Main Logo

Wednesday 3 May 2017

චූන් දේශපාලනය විනාශයටයි


චූන් දේශපාලනය විනාශයටයි



මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහා ම චූන් වෙලා. හෙට ආණ්ඩු බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්, එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ වර්ජනයක් පැවැත්වීමට යනවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර වෙනවා. ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න බුදුදහමෙන් ඉගෙන ගත්ත එකක් වෙන්න බැහැ. එක් දින වර්ජනය වර්ජකයන්ගේ පැත්තෙන් බැලූ විට සාර්ථක වේවි. ඔවුන් ඊළඟට මහා වැඩ වර්ජනයකට සූදානම් වේවි. ගාලු මුවදොර මැයි දිනයට සහභාගි වූ ජනතාව මහා වැඩ වර්ජනයකට ද සහාය දේවි කියා ඔවුන් සිතනවා ද? එසේත් නැත්නම් ඔවුන් ස්වයං මෝහනයකට පත් වී ඇත් ද? වෛද්‍යවරුන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ද සිටිනවා. මේ එන්නේ ඊනියා ලංකා වසන්තය ද?  ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමේ දෙවැනි පියවර ක්‍රියාත්මක වීමට යන්නේ ද? ගුරු සංගම් ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කාන්තා විද්‍යාලය ආදිය ජනසතු කරන්න කියන්නෙ නැද් ද? 




මෙරට හා පිටරට වසන සිංහල දේශප්‍රේමීන් සමග මට හැරෙන්නටවත් බැහැ. ඔවුන් අති විශිෂ්ට බුද්ධිමතුන්. මා විශ්වවිද්‍යාලවලින් අස්කෙරුණු නොවැදගතෙක්. අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන මිථ්‍යා මත වපුරුවන්නෙක්. විශිෂ්ට බුද්ධිමතුන් සිටිය දී මා මේ ලිපි ලියන්නේ ඇයි ද කියා මට දහස්වර හිතෙනවා. මේ ලිපිවලට කැමැත්ත පළ කරන අය ඉතා සුළු පිරිසක්. මැයි දින පණිවුඩයක් ලිපිය පන්දහසකට පමණ ලැබී ඇති නමුත් එයට මේ වන තුරු කැමති වී ඇත්තේ එකසිය පනහකටත් අඩු පිරිසක්. එය ගාලු මුවදොර රැස් වූ ජනතාව සමග තබා අඩුවෙන් ම සහභාගි වූ මැයි දින රැළියේ පිරිස සමගවත් සසඳන්න බැහැ. ගණිතයේ භාෂාවෙන් නම් එය නොගිණිය හැකි අත්‍යුණකයක්. එහෙත් ඒ ගණිතයට ම අනුව අත්‍යුණකයක් අත්‍යුණකයකින් බෙදා සීමාව ගත්තම පරිමිත සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. මට නම් ඒව තේරෙන්නෙ නැහැ. තේරෙන බුද්ධිමත් දේශප්‍රේමීන් ඉන්න පුළුවන්.



මෙහි දී මට ඇතැම් ප්‍රතිචාර මතක් වෙනවා. මැයි දිනය ගැන මා ලියූ ලිපියක් සම්බන්ධයෙන් මට චෝදනා කර තිබුණේ මා මේසන් බාසුන්නැහැලාට ගෙදර වැඩ කරන්න දී මැයි දිනයට සහභාගි වූ කුහකයකු කියා. එය 1980 දී ඇති වූ සිද්ධියක්. එකල මා නව සමසමාජ පක්‍ෂයෙන් කැඩී වෙන් වූ අලුත. මා මාක්ස්වාදී මානසිකත්වයෙන් සම්පූර්ණයෙන් මිදි සිටියේ නැහැ. මට අවශ්‍ය වූයේ මාක්ස්වාදීන්ගේ කුහකකම පෙන්වීමයි. අදත් ඇතැම් ඊනියා විප්ලවවාදීන් මැයි දිනයට සහභාගි වන්නේ ගෘහස්ථ මෙහෙකරුවන් ගෙදර සිටිය දී. වෙනත් අය කම්කරුවන් ලෙස සේවයට ගනිද්දී. මා 1980න් පසු මැයි දින රැළිවලට පෙළපාළිවලට සහභාගි වී නැහැ. ඒත් ප්‍රතිචාර දැක්වූ අයට පෙනුණේ මගේ කුහකකම.



