Main Logo

Sunday, 24 May 2020

මියන්මාර කතා බහක්







මියන්මාර කතා බහක්



අප මියන්මාරයට පැමිණ සතියක් ගෙවුණා. තවත් සති තුනක් නිවාස නිරෝධායනයේ ඉන්න ඕන. සති තුනකින් පසුව තමයි යම් විස්තරයක් කරන්න පුළුවන්. තානාපති කාර්යාලය හා තානාපති නිල නිවාසය තිබෙන්නේ යැන්ගුන් නගරයේ විශාල භූමියක. එහි වපසරිය පසුව හොයා ගන්න ඕන. විකුණන්නවත් ගන්නවත් නො වෙයි. තානාපති කාර්යාලයත් නිල නිවාසයත් අයත් වන්නේ ලංකා රජයට.


ඔය අතර රණවිරු දිනයත් වගේම මෙරට නිිදහස් දිනය ලෙස ගත හැකි මැයි 22ත් ගෙවී ගිහින්. අප කලක සිට යෝජනා කරන්නේ මැයි 18 සිට මැයි 22 දක්වා දින පහක් එක දිගට සන්දර්ශනය පවත්වන්න ඕන කියලා. දින පහ ම නිවාඩු දින බවට පත් කළ යුතු යැයි ඉන් යෝජනා වන්නේ නැහැ. 

මැයි 22 පෙබරවාරි 4ට වඩා අපට වැදගත්. පෙබරවාරි 4 අපට ලැබුණෙ එංගලන්තෙ රජු අපෙත් රජු බව පිළිගත් නිදහසක්. මැයි 22 තමයි අප ජනරජයක් වුණෙ. දැන් තියෙන්නෙ අපේ දෙවැනි ජනටජ ව්‍යවස්ථාව. පළමු ජනරජ ව්‍යවස්ථාව බණ්ඩාරනායක මැතිතිණියගෙ නායකත්වයෙන් සකස් කළ ව්‍යවස්ථාව. 

මියන්මාරයෙ ලංකා තානාපති නිල නිවාසය තානාපති කාර්යාලයට වඩා විශාලය කියා මට හිතෙන්නෙ. ඒ මොකක් වුණත් නිල නිවාසය ඉදිරිපිටත් තානාපති කාර්යාලය ඉදිරිපිටත් සිංහ ධජය ලෙළ දෙනවා. තානාපති කාර්යාලය ඉදිරියේ ඇති සිංහ ධජයට කලින් බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. බුදු පිළිම වහන්සේ බෝධීන් වහන්සේට පිට දී. එය හොඳ සැලැස්මක්. තානාපති කාර්යාලයට පැමිණෙන අයකුට මුලින් ම දැකිය හැකි වන්නේ බුදු පිළිම වහන්සේ. 

මියන්මාරයේ අතිමහත් බහුතරය බෞද්ධ. විවිධ ජනවර්ග තියෙනවා. ඒ සියල්ල එක් කර ඇත්තේ බුද්ධාගමෙන්. ථෙරවාද බුද්ධාගමෙන්. ඔවුන් කාහටවත් තානාපති කාර්යාලය සැලසුම් කර ඇති ආකාරය ප්‍රශ්නයක් වන එකක් නැහැ. 

එහෙත් ලංකාවේ පඬියකුට හරි පඬි පෝතකයකුට හරි පඬි නැට්ටකුට හරි එය ප්‍රශ්නයක් නම් දන්වන්න. අවශ්‍ය නම් යෝජනාත් එවන්න. යෝජනා ඉවර වන්නේ කොතැනක ද කියා කියන්න ඕන නැහැ. පඬි කුලකයට වෙනත් වැඩක් නැත්නම් දැන් අවුරුදු තිහක් පමණ කරනවා වගේ කියව කියවා ඉන්න. 

පඬියන් පඬි නැට්ටන් ආදීන් කොපමණ කතා කළත් දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය කුමක් ද කියා කියා ගන්න බැරි වෙලා. සුමන්තිරනුත් ප්‍රශ්නයක් ගැන කියවනවා. ඔය ප්‍රශ්න කතා 2009 මැයි 18 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඉවරයි. සුමන්තිරන්ට දැන් ඇත්තේ නඩුවක් දෙකක් කිය ගෙන කොළඹට වෙලා ඉන්නයි. වෙම්බඩි ගියොත් එහි මෙතෝදිස්ත සභාවෙ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. කොළඹ ඒ ප්‍රශ්න නැහැ. වෙස්ලි විදුහලේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත පාසලේ ඔය අනවශ්‍ය ප්‍රශ්න නැති බවයි පේන්න තියෙන්නෙ. 

එතකොට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්. ඔවුන්ට මොනව වුණා ම අපට මොකෝ? සුමන්තිරන් අඩු ගානෙ නඩු කියන්නවත් දන්නවා. පඬියන් පඬි නැට්ටන් අර ෆේක්බුක් එකේ කරන කතා සියල්ල ෆේක්ඩිස්කෂන්ස් හෙවත් ව්‍යාජ  කතිකාවත් බවට පත් වී අවසන්. සකර්බර්ග් ඉන්නකම් ඔවුන් ඉඳීවි. ඉඳලා හිටලා මසෙකට විතර දවසක් ෆේක්බුක් ගිහින් ඔවුන් ඉන්නවද නැත් ද කියා දැනගත්ත ම හොඳට ම ඇති. 

අපට මියන්මාර බෞද්ධයන් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරන්න තියෙනවා. මියන්මාර වැසියන් ඉතාමත් නිහතමානී අය බවයි කියැවෙන්නෙ. ඔවුන් ට සංකීර්ණ චින්තනයක් නැහැ. ඔවුන්ගේ සිතුම් පැතුම් බොහොම සරලයි. සරල මිනිසුන්ට කොවිඩ් 19 පාලනය කර ගන්න පුළුවන් වෙලා. සිංහල බෞද්ධයන්ගෙ අනවශ්‍ය සංකීර්ණ බවක් තියෙනවා. අප තවත් සරල වුණා  නම්  ජනාධිපතිතුමාට කොවිඩ් 19 තවත් හොඳට පාලනය කර ගන්න තිබුණා. 


මිියන්මාර පිරිමි බොහෝ දෙනා අඳින්නෙ සරම. අප හමුවීමට යැන්ගුන් ගුවන් තොටුපළට පැමිණ සිටි මියන්මාර විදේශ කටයුතු සම්බන්ධ අමාත්‍යංශ නිලධාරීන් අදාළ වෛද්‍ය නිලධාරීන් ඇඳ තිබුණෙ සරම. වෛද්‍ය මහාචාර්යවරයකු ද ඇඳ සිටියේ සරම. ඔවුන් මෙන් සරම අඳින්න ඉගෙන ගන්න ඕන. ඔවුන් දමන ගැටය ලිහෙන එකක් නම් නො වෙයි. ඔවුන්ට පටියක් අවශ්‍ය වන්නේ නැහැ. 

මේ වටා පිටාව පමණයි. ඔවුන්ගෙ චින්තනය අධ්‍යයනය කරන්න ඕන. ඔවුන් කොවිඩ් 19ට මුහුණ දෙන ආකාරය ම ඔවුන්ගෙ චින්තනයෙ සරල ගැඹුර පෙන්නුම් කරනවා.