Main Logo

Sunday 18 May 2014

භික්‍ෂු හා දේශපාලන නායකත්වයෙන් දෙමළ ජාතිවාදය පරදවමු


කොටි ත්‍රස්තවාදය පරදවා අවුරුදු පහක් ගෙවී ඇත. එහෙත් තවමත් දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ ආධාරයෙන් ක්‍රියාත්මක වෙයි. කොටි ත්‍රස්තවාදය පැරදවීම සැමරීමට මාතර දී පැවැත්තෙන උත්සවයට කැනඩාව සහභාගි නොවන බව මහා කොමසාරිස්වරිය පවසා ඇත. එය පුදුමයට කරුණක් නො වේ. කොටි ත්‍රස්තවාදය පැරදවීම කැනඩාවේ ද එංගලන්තයේ ද පරාජයක් විය. එංගලන්තය සුපුරුදු අන්දමට කපටි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් උත්සවයට සහභාගි වන නමුත් කැනඩාව තම පරාජය සැමරීමට සහභාගි නොවන බව ප්‍රසිද්ධියේ ම කියයි. කැනඩාවේ සුදුළුණු පොඩිකිරීම්වලට අපි හසු නො වෙමු. එරට කොටි සංවිධානය තහනම් කළ බව සැබෑ නමුත් එහි පෙරමුණු සංවිධානවලට ක්‍රියාත්මක වීමට සියළු පහසුකම් සැපයී ය. කොටි ත්‍රස්තවාදය පැරදවීමට හැකි වූයේ ජනාධිපතිතුමාගේ නොසැලෙන දේශපාලන නායකත්වය, ආරක්‍ෂක ලේකම්තුමාගේ දක්‍ෂ මෙහෙයවීම, රණවිරුවන්ගේ කැපවීම මෙන් ම සිංහල බහුතරය තම දැඩි අවශ්‍යතාව නිහඬ ව ප්‍රකාශ කර ආණ්ඩුව සමග         එකට පෙළ ගැසීම නිසා ය. අද වීරයන් ලෙස පෙනී සිටින ජාතික ව්‍යාපාරයේ ඇතැම් නායකයන් ද හමුදා මෙහෙයුම්වලට එදා විරුද්ධ වූ බව සටහන් කළ යුතු ය. අවශ්‍ය වුවහොත් නම් ගම් සහිත ව විස්තර ඉදිරිපත් කරමි. කොටි ත්‍රස්තවාදය පැරදුවත් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ ජාතික ව්‍යාපාරයේ මාර්ග සිතියම තමන් අත යැයි සිතන පුහු වීරයන් දක්වන කරුණු නිසා නොව එංගලන්තය සමස්ත ප්‍රශ්නය ම පිටුපස ඇති හෙයිනි. ඊනියා සාම ව්‍යාපාරිකයන් ඇතුළු කසිකබල් උගතුන් ද රාජ්‍ය නොවන බැළයන් ද සිංහල බුද්ධාගමට එරෙහිව තම පෑන මෙහෙයවන්නේ සිංහල බුද්ධාගමට වැඩිකල් නොගොස් දෙමළ ජාතිවාදය පරාජය කළ හැකි බව දන්නා හෙයිනි. 

