Main Logo

Friday 3 July 2015

අමරතුංග මහතාගේ බොරු කතා (විදුසර පුවත්පතෙහි පළවූ ලිපියකි)


අමරතුංග මහතාගේ බොරු කතා

මේ ලිපිය ධනපාල මහතා තමා විවාදයට සහභාගි නොවන බව සඳහන් කිරීමට පෙර ලියැවිණි.

ඩී එස් සී උපාධිධාරී සේවාරජිිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තම සහායට පැමිණි බෝධි ධනපාල මහතාගෙන් අලුත් පණක් ලැබී ඇත. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන විවාදය විදුසරට අමතර විද්‍යුත් ලිපි සංසදයක ද  කෙරෙයි. ඒ විවාදය විද්‍යුත් ලිපි මගින් නොව ලංකාවේ දී ප්‍රසිද්ධ විවාදයක් ලෙස පැවැත්විය යුතු ය යනුවෙන් මා කරන ලද යෝජනාව බෝධි ධනපාල මහතා පිළිගෙන ඇත. ඒ අනුව මගේ ආරාධනය පරිදි ලංකාවට පැමිණීමට ධනපාල මහතා එකඟ වී ඇත. ඒ ප්‍රසිද්ධ විවාදයට සහභාගි වන ලෙස  මා අශෝක අමරතුංග මහතාට ද ආරාධනය කළ මුත් ඒ මහතා සුපුරුදු පරිදි විවාදයෙන් පැන යයි.


අමරතුංග මහතා විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ලිපි විසිපහක් පළ කිරීමෙන් පසුව පාඨකයාට බටහිර විද්‍යාව යනු කුමක් දැයි කියා දී නැත. ඔහු බටහිර විද්‍යාව හා බුදුදහම සැසඳීමට කරන ලද උත්සාහය නිරර්ථක විය. අඩුම තරමෙන් බුදුදහමට අනුව ශක්තිය යන්නෙන් කියැවෙන්න හා බටහිර විද්‍යාවේ ශක්තිය අතර සම්බන්ධයක් තිබේ දැයි කීමටවත් අමරතුංග මහතාට නො හැකි විය. පුනබ්භවය සිදුවන්නේ කිනම් ශක්තියක් ඇසුරෙන් දැයි ඒ මහතාට කීමට නො හැකි ය. භවයෙන් භවයට ශක්තියක් ගමන් කරන්නේ ද ඒ ශක්තිය සන්තතික ද, භවයෙන් භවයට ගමන් කරන ශක්තිය නොකැඩී පවතින්නේ ද, නොකැඩී යන්න අනාත්මවාදය සමග ගැලපෙන්නේ කෙසේ ද, නිවන් අවබෝධයේ දී ශක්තියට සිදුවන්නේ කුමක් ද ආදී ප්‍රශ්න රාශියකට අමරතුංග මහතාට පිළිතුරු නැත. 

නොකැඩී පවතින්නේ යැයි කියන ශක්තිය නිසා නාගසේන හිමියන්ගේ පරලොව යන්නේ තමාත් නොවේ ය, අන් අයකුත් නොවේය යන සුප්‍රසිද්ධ පාඨය ගම්‍ය වන්නේ යැයි කීමට අමරතුංග මහතා ගත් උත්සාහය වැඩිම වුවහොත් හාස්‍යොත්පාදක විය. එහෙත් මේ සිනහසීමට සුදුසු මාතෘකාවක් නො වේ. අමරතුංග මහතා  බෝධි ධනපාල මහතා මෙන් ම පොත්පත් කියවා තිබෙනවා විය හැකි ය. එහෙත් ඔවුන් දෙදෙනාට ම තමන් කියවූ දේ දිරවා ගැනීමට නොහැකි වී ඇත. 

එසේ වුවත් මගේ ආරාධනය පිළිගෙන ප්‍රසිද්ධ විවාදයක් සඳහා ලංකාවට පැමිණීමට එකඟ වීම ගැන ධනපාල මහතාට ස්තුතිවන්ත විය යුතු ය. අමරතුංග මහතාගේ ස්ථාවරය එයට වෙනස් ය. ඔහු විවාදවලින් පැන යයි. ඔහු සඳහන් කරන්නේ මට පිළිතුරු දීමෙන් වැළකී සිටින බව ය. ඒ මහතාගේ පිළිවෙත එය නම් අපට කළ හැකි දෙයක් නැත. පුද්ගලයන් බලහත්කාරයෙන් ප්‍රසිද්ධ විවාදවලට සහභාගි කරවා ගත නො හැකි ය. 

