Main Logo

Monday 1 June 2015

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ (15 06 01 රිවිර ලිපියකි)

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව බොහෝ දෙනා දැනටමත් කුලප්පු වී ඇත. එය ජාතික හෙළ උරුමයේ ආධාරය ඇතිව ඊනියා කැලණිය කණ්ඩායමේ  මැදිහත් වීමකින් කෙරුණක් බව කැනඩාවේ වෙසෙන බටහිර විද්‍යාඥයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා 2015 මැයි 27 වැනි දින අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් පවසයි.  මෙහි දී කිවයුතු ප්‍රධානම කරුණ නම් කැලණිය කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් අද ක්‍රියාත්මක නොවන බව ය. එබැවින් ඊනියා කැලණිය කණ්ඩායමකට ජනාධිපති කෘමිනාශක කමිටුවක බලය අත්කර ගෑැනීමට හෝ වෙනත් දෙයකට හෝ අවස්ථාවක් නැත. ධර්මවර්ධන මහතාට අනුව ඊනියා කැලණිය කණ්ඩායමේ පුද්ගලයන් මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත.


මා කෘෂිරසායනික වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසුනේ ඔහු සෞඛ්‍ය ඇමති ව සිටිය දී ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ සාකච්ඡාවට බැසිල් රාජපක්‍ෂ මහතා ද සහභාගි විය. ඒ සාකච්ඡාවේ දි විශේෂ දෙයක් සිදු නොවුනු බව ද සඳහන් කළ යුතු ය. ඉන්පසු කිසිම දවසක මට මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී නැත. එපමණක් නොව ඔහු ඊනියා පොදු අපේක්‍ෂක වූ දින සිට අද දක්වා ම මගේ නිර්දය විවේචනයට භාජනය වෙයි. එහෙත් ග්ලයිෆොසේට් තහනම් කරන බවට ඔහු කියන දෙයට අපේ ස්තුතිය හිමි විය යුතු වෙයි. 

මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙන් නිසග සිංහල බෞද්ධ විරෝධියකු යැයි කීමට නො හැකි ය. ඔහු දේශීයත්වයට දේශීය දැනුමට කැමති ය. කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන ඔහු එදා සිට ම පැහැදිලි ප්‍රතිපත්තියක සිටියේ ය. අද ඔහු ග්ලයිෆොසේට් තහනම් කර ඇතැයි කියයි. එහෙත් ඔහුට ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට රවි කරුණානායක මහතා වැන්නන් හා බටහිරයන් ඉඩ දේවි ද? පසුගිය දා ග්ලයිෆොසේට් බහාලුම් (කන්ටේනර) රාශියක් වරායෙන් පිටතට ගනු ලැබුයේ කාගේ අණකින් ද? මෛත්‍රිපාල සිරිසේන මහතාට එය වැළැක්වීමට හැකි විණි ද? කෙසේ වෙතත් ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කිරීමට සමස්ත ශ්‍රී ල නි පක්‍ෂය ම මෛත්‍රිපාල සිරිසේන මහතාට තම සහාය දිය යුතු ය. මේ තහනමට මෙරට ඊනියා විද්‍යාඥයන් විරුද්ධ වනු ඇත. දැනටමත් ඔවුහු ඒ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීමට පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද යොදා ගනිමින් සිටිති. ඔවුන්ගේ කසිකබල් රසායනික විද්‍යාවට අනුව වකුගඩු රෝගය ග්ලයිෆොසේට් ආසනික් දැලිසක් (ලැටිසක්) නිසා ඇති නො වේ. රවි කරුණානායකලා මේ ඊනියා විද්‍යාඥ්‍රන්ගේ සහාය ලබාගනු ඇත. දැලිස කතාව අප දැනගත්තේ දෙවියන්ගෙනි.   

එමෙන් ම ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් ඊනියා කැලණිය කණ්ඩායම හා ජාතික හෙළ උරුමය අතර සාකච්ඡා තබා හඳුනාගැනීමක්වත් සිදු වී නැත. මා හා ජාතික හෙළ උරුමය නායකයන් අතර සුහදත්වයක් නැත. මම ඔවුන් අවුරුදු තිහක පමණ කාලයක් දන්නෙමි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු මට ඔවුන් හමු වී නැත. හමුවීමේ අවශ්‍යතාවක් ද නැත. ධර්මවර්ධන මහතා කෙතරම් දුරට කරුණු විකෘති කර ඇත් ද යන්න මේ සියල්ලෙන් පැහැදිලි වනු ඇත.

