Main Logo

Saturday 23 May 2015

සරණක් නැති මෛත්‍රිපාල

සරණක් නැති මෛත්‍රිපාල

අද මෛත්‍රිපාලගේ සරණට ඇත්තේ චම්පක හා වෙල් විදානේ පමණ ය. ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් ඔවුන් ද කොයි මොහොතේ මෛත්‍රිපාල හැර යාවි දැයි දැනට කිව නො හැකි ය. රටක ජනාධිපතිවරයකු මෙසේ අසරණ වීම ගැන අපට කණගාටුවක් නැත්තේ ඔහු අගමැතිකම නොලැබීම නිසා රටත් ශ්‍රී ල නි පක්‍ෂයත් පාවාදීමට කටයුතු කළ බැවිනි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගත් බටහිර රටවල් හා ඉන්දියාව ඕනෑම මොහොතක ඔහු අතහැරීමට සූදානම් ය. ඔවුන් කියන ආකාරයට ඔහු ක්‍රියා නොකළහොත් රනිල් ජනාධිපති කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. ඒ බව මෛත්‍රිපාල ද දනියි. ඔහු සංධානයේ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට වඩා රනිල් විශ්වාස කරන බව ය.
 

මෛත්‍රිපාල රනිල් මෙන් නිසග සිංහල බෞද්ධ විරෝධියකු යැයි කීමට නො හැකි ය. ඔහු දේශීයත්වයට දේශීය දැනුමට කැමති ය. කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන ඔහු එදා සිට ම පැහැදිලි ප්‍රතිපත්තියක සිටියේ ය. අද ඔහු ග්ලයිෆොසේට් තහනම් කර ඇතැයි කියයි. එහෙත් ඔහුට ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට රවි කරුණානායක වැන්නන් හා බටහිරයන් ඉඩ දේවි ද? පසුගිය දා ග්ලයිෆොසේට් බහාලුම් (කන්ටේනර) රාශියක් වරායෙන් පිටතට ගනු ලැබුයේ කාගේ අණකින් ද? මෛත්‍රිපාලට එය වැළැක්වීමට හැකි වී ද? කෙසේ වෙතත් ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කිරීමට සමස්ත ශ්‍රී ල නි පක්‍ෂය ම මෛත්‍රිපාලට සහාය දිය යුතු ය. මේ තහනමට මෙරට ඊනියා විද්‍යාඥයන් විරුද්ධ වනු ඇත. දැනටමත් ඔවුහු ඒ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීමට පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද යොදා ගනිමින් සිටිති. ඔවුන්ගේ කසිකබල් රසායනික විද්‍යාවට අනුව වකුගඩු රෝගය ග්ලයිෆොසේට් ආසනික් දැලිසක් (ලැටිසක්) නිසා ඇති නො වේ. කරුණානායකලා මේ ඊනියා විද්‍යාඥ්‍රන්ගේ සහාය ලබාගනු ඇත. දැලිස කතාව අප දැනගත්තේ දෙවියන්ගෙනි.   

ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධව බටහිර හා ඉන්දියාව සමග එකතු වීමේ දිට්ඨධම්මවේදනීය කර්මය අද මෛත්‍රිපාල පසුපස හඹාවිත් ය. ඔහු විරුද්ධ වූයේ කෙතරම් අඩුපාඩු තිබුණත් මෙරට ජාතිකත්වයේ පක්‍ෂයට ය, කොටින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්දට ය. ඔහු චම්පකගේ රතන හිමියන්ගේ රාජිත ගේ බහට කන් නොදුන්නේ නම් අද යාපනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නො පැවැත්වෙනු ඇත. චම්පකටත් රතන හිමියන්ටත් තමන් කළ පාපයෙන් ගැලවීමට මෙරට සිංහල බෞද්ධයන් ඉඩ නොතබනු ඇත. රාජිත දේශපාලන සසරෙහි අවීචි මහා නරකාදියට නියම වූවෙකි.  

