මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද?
මාර්තු දහවැනි දා ලිපිය ද බලන්න
බටහිර භෞතික විද්‍යාවේත් වාස්තවිකත්වයක් නිරපේක්‍ෂබවක් නැති විටක
නීතියේ වාස්තවිකත්වයක් සෙවීම කළුණික සෙවීමක් බව පළමුවෙන් ම ප්‍රකාශ කළ යුතුයි.
නීතියේ යුක්තිය පසිඳලීමට අධිකරණ තිබීම ප්‍රශ්නයක් නොවුණත් නීතිඥයන් රාශියක් සිටීම
ප්‍රශ්නයක් වෙයි. අද ඇතැම්හු දෙවැනි වෛද්‍ය මතයක් ලබා ගැනීමට පෙළඹෙති. එයට හේතුව
කුමක් ද? ඇතැම් වෛද්‍යවරුන්ට නිසි ප්‍රමිතියක්
නො තිබීම ද? (මා සඳහන් කරන්නේ සයිටම් උපාධිධාරීන්
ගැන නො වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන් ගැනයි). දෙවැනි වෛද්‍ය
මතයක් සෙවීමට ඇතැමුන් පෙළඹෙන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තිබෙන නිසා
විය හැකියි. එසේත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව වාස්තවික නොවීම විය හැකියි.
වාස්තවිකත්වයක් ඇත්නම් හා වෛද්‍යවරුන් නිසි ප්‍රමිතියකට පුහුණු කෙරී ඇත්නම් දෙවැනි
වෛද්‍ය මත සෙවීමට අවශ්‍යතාවක් පැන නොනගියි.
අධිකරණය ඇත්තේ ම දෙවැනි මත ප්‍රකාශ කිරීම සඳහා බව අපි දනිමු. එහි
විත්තිකරුවන් හා පැමිණිළිකරුවන් වෙනුවෙන් පෙනීසිටින නීතිඥයෝ තතු සම්බන්ධයෙන් පමණක්
නොව නීතිය සම්බන්ධයෙන් ද විවිධ මත දරති. ඔවුහු නීති විවරණය පිළිබඳ වෙනස් මතිමතාන්තර
විනිසුරුවන්ට ඉදිරිපත් කරති. අප පිළිගත යුත්තේ කිනම් මතයක් ද? විනිසුරුවන් ඒ පිළිබඳ දෙන තීන්දුවලට විරුද්ධව
පැමිණිළිකරුවෝ ද විත්තිකරුවෝ ද ඉහළ උසාවිවලට යොමු වෙති. අවසානයේ දී ශ්‍රෙෂ්ඨාධිකරණයේ
පූර්ණ විනිසුරු මණ්ඩලයක් දෙන තීන්දුව පිළිගැනීම හැර වෙනත් දෙයක් කිරීමට නො හැකි ය.
ඒ තින්දුව බහුතර තීන්දුවක් වන අවස්ථා ද ඇත. එවිට යමක නීත්‍යානුකූලබව එක් වැඩි
ඡන්දයකින් පමණක් තීරණය විය හැකි ය. ඉතා වැදගත් තීන්දු ද එසේ ගත් අවස්ථා ඇත.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට සංධීය වූ බව විනිසුරුවෝ සතර දෙනෙක් ප්‍රකාශ කළහ. ඔවුන්ට අනුව
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය විය.
විනිසුරුවෝ සතර දෙනෙක් ඒකීය භාවය නැති නොවන බව කීහ. ඔවුන්ට අනුව ජනමත විචාරණයක්
අවශ්‍ය නො වී ය.
එක් විනිසුරුවකු කියා සිටියේ වගන්ති දෙකක් සම්බන්ධයෙන් ජනමත
විචාරණයක් පැවැත්විය යුතු බව ය. එහෙත් ජේ ආර් ජයවර්ධන සුපුරුදු පරිදි නීතිය අමතක
කර ඒ වගන්ති දෙක සම්බන්ධයෙන් ජනමත විචාරණයක් නොපවත්වා දහතුන සම්මත කර ගත්තේ ය.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන විට එයට නීතියෙන් අභියෝගයක්
කිරීමට නොහැකි වූ විට අප කළ යුත්තේ කුමක් ද? පාර්ලිමේන්තුවේ වැඩ කරන ආකාරය ගැන අධිකරණයට යෑමට ඉඩක් නැත. එහෙත් ඒ
ගැනත් දෙවැනි මත ඇත්දැයි නො දනිමි.
මා ප්‍රශ්න කරන්නේ ඊනියා ජාතික ආණ්ඩුවේ නීත්‍යානුකූල භාවය ගැන ය. එය
තීරණය කරන්නේ කතානායක ය. එබැවින් ඒ ගැන ප්‍රශ්න කිරීම පවා නිෂ්ඵල විය හැකි ය.
ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා ඇත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ය. ඒ සංශෝධනයට
සරත් වීරසේකර මහතා විපක්‍ෂ විය. ජානක බණ්ඩාර මහතා ඡන්දය දීමෙන් වැළකුණේ ය. සංධානයේ
අනෙක් සියල්ලෝම එයට පක්‍ෂව ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂ මහතා එකළ පාර්ලිමේන්තුවේ
නො සිටියේ ය. එදා පාර්ලිමේන්තුවේ සිටි අද ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින අනෙක් අය දහනවයට
ඡන්දය දුන්හ. අද ඔවුහු එහි විපාක අත්විඳිති.
ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා ඇත්තේ ව්‍යවස්ථාවේ 46 (4) (5) වගන්ති යටතේ ය. එහි සඳහන් වන්නේ ජාතික ආණ්ඩුවක්
යනු පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සහිත පිළිගත් දේශපාලන පක්‍ෂය හෝ කණ්ඩායම
හෝ වෙනත් පිළිගත් දේශපාලන පක්‍ෂ හෝ කණ්ඩායම් සමග පිහිටුවෙන ආණ්ඩුවකට ය. මේ හුදෙක්
සභාග ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් බවට පත්කිරීම සඳහාත් ඇමති මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව
තිහට වැඩි කර ගැනීම සඳහාත් සම්මත කරගත් වගන්ති පමණ ය. මෙහි ඇති ජාතික බවක් නැත.
එහෙත් මෙහි පිළිගත් දේශපාලන පක්‍ෂ හෝ කණ්ඩායම් යන්න නිර්වචනය කෙරී
නැත. පක්‍ෂ හෝ කණ්ඩායම් පිළිගන්නේ මැතිවරණ කොමසාරිස් ද? කතානායක ද? අදාළ පක්‍ෂයේ හෝ කණ්ඩායමේ හෝ ලේකම්ද?
පසුගිය 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකක් විය. ඒ
එක්සත් ජනතා විමුක්ති සංධානය හා එක්සත් යහපාලන ජාතික පෙරමුණ වෙයි. ජනතා විමුක්ති
පෙරමුණවත් දෙමළ ජාතික සංධානයවත් සිහිනෙන්වත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ නො වෙයි.
එක්සත් යහපාලන ජාතික පෙරමුණත් එක්සත් ජනතා විමුක්ති සංධානයත් දේශපාලන පක්‍ෂ පමණක්
නොව දේශපාලන පක්‍ෂවල සංධාන ද වෙයි. ප්‍රශ්නය පැන නගින්නේ මෙහි දී ය.
ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා විමුක්ති සංධානයේ සාමාජික පක්‍ෂයක්
නො වෙයි. එබැවින් ජා නි පෙරමුණට සංධානයෙන් ඉවත් වීමට නො හැකි ය. ඒ බව අපි
පිළිගනිමු. එවිට ජා නි පෙ සංධානයේ ස්වාධීන වීම යන්න තේරුමක ඇති දෙයක් නො වෙයි.
එහෙත් සංධානයේ සාමාජික පක්‍ෂයකට සංධානයෙන් ස්වාධීන විය හැකි ද? යම් සාමාජික ප්ක්‍ෂයකට සංධානයෙන් ඉවත් විය හැකි
ය. නැතහොත් සංධානයට සාමාජික පක්‍ෂයක් සංධානයෙන් ඉවත් කළ හැකි ය. එහෙත් සංධානයට යම්
පක්‍ෂයකකට ස්වාධීන වීමට අවසර දිය හැකි ද? එසේ කරන්නේ සංධානයේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද?
එකල සංධානයේ ලේකම් ව සිටි විශ්ව වර්ණපාල මහතා ශ්‍රී ල නි පක්‍ෂයට
සංධානයෙන් ස්වාධීන වීමට අවසර දී ඇතැයි කියැවෙයි. ඔහු එසේ කරන්නේ කෙසේ ද? සංධානයේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද?
ස්වාධීන වීම යනු කුමක් ද? මරා දමා ඇති නමුත් නීතියට අනුව ශ්‍රී ල නි පක්‍ෂය
අදටත් සංධානයේ සාමාජික පක්‍ෂයක් ලෙස කටයුතු කරයි. මෛත්‍රිපාල සිිරිසේන මහතා ශ්‍රී
ල නි පක්‍ෂයේ මෙන් ම සංධානයේ ද සභාපති වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය සංධානයේ නැත්නම්
(ස්වාධීන නම්) ඔහු සංධානයේ ද සභාපති වන්නේ කෙසේ ද? ඒ සියල්ල එසේ වෙමින් ශ්‍රී ල නි ප සංධානයෙන් ස්වාධීන ව කටයුතු කරන්නේ
කෙසේ ද? කතානායක ශ්‍රී ල නි පක්‍ෂය ස්වාධීන ලෙස
පිළිගෙන ඇත් ද? එසේ පිළිගෙන ඇත්නම් ඒ කිනම් නීතියක්
රීතියක් සම්ප්‍රදායක් යටතේ ද? ඉවත් වීම යනු කුමක් ද? ස්වාධීන වීම යනු කුමක් ද?
මා මේ ප්‍රශ්න නගන්නේ එක්සත්
යහපාලන ජාතික පෙරමුණ ව්‍යවස්ථාවේ 46
(5) වගන්තිය යටතේ අද ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා
ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය සමග මිස සංධානය සමග නොවන නිසා ය. මේ ඊනියා ජාතික ආණ්ඩුව
නීත්‍යානුකූල ද යන ප්‍රශ්නය මතුවෙයි. එහෙත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් (තීන්දුවක්)
දෙන්නේ කවුද?
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 මාර්තු 19