරයන්ට අවශ්‍ය ආකාරයටම දහම ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට සීමාකරන අමරතුංග අමරසේකර කල්ලියේ අය වෙති. ඔවුන්ට අනුව සංසාරය භවය කර්මය නැත. ඒ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. අමරතුංග මහතා ව්‍යාජ ගෞරවයකින් පටිච්චසමුප්පාදය ගැන කතා කළත් ඔහුට එය පිළිගත නොහැක්‌කේ එහි භව, ජාති ගැන කියෑවෙන බැවිනි. 

පංචෙන්ද්‍රියගෝචර සංකල්ප මුසා ය. එවිට පංචෙන්ද්‍රියගෝචර නොවන සංකල්ප මුසා නොවන්නේ කිනම් න්‍යායකට අනුව ද? සියලු හරක්‌ සිවුපාවෝ වෙති යන්නෙන් හරක්‌ නොවන සියලු සත්තු සිවුපාවෝ නොවෙතියි හරකකුවත් නිගමනය කරන්නේ යෑයි සිතිය නො හැකි ය. බුදුන් වහන්සේට අනුව පෘථග්ජනයන්ගේ සියලු නාමරූප මුසා ය. සියලු යන්නට ඉන්ද්‍රිය ගෝචර මෙන් ම ඉන්ද්‍රිය ගෝචර නොවන්න ද ඇතුළත් ය. මා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප බොරු බවත් ඉන්ද්‍රිය ගෝචර නොවන බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බවත් ය. යමක්‌ ඇත්ත වීමට එහි බොරුවක්‌ අඩංගු විය යුතු යෑයි මගේ කිසිම ලිපියක සඳහන් කිසිවකින් ගම්‍ය නො වේ. බටහිර විද්‍යාවේ සංකල්ප හා ප්‍රවාද ඉන්ද්‍රිය ගෝචර නො වේ යන්නත් එහි බොරුවක්‌ නැතැයි ගම්‍ය නො වේ.


නලින් ද සිල්වා

2014-05-14