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව තවමත් ලිඛිතව ආණ්ඩුවෙන් කිසිවක් ප්‍රකාශ වී නැත. එසේ ලිඛිතව ග්ලයිෆොසේට් තහනම් කරන තෙක් ඒ වාචික ප්‍රකාශයකට පමණක් සීමා වෙයි. ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක නොකිරීමට මෙරට ඊනියා විද්‍යාඥයන් කටයුතු කරන බව අපි දැන සිටියෙමු. චන්ද්‍රසිරි ධර්මවර්ධන එහි පළමු වෙඩි මුරය පත්තු කර ඇත. මේ ඊනියා විද්‍යාඥයන්ට ඇති මූලික ප්‍රශ්නය කැලණිය කණ්ඩායම එකල නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියකුගෙන් කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් එහි දී පස හා ජලය ද හේතුවන බවත් දැන ගැනීම ය. ඒ දෙවියන්ගේ ආධාරයෙන් ම ඒ සඳහා යාන්ත්‍රණයක් ද පසුව ඉදිරිපත් කෙරිණි. එයින් කියැවුණේ ආසනික් ග්ලයිෆොසේට් සමග දැළිසක් (ලැටිසක්) සාදන බවත් ආසනික් වකුගඩුවට ගොස් තැන්පත් වන්නේ එමගින් බවත් කැඩ්මියම් ද එහි දී  උත්තේජකයක් වන බවත් ය. 

ඊනියා  විද්‍යාඥයන්ට මෙතෙක් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව මෙය යැයි කිසිවක් කියා ගැනීමට නොහැකි වී ඇත. ඔවුහු ඒ පිළිබඳ විවිධ කතන්දර කියන නමුත් ඔවුන් අතර එකඟත්වයක් නැත. චන්ද්‍රසිරි ධර්මවර්ධනට මහතාට ද කතන්දරයක් ඇත. එහෙත් එයට ඔහුගේ සොහොයුරු නන්දසිරි ධර්මවර්ධන මහතා හා තවත් පුද්ගලයකු හෝ දෙදෙනකු හෝ හැරෙන්නට අනෙක් අයගේ එකඟත්වයක් නැත. අද ඔවුන් බොහෝ දෙනකු රෝගයට හේතුව පානීය ජලය බව කියනු පෙනෙයි. ඒ සඳහා පිරිසිදු ජලය සැපයීම පිලිබඳ ව බොහෝ දෙනෙක් උනන්දු වෙති. එහෙත් මේ ඊනියා විද්‍යාඥයන් අමතක කරන කරුණ නම් ජලය රෝගයට එක් හේතුවක් බව පළමුවෙන් කීවේ නාථ දෙවියන් බව ය. එකල ම වැව් ජලය පානය කරන්නන්ට රෝගය නොවැළඳෙන බවත් එවකට කැලණිය කණ්ඩායම ප්‍රකාශ කෙළේ ය.

මේ ඊනියා විද්‍යාඥයන් ලෝකයේ ඉතා වැඩි පහසුකම් ඇති ආයතනවල විශ්වවිද්‍යාලවල සේවය කළත් ඔවුන් අතින් හරිහමන් ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ බටහිර විද්‍යාවට එකතු කෙරී නැත. ඔවුහු නිකම් ම නිකම් විද්‍යාඥයෝ වෙති. ඒ බොහෝ දෙනා සිංහල බෞද්ධයෝ වෙති. හීනමානයෙන් පෙළෙන මොවුහු බුදුදහම (බටහිර) විද්‍යාත්මක යැයි කියති. එමගින් තම බැරිකම වසාගැනීමට උත්සාහ කරති. බෞද්ධයකු නොවන කාලෝ ෆොන්සේකා මහතා බෞද්ධයනට බොරු වළවල් කපමින් තමන්ට නොතේරෙන කාළාම  සූත්‍රයක් හා යථාර්ථයක් ගැන කතාකරමින් බුදුදහම විද්‍යාත්මක කිරීමට උත්සාහ කරයි.  යථාර්ථවාදී පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවක් ගැන කතාකරන ඊනියා සිංහල බෞද්ධ විද්‍යාඥයෝ සිංහල බුද්ධාගමට විරුද්ධ වෙති. 

සිංහල බෞද්ධ බටහිර විද්‍යාඥයන්ට හරිහමන් සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ බටහිර විද්‍යාවට එකතුකිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ චින්තනය බටහිර විද්‍යාව පදනම් වන යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් වෙනස් වන බැවිනි.  ඊශ්‍රාලයේ පිරිසක් පසුගිය මැයි 27 දා කාලය වෙබ් අඩවියේ ලිපි සියල්ල ම පාහේ පිටපත් කරගැනීමට කටයුතු කර ඇතැයි අපි සිතමු. ඒ කුමක් වුවත් අපට අවශ්‍ය වන්නේ අපේ ම වූ දැනුමක් ගොඩනැගීමට ය. 

