Main Logo

Sunday, 1 May 2016

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 3

පාණදුරා වාදය ප්‍රමුඛ පංච මහා වාද ඇති වුණේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලො සැක්සන් හෙවත් ඇංග්ලිකන් ප්‍රභේදය හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර ය. පාණදුරා වාදයට මූල් වූ ආසන්න හේතුව වී ඇත්තේ පාණදුරේ මෙතෝදිස්ත පල්ලියේ  ප්‍රධාන පූජක තැන වූ දාවිත් ද සිල්වා බුදුදහම විවේචනය කරමින් හා අපහාසයට ලක්කරමින් කරන ලද ප්‍රකාශ ය (මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ මා නමින් ඇති පිටුවෙහි හා කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇති හා ඉදිරියට පළවන ලිපි ද කියවන මෙන් ඉල්ලමි. ඒ ලිපි බොහෝ දෙනාට කියවීමට නොහැකි බව මා දන්නා නමුත් එසේ පළකිරීමට සිදු වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, හා රිවිර හැරෙන්නට මුද්‍රිත මාධ්‍ය, මගේ අදහස් අන්තගාමී වල්පල් එදාවේල ලෙස සලකා ඒවාට  කිසිම ප්‍රසිද්ධියක් නොදෙන බැවිනි. පොලිස්පති පත්කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව 19 වැනි සංශෝධනයට පටහැනි ව ක්‍රියාකර ඇති බවට මා පළකළ අදහසට කිසිම ප්‍රසිද්ධියක් නොලැබිණි. එහි තර්කය වැරදි යැයි ඔවුන් නිගමනය කරන්නට ඇත. එය මුහුණු පොතෙහි පළ වී ඇත). විවාදයෙහි දී ඇංග්ලිකන් දේශකයකු වූ සිරිමාන්න නමැත්තකු ද පූජකවරයාට සහාය වී ඇත.


මෙතෝදිස්ත පල්ලිය 18 වැනි සියවසේ එංගලන්තයේ විසු වෙස්ලි නම් ඇංග්ලිකන් පූජකවරයකුගේ අදහස් මත ගොඩනැගී ඇත. කාර්මික විප්ලවය නිසා මුල් ඉදිරී ගමෙන් නගරවලට සංක්‍රමණය වූ ජනතාවට ඉතා විවෘත ලෙස බයිබලය කියා දීම වෙස්ලි පූජකවරයාගේ අදහස විය. මේ ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනකු අතර ය. ඔවුන්ගේ දැඩි ක්‍රමානුකුලබව හේතුකොටගෙන අනෙක් ශිෂ්‍යයන් ඔවුන්ට මෙතඩිස්ට්ස් යැයි කියා ඇත. වෙස්ලි පූජකවරයාගේ අභාවයෙන් පසු ඔවුන් ඇංග්ලිකන් හෙවත් එංගලන්ත පල්ලියෙන් කැඩී වෙන ම පල්ලියක් බවට පත් වී ඇත. දහඅටවැනි සියවසේ ම ඔලිවර් ගෝල්ඩ්ස්මිත් කවියා ලියූ ද ඩෙසර්ටඩ් විලේජ් කාව්‍යයෙහි විස්තර වන්නේ ද කම්කරුවන් වීමට නගරයට ගිය ජනයා නිසා හිස් වූ ගම ය. පාළුගම කාව්‍යය ඒ අනුසාරයෙන් ලියූවකි. 1977න් පසුව ඊනියා විවෘත ආර්ථිකයක් නමින් ඇති වූ විවෘත සංස්කෘතිය හෙවත් සංස්කෘතික ආක්‍රමණයෙන් මෙරට ගමේ සිදුවන මුල් ඉදිරීම ගැන කවියන් සංවේදී වී නැත.

