Main Logo

Saturday 2 June 2018

බටහිර දැනුමේ පදනම හා විශ්වාසය දේශපාලන ආධිපත්‍යයයි


බටහිර දැනුමේ පදනම හා විශ්වාසය  දේශපාලන ආධිපත්‍යයි



බටහිර විද්‍යාවේ ඕනෑම ප්‍රතිඵලයක් ඕනෑම අයකුට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාව බොරුවක් බව ෆෙයරාබන්ඩ් කරුණු සහිත ව පෙන්නල දීලා දැන් දශක ගණනාවක් වුණත් තවමත් බොහෝ දෙනා හිතන්නෙ ඕනෑම කෙනකුට බටහිර විද්‍යාවෙ තියෙන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාව රැඳිලා තියෙන්නෙ මේ වගේ බොරු කතාත් මත.




බටහිර විද්‍යාව ඉගෙන ගන්න බැරි අය කී දෙනෙක් ඉන්නවා ද? අඩු තරමෙන් සාමාන්‍ය පෙළ විද්‍යාව සමත් වීමට නොහැකි අය කී දෙනෙක් ඉන්නවා ද? උසස් පෙළ විද්‍යා පාඨමාලා ඉගෙන ගන්න ගිහින් බැරි නිසා වෙනත් විෂය හදාරලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙලා උපාධි අරගෙන විශ්වවිද්‍යාලවල ම සේවය කරන අය කී දෙනෙක් ඉන්නවා ද? මා ඒ අයට අගෞරවයක් කරනවා නො වෙයි. එහි අනෙක් පැත්තත් සිදු වෙනවා ඇති. එහෙමත් නැත්නම් බටහිර විද්‍යා විෂයවලින් උපාධි ලත් අයට විද්‍යා නොවන විෂය ඉගෙනීමට බැරි වනවාත් ඇති. ගීතයක් ගායනය කිරීමට නොහැකි විද්‍යා උපාධිධාරීන් කොතෙකුත් ඇති.



බටහිර විද්‍යාවේ ඕනෑම පරීක්‍ෂණයක් ඕනෑම අයකුට කරන්න බැහැ. එක් පැත්තකින් ප්‍රතිපාදන නැහැ. අද බටහිර කෙරෙන ඇතැම් පරීක්‍ෂණ ලංකාවේ කරන්න පුළුවන් ද? ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කිරීමට අපට හැකි ද? ඉතා බලසම්පන්න දුරේක්‍ෂ, න්‍යෂ්ටික පරීක්‍ෂණ කිරීමට අවශ්‍ය පරීක්‍ෂණාගාර ගැන අපට හිතන්නවත් බැහැ. යමකුට කියන්න පුළුවන් අපට අවශ්‍ය නම් පිටරටක ගිහින් ඒ පරීක්‍ෂණ කරන්න පුළුවන් කියා. එහෙත් එය කියන තරම් පහසු නැහැ. ලංකාවෙන් ගිය කී දෙනකුට නොබෙල් තෑගි නොවෙයි රාජකීය සංගමයේ අධිසාමාජිකත්ව ලැබිල තියෙනවා ද?



ඒ සඳහා අවශ්‍ය දක්‍ෂතා පුහුණුව හැමට නැහැ. මේ පරීක්‍ෂණවලින් ලැබෙන ප්‍රතිඵල දුන්නොත් ඒවා විග්‍රහ කිරීමට, අර්ථ නිරූපණය කිරීමට හැකි අය කොපමණ ඉන්නවා ද? ඒ රූපවල තිබෙන රේඛා හෝ වෙනත් සටහන් හෝ මූලික අංශු කියා හඳුනාගැනීමට හැකි අය කී දෙනකු ඉන්නවා ද? චිකාගෝ අසල ෆර්මි ජාතික ත්වරක පරීක්‍ෂණාගාරයෙහි පසුගිය දා අලුත් මූලික අංශුවක් හැඳිනගත්තා කියා ප්‍රවෘත්ති පළ වෙනවා. ඒ අංශුව අක්‍රීය න්‍යුට්‍රීනෝවක් ලෙස නම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැක පහළ කරන භෞතික විද්‍යාඥයන් ද ඉන්නවා.



මේ අංශුවක් ඇති බව භෞතික විද්‍යාඥයන් තීරණය කරන්නේ අංශුවක් ඇසින් දැක නො වෙයි. මේ එක අංශුවක්වත් ඇහෙන් දකින්න බැහැ. යම් යම් ඡායාරූපවලට දෙන අර්ථකථන මගින් තමයි ඒ අංශු කියා හඳුනාගන්නෙ. මේ අර්ථකථන අර්ථවිවරණ කළ හැකි භෞතික විද්‍යාඥයන් ලෝකයේ ම කී දෙනකු ඉන්නවා ද? භෞතික විද්‍යාඥයන් නොවන විද්‍යාඥයන්ට ඒ ගැන දළ හැඟීමක්වත් තියෙනවා ද? එහෙත් අප සියල්ල අර භෞතික විද්‍යාඥයන් අතළොස්සක් කියන දේ පිළිගන්නවා. අප ඒ අය හා ඔවුන් කියන දේ විශ්වාස කරනවා.  