පැරණි සිංහල බෞද්ධයන් දෙවියන්ගෙන් ද දැනුම ලබාගත් බව සිතිය හැකි ය. අපිදු ඒ අනුව කටයුතු කෙළෙමු. අවාසනාවන්ත හේතු නිසා අද කැලණිය කණ්ඩායම ක්‍රියාත්මක නො වෙයි. එහෙත් අප අපේ දැනුමක් ගොඩ නැගීමේ කාර්යය අත්හැර  නැත. එහි දී අපි බටහිරව දැනුමට අවශ්‍ය විට විරුද්ධ වෙමු. චන්ද්‍රසිරි ධර්මවර්ධන නොදැන සිටියාට ප්‍රභාකරන් පැරදවිය නොහැකිය යන බටහිර දැනුම අපි ෙසෙද්ධාන්තික ව පරාජය කෙළෙමු. කාලෝ ෆොන්සේකා මහතා එකල පින්ලන්තයේ දී සිංහල විරෝධී පොත් ලීවේ පිනට නො වේ. 

කාලෝ ෆොන්සේකා මහතා මැයි 28 වැනි දා වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන ලිපියක් ලියමින් මෙසේ කියයි. “ඛෙදජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්රහමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්රාාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ලඡ්ජාවකින් තොර ව සිදු කිරීම යි.” මා විසින් ලියන ලද බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ පොත එළිදැක්වීමේ දී දේශනයක් කිරීම සඳහා කාලෝ ෆොන්සේකා මහතාට ද ආරාධනය කෙළෙමු. ඔහු එදින නම් අපට විරුද්ධව කිසිවක් නො කීවේ ය. ඔහුගේ බුද්ධිමය අවංකභාවය එබඳු ය. 

වයස 24 දී මම ද බටහිර විද්‍යාව ප්‍රිය කෙළෙමි. ඒ වයසේ දී මා ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය දිනාගෙන සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වීමට ය. එහෙත් වයස 25 දී සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට නොහැකි බව තේරුම් ගත්තෙමි. වයස 35 දී පමණ එයට හේතුවද මට දැනෙන්නට විය. මම බටහිර විද්‍යාවෙන් කැඩුණෙමි. මාර්ටින් වික්‍රමසිංහ මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් වයස 80 දීත් සිංහලයන්ට බටහිර වි්‍යාඥයන් වීමට නොහැකි බවවත් සිංහලයන්ගේ චින්තනය බටහිර විද්‍යාවේ චින්තනයෙන් වෙනස් බවවත් තේරුම් ගැනීමට නොහැකි විණි.   

අපට බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම පසුපස ගොස් අත්කරගත හැකි විමුක්තියක් නැත. අප අපේ ම වූ දැනුමක් ගොඩනගාගත යුතු ය. කෘසිරසායනික වකුගඩු රෝගය පිළිබඳ අපේ දැනුම එසේ ගොඩනගා ගත්තකි. ඊනියා ලාංකික විද්‍යාඥයන් එයට විරුද්ධ වීම පුදුමයක් නො වේ. ඔවුන්ගේ විරුද්ධත්වය අපේ ධෛර්යයට හේතු වේ. ඔවුහු වැඩ බැරි ටාසන්ලා පමණක් වෙති. මේ දැනුම් යුද්ධයේ දෙවැනි අදියරේ ආරම්භය වෙයි. අපි පේන අසමු. කේන්දර බලමු පංචෙන්ද්‍රිය ගෝචර නොවන ජීවීන් හා වස්තු ගැන විශ්වාස කරමු. අපට අපේ මග යෑමට ලජ්ජාවක් නැත. ලජ්ජා විය යුත්තේ බටහිර දැනුමේ දාසයන් වීමට ය. කාලෝ ෆොන්සේකා මහතා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකරෂණ හා වෙනත් එවැනි ප්‍රවාද විශ්වාස කරමින් නාථ දෙවියන්ටත් අපටත් හිනාවෙති. චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට ලංකාව පැමිණි විටෙක හෝ කාලෝ ෆොන්සේකා මහතාට හෝ බටහිර විද්‍යාව ගැන වාචික ව වාදයකට එළඹෙන ලෙස අභියෝග කරමි. එය පට්ටපල් බොරුවක් බව දෙනෝදාහක් ඉදිරියේ මම පෙන්වමි. 

නලින් ද සිල්වා

2015 ජූනි 01