අද මෙරට පාලනය කෙරෙන්නේ බටහිරයන් හා ඉන්දියයන් විසිනි. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජාතිවාදයට, බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට නව පණක් ලබා දීමට ය. මුලතිවු ප්‍රදේශයේ උසාවි නියෝග කඩා කොටින් සැමරුවේ විග්නේස්වරන් පමණක් නො වේ. එ ජා ප නියෝජ්‍ය ඇමතිවරියක ද  එයට සහභාගි වූවා ය. ඇයගේ නියෝගයෙන් පසුගියදා විද්‍යා දැරියගේ දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවකු නිදහස් කෙරිණි යැයි කියැවෙයි. පසුව විරෝධතා හේතුවෙන් වැල්ලවත්තේ දී ඔහු නැවතත් අත්අඩංගුවට ගැනිණි. ඔහු නිදහස් කළ පොලිස් නිලධාරියාට මාරුවීමක් නොදෙද්දී වෙනත් පොලිස් නිලධාරීහු යාපනයෙන් මාරු කෙරෙති. මේ සිදුවන්නේ කාගේ අවශ්‍යතාවට ද? කොටින්ට පක්‍ෂව කටයුතු කරන අර නියෝජ්‍ය ඇමතිවරිය අත්අඩංගුවට නොගැනෙන්නේ ඇයි? 

මෛත්‍රිපාලට ඒ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් නැත. තමන්ට අවශ්‍ය වුවත් බටහිරයන්ගේ තීරණවලට විරුද්ධ වීමට ඔහුට නො හැකි ය. මෛත්‍රිපාල මහින්දට කිසිම ඉඩක් ශ්‍රී ල නි පක්‍ෂයෙහි නොදෙන්නේ ජෝන් කෙරී ඇතුළු බටහිරයන්ගේ අවශ්‍යතාව නිසා ය. අද බටහිර අණ අනුව මෛත්‍රිපාලට කළ හැක්කේ තමන් පික්පොකට් අගමැති ධුරයට පත්කළ රනිල්ගේ සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීන් සැපයීම පමණ ය. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ වහාම ඒ සැපයුම නැවැත්වීමට කටයුතු කර ඉල්ලුමක් නැති බටහිර ගැති සිංහල විරෝධී දෙමළ ජාතිවාදයට ආවඩන මේ ආණ්ඩුව පළවා හැරීම ය. එමගින් තව තවත් අසරණවන මෛත්‍රිපාල රැකගැනීමට ද අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ශ්‍රී ල නි පක්‍ෂයට ය. මෛත්‍රිපාල ඒ බව දැනගෙන කටයුතු කරන්නේ නම් මැනවි.

දෙමළ ජාතිවාදීන් අතර එකඟත්වයක් ඇතැයි අප නොසිතිය යුතු ය. පසුගිය සතියේ විරෝධතා පිටුපස බටහිර සිටින විසිරුණු දෙමළ ජනයාගේ සංවිධාන, පැරණි කොටි සාමාජිකයන්, ඔවුන්ගේ ජනතා බලය (පීපල්ස් පවර්) වැනි නව සංවිධාන, ආනන්දී කණ්ඩායම, ඇතැම් එ ජා පාක්‍ෂිකයන් හා ඊනියා රාජ්‍ය නොවන සංවිධාන සිටින බව මෛත්‍රිපාලට කෙසේ වෙතත් පොලීසියට රහසක් විය නො හැකි ය. ඒ අතර ඔවුන්ට විරුද්ධ අය ද දෙමළ ජනයා අතර සිටිති. ශී්‍ර ල නි පක්‍ෂය ඒ විරුද්ධ අය අතර සංවිධාන ඇතිකර ගත යුතු ය. 

අද දේශපාලනය ඉතා සංකීර්ණ ය. අප බටහිරයන්ගේ දැනුමෙන් ඒ වටහා ගැනීමට ගියහොත් අප අමාරුවේ වැටෙනු ඇත. අපට බටහිර විද්‍යාවේ මෙන් ම දේශපාලන විද්‍යාවේ ද අපේ දැනුමක් තිබිය යුතු ය. අප මෛත්‍රිපාල ද අවබෝධ කරගත යුත්තේ අපේ ඇසකින් බලා ය.

නලින් ද සිල්වා

2015 මැයි 23