Main Logo

Tuesday 9 May 2017

නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්  


නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්


මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ ආත්මයක් සමග යම් යම් ප්‍රතිහාර්ය කර තිබෙනවා. එහි ඒ ශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ කියා කියන්නේ නැහැ. නිස්සන්ක විමලසූරිය කොඩිවින කැපීම වැනි කාර්යයන් සිදු කර තිබෙනවා.




ගම්වල කට්ටඩි මහතුනුත් මෙවැනි දේ කරනවා. ඒත් යම්කිසි අදෘශ්‍යමාන ජීවියකුගේ ආධාරයෙන්. ඔවුන් අතර හොරු ඉන්නවා වෙන්න පුළුවන්. හොරු නැති ක්‍ෂෙත්‍රයක් නැහැ. එහෙත් හොරු සිටීම නිසා ක්‍ෂෙත්‍රයක් බොරු වන්නේ නැහැ. නිස්සන්ක විමලසූරියගේ කොඩිවින කැපීම බොරුවක් යැයි මා කියන්නේ නැහැ. ඇතැමුන්ට අදෘශ්‍යමාන ජීවීන් සමග සන්නිවේදනය කරන්න පුළුවන්. එය ආධ්‍යාත්මික ශක්තියක්. ඇතැමුන්ට ආධ්‍යාත්මික ශක්තිය (මේ එනර්ජි නොවන බව අවධාරණය කළ යුතුයි). දියුණු කර මනසින් ඇතැම් දේ දකින්න පුළුවන්. ඒ සඳහා පින, වාසනාව නැති අය එය බොරුවක් යැයි කියන්නේ කෙසේ ද? වැඩිහිටියන්ගේ ඕනෑම ක්‍රියාවක් සඳහා යම් ආකාරයක පුහුණුවක් ලැබිය යුතුයි. පුහුණුවක් වාසනාවක් නැති තැනැත්තා ඒ නැතැයි කීම වැරදියි.



ඇතැමුන්ට එවැනි ආධ්‍යාත්මික ශක්තියක් ඇති අය සමග සන්නිවේදනය කළ හැකියි. තමන් සන්නිවේදනය කරන්නේ කා සමග ද යන්න ගැන වැටහීමක් නැති වන්න ඉඩ තියෙනවා. ඇතැමුන් හිතනවා ඇති ඒ දෙවියන් වහන්සේ කියා, නැත්නම් බ්‍රහ්මන් කියා, එසේ නැත්නම් නාථ දෙවියන් කියා. ඒ  සන්නිවේදනයේ අනෙක් පැත්තේ සිටින ප්‍රාණියා ඒ හැඟීම ඇති කරන බැවින් හෝ තමන් එසේ  යැයි සිතන නිසා. අප ඒවාට රැවටිය යුතු නැහැ. එහෙත් අදෘශ්‍යමාන ප්‍රාණීන් සමග කරන සන්නිවේදනය සත්‍යයක් බව මා අත්දැකීමෙන් දන්නවා. මට එසේ සන්නිවේදනය කිරීම සඳහා පිනක් වාසනාවක් නැහැ. එහෙත් එලෙස සන්නිවේදනය කරන කිහිප දෙනකු මට මුණ ගැසී තිබෙනවා.



මහාචාර්ය ආශු මාරසිංහ පාර්ලිමේන්තුවේ දී අනුරුද්ධ පාදෙණිය ගැන කියා තිබුණා. මාරසිංහට නිවැරදි දත්තවත් නැහැ. පාදෙණිය මුණ ගැසෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක නො වෙයි. මාරසිංහ ලංකාවේ විශ්වවිද්‍යාලයක දැනට මහාචාර්යවරයකු වන්න බැහැ.  පිටරට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ද කියා මා දන්නේ නැහැ. එසේ නොවේ නම් යම් විශ්වවිද්‍යාලයක සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයකු ද දන්නේ නැහැ. එසේත් නැත්නම් කිසියම් විශ්වවිද්‍යාලයකින් මහාචාර්ය යන්න ඊනියා උපාධියක් ලෙස ප්‍රදානය කර ඇත් ද දන්නේ නැහැ. මේ කිසිම ගණයක නැතිව මහාචාර්ය යන්න නමට කලින් මැද අග කොතැනකවත් යොදා ගන්න බැහැ.