ඉහත සඳහන් කරුණුවලින් මා කියන්නේ ඇංග්ලිකන් පල්ලිය හා මෙතෝදිස්ත පල්ලිය අතර ඇති සම්බන්ධය ය. ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා වෙස්ලි විදුහල, රිච්මන්ඩ් විදුහල, කිංස්වුඩ් විදුහල, ශිෂ්‍යාවන් සඳහා වූ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විදුහල ඇතුළු මෙතෝදිස්ත පාසල් 187ක් ලංකාවේ පිහිටුවා ඇත.  මෙයින් වෙස්ලි විදුහල හා මෙතෝදිස්ත විදුහල හැර අනෙක් පාසල් මේ වන විට රජයට පවරා ගෙන ඇත. මෙරට අධ්‍යාපනය හා සම්බන්ධ කන්නන්ගර, කුලරත්න. මෙත්තානන්ද ආදී මහත්වරු මෙතෝදිස්ත පාසල්වල ආදි ශිෂ්‍යයෝ වුහ. මෙත්තානන්ද මහතා පසු කලෙක පාසල් රජයට පවරා ගැනීම සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියා කෙළේ ය. බෞද්ධ කොමිෂන් සභා වාර්තාවෙන් ද නිර්දේශිත වූ පාසල් පවරා ගැනීම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් 1962 දී ක්‍රියාත්මක කෙරිණි. එයට විරුද්ධව කතෝලික හා ක්‍රිස්තියානි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණයක් දියත් කළහ. කුමන්ත්‍රණය ව්‍යවර්ථ වූයේ කුලරත්න මහතාගේ බැණනුවන් දුන් ඔත්තුවක් නිසා ය. කුමන්ත්‍රණකරුවන් මෙරට අධිකරණයෙන් රාජද්‍රෝහි චෝදනා යටතේ වරද කරුවෝ වූහ. එහෙත් එවකට පැවති සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ඔවුහු එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ. ඔවුහු එහි දී තාක්‍ෂණික හේතුවක් මත කියමින් නිදහස් කරනු ලැබුවෝ ය!

ඉංගිරිසින් විරුද්ධ වූයේ සිංහල බෞද්ධයන්ට ය. ඔවුහු බුදුදහමට විරුද්ධ වූ නමුත් හින්දු ආගමට හෝ ඉස්ලාම් ආගමට හෝ විරුද්ධ නො වූහ. ඉංගිරිසිහු විවිධ හේතු නිසා යාපනයේ අධ්‍යාපනයට අත හිත දුන් අතර කොළඹ සිංහල නගරයක් නොවන බවට වග බලාගත් හ. වෙළඳ ආර්ථිකයෙන් ද අධ්‍යාපනයෙන් ද බිහිවූ අය කොළඹ පදිංචි වූහ. දෙමළ ජනයා මුලින් ම කොළඹට පැමිණ පදිංචි වී ඇත්තේ දහනවවැනි සියවසේ මුල ය.  එසේ කොළඹ පදිංචි වූ හින්දු ජනයාට අවශ්‍ය කෝවිල් සෑදීමට පමණක් නොව පෙරහැර පැවැත්වීමට ද ඉංගිරිසින් ආධාර කෙළේ බෞද්ධයනට අනේක විධ බාධා ඇති කරමිනි.

ඉංගිරිසින් සිංහල බෞද්ධයනට විරුද්ධ වීමට කරුණු දෙකක් තිබිණි. එකක් බුදුදහමෙහි නිර්මාණයක් ආරම්භයක් ගැන නොකියා අනාත්මය, නිවන ගැන සඳහන් කිරීම ය. අනිත්‍ය, දුක්ඛ පසෙකින් තබන්න. අනාත්මය හා නිවන ගැන අනෙක් සියළු ආගමිකයන්ට කෙසේවත් එකඟ විය නොහැකි ය. පාණදුරා වාදයෙහි දී ද ක්‍රිස්තියානි පාර්ශ්වයේ ප්‍රධාන විවේචනය අනාත්මය හා නිවන සම්බන්ධයෙන් විය. අද ඇතැමුන් අයින්ස්ටයින් බුදුදහම ගැන සාධනීය ආකාරයකට කියා ඇතැයි උද්දාමයෙන් කියනු දැකිය හැකි ය. එහෙත් අයින්ස්ටයින්ට විශ්වය යනු ආත්මීය මෙන් ම අමරණීය යථාර්ථවාදී භූතාර්ථයක් (entity) විය. බුදුන් වහන්සේ දෙසූ යථාභූත බව බටහිරයන්ගේ යථාර්ථය සමග පටලවා ගන්නා ඊනියා උගතුන් ඉන්නා රටක අයින්ස්ටයින් ගැන විකාර කතා කීම පුදුමයක් නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතිය හා අනෙක් ථෙරවාදී සංස්කෘතීන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට කවදා නමුත් අභියෝගයක් විය හැකි බව බටහිරයෝ දනිති. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතිය දියකර හැරීමට, විනාශ කිරීමට බටහිරයෝ එදා සිට ම ක්‍රියා කළහ.  ඉංගිරිසින් සිංහල බෞද්ධයන්ට විරුද්ධ වූ අනෙක් කරුණ වූයේ තමන්ට විරුද්ධව සටන් කළ එක ම පිරිස සිංහල බෞද්ධයන් වීම ය.