සිංහලයන්ට සංකල්ප, ප්‍රවාද ආදිය ගැන කිසිම තේරුමක් නැහැ. ලිපියකින් කියන්නේ කුමක් ද යන්න වැටහෙන්නේ නැහැ. වාක්‍යයකින් කියැවෙන දෙය නොතේරී ඔවුන් පෞද්ගලික වුවමනා එපාකම් අනුව වාක්‍යය විවරණය කරනවා. සිංහලයන් කී දෙනකුට පංතිය යන සංකල්පය ගැන අවබෝධයක් තිබෙනවා ද? ඒත් බොහෝ දෙනකු අපේ පංතිය වැනි වහර යොදා ගන්නවා. මාක්ස්ගේ පංතිය කියන සංකල්පය ප්‍රාග්ධනය සමග බැඳුණු එකක්. එය තේරුම් නොගෙන අපේ පංතියෙ මිනිහා, පංති සටන ආදී දේ ගැන කියවනවා. අපට නොතේරෙන අනිත්‍ය, දුක්ඛ, අනත්ම ගැනත් අප කියවනවා.



2015 අගෝස්තු මැතිවරණයට පෙර අප කිහිප දෙනකු සංධානයේ නායකයන් කිහිප දෙනකු මුණ ගැහී කියා සිටියා වෙන ම තරග කරන්න කියා. සංධාන නායකයන් අප කියන කිසි දෙයක් අහලා නැහැ, අහන්නෙත් නැහැ. ඔවුන් සංධානයෙන් තරග කළා. අද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය මුහුණ පා ඇති සියලු ප්‍රශ්නවලට මුල ඔවුන් සංධානයෙන් තරග කිරීම. මෑතක දි ඔවුන් පොහාට්ටු පක්‍ෂය පිහිටුවා ගත්තා. එය හොඳයි. එහෙත් ඒ පක්‍ෂය අනාගත මැතිවරණ සම්බන්ධයෙන් විය යුතුයි. ජී එල් පීරිස්ට තේරෙන දේශපාලනයක් නැහැ. ඔහුටත් ඊනියා පංති හැඟීම තියෙනවා ද? ඔහු කම්කරු පංතියේ ද? ඔහුට ප්‍රාග්ධනය නැද්ද? පොහොට්ටු පක්‍ෂය රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු බව අප කීවා. ඒ මැතිවරණ හා වෙනත් සම්මුති සම්බන්ධයෙන්. දේශපාලනය කියන්නේ රැළි හා මැතිවරණ පමණක් නොවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුනට තේරෙන්නෙ නැහැ.



අද මෛත්‍රිගෙ කණ්ඩායමට බලයක් නැහැ. මෙහි දී එස් බී වැන්නන් කියන දේ අදාළ නැහැ. අද මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව ගව් ගණනකින් ජය ගන්නවා. එස් බීටත් ඇප නැති වේවි. ඒත් අද ප්‍රශ්නය මැතිවරණ නො වෙයි. මැතිවරණ ලබා ගැනීම. ව්‍යවස්ථාව පරාජය කිරීම. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද?  වැඩ වර්ජන  ? මැයි දිනයෙන් ඒකාබද්ධ විපක්‍ෂය චූන් වෙලා. වෛද්‍යවරුන් වැඩ වර්ජනය ගැන කතා කරන්නේ මැයි රැළියට පෙර සිට ම බව ඔවුන් කියාවි. ප්‍රියන්තා සේනානායකගේ ප්‍රකාශවලට තමන්ට අවශ්‍ය අර්ථනිරූපණ දෙමින් දේශපාලනය කරන්න බැහැ. ඒ වගේ ම ඔවුන් අතර සිටින එ ජා පාක්‍ෂිකයන් අනුව ගොස් රාජපක්‍ෂලා බිල්ලට දෙන්නත් බැහැ. වැඩ වර්ජනවලින් මෙරට ආණ්ඩු පෙරළීමට සිතන අයට හර්තාලය, අසුවේ ජූලිය පමණක් නොව ඉන්දු ලංකා ගිවිසුම් විරෝධය ද ප්‍රතිඋදාහරණ සපයනවා. මහා වැඩ වර්ජනයක් කළහොත් ඉතා දරුණු ලෙස එය මර්දනය කර රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් කර ව්‍යවස්ථාවත් සම්මත කර ගන්නවා. එපමණක් නොව විදේශීය හමුදා මෙරටට ඒමේ අවදානමක් ද පවතිනවා. ගාලු මුවදොර ජන සන්නිපාතය සුන්නත් දූලි කිරීමට එතරම් කාලයක් ගතවන එකක් නැහැ. මා මගේ නොදන්නා කමට  කලකට පෙර සයිටම් රැල්ල පසුපස එන සුනාමිය යනුවෙන් ලිපියක් ලියා ඇති.



