විද්‍යා කතන්දර හා යථාර්ථය
පසුගිය පෙබරවාරි 18 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ කතෘට
ලිපි පිටුවේ එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙහි කෘත්‍රීම බුද්ධිය පිළිබඳ
මහාචාර්යවරයකු වූ නෙලො ක්රිස්ටියානිනි පහත සඳහන් ප්‍රකාශය කර තිබෙනවා. “Our
need for causal explanations seems to be similar to our need to tell stories
about what we perceive” (හේතුක පැහැදිලි කිරීම් සඳහා අපට වූ අවශ්‍යතාව
අප සංජානනය කරන දේ ගැන කතන්දර කීමට අපට වූ අවශ්‍යතාවට සමරූප වෙයි). මේ ප්‍රකාශය
බටහිර විද්‍යාවේ කෙරෙන්නේ අපේ සංජානන තේරුම් ගැනීමට කතන්දර ගෙතීම යන ප්‍රකාශයට
බොහෝ ඈතින් බව පැහැදිලි නමුත් බටහිරයන්ගේ මෙවැනි ප්‍රකාශ වුවත් මෙරට ඊනියා
විද්‍යාඥයන් බොහෝ දෙනාට ආගන්තුක විය හැකි ය.
මෙරට බොහෝ විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය ද වෙනත් බොහෝ අය ද දන්නේ
ඊනියා යථාර්ථයක් පවතින බවත් විද්‍යාඥයන් ඒ යථාර්ථය සොයාගන්නා බවත් ය. එය
ආකිමිඩීස්ගේ යුරේකා දක්වා දිව යන්නක්. නිවුටන් ද කෙළේ යැයි කියන්නේ ගුරුත්වාකර්ෂණය
සොයා ගැනීමක්. එවිට අයින්ස්ටයින් කෙළේ කුමක් ද යන ප්රශ්නය මතුවෙනවා. බටහිරයන්
යථාර්ථයක් ගැන තවමත් විශ්වාස කරනවා. එහෙත් ක්රිස්ටියානිනි වැදගත් ප්‍රශ්නයක්
නගනවා. ලිපියෙන් අසන්නේ විද්‍යාඥයන් යථාර්ථය පිළිබඳ ආකෘති ගොඩ නගන්නේ යථාර්ථය
පුරෝකථනය කිරීමට ද නැත්නම් තේරුම් කිරීමට ද යන්නයි. ඒ සමග අසන්නේ හොඳින් පුරෝකථනය කරන එහෙත් විද්‍යාඥයන්ට
තේරුමක් ගෙන නොදෙන ආකෘති ගැන කියන්නේ කුමක් ද යන්න ය. සමහර විට ක්රිස්ටියානිනි
ක්වොන්ටම් භෞතික විද්‍යාවත් ඒ ගණයට දමනවා වෙන්න පුළුවන්. ක්වොන්ටම් භෞතිකයේ
ද්විත්ව සිදුරු පරීක්ෂණය බටහිරයන්ට තේරුමක් ගෙන දෙන්නේ නැහැ.
ඒ කුමක් වුවත් ක්රිස්ටියානිනි යථාර්ථය තේරුම් ගැනීමට හෝ පුරෝකථනය
කිරීමට හෝ ආකෘති ගොඩ නැගීමක් ගැන කියනවා. මෙය වැදගත්. බටහිර විද්‍යාඥයන් යථාර්ථයක්
ගැන කතා කරන අතර ම ආකෘති ගොඩ නැගීමක් ගැන කතා කිරීම වැදගත්. කලිනුත් ඇතැමුන් ආකෘති
ගොඩ නැගීම ගැන කතා කර තිබෙනවා. එහෙත් ඒ යථාර්ථය තේරුම් ගැනීම සඳහායි. යථාර්ථය
පුරෝකථනයට ආකෘති ගොඩ නැගීම තරමක අලුත් කතාවක්. මෙය එක් පැත්තකින් තේරුමක් ගෙන
නොදෙන්නේ යැයි කියන ක්වොන්ටම් භෞතිකයේ සාර්ථක පුරෝකථන නිසා මතුවන්නක් වන අතර අනෙක්
පැත්තෙන් කෘත්‍රිම බුද්ධි ක්ෂෙත්රයෙහි පැන නැගී ඇති ප්‍රශ්න නිසා මතුවන්නක්. අපි
ඒ ගැන පසුව කතා කරමු.
යථාර්ථය සම්බන්ධයෙන් වැදගත් ලිපියක් පෙබරවාරි 4 වැනි දා නිව් සයන්ටිස්ට් සඟරාවේ හිඩ්න්
ඩෙප්ත්ස් මැයෙන් පළ වී තිබුණා. ඒ ලිපියෙහි කියා තිබූ ආකාරයට යථාර්ථය දැන් ඉලෙක්ට්‍රෝන
හා ප්‍රෝටෝනවල සිට ක්වොන්ටම් තොරතුරු දක්වා ගොස් තිබෙනවා. දැන් යථාර්ථය වන්නේ
ක්වොන්ටම් තොරතුරුයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආදිය ක්වොන්ටම් තොරතුරු මගින් පැහැදිලි
කරන්න පුළුවන්. එහෙත් ක්වොන්ටම් තොරතුරු වෙනත් සංකල්පයකින් තේරුම් කිරීමට හැකි
දැයි ඇසූ විට ඔවුන් නිරුත්තර වෙනවා. ක්වොන්ටම් තොරතුරුවලටත් වඩා ගැඹුරින් වූ
යථාර්ථයක් වේ ද?
