Main Logo

Saturday 28 May 2016

ආණ්ඩුව මහ ඇමති ගැන නිහඬ ඇයි

ආණ්ඩුව මහ ඇමති ගැන නිහඬ ඇයි

ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතේ මෙරට වාර්තාකරු යැයි සිතිය හැකි පී කේ බාලචන්ද්‍රන් නමැත්තකු ඒ පුවත්පතට නැගෙනහිර මහ ඇමති -ආණ්ඩුකාර ප්‍රශ්නය ගැන ලියා තිබෙනවා. ඔහු ඒ ලිපිය ලියා ඇත්තේ දෙමළ ජාතිවාදී පැත්තේ සිට. ඇතැම් විට බාලචන්ද්‍රන් ද දෙමළ විය හැකි ය. එසේ වුනත් නැතත් ඔහු කියන්නේ මෙය ආණ්ඩුව හා පළාත් සභා අතර ඇති ප්‍රශ්නය එළියට ඒමක් කියා ය. ඔහුට අනුව ආණ්ඩුව බලය බෙදීමට ඇති අකමැත්ත ප්‍රශ්නය පිටුපස තිබෙනවා. 


ඉන්දියාවේ පත්තරවල කියන දේ අප සලකා බැලිය යුත්තේ ඉන්දියාවේ ඊනියා උගත් අයගේ අදහස් දැනගැනීමට පමණයි. ඔවුන් අපේ උගත් අයගෙන් එතරම් වෙනස් වන්නේ නැහැ. ඔවුන්ටත් මූලික වශයෙන් ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ මතවාදයි. ඔවුන් සමස්තයක් ලෙස (කිහිප දෙනකු හැරුණු විට) මූලික වශයෙන් කියන්නේ සිංහල ආධිපත්‍යයක් ඇති බවත් දෙමළ මුස්ලිම් ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බවත් එයට විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කළ යුතු බවත් සිංහලයන් එයට විරුද්ධ බවත් ය. ඒත් මේ කිසිවකු, ලංකාවේ පඬියන් ද ඇතුළුව, දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණය කුමක් ද කියා කියන්නේ නැහැ. 

අෂ්රොෆ් කරළියට එනතුරු මුස්ලිම් ජනයාට වූ අසාධාරණයක් ගැන කිසිවකු කතා කෙළේ නැහැ. ඔවුන්ට අසාධාරණයක් වී නම් ඒ දෙමළ ජාතිවාදීන්ගෙන් මිසක් සිංහලයන්ගෙන් නො වෙයි. සිංහලයන්ට නම් අසාධාරණ රාශියක් වෙලා තියෙනවා. ඒ සියල්ල සඳහන් කරන්න ඉඩ මදි. මුස්ලිම් ජනයා නැගෙනහිර පළාතේ පදිංචි කිරීම නම් සිංහලයන්ට වූ අසාධාරණයක් ලෙස කියන්න පුළුවන්. එහෙත් එසේ කෙළේ සිංහල බෞද්ධයන්ගේ හා රජවරුන්ගේ මනුස්ස කමට. මුස්ලිම් ජනයාට පෘතුගීසීන්ගෙන් පහර වදින විට සෙනරත් රජු ඇතුළු රජවරු මුස්ලිමුන් වත්මන් නැගෙනහිර පළාතේත් උඩරට ප්‍රදේශවලත් පදිංචි කළා. හකීම්ටත් මහ ඇමති අහමඩ්ටත් ඒ ටික මතක නැහැ. ලන්දේසීන් දෙමළ ජනයා කෝරමන්ඩල වෙරළෙන් හා මලබාර් ප්‍රදේශවලින් ගෙනැවිත් යාපන ප්‍රදේශයේ පදිංචි කර එහි දෙමළ ජනගහනය බහුතරය බවට පත්කළා පමණක් නොව, කල්යෑමේ දී එහි සිටි සිංහලයන් දෙමළ කිරීමට ද මග පෑදුවා. ඉංගිරිසින් දෙමළ ජනයා ගෙනැවිත් වත්මන් නැගෙනහිර පළාතේත් පසුව කඳුකරයේත් පදිංචි කර සිංහලයන්ට ඒ භූමි අහිමි කළා. 

