Main Logo

Monday 14 December 2015

නුතනත්වය බටහිර විද්‍යාව හා සිංහල වෙදකම (2015 දෙසැම්බර් 13 රිවිර ලිපිය)


නුතනත්වය බටහිර විද්‍යාව හා සිංහල වෙදකම

මේ මාතෘකාව අනුව දීර්ඝ ලිපියක් ලිවිය යුතු නමුත් නැවතත් මගේ අසනීප තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එසේ කිරීමට නොහැකි ය. නුතනත්වය යන්නට විවිධ තේරුම් ඇත. ඒ මුලින් ම භාවිතයට පැමිණිaයේ කලාවෙහි හා සමාජ විද්‍යාවන්හි ය. එයින් මූලික වශයෙන් පහළොස්වැනි සියවසේ මැදභාගයෙන් පසු යුරෝපයේ ඉතිහාසය හැඳින්වෙයි. අද වන විට  ආලෝකනය, බුද්ධිවාදය ආදිය ද බටහිර විද්‍යාව ද ධනපති ක්‍රමය ද නූතනත්වය යටතට ගැනෙයි.  පහළොස්වැනි සියවසෙහි මැද භාගයෙනි ඉතාලියෙහි චින්තන විප්ලවයක් සිදු විය. එහෙත් එහි ප්‍රතිඵලය ලෙස නූතනත්වයක් ගැන කතාකිරීම කලින් තිබූ සමාජ අවතක්සේරු කිරීමකි. ඊනියා නූතනත්වයට පෙර ආසියාවේ අප්‍රිකාවේ,ඇමෙරිකාවේ පමණක් නොව යුරෝපයේ ද තිබුණේ පසුගාමී සමාජ ද? චින්තන විප්ලවයකට ඊනියා නූතනත්වය යැයි කීම ම අනෙක් සමාජ හෙළා දැමීමකි. යුරෝපියයෝ වචන පාවිච්චියෙන් ද ඔවුන්ගේ ඊනියා උසස් බව අපට කියා පාති. යුරෝපියයෝ හා අනෙක් බටහිරයෝ නූතනත්වයට හසුවෙති. ඔවුහු දියුණු වැසියෝ වෙති. අපි නොදියුණු පසුගාමී රටවල්වල  වාසය කරමු. අපේ පඬීයෝ නුතනත්වයේ තෝල්කයෝ ය. ඔවුන්ට අනුව අපි ලිං මැඩියෝ වෙමු.


ඊනියා නුතනත්වයත් සමග අද වන විට බටහිර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා තාක්‍ෂණය ද බැඳී ඇත. කෘෂිරසානික වකුගඩු රෝගය ගැන බොහෝ දෙනා කතාකරති. එහෙත් රෝගය සුව කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමු නො වේ. රෝගය වැළැක්වීම සඳහා ජල පෙරණ බෙදා දීමක් ද කෙරෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට රෝගයට වෙදකමක් නැත. ඔවුන් දන්නේ කාන්දුකරණය වැනි තාවකාලික උපාමාරු ය. බටහිර විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව රෝගයට හේතු(ව) කුමක් ද යන්නවත් නො දනී. ඒ ඊනියා නුතනත්වයේ බල මහිමය ය. මෙරට සිටින ඊනියා බටහිර විද්‍යාඥයන්ට වකුගඩු රෝගයට හේතු කිව නො හැකි ය. ඔවුන්ට ඒ සම්බන්ධ හේතු කිවහැක්කේ බටහිර රටක විද්‍යාඥයන්ගෙන් අසා දැනගෙන ය. අපේ ඊනියා විද්‍යාඥයන්ගේ තරම එපරිදි ය. කෙසේ වෙතත් ඔවුන් කාගෙන් නමුත් අසාගෙන වකුගඩු රෝගයට හේතු (ව) ප්‍රකාශ කරන තෙක් රෝගීන් මිය යා යුතු ය.