විදග්ධ දේශප්‍රේමීන් අපට පවසන්නේ මහින්ද මෛත්‍රී සමගියක් ඇති නොවන බවත් මෛත්‍රිපාල හා රනිල් යනු දෙදෙනකු නොව එක් අයකු බවත්. අප මෛත්‍රිපාලට අකමැති වෙන්න පුළුවන්. එහෙත් ඒ මත පදනම් වෙලා දේශපාලන තීන්දු ගන්න බැහැ. මෛත්‍රිපාල අපට ද්‍රෝහී වූ බව ඇත්ත. එහෙත් අද ඔහු නැතිව ව්‍යවස්ථාව පරාජය කිරීමටවත් රනිල් පන්නා දැමීමටවත් බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදනයට හවුල් වෙනවා. ඔවුන්ට දැළි පිහියෙන් කිරි කන්න බැහැ. ඔවුන් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වන්නේ නැත්තේ ඇයි? මෛත්‍රිපාල පැහැදිලිව කියනවා ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකරන බව. අප එය මෛත්‍රිපාලගේ තවත් රැවටීමක්, රඟපෑමක් කියා අහක දානවා ද? ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නිහඬ ඇයි? ඔවුන් රනිල්ගේ ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වන්නේ ඇයි? ඔවුන්ට හැකි විය යුතුයි මෛත්‍රි කණ්ඩයමේ අයත් සමග ව්‍යවස්ථා මණ්ඩලයෙන් අයින් වෙන්න.



මෛත්‍රිපාලට රාජ්‍ය බලය තියෙනවා. මහින්දට ජනබලය තියෙනවා. ඒ දෙදෙනා හෝ දෙදෙනාගේ නියෝජිතයන් හෝ එකතු විය යුතුයි. ආණ්ඩු පෙරළනවා කියන්නෙ මෛත්‍රිපාලත් පෙරළන එක. ඔහු එවිට ඒ ක්‍රියාවලියට විරුද්ධ වෙනවා. ඔහු රනිල්ට එකතු වී ෆොන්සේකා යොදා ගන්නවා. අප මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් කරන්නේ නැත්තේ ඇයි? බටහිර වෛද්‍යවරුන් දන්නා දේශපාලනයක් නැහැ. බුද්ධිමතුන් කියාවි මෛත්‍රිපාල රනිල්ගෙන් වෙන් කරන්න බැහැ කියලා. අප කොටි පරාජය කළ හැකිය කළ යුතුය කියා අනූවේ දශකයේ මුල ම කියද්දී අපට බොහෝ දෙනකු හිනා වුණා. අවුරුදු විස්සකට විතර පස්සෙ කොටි පරාජය කළා. ඒත් මේ වෙලාවෙ අපට එතරම් කල් ඉන්න බැහැ. මෛත්‍රි රනිල්ගෙන් වෙන් කර රනිල් ඉවත් කළ යුතුයි. අද කළ යුත්තේ රනිල් ඉවත් කිරීමට කටයුතු කිරීම මිස ආණ්ඩු පෙරළන චූන් දේශපාලනයේ යෙදීම නො වෙයි. චූන් දේශපාලනය අවසන් වනුයේ අප ඉන්දියාවේ අතකොළුවක් වීමෙන්.     







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 03