ඒ කුමක් වුවත් මා දන්නා තරමින් ඔය කියන කාන්තාව, නාථ දෙවියන් පාදෙණිය ඇමතිවරයකු හෝ ජනාධිපතිවරයකු හෝ වන්නේ යැයි කී බවක් කියා නැහැ. එක් එක් අයගේ අර්ථ නිරූපණ නාථ දෙවියන් පිට පැටවීමට කරන උත්සාහ. මාරසිංහ බෞද්ධයකු දැයි මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මතු බුදුවන නාථ දෙවියන් ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බෞද්ධයකුට තබා කිසිවකුටවත් වටින ක්‍රියාවක් නො වෙයි. එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාර පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මෙරට කරන්න පුළුවන්. එහෙත් පරලොවට පාර්ලිමේන්තු වරප්‍රසාද වලංගු වන්නේ නැහැ. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ බව සිහි කරනවා නම් හොඳයි. ඒත් සමහරවිට ඔවුන් නොපෙනෙන පරලොවක් ගැන විශ්වාස නොකරන පඬියන් විය හැකියි.



මෙරට මහාචාර්යවරුන් වූ නොවු සියල්ලන්ට නාථ දෙවියන්ට, කට්ටඩි මහතුන් සමග සන්නිවේදනය කරන ප්‍රාණීන්ට ගරහන්න පුළුවන්. ඒ අදෘශ්‍යමාන ප්‍රාණින් අපහාස නඩු පවරන්නේ නැති බැවින් ද? කොහෙමටත් බුද්ධාගමට මේ රටේ ප්‍රමුඛස්ථානය තබා කිසිම තැනක් නැහැ. මේ රටේ බෞද්ධ අධ්‍යාපනයක්, බෞද්ධ නීතියක් හැකි නම් පෙන්වන්න. අප බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉල්ලන්නේත් ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය උපයෝගි කරගෙන! සිංහල වෙදකමට මේ රටේ ඇති තැන කුමක් ද? සිංහල ගොවිකම වස විසෙන් වැහිලා. එය බෞද්ධ ක්‍රමයක් ද?  එය ආත්මාරක්‍ෂාව සඳහා කරන වස විස ඉසීමක් ද?



හෙට පැවැත්වෙන වෙසක් උත්සවයෙන් ගැමුණු රජුගේ කාලයේ සිට තිබූ ජනසහාභිගීත්වය අවම කරලා. ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයක් පවත්වනවා. මෙවර ආණ්ඩුවේ වෙසක් පැවැත්වෙන්නේ හින්දුන්ගේ ප්‍රධානත්වයෙන්. මෝදිලාට අනුව බුදුන් වහන්සේත් හින්දු. ඉන්දියාවෙ ජනාධිපති වෙලා හිටිය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් කිව්වෙත් එහෙමයි. මේ වෙසක් උත්සවයෙන් ජනතාව ඈත් කිරීම කාගේ වුවමනාවකට සිදු කරන දෙයක් ද? 



නාථ දෙවියන් ගැන, කට්ටඩි මහතුන් ගැන, ගිනි පෑගීම ගැන කතා කළාට, ඒවාහි ඊනියා විද්‍යාව ගැන කතා කළාට, පඬියන් නිස්සන්ක විමලසූරිය ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒ මෙරට ප්‍රමුඛස්ථානය ඇත්තේ ක්‍රිස්තියානියට නිසා. මා කියන්නේ විමලසූරිය ගැන ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණයක් කළ යුතු බව නොවෙයි. ඊනියා විද්‍යාවක නාමයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට කරන කෙණෙහිළි ගැන අප විමසිල්ලෙන් සිටිය යුතුයි.



බුදුන් වහන්සේට පසක් වූ දෙවියන්, භූතයන් ගැන ප්‍රශ්න කරන අය නිව්ටන්වත් දැක නැති, ඔහුගේ පංචෙන්ද්‍රියවලටවත් ගෝචර නොවූ ගුරුත්වාකර්ෂණය ඇතැයි කියා පිළිගන්නවා (විස්තර සඳහා බෞද්ධයා නාළිකාවේ අඳුරට එළියක් වැඩ සටහන නරඹන්න https://www.facebook.com/nalinkalaya/). අද අපට බුදුන් වහන්සේට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි නිව්ටන් වටිනවා. වෙසක් උත්සවයට එන්න කියා නව ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්රොන්ට එස්එම්එස් පණිවුඩයක් යවමු ද? ඔහු චන්ද්‍රිකාටවත් තේරෙන්න කතා කරාවි. චන්ද්‍රිකාට කතාව සිංහලට පරිවර්තනය කරන්න කියමු. අපි අහගෙන ඉමු. 







මේ ලිපිිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .

http://www1.kalaya.org

නලින් සිල්වා

2017 මැයි 09