ඒ සියල්ල පැත්තකින් තියන්න. බටහිර වෛද්‍යවරයකු එක්ස් කිරණ ඡායාරූපයක් බලා කියන දේ අපට කියන්න පුළුවන් ද?  අප ඔවුන් විශ්වාස කරන්නේ ඇයි? යමකු කියන්න පුළුවන් බටහිර වෛද්‍යවරයා ඒ ඡායාරූප බලා ගන්නා නිගමන අනුව ප්‍රතිකාර කිරීමෙන් රෝග සුව වෙනවා කියා. ඒ නිසා අප ඒ ගැන විශ්වාසයක් තියෙනවා කියා. එය අර යමක් වැඩ කරන්නේ නම් එය හරිය කියන වර්ගයේ කතාවක්. එහෙත් මේ අය ම සිංහල වෙදමහතකු නාඩි බලා කරන රෝග විනිශ්චය විශ්වාස කරන්නේ නැහැ. ඉනුත් රෝග සුව වුණත් එය ඊනියා විද්‍යාවක් නම් නොවෙයි. සමහර විට එය කණා පල්ලම් ගැහීමක් ලෙස සලකනවාත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලෝ ෆොන්සේකා කිවව වගේ ඒ ලෙඩ කොහොමත් හොඳ වෙන ඒවා හැටියට සලකන්න පුළුවන්.



බටහිර වෛද්‍ය විද්‍යාවේ අර්ථනිරුපණයෙන් රෝග සුව වුණා කියමු. එය වැඩ කළා ය කියමු. ඔය සමහර මූලික අංශු හෝ ඈත විශ්වයේ ඇතැයි කියන වස්තු වැඩ කරන්නේ කොතැනක ද කියා කියන්න පුළුවන් ද? අර බහුවිශ්වවලින් ඇති වැඩය කුමක් ද? මේවා අඩුම තරමින් ඊනියා ආනුභාවික විද්‍යාවක් තුළට ගන්න පුළුවන් ද? ආනුභාවික විද්‍යාවක් ගැන නිතර සුරංගනා කතා කියන මහා විද්‍යාඥ කාලෝ ෆොන්සේකාගෙන් අහල බලන්න.



බටහිර විද්‍යාවේ උද්ගමනය පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් මෙතෙක් දී ඇත් ද? තර්කය න්‍යාය ආදිය ගැන නිරවුල් කතාවක් කාටවත් කියන්න පුළුවන් ද? එහෙත් අප ඒ සියල්ල විශ්වාස කරනවා. ඒ ඒ දේ ඒ ඒ ආකාරයට අර්ථවිවරණය කිරීම යනු ඒ ඒ දේ ඒ ඒ ආකාරයට බැලීමක්. අපට පාසල්වල හා විශ්වවිද්‍යාලවල පුහුණු කරන්නේ එක්තරා ආකාරයකට ලෝකයක් බැලීමටයි. ඒ පුහුණුව නැති අයට පෙනෙන්නේ වෙනත් ලෝකයක්. ඒ අයත් තමන්ගේ ලෝකය නොව අර පුහුණුව ඇති අයගේ ලෝකය විශ්වාස කරනවා.



මෙය අවසානයේ දී විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. බටහිර විද්‍යාව, බටහිර දර්ශනය ඇතුළු බටහිර දැනුම විශ්වාස කිරීමටත් අනෙක් දැනුම් අවිශ්වාස කිරීමටත් අපට උගන්වනවා. ඒ විශ්වාසය ඇති කෙරෙන්නේ දේශපාලන ආධිපත්‍යයකින්. බටහිරයන් තම දැනුම පමණක් විශ්වාස කිරීමට ලෝකය පොළඹවා තියෙන්නෙ තර්කයකින්වත් න්‍යායකින්වත් නො වෙයි. දේශපාලන බලය යෙදීමෙන්. පාසල් හා විශ්වවිද්‍යාල මේ දේශපාලන බලය යෙදීමේ මධ්‍යස්ථාන. බටහිර ඇරිස්ටෝටලීය න්‍යාය මුළුමනින් ම උද්ගමනය (induction) මත රඳා පවතිනවා. උද්ගමනය කිසිම න්‍යායකට තර්කයකට හසුවන්නක් නො වෙයි. මේ බොරුව තර්කානුකූල කියාවත් ආනුභාවික කියාවත් පෙන්වන්න බැහැ. එහෙත් එය විශ්වාස කිරීමට දේශපාලනය යොදා අප පොළඹනවා. කිසිවකුට න්‍යාය, උද්ගමනය, ආනුභාවිකත්වය ආදිය නිරවුල් ව සැක නැතිව පෙන්නන්න පුළුවන් ද?