දෙමළ හින්දු හෝ මුස්ලිම් සංස්කෘතිය විසින් ඉංගිරිසි යටත්විජිතවාදයටවත් ලන්දේසි යටත්විජිතවාදයටවත් එරෙහිව කරන ලද සටනක් නො වී ය. යාපනයේ ලන්දේසීන් සමග රැකියාව අරභයා කෙරුණු පෞද්ගලික සටන් වුව ද  යටත්විජිත විරෝධී අරගල නො වී ය. ආරුමුගම් නවලාර් ද කෙළේ වෙල්ලාල කුලවාදය තහවුරු කෙරෙන හින්දු (ශෛව) සංස්කෘතික අරගලයකට නායකත්වය දීම මිස යටත්විජිත විරෝධී අරගලයක් නො වේ. එහෙත් සිංහල බෞද්ධයෝ දිගින් දිගට ම සියළු යටත්විජ්ිතවාදීන්ට විරුද්ධව සටන් කළහ. 1815 ගිවිසුමෙන් පසුව ද සිංහලයෝ 1817 දී ම ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළහ. එහි දී සිංහල බුද්ධාගම කෙතරම් දුරට තමන්ට විරුද්ධව සිටින්නේ දැයි ඉංගිරිසිහු තේරුම් ගෙන සිටියහ. ඔවුහු අදත් ඒ බව දනිති. එහි දී භික්‍ෂූන් වහන්සේගේ ක්‍රියාකාරීත්වයත් ඔවුහු දනිති. අද මියන්මාරයේ ද ලංකාවේ ද භික්‍ෂූන් වහන්සේට එරෙහිව බටහිරයෝ විශාල ප්‍රචාරයක් ගෙන යන අතර දලයි ලාමා ඔසොවා තබති. ලංකාව සම්බන්ධයෙන් ඉංගිරිසින් නිගමනය කෙළේ කහකඩ හමුදාව (භික්‍ෂූන් වහන්සේ) සිටින තාක් සිංහල බෞද්ධයන් යටත්කිරීමට නොහැකි බව ය. මෙරට සම්ප්‍රදායට අනුව භික්‍ෂූන් වහන්සේ රජුන් තනන්නන් මිස රජවරු නොවුහ. ඒ සම්ප්‍රදාය බිඳින්නට තැත් කළ ජාතික හෙළ උරුමය අද රනිල්ගේ ඇංග්ලිකන් සංස්කෘතියේ කොටස් කරුවකු බවට පත් වී ඇත.