එහෙත් අවුරුදු එකහමාරක පමණ කාලයක් අමරතුංග මහතා විදුසර පුවත්පතෙන් හරඹ කරයි. ඒ කාලයෙහි ඒ මහතාට මා දරණ මතය නිවැරදි ව වටහා ගැනීමට නො හැකි වීම කණගාටුදායක ය. ඒ මහතා විද්‍යුත් ලිපි සංසදයට මෙසේ කියයි. මම එය ඉංගිරිසියෙන් ම ඒ මහතාගේ වචනවලින් ම සඳහන් කරන්නේ කිසිදු විකෘති කිරීමකට ඉඩ නොතබමිනි. 

“What is the need for a debate? Dr. Nalin will say according to Buddhism what we observe is "musa" and therefore science is false. Debate ends. It is I who pushed him to this pathetic position.We had a long drawn debate in Vidusara on the subject "Vidyava pattapal boruwakda?" which went on for nearly one year. He boasted that he could prove Newton, Einstein and other great scientists wrong. I showed him that Einstein did not prove Newton wrong and that Dr.Nalin cannot prove any of these greats wrong. Finally he took up the position that according to Buddhism everything we observe is "musa" and therefore scientific observations are false! He cannot prove that science is false while remaining in the realm of our world.hence he pretends to enter the world of "Arahath". But neither can he enter the world of "Arahath" while being blinded by all false believes and superstitions.”  

මම මේ ඡෙදය සිංහලට පරිවර්තනය කිරීමට උත්සාහ නො ගනිමි. අමරතුංග මහතා කියන්නේ පට්ටපල් බොරුවක් බව අවුරුද්දකට වැඩි කලක් මේ ලිපි කියවා ඇති විදුසර පාඨකයනට අවබෝධ වනු ඇත. බුදුදහම අනුව අප නිරීක්‍ෂණය කරන දේ මුසා බවත් එමනිසා විද්‍යාව බොරු බව මා කියනු ඇතැයි අමරතුංග මහතා කියයි. (මෙහි වැදගත් වචනයක් වනුයේ එමනිසා යන්න ය) මා ලියා ඇති ලිපි රාශියකින් එකකවත් මා එවැන්නක් කියා ඇති වාක්‍යයක් හෝ වාක්‍ය කිහිපයක් හෝ ජූනි 29 වැනි සඳුදා සිට සතියක් තුළ උපුටා දක්වන මෙන් මම අමරතුංග මහතාට ආරාධනය කෙළෙමි. මා එම දුක්ඛදායක ස්ථාවරයට තල්ලු කෙළේ තමා යැයි ඒ මහතා ආඩම්බරයෙන් මෙන් කියයි. 

අපි ලබන ජූලි මස 6 වැනි දා තෙක් අදාළ පාඨ උපුටා දැක්වීමට ඒ මහතාට ඉඩ දෙමු. එහෙත් ඉතා පැහැදිලි කරුණ නම් ඒ මහතා එක්කෝ කරුණු  විකෘති කරයි. නැත්නම් ඒ මහතා මා කියන්නේ කුමක් දැයි තේරුම් නො ගනියි. ඒ කුමක් වුූවත් අපට ලබන සඳුදා වන තෙක් බලා සිටීමට සිදුවෙයි. 

මා කර ඇත්තේ ද්වායතානුපස්සනා සූත්‍රයෙන් ගාථාවක් උපුටා දැක්වීම ය. ඒ ගාථාව ඊනියා උගත් බෞද්ධයන් කැළඹීමට පත්කර ඇත. ඒ ගාථාව ඊනියා උගතුන් අතර එතරම් කැළඹීමක් ඇති කරාවි යැයි මම නො සිතුවෙමි.   මේ ලෝකයේ සිටින තාක් මට විද්‍යාව බොරු යැයි සාධනය කිරීමට නොහැකි බැවින් මා රහතුන් වහන්සේලාගේ ලෝකයට ඇතුළත් වන බවක් අඟවයි යනුවෙන් අමරතුංග මහතා සඳහන් කරයි. අමරතුංග මහතාට ඒ කියමන සනාථ කිරීමට මගේ ලිපිවලින් උපුටා දැක්වීමට ද ජූලි මස 6 වැනි දා තෙක් කල් දුන්නෙමි.  