ඊනියා නූතනත්වයෙන් කොන් කෙරී ඇති සිංහල වෙදකමට ආණ්ඩුවෙන් හෝ සමාජයෙන් හෝ පිළිගැනීමක් නො ලැබෙයි. වික්‍රමාරච්චි පඬිතුමාට සෙනෙට් මන්ත්‍රීධුරයක් දීමෙන් සිංහල වෙදකමට තැනක් නො ලැබෙයි. එහෙත් මගේ අත්දැකීම වනුයේ  මහවිලච්චියට සිංහල වෙදමහතකු සමග ගොස් අප විසින් ඒ වෙදමහතා ලවා වකුගඩු රෝගීන්ට කරන ලදප්‍රතිකර්මවලින් ඒ සියල්ලන්ට ම පාහේ සුවයක් අත්වූ බව ය. විවිධ නාලිකා අපට පසුව වකුගඩු රෝගයට බැස ජාත්‍යන්තර තෑගි ද දිනාගනියි. එහෙත් ඔවුන්ට ද රෝගයට ප්‍රතිකාරයක් නැත. අපට තෑගි වෙනුවට ගල්මුල් ලැබෙයි. නූතනත්වයේ ආධිපත්‍යය එබඳු ය. පසුගිය ආණ්ඩුව යටතේ අපි සිංහල වෙදමහතුන් සම්බන්ධ කරගෙන වයඹ පළාත් සභාව හා විශේ’ෂ ව්‍යාපෘති අමාත්‍යංශය සහභාගි කරගෙන ජංගම සිංහල වෙදගෙවල් ඇති කිරීමට වැඩ පිළිවෙළක් සකස් කෙළෙමු. එහෙත් රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඒ වැඩ පිළිවෙළ විසි කර දැමිණි. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව ඊනියා නූතනත්වයේ ආණ්ඩුවකි. 

බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. දැනට අවුරුදු කිහිපයකට පෙර අපි වුවමනාවෙන් ම මේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය වෙනුවට මනු’ෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වකුගඩු රෝගයට හේතු කවරේ දැයි දැනගත්තෙමු. කිසිම නිර්මාණශීලීත්වයක් නොමැති මෙරට බටහිර විද්‍යාඥයෝ (ඔවුන්ට විද්‍යාඥයන් යැයි කීව ද ඔවුන් හරිහමන් ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ බටහිර විද්‍යාවට එකතු කර නැත.) අපට විරුද්ධව අවි අමෝරා ගත්හ. එහෙත් අර නාලිකා තම කපටි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් රටේ ද ලෝකයේ ද ගෞරවයට පාත්‍ර වෙයි. නූතනත්වය එබඳු ය. යමකු ගෞරවයට පාත්‍ර වන්නේ ඊනියා නූතනත්වය සමග එකට සිටි තරමට ය. එහෙත් මේ කසිකබල් ගෞරවවලට වඩා නූතනත්වයට එරෙහි වී ලැබෙන ගල් මුල් අපට හොඳ ය.

මනුෂ්‍ය නොවන ප්‍රාණියාගෙන් අප දැනගත්තේබ වකුගඩු රෝගයට හේතු ආසනික්, කිවුල් ජලය හා පස බව ය. කීවුල් ජලයේ ඇති ලවන වර්ග මගින් ආසනික් සමග දැලිසක් සාදයි. පසුව කැඩ්මියම් ද මේ දැලිසට එකතුවන බව අපි කීවෙමු. කැඩ්මියම් උත්තේජකයක් ලෙස ද ක්‍රියා කරයි. බටහිර විද්‍යාවේ හේතු ලෙස ගැනෙන්නේ පට්ටපල් බොරු ය. එය ප්‍රත්‍යක්‍ෂය නො වේ. රහතන් වහන්සේට සාපේක්‍ෂව පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂය ද බොරු ය. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ මේ “බොරු තේරුම් කර දීම” සඳහා වියුක්ත පට්ටපල් බොරු ගෙතීම ය. ඒ සඳහා හොඳම උදාහරණය නිව්ටන්ගේ ඊනියා ගුරුත්වාකර්ෂණය ය. වස්තු පොළොවට වැටෙන්නේ ඇයි, පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන්නේ ඇයි ආදිය තේරුම් ගන්නේ ඊනියා ගුරුත්වාකර්ෂණ බලයකිනි. එහෙත් අයින්සටයින් ඒ තේරුම් ගත්තේ අවකාශ කාලයේ ආතානකයක්් ඇසුරෙනි. අයින්ස්ටයින්ට අනුව ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක් නැත. ගුරුත්වාකර්ණෂය මෙන් ම රීමාන් ආතානකය ද පට්ටපල් බොරු ය. මේ එකක්වත් පංචෙන්ද්‍රිය ගෝචර නො වේ.  මා දන්නා තරමින් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර බව පවසන්නේ රසායන විද්‍යා කථිකාචාර්යවරයකු පමණ ය.

