Main Logo

Monday 25 June 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව



දෙමළ ජාතිවාදය ඇති වුණෙ කොහොමද කියන එක ගැන බොහෝ ජාතිකවාදීන් ද එතරම් හිතන්නෙ නැහැ. ඔවුන් දෙමළ ජාතිවාදයට විරුද්ධයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන සතුටුයි. අර දිවියා (මෙය කාගේ කිනම් වර්ගීකරණයකට අනුව ද කියලා මා දන්නේ නැහැ. ලෝකයේ එක් එක් වර්ගීකරණ තියෙනවා. බටහිර ජීව විද්‍යාව අනුව නම් ලංකා කොටියා. ටයිගර් කියන්නෙ කොටියා නොවෙයි කියලත් කියනවා. එහෙම නම් එල් ටී ටී සංවිධානය කොටි සංවිධානය නොවෙයි ද? චෝල රාජ්‍යයේ සංකේතය මොකා ද? ටයිගර් කියන එකට දෙමළෙන් කියන්නෙ මොකක් ද? අපේ දැනුවත්කම මනින්නෙ බටහිර විද්‍යාව දන්නා ප්‍රමාණය අනුව ද? මා අහගෙන සමහරු කියනවා අප දිවියා කිව්වට හරි විධියට නම් මේ කොටියා කියලා. හරි විධිය කුමක් ද? ඒ දෙමළ තරුණයන් තමන් මරපු සතා හැඳින්නුවෙ කොහොම ද?) මරපු තරුණයන් වරදක් කර ඇති බව පැහැදිලියි.




ඒ ඝාතනය ගැන පඬියන් නිහඬ බවත් පැහැදිලියි. පඬියන් කතා කරන්නෙ සිංහලයන්ගෙ වැරදි පෙන්වන්න විතරයි. අපත් පඬියන්ගෙ මට්ටමට වැටිලා දෙමළ තරුණයන්ගෙ වරද ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ ඝාතනය ගැන අප කණගාටුවන අතර, එය හෙළා දකින අතර ප්‍රශ්නය වනජීවි ඇමතිට භාර දෙමු. ඔහු එයට අත ගැසුවත් නැතත් අප පඬියන්ගේ මට්ටමට වැටෙන්න හොඳ නැහැ. පඬියන් සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන්. අප දෙමළ විරෝධී සිංහල ජාතිවාදීන් නොවෙයි. අප ජාතිකවාදීන්. අපට දෙමළ විරෝධයක් නැහැ.



දෙමළ ජාතිවාදය ගැන මා කොතෙකුත් ලියා තියෙනවා. එහෙත් ඇතැමුන් ඒ කියවා නැහැ. එක් පඬි පෝතකයකු (අප අතරත් පඬි පෝතකයන් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු මට සිරිජාතිකවාදියා කියනවා) අසා තිබුණා මා බටහිරයන් හා ඉන්දියාව එකට දැමීමෙන් දෙමළ ජාතිවාදය ගැන බටහිරයන්ගේ දායකත්වය (වගකීම) තනුක කරනවා කියා. මේ ඉංගිරිසියෙන් ඇති පදයක් සිංහලෙන් යොදා ගැනීමක් පමණයි. ඩයිල්‍යුට් කියන එක තමයි මේ තනුක කියන්නෙ. තනුක කියන්නෙ නාම පදයක් ද විශේෂණ පදයක් ද කෘදන්තයක් ද මොකක් ද? ඕක ඕන්නන් බටහිරයන්ගෙ දායකත්වය දිය කරනවා කියන්න පුළුවන්.



මා තරම් දෙමළ ජාතිවාදය බටහිරයන්ගෙ නිර්මාණයක් යැයි කියු වෙනත් අයකු සිටී නම් දන්වන මෙන් ඉල්ලා සිටිනවා. පඬි පෝතකයන් මා ගැන කුමක් කීවත් ජාතික ව්‍යාපාරයෙන් මා විසි කර දමා ඇතත් මා මගේ වැඩය කරනවා. මා දෙමළ ජාතිවාදයේ ආරම්භය ලන්දේසීන් කරා ගෙන ගොස් තියෙනවා. වෙල්ලාලයන් මෙරටට ගෙනාවේ 1650න් පසුව ලන්දේසීන් බව මා කියා බොහෝ කල්. ලන්දෙසීන්ගේ කාලයේත් මුල දී යාපනයේ හා අර්ධද්වීපයේ (නාග දීපයේ) බහුතරය සිංහලයන්. ලන්දේසීන් වෙල්ලාලයන් යාපනයේ තහවුරු කර ප්‍රධානත්වයට ගෙනාවා. සමහර සිංහලයන් වන්නියට හා දකුණට ඇවිත් තියෙනවා. තවත් සමහර සිංහලයන් කරෙයිවර් නලවර් ආදී ඊනියා අඩු කුල වැසියන් බවට පත්කර දෙමළ සමාජයට අවශෝෂණය කෙරී තියෙනවා.