ඒ අතර අපට අමරතුංග මහතා ඒ ඡෙදයෙහි කියා ඇති වෙනත් කරුණක් ගැන අවධානය යොමු කළ හැකි ය. ඔහු කියන්නේ මට නිවුටන්, අයින්ස්ටයින් වැනි ශ්‍රෙෂ්ඨයන් වැරදි බව පෙන්වීමට නො හැකි බවත් ඔහු අයින්ස්ටයින් විසින් නිවුටන් වැරදි බව සාධනය නොකෙරුණු බව පෙන්වු බවත් ය. අප මේ කතාව අවුරුද්දකට වැඩි කලක් තිස්සේ කිහිප වතාවක් කියා ඇති නමුත් අමරතුංග මහතාට ඒ අවබෝධ කර ගැනීමේ ශක්තියක් නැත. ඇතැම් භෞතික විද්‍යාඥයන්ට ද ඒ තේරුම් ගැනීමට නොහැකි කළ දන්ත වෛද්‍ය අමරතුංග මහතාට ඒ තේරුම් ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වේ.   

අමරතුංග මහතා වැරදිය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි නො දනිමි. ඒ මහතාට මේ විවාදය මුල දී ම ඇත්ත, සත්‍යය ආදී වචනවලින් ඒ මහතා තේරුම් ගන්නේ කුමක් දැයි විස්තර කරන මෙන් කියා සිටි නමුත් මේ වන තුරු ඒ ගැන ප්‍රතිචාරයක් නැත. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා වැනි අය පංචෙන්ද්‍රිය ගෝචර ලෝකය ඇත්ත යැයි සාමාන්‍යයෙන් විශ්වාස කරති. එහෙත් මිරිඟුව ද පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. මැජික් (විජ්ජා) දර්ශන ද පංචෙන්ද්‍රිය ගෝචර වෙයි. මිරිඟුව, විජ්ජා ආදිය සත්‍ය නොවේ යැයි කීම සඳහා අමරතුංග මහතාට නිර්ණායක වේ ද? ඇත්නම් ඒ නිර්ණායක කවරේ දැයි පවසන්නේ ද?

අමරතුංග මහතා ග්‍රහවස්තු (ග්‍රහයන් නො වේ) ඇති බව පිළිගන්නේ යැයි සිතමි. ප්‍රසිද්ධ වාචික විවාදයක දී නම් ඒ පිළිගන්නේ දැයි ඒ මහතාගෙන් අසා ඊළඟ ප්‍රශ්නයට යා හැකි ය. එහෙත් ලිඛිත ව කෙරෙන විවාදයක දී එසේ කළ හැකි නො වේ. කෙසේ වෙතත් ග්‍රහවස්තුවල පැවැත්ම සත්‍යයක් ලෙස අමරතුංග මහතා පිළිගන්නේ යැයි සිතමින් මේ තර්කය ගොඩ නැගෙයි. නිවුටන්ට අනුව වියුක්ත ග්‍රහවස්තු වියුක්ත සූර්යයා එක් නාභියක සිටින සේ වියුක්ත අචල ඉලිප්සයක චලනය විය යුතු ය. මේ සියල්ල ම වියුක්ත වස්තු සඳහා වන බව අවධාරණය කළ යුතු ය. අමරතුංග මහතා මේ වන විටවත් වියුක්ත යනු කුමක් දැයි දන්නේ දැයි නො දනිමි. 

නිවුටන්ගේ වියුක්ත වස්තු සඳහා ගෙතී ඇති ප්‍රවාද සංයුක්ත වස්තු වෙනුවෙන් යොදා ගැනීම තර්ක විරෝධී වන නමුත් බටහිර විද්‍යාඥයෝ   කිසිම විචාරයකින් තොරව (එනම් අවිචාරයෙන්) එසේ කරති. ග්‍රහවස්තු සංයුක්ත වස්තු වෙයි. තර්ක විරෝධීව නමුත් නිවුටන්ගේ වියුක්ත ගුරුත්වාකර්’’’ෂණ සංකල්පය හා ප්‍රවාදය සංයුක්ත ග්‍රහවස්තු සඳහා යොදා ගන්නා බටහිර විද්‍යාඥයෝ  සූර්යයා එක් නාභියක සිටින සේ ග්‍රහවස්තු අචල ඉලිප්සවල චලනය විය යුතු යැයි නිගමනය කරති. එහෙත් එකදු ග්‍රහවස්තුවක්වත් එසේ අචල ඉලිප්සයක චලනය නො වෙයි. 