බුදුදහම සිංහලයන්ට පමණක් අයිතිවන්නක් නොවන බව කීමට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියකු හෝ අධිසාමාජිකයකු හෝ විය යුතු නො වේ. එහෙත් ථෙරවාදී බුදුදහම රැකගත්තේ සිංහලයන් බව අවශ්‍ය නම් ඔවුන්ට ද ඉගැන්විය යුතු ය. ලංකාව ලෝකයක පිහිටා ඇති බව කියා දීමට ද මේ අය අවශ්‍ය නො වේ. එහෙත් එසේ පිහිටීම නිසා අපට බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආක්‍රමණයෙන් ගැලවීම අසීරු බව ඊනියා උගතුන්ගෙන් ඇතැම් අධියන්ට (ඔවුන්ට අධිහීනමානයක් ද අධිඇන්දිල්ලක් ද අධිපුහුබවක් ද අධිනිවටබවක් ද වෙයි) කියා දිය යුතු ය. මොවුහු ඇංකරයෝ ද වෙති. ඔවුන්ගේ එකම කාර්යය ඇංකර් බෙදාහරින ආකාරයට බටහිර දැනුම ද බෙදාහැරීම ය! අප පසුගිය සතියේ කී ආකාරයට කෘෂිරසායනික වකුගඩු රෝගීන් මියයන්නේ අධියන් බෙදාහරින බටහිර විද්‍යා දැනුමේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. මේ අධියන්ගෙන් දොස්තරවරු සිංහල පාරම්පරික වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ආණ්ඩුවට ඉඩ නො දෙති. අධියන් කුමක් කළ ද ඔවුන්ට ඇංකර සීමාවෙන් ඔබ්බට යෑමට නොහැකි ය. ඔවුන්ට තම තමන්ගේ ක්‍ෂෙත්‍රවල අලුත් සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගෙතිය නො හැකි ය. ඔවුන් තම ක්‍ෂෙත්‍රවලට එකතුකර ඇති අලුත් දැනුමක් නැත. එහෙත් බටහිර කසිකබල් සමාජ විද්‍යා (මේ කසිකබල් සමාජ විද්‍යාවෙහි මෙරට සමාජයෙහි ඇති ප්‍රශ්නවලට පිළිතුූරු නැත) අර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ සිංහල සංස්කෘතිය උසස් සංස්කෘතියක් නොවේ යැයි කී විට හෝ සිංහල සංස්කෘතිය නිර්මල නොවේ යැයි කී විට හෝ රටේ ප්‍රශ්න කෙසේ වෙතත් ඊනියා සමාජ විද්‍යාඥයන්ගේ ප්‍රශ්න නම් විසඳෙයි. සිංහල සංස්කෘතිය නිර්මල යැයි අප කිසිදිනෙක කියා නැත (මාර්ටින් වික්‍රමසිංහ මහතා නිර්මල සංස්කෘතියක් ගැන කතාකරන්නට ඇත. එහෙත් ඔහුට චින්තනය ගැන කිසිම දැනුමක් නො වී ය. ඔහු හෝ ගුණදාස අමරසේකර මහතා හෝ කියා ඇති දේ වෙනුවෙන් අප පෙනී සිටින්නේ කොන්දේසිවලට යටත්ව ය. ඔවුහු බොහෝ විට බටහිර දැනුම අනුකරණය කළහ). අප සංස්කෘතියට විවිධ දේ අවශෝෂණය කෙරී ඇත. එහෙත් ඒ බොහෝ විට අපට අවශ්‍ය ආකාරයට ය. අතීතයේදීත් අපේ ඇතැමුන් අනුකරණයෙහි යෙදී ඇත. එහෙත් අද මෙන් කුලියට වැඩකරන අනුකාරක අධියන් අහිනක් අතීතයේ දී සිටි බව කිව නොහැකි ය. අධියන් කියනු ඇත්තේ මා දන්නේ අපහාස කිරීමට පමණක් බව ය. මේ බටහිර දාසයන්ට අපහාස කිරීම හැර කරන්නට දෙයක් ඇත් ද?  