ලන්දේසීන් තමන්ට වත්මන් නැගෙනහිර පළාත අත්කර ගැනීමට දෙමළ උගතුන් ලවා ව්‍යාජ ඉතිහාසයක් ලියවා තියෙනවා. යාල්පානම් වයිපව මාලෙයි කවි පොත එයට හොඳ ම උදාහරණය. එහෙත් ලන්දේසීන් දක්‍ෂයන් නොවෙයි. ඔවුන්ට සිංහල/දෙමළ ජනයා තම ආගමට, එනම් රෙපරමාදු ආගමට හරවා ගැනීමට පෘතුගීසීන්ට මෙන් හැකි වෙලා නැහැ. ඉංගිරිසින් ලන්දේසීන්ට වඩා ඒ සම්බන්ධයෙන් දක්‍ෂයන් නමුත් පෘතුගීසීන් තරම් දක්‍ෂ වී නැහැ. එහෙත් ඉංගිරිසින් ආගමෙන් නැතිව වුවත් පාසල්, වරප්‍රසාද තාන්න මාන්න මගින් අප සංස්කෘතියෙන් ක්‍රිස්තියානීන් කළා.



ඉංගිිරිසින් දෙමළ වෙල්ලායන්ට මෙන් සිංහල ප්‍රභූන්ට ද සැලකුවා. එහෙත් ඔවුන් වඩාත් සැලකුවෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් වූ අයට. ඉනුත් දෙමළ වෙල්ලාල ක්‍රිස්තියානි සම්භවයක් ඇති අයට. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා පමණක් නොව රාමනාදන්ලා අරුණාශලම්ලා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් ඇති අය. උතුරු පළාතේ මහා ඇමති විග්නේස්වරන් අරුණාශලම්ගේ මී මුණුබුරෙක්. විග්නේස්වරන් යාපනයේ කච්චේරියට ගියොත් තම තෝම්බුව බලා ගන්න පුළුවන්. මේ තෝම්බු විනාශ කිරීමට පෙර ඒ ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි.



ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ලංකාවේ ප්‍රධාන පවුල කරන්න. අරුණාශලම්, රාමනාදන්, විග්නේස්වරන්, ස්වාමිනාදන් ආදීන් ද මහා බැංකුවේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි තාරා කුමාරස්වාමි ආදීන් ද මේ පවුලට සම්බන්ධයි. ඉංගිරිසින් ඇංග්ලිකන් සම්භවයක් ඇති වෙල්ලාලයන්ට වැදගත් තැනක් හිමි කරා. එහෙත් දහනවවැනි සියවසේ අවසානය දක්වාත් මෙරට දෙමළ ජනවර්ගයක්වත් තිබුණේ නැහැ.



එකල මෙරට හිටියේ දෙමළ කතාකරන ජනයා පමණයි. 1833 ඉංගිරිසින් දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙළේ එකල පැවති ව්‍යස්ථාදායක සභාවට සිංහල දෙමළ බර්ගර් ජනයා වෙනුවෙන් නියෝජිතයන් එක් අයකු බැගින් පත් කිරීීමෙන්. එහි දී වැදගත් වන්නේ අවුරුදු දෙදහස් පන්සියයක පමණ ඉතිහාසයක් ඇති රටේ ජනගහනයෙන් 75%ක් පමණ වූ සිංහලයන් වෙනුවෙනුත් එතරම් ඉතිහාසයක් නැති දෙමළ කතාකරන ජනයා වෙනුවෙනුත් එක නියෝජිතයා බැගින් පත් කිරීමයි. මේ දෙමළ කතාකරන ජනයාට මුස්ලිම් අයත් අයිති වූ බව අමතක කරන්න එපා. (මතු සම්බන්ධයි)