Main Logo

Monday 13 July 2015

ශ්‍රී ල නි ප ඝාතනය (ඉරිදා රිවිර ලිපියකි)

ශ්‍රී ල නි ප ඝාතනය

2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. මෙහි පහත පළවන්නේ ඒ ඝාතනය 1959 දී සිදු වූ බණ්ඩාරනායක ඝාතනය සමග සංසන්දනය කෙරෙමින් ලියූ ලිපියකි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි. 


හදිසියේ දේශප්‍රේමී බවට පත් වූ පඬි දෙනක එක්තරා වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප රැකගන්න කියා සිංහල ජාතියට දිවි නසාගන්න ඉඩ දෙන්න බැහැ යනුවෙනි. ඇය නොදන්නා කරුණ නම් ශ්‍රී ල නි ප පිහිටුවීමට පෙර සිංහල ජාතිය තිබූ බව ද ඇය සිටියත් නැතත් ශ්‍රී ල නි ප ඝාතනය කිරීමෙන් පසුව ද සිංහල ජාතිය  පවතින බවත් ය. ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණු පමණින් සිංහල ජාතිය නැති නො වේ.  එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව අප කියා ඇත්තේ අද ඊයේ නො වේ. 

1989 භීෂණ සමය විය. ජයවර්ධන ප්‍රේමදාස විජේවීර භීෂණය ඉහළම තලයක පැවතිණි. එකල පැවතියේ යුද්ධයක් යැයි ඊනියා දේශපාලන විචාරකයෝ නො පවසති. එය හුදෙක් ත්‍රස්තවාදය මැඩලීමක් පමණක් ලෙස හැඳින්විණි. යුද්ධයක් නොපැවති බැවින් යුද්ධාපරාධ ද නො වී ය. එකල සොල්හයිම්ලා මෙහී නො වූහ. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ජ වි පෙ ත්‍රස්තවාදය (සෝමවංශලා එදා ත්‍රස්තවාදය මෙහෙය වූ නායකයෝ වූහ. අනුර කුමාරලා ලාල්කාන්තලා හුදු ඇටිකිච්චෝ වූහ. එහෙත් එදා සිදු වූ ඝාතනවලට අද ශාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයෝ ද වගකිවයුත්තෝ වෙති) මැඩලීමට එ ජා ප ආණ්ඩුවලට සහාය දුන්හ. එබැවින් ද එකල යුද්ධාපරාධ තිබෙන්නට හැකියාවක් නැත. බටහිරයන් අතින් යුද්ධාපරාධ නො කෙරෙයි! 

එහෙත් දෙමළ ත්‍රස්තවාදය මැඩීමට කෙරී ඇත්තේ යුද්ධයක් යැයි බටහිරයෝ ද ඊනියා දේශපාලන විචාරකයෝ ද කියති. අභාවප්‍රාප්ත මර්වින් සිල්වා ජනමාධ්‍යවේදියා ඊළාම් යුද්ධය 1, 2, 3 ආදී වශයෙන් ඒ නම් කෙළේ ය. අද යුද්ධාපරාධ ගැන බටහිරයන් ද රාජ්‍ය නොවන පඬියන් ද එ ජා ප නායකයන් ද කතා කරන්නේ බටහිරයන්ගේ ඊනියා යුද්ධ සංකල්ප මත පදනම් වෙමිනි. කොටින්ට විරුද්ධව කෙරුණු යුද්ධාපරාධ තිබිණි නම් ජ වි පෙරමුණට ද එරෙහිව කළ යුද්ධාපරාධ තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ ඒ ගැන නිහඬ ඇයි? බටලන්දේ දී මරා දැමුණේ අත් අඩංගුවේ පසු වූවන් බව අමතක නොකළ යුතු ය. අඩුම තරමින් එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත.   

ශ්‍රී ල නි පක්‍ෂය ද 1989 දී දුර්වල වූ නමුත් ඒ නොමැරි පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කිහිප දෙනෙක් සමත් වූහ. ඔවුහු 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසු සමරු දේශනයක් සංවිධානය කළහ. එයට බණ්ඩාරනායක මැතිණිය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ජනතා සහභාගිත්වය අඩු මට්ටමක තිබේ යැයි එතුමිය විශ්වාස කළ බැවිනි. එපමණක් නොව දේශකයකු සොයා ගැනීම ද සංවිධායක මණ්ඩලයට අසීරු කරුණක් විය. අවසානයේ දී දේශනය පැවැත්වීම මට භාර කෙරිණි. ඒ දේශනයේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. සංවිධායක මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම හේතුවෙන් අති විශාල පිරිසක් දේශනයට සවන් දීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එක් රොක් වූහ. 

ඉන්පසු අනූවේ දශකයේ මුල එංගලන්තයේ පදිංචි වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවට ආනයනය කර ඇය ලවා පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් කර ශ්‍රී ල නි ප ඝාතනය කරවීමට වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න ආදී පිරිසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ ව්‍යර්ථ විය. එහෙත් අද එය වෙනත් අයුරකින් සාර්ථක වී ඇත. මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකාට ද කළ නොහැකි වූ ඝාතනය සිදු කෙළේ ය. කළ යුතුව තිබුණේ ඉන් පසුවවත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කිරීම ය. එහෙත් ඒ නො කෙරිණි. ශ්‍රී ල නි ප නායකයෝ අපට සවන් නොදුන්හ. අදත් සවන් නො දෙති. පහත පළවන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ ගමනක අවසානය පිළිබඳ කෙටි විස්තරයකි.   

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු 2015 ජූලි 08 දින ආදාහනය කෙරුණු බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන එකල කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ ද අතිනි. රනිල් වික්‍රමසිංහ විමලා විජේවර්ධනගේ බෑණනුවෙකි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය. 

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වාදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි. 

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි. 

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ්රාජිත සේනාරත්න ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  මංගල සමරවීරලා පමණක් නොව චම්පක රණවකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය. 

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා කුමාරතුංග එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල සිරිසේන ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් වික්‍රමසිංහ පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ි සොයිසාට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල් වික්‍රමසිංහ, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා, ඔසීලා වූහ. මෛත්‍රිපාල සිරිසේන ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. සෝමාරාම පසුව ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේ ය. ශ්‍රී ල නි ප ඝාතනයෙන් මාස හයකට පසු ජූලි 8 වැනි දින අදාහන කටයුතු සිදු කෙරිණි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදු විණි.  

නලින් ද සිල්වා 

2015 ජූලි 12්