එයින් කියැවෙන්නේ කුමක් ද? තර්ක විරෝධී  නිගමන පසෙක දැමුව ද මේ අවසන් ප්‍රතිඵලය ගැන කිව හැක්කේ කුමක් ද? මොන තරම් උත්සාහ කළත් නිවුටන් වැරදිය යන නිගමනයට එළඹීමට අපට සිදුවෙයි. අමරතුංග මහතා එසේ නොවේ යැයි පවසන්නේ ද? නිවුටන් වැරදි බව පෙන්වීමට අයින්ස්ටයින් අවශ්‍ය නො වේ. නිවුටන් මෙහි සාකච්ඡා කෙරෙන අර්ථයෙන් පවා වැරදි ය. නිවුටන්ගේ ප්‍රවාදය පට්ටපල් බොරුවක් වන්නේ වෙනත් ආකාරයකට ය. ඒ බව මම කිහිප වතාවක් ම කියා ඇත්තෙමි. 

නිවුටන්ට අනුව අවස්ථිති සමුද්දේශ රාමු ඇත. අපි වැරදියට අපේ සමුද්දේශ රාමුව අවස්ථිති යැයි සිතමු. එවැනි වැරදි උපකල්පනයක් සහිත ව නිරීක්‍ෂණය කළ විට පොල්ගෙඩි ඇපල්ගෙඩි ආදිය පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක් (ක්‍ෂෙත්‍රයක්) අවශ්‍ය වෙයි. අයින්ස්ටයින් බටහිර භෞතික විද්‍යාවෙන් අවස්ථිති සමුද්දේශ රාමු ඉවත් කෙළේ ය. අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවෙහි අවස්ථිති සමුද්දේශ රාමු නැත. ඔහුගේ භෞතික විද්‍යාවෙහි පොල්ගෙඩි හා ඇපල්ගෙඩි නිදෑල්ලේ වැටෙයි. පොල්ගෙඩි වැටීම තේරුම් කිරීමට අයින්ස්ටයින්ට ගුරුත්වාකර්ෂණ බලයක් හෝ ක්‍ෂෙත්‍රයක් හෝ අවශ්‍ය නො වේ. අයින්ස්ටයින්ගේ ප්‍රවාදයෙන් ගුර්ත්වාකර්ෂණය ඉවත් කෙරී ඇත. 

මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා සමග මහනුවර දී කරන ලද සංවාදයේ දී ද මේ කරුණු අනාවරණය විය. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ ප්‍රවාද සංකල්පීය වශයෙන් ගත්කල පද්ධති දෙකක් බවත් දෙවැන්න පළමුවැන්නේ වර්ධනයක් නොවන බවත් එහි දී තවදුරටත් සඳහන් විය. අමරතුංග මහතා ඒ සංවාදයට සහභාගි විණිනම් ඔහුට ද මේ කරුණුවලට අඩුම තරමින් සවන් දීමට තිබිණි. ඒ අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබිණි ද යන්න වෙනත් ම දෙයකි. අමරතුංග මහතාට සංවාදයට ආරාධනය කර තිබූ නමුත් ඔහු එයට සහභාගි වීම මගහැරියේ ය.

අමරතුංග මහතා තවත් සාහසික චෝදනාවක් නගා ඇත. ඔහුට අනුව මගේ ලිපි නිසා මෙරට විද්‍යා අධ්‍යාපනයට පහරක් වැදී ඇත. ඒ බව ඔහු දැනගත්තේ කෙසේ ද? ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණයකින් ද?  අමරතුංග මහතාට තම මතය සනාථ කළ හැකි ද? මගේ ලිපි කියවා ශිෂ්‍යයන් විද්‍යා අධ්‍යාපනය අත්හැර ගොස් තිබේ ද? අමරතුංග මහතා ඉහත සඳහන් සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නම් මැනවි.

නලින් ද සිල්වා     

2015 ජූලි 01