බුදුදහම මෙතෙක් ලෝකයේ පැවතෙන්නේ මහායානිකයනට හා සිංහලයන්ට පින්සිදුවන්නට ය. මහායානිකයෝ පැවැත්ම සඳහා වෛදික බ්‍රාහ්මණ දහමට අනුගත වන අයුරින් බුදුදහම සංශෝධනය කළහ. එසේ කිරීමෙන් පසුව ද මහායානය පවත්වාගෙන යෑමට හැකිවූයේ බ්‍රාහ්මණ ආගම නොතිබූ තිබ්බතය, යම් ප්‍රමාණයකට චීනය, ජපානය ආදී රටවල ය. සිංහලයෝ ථෙරවාදය නමින් හැඳින්වෙන බුදුදහම රැකහත්හ. අප රටේ ඇති ථෙරවාදය තුන්වැනි සංගායනාවෙන් පසුව සකස් වූ එකකි. එය ද නිර්මල බුදුදහම යැයි අපි නො කියමු. එහෙත් අද එය රැකී පවතියි. ථෙරවාදී රටවල් ලෙස හැඳින්වෙන රටවල එදා කෙසේ වෙතත් අද පවතින්නේ ලංකාවෙන් රැගෙන ගිය බුදුදහමකි. අප රටට යුරෝපීයයන් පැමිණීමෙන් පසු සිංහල බුද්ධාගමේ සඟ සසුන දුර්වල වු විට අප උපසම්පදාව නැවතත් පිහිටු වූයේ මියන්මාරයෙන් (අමරපුරෙන් හා රාමඤ්ඤ දේශයෙන්) හා සියමෙන් අපේ භික්‍ෂු සම්ප්‍රදාය නැවතත් ගෙන ඒමෙනි. මෙරට එක්තරා වකවානුවක සඟ සසුන දුර්වල වූයේ ඇයි ද යන ප්‍රශ්නයට කිසිවකු සෑහෙන පිළිතුරක් දී ඇතැයි නො සිතමු. එය යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදු වුව ද එයට ප්‍රධාන හේතුව කුමක් දැයි අපි නො දනිමු. උපසම්පදාව නැති වීමට ප්‍රධාන හේතුව කුමක් ද? සඟ සසුන දුර්වල වුවත් ගිහි බෞද්ධ සංස්කෘතිය දිගින් දිගට ම පැවතුණු බව අප අමතක නොකළ යුතු ය. 

අද නැවතත් සඟ සසුන දුර්වල වී ඇත. එයට හේතුව ඊනියා ආක්‍රමණශීලී භික්‍ෂූන් වහන්සේ නො වේ. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පෙරහැර පැවැත්වීමට බාධා ඇති වූ විට යකඩ පොලුවල දැවටූ බෞද්ධ කොඩි පෙරහැරෙහි ගෙන ගියේ සිල් රැකීමට නො වේ. අද සමාජ ආධිපත්‍යය දරණ අධියන් එදා සිටියේ නම් ගුණානන්ද හිමියන් ත්‍රස්තවාදියකු ලෙස හැඳින්වීමට තිබිණි. සඟ සසුන දුර්වල කළෝ අධියෝ ය. බෞද්ධ අධ්‍යාපනය හා නායකත්වය භික්‍ෂූන් වහන්සේගෙන් තමන් වෙතට පවරා ගැනීමට ඉංගිරිසින්ගේ ආධාරය හා අනුග්‍රහය ලැබූ අධියෝ සමත්වූහ. අධියෝ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කරති. තම පංචෙන්ද්‍රියන් පිනවීම මත හිඳිමින්  පංචෙන්ද්‍රියට සීමාවූ වපසරියකට විශ්වය සීමා කරන බටහිරයන් අනුකරණය කරමින් ඇතැම්හු පුනබ්භවය ආදිය තම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන බැවින් විශ්වාස නො කරති. අවාසනාවකට ඔවුන් අතර ජාතික ව්‍යාපාරයෙහි නායකයෝ ද වෙති. හැකි ඉක්මණින් බෞද්ධ නායකත්වය හා අධ්‍යාපනය නැවතත් භික්‍ෂූන් වහන්සේ අතට පත්කර නොසැලෙන දේශපාලන නායකත්වය යටතේ එක්වෙමින් එංගලන්තය විසින් මෙහෙයවෙන දෙමළ ජාතිවදය පරාජය කිරීමට කටයුතු කරමු.


නලින් ද සිල්වා

2014-05-18