මැතක දී ග්ලයිෆොසේට් ද  කතන්දරයට එකතුවිණි. ඒ සම්බන්ධ පත්‍රිකාවක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක, ආචාර්ය චන්න ජයසුමන හා ප්‍රියන්තා සේනානායක මහත්මියගේ (අමනුෂ්‍ය ප්‍රාණියා සමග සන්නිවේදනය කළේ ඒ මහත්මිය ය.) නමින් විද්‍යුත් සඟරාවක පළවිණි. මෙරට ඊනියා වි්‍යාඥයෝ ඒ පත්‍රිකාව පිළිගත නොහැකි යැයි කීවෝ ය. එහෙත් ඔවුන්ට කම්මුල් පහරක් වැදුණේ  කැලිෆෝනියා විශ්වවිද්‍යාලය සරත් ගුණතිලක මහතාට කරන ලද ප්‍රදානයකුත් ප්‍රජා සෞඛ්‍ය ආයතනයක් මගින් කරන ලද ප්‍රදානයකුත් හේතුකොටගෙන ය. ඇමෙරිකාව නොදැනුවත්ව ම නාථ දෙවියන්ට (අමනුෂ්‍ය ප්‍රාණියාට) තෑගි පිරිනමා ඇත. අමනුෂ්‍ය ප්‍රාණියා පට්ටපල් බොරු ගෙතුවේ නැත. එහෙත් ඔහු ප්‍රත්‍යක්‍ෂයෙන් යම් යම් දේ කීවේ ය. රහතන් වහන්සේට අනුව ප්‍රත්‍යක්‍ෂ ද බොරු ය.  

අපේ උගතුන්ගේ බොරු උද්ධච්ඡ කම් අහකට දමා අපි දැනුම ලබාගැනීම සඳහා (නිර්මාණය කිරීම සඳහා) අපේ ම විධික්‍රමවලට යා යුතු ය. පඬියන් කියන්නේ බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ ඕනෑම අයකුට ලබාගත හැකි බව ය. මෙය බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වය සඳහා උදාහරණයක් ලෙස ද ඉදිරිපත් කෙරෙයි. එහෙත් බටහිර භෞතික විද්‍යාවේ හෝ වෛද්‍ය විද්‍යාවේ හෝ නිරීක්‍ෂණ ඕනෑම අයකුට ලබාගත හැකි නො වේ. ඒ සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙයි. බටහිර භෞතික විද්‍යාඥයකුට බටහිර වෛද්‍ය විද්‍යාවේ නිරීක්‍ෂණ අර්ථකථනය කළ හැකි නො වේ. එමෙන් ම බටහිර වෛද්‍යවරයකුට බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ අර්ථකථනය කළ හැකි නො වේ. ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාගැනීමට අවුරුදු විසිපහකට අධික කාලයක් ගත කිරීමට සිදුවේ. පුහුණුවෙන් හා අධ්‍යාපනයෙන් කෙරෙන්නේ මූලික වශයෙන් නූතනත්වය අනුව සිතීමට පුරුදු කිරීම ය. අප එයින් මිදිය යුතු ය.

නලින් ද සිල්වා

2015 දෙසැම්බර් 10