ඉංගිරිසිහු 1831 දී දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කර වෙල්ලාල කුලයේ අයට ඉහළ තනතුරු හා වරප්‍රසාද දුන්හ. ඉන් සියවසකට පසු ඉංගිරිසින් දේශපාලනික ව කරන ලද “වරදක්” හේතුවෙන් ලංකාවට සර්වජන ඡන්දය ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1931 දී වෙල්ලායන් සතු වූ වරප්‍රසාද නැතිවන්නට පටන් ගත්තේ ය. ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයන්ට එරෙහිව මුල දී යොදා ගනු ලැබූ වෙල්ලාලයන්ට තිබූ සැබෑ ප්‍රශ්නය එය විය. ඔවුන්ට ඊනියා අසාධාරණයක් වී නම් ඒ වරප්‍රසාද හා තනතුරු නැතිවීම ය. මෙතැන් සිට මූලික වශයෙන් විස්තර කෙරෙන්නේ ඉංගිරිසින් වෙල්ලාල යැයි කියනු ලැබූ කුමාරස්වාමි - පොන්නම්බලම් පවුලට විශේෂ වරප්‍රසාද දුන් ආකාරය ය. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, මුතු කුමාරස්වාමි, ආනන්ද කුමාරස්වාමි, රාජු කුමාරස්වාමි මෙන් ම රධිකා කුමාරස්වාමි ද මේ පවුලට අයත් ය. රධිකා කුමාරස්වාමි අදත් ඊනියා සිවිල් සමාජය නියෝජනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත්කෙරී ඇත. මුල් ම ව්‍යවස්ථාදායක සභාවේ ද දෙමළ ජනයා නියෝජනය කිරීම සඳහා ඉංගිරිසින් විසින් පත්කෙරුණේ කුමාරස්වාමි කෙනකු ය. මේ විස්තර, එනම් දත්ත, ඕනෑම කෙනකුට  අන්තර්ජාලයෙන් ද දැනගත හැකි ය. අවශ්‍ය වනුයේ දත්ත පිටුපස ඇති කතාව තේරුම් ගැනීම ය.

දහනවවැනි සියවසේ හා විසිවැනි සියවසේ මුල ලංකාවේ ප්‍රධාන පවුල වූයේ එකී පවුල ය. ඔවුහු ඉංගිරිසි පාලනයේ මුල් සමයේ දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්හ. පසුව ඇතැමෙක් දෙමළ ජනයා නියෝජනය කරනූ වස් හින්දු ආගම වැළඳ ගත්හ. මේ පවුල ඉදිරියට පැමිණියේ නෝත් ආණ්ඩුකාරයා විසින් පරිවර්තකයන් බිහිකිරීම සඳහා පිහිටුවන ලද සෙමනේරියක ඉගෙන ගත් පේදුරු තුඩුවේ කුමාරස්වාමි කෙනකු 1805 දී පරිවර්තකයකු ලෙස පත්කෙරීමත් සමග ය. ඉංගිරිසි ආණ්ඩුව විසින් වයස 26 දී ඔහු මුදලි තනතුරකට පත්කෙරුණු අතර එවකට ආණ්ඩුවේ ඉහළ ම තනතුරක් දැරූ දෙමළ වාර්ගිකයා ඔහු විය. 1815 දී ශී්‍ර වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ගිය ඉංගිරිසින් සමග ඔහු ද පරිවර්තකයකු ලෙස ගොස් ඇත. ඉංගිරිසි රජයට කරන ලද සේවයට 1819 දී ඔහුට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගෙන් තෑගි බෝග ලැබී ඇත.

ජේම්ස් රත්නම් මහතා සඳහන් කර ඇති ආකාරයට (රත්නම් මහතා බණ්ඩාරනායක පවුල ගැන කියා ඇති දේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වන නමුත් කුමාරස්වාමිලා ගැන කියා ඇති දේ සැඟ වී පවතියි) කුමාරස්වාමිගේ පියා වූ අරුමුගම්පිල්ලේ දකුණු ඉන්දියාවෙන් යාපනයේ ගුරුඩාවිල් ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු වෙල්ලාල කුලයට අයත් වී නැත. ඒ කෙසේ වෙතත් පවුල යථා කාලයේ දී වෙල්ලාල ලෙස කටයුතු කර ඇත. මේ කියන ආකාරයට අරුමුගම්පිල්ලේ ලංකාවට පැමිණ ඇත්තේ ලන්දේසි සමයේ අග භාගයේ දී ය. විජයටත් පෙර සිට ලංකාවේ දෙමළ ජනයා සිටි බව කියන්නෝ මොවුහු ය. ඔවුන් ලංකාවට පැමිණ මෙහි එවකටත් සිටි දෙමළ ජනවර්ගයකට අවශෝෂණය වී නම්් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් ඒ එසේ සිදු වී නැත. යාපනයේ දෙමළ ඉතිහාසය දහතුන්වැනි සියවසෙන් ඈතට යන්නක් නො වේ. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට ද යාපනයේ ජනගහණයෙන් බහුතරය සිංහල ය. (මතු සම්බන්ධයි)

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය.



නලින් ද සිල්වා

2016 අප්‍රේල් 28