Main Logo

Sunday 28 June 2015

කෝප් වාර්තාව යටගැහීම

කෝප් වාර්තාව යටගැහීම

අර්ජුන් මහේන්ද්‍රන් ආපසු සිංගප්පූරුවට ගොස් ඇතැයි වාර්තා වෙයි. එය සත්‍යයක් දැයි නිසැකව ම කිව නො හැකි ය. ඒ එසේ වුවත් නැතත් ඔහු කෝප් විමර්ෂණයෙහි දී කීවේ කුමක් දැයි දැනගැනීමේ අයිතිය ජනතාව වන අපට තිිබිය යුතු ය. ඊනියා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව වෙනත් කරුණකි. කෝප් වාර්තාව දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  ජනතාවට නැති කිරීමට ඉඩ දිය යුතු ද? 


තව මාස එකහමාරක් වැනි සුලු කලක දී අපට පාර්ලිමේන්තු මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමට සිදු වනු ඇත. මැතිවරණයේ දී එක් අගමැති අපේක්‍ෂයකු වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ ය. මහා බැංකු කොල්ලය පිළිබඳ කෝප් වාර්තාව එයට පෙර ජනතාවට නිකුත් කළ යුතු ය. කෝප් වාර්තාව යනු විශ්වාසභංග යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් හෝ වෙනත් එවැන්නක් නො වේ. එහි ඇත්තේ තොරතුරු ය. ඒ තොරතුරු දන්නා යම් පිරිසක් ඇත. 

අනෙක් අතට ඒ තොරතුරු මැතිවරණයට වැදගත් ය. ජනතාවට මැතිවරණයේ දී තීරණයක් ගැනීමට ඒ තොරතුරු තිබිය දී නොදී සිටීම ජනතාවගෙන් තොරතුරු වසං කිරීමකි. තොරතුරු නොතිබිණි නම් ප්‍රශ්නයක් පැන නො නගී. එහෙත් දැන් ප්‍රශ්නය වන්නේ  තොරතුරු තිබිය දී කිහිප දෙනකු පමණක් ඒ දෑනගැනීමත් බහුතරයකට දැනගැනීමට නොහැකිවීමත් ය. ඒ බහුතරය මැතිවරණයේ දී වැදගත් ම සාධකය වන බැවින් එහි අසාධාරණත්වය මැනවින් කැපී පෙනෙයි.

අතන මෙතන කියැවෙන කතා අනුව අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියේ දී කටයුතු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය අන්දමට ය. එය ඇත්ත ද බොරු ද පට්ටපල් බොරු ද යන්න අපි නො දනිමු. එහෙත් මේ අතන මෙතන කියැවෙන කතා රනිල් වික්‍රමසිංහට ද හොඳ නැත. මා රනිල් වික්‍රමසිංහට විරුද්ධ බව සැබෑ ය. එහෙත් ඔහුට ද යුක්තිය ඉටුවිය යුතු ය. ජනතාව මෑතිවරණයේ දී කටකතා අනුව තීරණ ගන්නා තැනකට තල්ලු විය නො යුතු ය. 

මේ සියළු කරුණු හා තවත් කරුණු හේතුවෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක් වුවත් බැඳුම්කර සම්බන්ධ කෝප් වාර්තාව යට නොගැසිය යුතු ය.  වහාම ඒ ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද විශේෂ අවස්ථාවල දී කතානායකවරයාට මැදිහත් වී යම් යම් ක්‍රියා මාර්ග ගත හැකි යැයි විශ්වාස කරමි.  

අද කළ යුතුව ඇත්තේ සම්ප්‍රදාය අනුව මේ මේ දේ කළ නොහැකිය කියමින් බලා සිටීම නොව අදාළ නිලධාරීන්, දේශපාලනඥයන් එකතු වී නව සම්ප්‍රදායක් ගොඩ නැගීම ය. කෝප් වාර්තාව ප්‍රකාශ කිරීමට යම් ක්‍රම වේදයක් වහා සකස් කර ගත යුතු ය. ඒ වාර්තාව ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහගේත් යහපතට හේතු වෙයි. දුෂණය නැති කිරීමක් ගැන තොරතෝංචියක් නැතිව කියවන රනිල් වික්‍රමසිංහට විරුද්ධව දුෂණ චෝදනා එල්ල වීමට ඉඩ තැබීම සිංහල බෞද්ධ ක්‍රමය අනුව සුදුසු නො වේ. කෝප් වාර්තාව යට ගැහීමට ඉඩ නොතැබිය යුතු ය. 

නලින් ද සිල්වා

2015 ජූනි 28