බාලචන්ද්‍රන්ට තබා මෙරට සිටින ඊනියා උගතුන්ටත් මේ කරුණු කියා වැඩක් නැහැ. ඒත් බාලචන්ද්‍රන්ගේ ලිපියෙන් වැදගත් කරුණු කිහිපයක් හෙළිදරවු වෙනවා.  ආර්පිකෝ සමාගම නාවික හමුදාව සමග එක්ව සාම්පුර්හි පාසලකට විද්‍යා හා පරිගණක පරීක්‍ෂණාගාරයක් ලබා දීමේ උත්සවයක් සංවිධානය කර ආණ්ඩුකාරයාට එහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කර තිබෙනවා. ආණ්ඩුකාරයා ඔහුගේ අභිමතයට මහ ඇමතිටත් ඇමරිකානු තානාපතිටත් ආරාධනා කර තිබෙනවා. මේක අනුන්ගෙ මගුල් ගෙවල්වලට ආරාධනා කරනවා වගේ වැඩක්. ආණ්ඩුකාරයා එහි දී කාගේවත් අදහස් විමසුවාද නැද්ද යන්න බාලචන්ද්‍රන් කියන්නේ නැහැ. 

නාවික හමුදාව ආණ්ඩුකාරයාගේ ආරාධනය ගැන දැන සිටියා ද නැද්ද යන්නත් බාලචන්ද්‍රන් කියන්නේ නැහැ. වෙනත් වාර්තාවලට අනුව ළමුන්ගේ පෙරහැරක් හෝ ඒකරාශිවීමක් (ජනරාශියක් කියයි ද දන්නේ නහැ) හෝ නිසා මහ ඇමතිගේ මෝටර් රථයට අවහිර වෙලා තියෙනවා. මහ ඇමති බලයෙන් මත්වෙච්ච උද්ධච්චයකු හා දරුණු ම ගණයේ සිංහල විරෝධියකු බව පැහැදිලියි. ඒත් ආණ්ඩුවට දැන් මේ සියල්ලට ම වරදකරු ළමුන්ගේ ජනරාශිය කියලා කියන්න පුළුවන්. හාමුදුරුවරුන් කිහිප නමක් මහ ඇමතිගේ ගෙදරට ම ගොස් ඔහුට බැණ වැදීම ඕල්කට් බුද්ධාගමට කෙසේ වෙතත් සිංහල බුද්ධාගමට එකඟයි. උන්වහන්සේලාට අපේ ප්‍රණාමය හිමි වෙනවා. එමෙන් ම නාවික හමුදාව මහ ඇමතිට මින් මතු උත්සවවලට ආරාධනා නොකිරීමටත් කඳවුරුවලට පැමිණීම තහනම් කිරීමටත් තීරණය කර හමුදාවේ ගෞරවය රැකගැනීම සම්බන්ධයෙන් අදාළ සියළු දෙනාට අපේ ප්‍රශංසාව හිමි වෙනවා. එහෙත් නිවට ආණ්ඩුව කොයි මොහෙතක නමුත් මේ තහනම් ඉවත් කිරීමට ඉඩ තිබෙනවා. හමුදාව මහ ඇමති අසාදු ලැයිස්තුවට ඇතුල් කර නැහැ. කොහොමටත් සිංහල බෞද්ධයන්ගේ අසාදු ලැයිස්තුවට මහ ඇමති විතරක් නෙවෙයි ඔහුට ආරාධනා කළ ආණ්ඩුකාරයාත් මහ ඇමතිගේ පක්‍ෂ නායක හකීමුත් ඇතුළත් වෙනවා. 

හමුදාව තවමත් කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල්වූ සම්බන්ධන්ට කිසිවක් කර නැහැ. සම්බන්ධන් විග්නේෂ්වරන් සමග ඔවුන්ගේ ස්වාමියා වූ එංගලන්ත අගමැති කැමරන් හමුවීමට වේටිටිය ගළවල කලිසම් කබා ඇඳගෙන ගිහින්. නිවට බටහිර ගැති ආණ්ඩුවට අනුව සම්බන්ධන්ට අවසර නැතිව හමුදා කඳවුරුවලට යෑමට අයිතියක් තිබෙනවා. ඒ මොන නීතියකට අනුව ද? ඔහුට තබා අගමැතිටවත් එලෙස අවසර නැතිව හමුදා කඳවුරුවලට ඇතුල් වෙන්න බැහැ. නිවට ආණ්ඩුව මහ ඇමති අහමඩ් ගැන මෙතෙක් කිසිවක් කියා නැහැ. ඒ ඇයි ද කියා අමුතුවෙන් කිවයුතු නැහැ. ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජාතිවාදී ද වෙනවා. මෙය රාජ්‍ය විරෝධී ආණ්ඩුවක්. ජනාධිපති සිංහල බෞද්ධකමක් ගැන කතාකරන බව අඟවන්න හදනවා. ඒත් රනිල්ගේ ආණඩුව ඔහූට ඒ බව අඟවන්නවත් දෙන්නේ නැහැ. 