මෙයට බුදුදහමේ නම් පිළිතුරු තිබෙනවා. එහෙත් දැන් අපට බුදුදහම
උගන්වන්නේ කතෝලික පසුබිමක් ඇති පුද්ගලයන්. කාළාම සූත්‍රය ගැන අපට කියා දෙන්නේ කාලෝ
ෆොන්සේකා. පටිච්ච සමුප්පාදයේ චක්‍රයෙන් ඉවත් වීම ගැන කියා දෙන්නේ දයාන් ජයතිලක.
ඔහුට අනුව චක්‍රයෙන් ඉවත් වීම කියන්නේ චක්‍රයේ උඩට යෑම. මේ උඩට යෑම අපායට නොව
ස්වර්ගයට යෑම සමග නම් සංසන්දනය කරන්න පුළුවන්. බුදුදහමේ එවැනි ඉවත්වීමක් ගැන
කියන්නේ නැහැ.
ඒ කොහොම වුනත් බුදුදහමට අනුව ඊනියා යථාර්ථයක් නැහැ. යථාභූත කියන්නේ
යථාර්ථයකට නො වෙයි. බුදුදහම බටහිර යුදෙවු ක්‍රිස්තියානි නූතනත්වයට යටකිරීමට උත්සාහ
දරන පඬියන්ට නම් යථාභූතය යථාර්ථයක් කරගන්න පුළුවන්. කෙහෙල් ගසක පොත්ත ඉවත් කළහොත් වෙනත්
පෘෂ්ඨයක් දකින්නට ලැබෙනවා. ඒ පොත්ත ඉවත් කළහොත් තවත් පෘෂ්ඨයක් මතුවෙනවා. එයත් ඉවත්
කළහොත් තවත් පෘෂ්ඨයක්. තව තවත් පොතු ඉවත් කළහොත් අවසානයේ දී කිසිවක් ලැබෙන්නේ
නැහැ. මේ ගැඹුරින් සැඟ වී ඇතැයි කියන යථාර්ථයත් එවැනියි. ක්වොන්ටම් තොරතුරු යටින්
ඇති යථාර්ථය කුමක් ද? එයටත් යටින් ඇති යථාර්ථය කුමක් ද?
බටහිරයන්ට ඊනියා යථාර්ථය ද නිර්මාණයක් බවත් එය නිර්මාණය කරන්නේ
සංස්කෘතියට පංචෙන්ද්‍රියවලට හා මනසට සාපේක්ෂ ව ය යන්න පැවසීමට තව බොහෝ කල් යාවි.
ඔවුන් විද්‍යා කතන්දර ගැන දැන් ම කියන එකක් නැහැ. අපට කලකට පෙර ම එවැනි කතා නිර්මාණය
කර ගැනීමට හැකි වුණේ සිංහල බෞද්ධ සංස්කෘතියක. ඒ බව බොහෝ දෙනාට අමතක වෙනචා. අප අපේ
ප්‍රවාද නිර්මාණය කිරීමක් ගැන කතා කිරීමට පටන් ගෙන බොහෝ කල්. අප දේශපාලනයෙහි දී ප්‍රවාද
නිර්මාණය කරන්නේත් අපේ ම සංස්කෘතියෙහි. විදේශ ප්රතිපත්තියත් එසේ ම යි.
දේශපාලනයෙහි දී උපාය හා උපක්‍රම වැදගත්. එහෙත් ඒවා තීරණය වන්නේ ප්‍රවාදවලට සාපේක්ෂ
ව. ප්‍රවාද සංස්කෘතියට සාපේක්ෂයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන දැනීමක් නැතිව උඩින්
පල්ලෙන් අතගා අපට සරිලන උපාය හා උපක්‍රම තීරණය කිරීමට බැහැ. පිටරට අයගෙ නම් උච්චාරණය කරන්න මා හරියට දන්නේ නැහැ. එහෙත් ඒකෙන් ගම්යවෙනව ද ඒ ඒ අය කියා ඇති දේ දන්නෙ නැත කියලා. අපේ ඇතැම් අනුකාරක උගතුන් දන්නෙ ඊනියා නිවැරදි උච්චාරණය විතරයි. අපට උපාය උපක්‍රම ගැන කියන්නෙ එවැන්නන්. අපේ සංස්කෘතියෙන් පිට
තීරණය කෙරෙන උපාය හා උපක්‍රමවලින් අපට වන්නේ අයහපතක් මිස යහපතක් නො වෙයි.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 මාර්තු 13