බාලචන්ද්‍රන් කියන ආකාරයට මෙය ආණ්ඩුව හා පළාත් සභා අතර ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවත් මහ ඇමතිත් හකීමුත් ඉන්නෙ එක පැත්තක. පළාත් සභා ආධාර කරගෙන තව තවත් බලය ඉල්ලන දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන් ක්‍රියා කරන ආකාරය මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා. උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් ලංකාවේ නම වෙනස් කරන්න කියනවා. නැගෙනහිර පළාතේ මහ ඇමති ප්‍රසිද්ධියේ ආණ්ඩුකාරයාට හා හමුදා නිලධාරියකුට බැන්නේ රාජ්‍යයට අභියෝග කරමින්. ඔහුගේ තර්ජනය රාජ්‍යයටයි. ආණ්ඩුවට නො වෙයි. ආණ්ඩුකාරයා මොන තරම් නිවට වුනත් ඔහු රාජ්‍ය නියෝජිතයෙක්. හමුදාව ආරක්‍ෂා කරන්නේ රාජ්‍යයයි. මහ ඇමතිගේ තර්ජනය සුළුවෙන් සලකන්න බැහැ. නිවට ආණ්ඩුව  රාජ්‍යය ආරක්‍ෂා කිරීමට සූදානම් නැහැ. අන්තිමේ දී රාජ්‍යය වෙනුවෙන් කතාකෙළේ ජාතියේ මුරදේවාතාවුන් වහන්සේ වන මහා සංඝයා වහන්සේ හා ජනමාධ්‍ය කිහිපයක් පමණයි. රාජ්‍යය නැතිව ජාතියට පැවැත්මක් නැති බව උන්වහන්සේ දන්නවා. 

ජනමාධ්‍ය එංගලන්ත පාර්ලිමේන්තුවේ හතරවැනි බලය ලෙස බර්ක් නමැත්තකු විසින් හැඳින්විණි යැයි කියැවෙනවා. එහෙත් මේ සංකල්පයෙහි කතෘත්වය ගැන විවිධ මත පළවෙනවා. මෙය ප්‍රංශ විප්ලවය සමගත් ගැට ගැසී තිබෙනවා. බලය යන්න මාක්ස්වාදී අර්ථකථනයකින් නොවුවත් පංතිය ලෙසත් කියවෙනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රණ සභාවේ එංගලන්ත හෙවත් ඇංග්ලිකන් සභාව නියෝජනය කරන ආච්බිෂොප්ලා හා බිෂොප්ලා එක බලයක්, සාමි මන්ත්‍රණ සභාවේ අනෙක්  සාමාජිකයන් දෙවැනි බලය, සාමාන්‍යයන් හෙවත් මහජන නියෝජිත මන්ත්‍රීන් තුන්වැනි බලය, පාර්ලිමේන්තුවේ පුවත්පත් ගැලරියේ අසුන් ගන්නා මාධ්‍යවේදීන් හතරවැනි බලය ලෙස සැලකුනා. අපට මේ ඇංග්ලිකන් සම්ප්‍රදාය  අවශ්‍ය නැහැ. මේ රටේ සාමි මන්ත්‍රණ සභාවක් නැහැ. ජාතික හෙළ උරුමයේ හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට ගියේ සිංහල බෞද්ධ සම්ප්‍රදායකට එකඟ ව නොව ඇංග්ලිකන් සම්ප්‍රදායට එකඟවයි.  ඒ අතර ඇංග්ලිකන් සම්ප්‍රදායේ රනිල් පාර්ලිමේන්තුවේ දී ගැලරිය දෙස බල බලා  හතරවැනි බලයට තර්ජනය කරනවා.  

සිංහල බෞද්ධ සම්ප්‍රදායේ ජනමාධ්‍ය ජාතියේ මුර දේචතාවුන් වහන්සේලාට පහතින් ජාතියේ සිවිල් (හමුදා නොවන අරුතින්) ආරක්‍ෂකයන් ලෙස කටයුතු කරනු දැකීම සතුටක්. අපි මේ සංකල්ප සිංහල බෞද්ධ දැනුමක් ලෙස තව තවත් වර්ධනය කරමු. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)

නලින් ද සිල්වා 

2016 මැයි 28