Main Logo

Sunday 30 August 2020

ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ආදම් හා ඒව කතා කෙළෙ දෙමළ ද?


ලෝකයේ පැරණිත ම භාෂාව සිංහලය වගේ කතා අප කියන්නේ නැහැ. භාෂාවක් අනෙක් සෑම දෙයක්,  සෑම කෙනකු,  වගේ ම විකාශය වෙනවා. මට වැරදුනා. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් විකාශය වන්නේ නැහැ. ඔවුන් දැන ගත යුතු සියල්ල උපදින කොට ම දැන ගෙන ආ අය. ඔවුන්ට ඇත්තේ එක ම එක කාර්යයක් පමණයි. කිසිම අරමුණක් විකල්ප ක්‍රමයක් නැති ඔවුන්ට කරන්න තිබෙන්නේ අනෙක් අයගේ අරමුණුවලට හිනා වෙන එක ඒ විවේචනය කරන එක පමණයි. ඊනියා මාක්ස්වාදී සමාජවාදය සම්මජාතියේ ඇති වන එකක් නොවන බව ඔවුන් දන්නවා. ඒ නිසා ම දෝ ජ වි පෙට හා කෙකරගාමීන්ට ඔවුන් හිනා වෙන්නේ නැහැ. 

විග්නේෂ්වරන් හා ගජෙන්ද්‍රන් ගණන් ගත යුත්තන් නො වෙයි. එහෙත් දෙමළ ජාතික සංධානය තවමත් එක්සත් රාජ්‍යවල හා ඉන්දියාවේ සැලකිල්ලට යොමු වෙනවා. සම්බන්ධන් ප්‍රමුඛ පිරිස ඒ රටවල් දෙකෙන් ම ඉල්ලනවා ඊනියා දෙමළ ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙසත් දෙමළ කතා කරන ජනයාට ආරක්‍ෂාව සපයන ලෙසත්. එය එතරම් හොඳ දෙයක් නො වෙයි. ඒ රටවල් ම එම ඉල්ලීම කරවා ගන්නවා වෙන්නත් පුළුවන්. මෙරට දෙමළ කතා කරන ජනයාට ඇති අනාරක්‍ෂාව කුමක් ද? දහතුන අවශ්‍ය කාට ද? මට පේන විධියට අද පළාත් සභා වැඩියෙන් ම අවශ්‍ය කසිකබල් සිංහල දේශපාලනඥයන් පිරිසකට. ඒ පළාත් සභා මන්ත්‍රීවරුන් විමට හා එමගින් පාර්ලිමේන්තුවට යෑමට මග පාදා ගැනීමට. 

ඒ කොහොම වුණත් සිංහල හා දෙමළ ගැන යමක් කියන්න ඕන. භාෂාවක් උන් හිටි ගමන් ඇති වෙන්නේ නැහැ. එහෙම කතා තියෙන්නෙ ආරම්භයක් ඇති චින්තනවල. විග්නේෂ්වරන්ට අනුව ආදම් හා ඒව කතා කෙළේ දෙමළෙන් වෙන්න ඇති. කාලයාගේ ඇවැමෙන් භාෂා විවිධ අතු ඔස්සේ විකාශය වෙනවා. මා භාෂා විශාරදයකු නොවෙයි. ඒත් හිටි ගමන් පහළ වන භාෂා නැහැ. ආදම් හා ඒව දෙමළ කතා කෙළේ නැත්නම් දෙමළ යම්කිසි කාලයක, මොහොතක නො වෙයි, දෙමළ භාෂාව අද එයට හිමි අනන්‍යතාව අරගෙන තියෙනවා.  

සිංහලත් එහෙමයි. යක්‍ෂ නාග ආදීන් කතා කළ භාෂාව (භාෂා) මා දන්නේ නැහැ. සමහරුන් කියන්නේ ඒ හෙළ බස වූ බවයි. ඒ කුමක් වුවත් විජයසිංහලාගේ සිංහලලාගේ වචන යෙදුම් ආකෘති එකතු වී කාලාන්තරයක විකාශයකින් පසු සිංහල සැකසී තියෙනවා. වංගයේ (විජයසිංහ පැමිණි ප්‍රදේශයේ) පාලි කතා කළ බවට සාක්‍ෂි තියෙනවා. සිංහල පැමිණ ඇත්තේ භාරතයේ බටහිරින්. ඔවුන් බටහිර භාරතයේ උතුරෙන් දකුණට සංක්‍රමණය වූ පිරිසක්. ඔවුන් කිනම් ප්‍රාකෘතයක් කතා කළා ද යන්න කියන්න බැහැ.  පර්සියන් සම්භවයක් තියෙන භාෂාවක් ද දන්නෙ නැහැ. ග්‍රීක වචනත් තියෙන්න ඇති. 

ඒ කුමක් වුවත් සිංහල අද ලංකාවට ආවේණිකයි. කිනම් භාෂා (ප්‍රාකෘත) මුල් වුවත් සිංහල ගෙඩිය පිටින් මෙරටට ගෙනා භාෂාවක් නො වෙයි. විජය හා කුවේණි කොහොම සන්නිවේදනය කර ගත්ත ද කියන එක අපට ප්‍රශ්නයක් නො වෙයි. ඊට වඩා ප්‍රශ්නයක් වෙන්න ඕන ආදම් හා ඒව සන්නිවේදනය කර ගත් ආකාරය, එය දෙමළ නොවේ නම්. කොහොමටත් සිංහල භාෂාවට අශෝක සමයේ තව තවත් පාලි එකතු වන්න ඇති. ඊට කලින් පරසියන් එකතු වන්න ඇති. ග්‍රීක පොඩ්ඩකුත් ඇති. පොළොන්නරු යුගයේ සංස්කෘතත් එකතු වන්න ඇති. ඒ වගේ ම දෙමළ තෙළිඟු මලයාලම් එකතු වන්නත් ඇති. පසුව පෘතුගිසි ලන්දේසි ඉංගිරිසි එකතු වී තියෙනවා. මගේ සම්පූර්ණ නමේ ඒ සමහරක් දැක ගන්න පුළුවන්. එහි ප්‍රශ්නයක් නැහැ.  සිංහල බසේ අනන්‍යතාව තාම නැති වෙලා නැහැ. එහෙත් දැන් ඉංගිරිසි එකතු වෙන ආකාරය නම් තරමක් භයානකයි. අප ඉංගිරිසි අවශෝෂණය කර ගන්නේ නැහැ. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. 

අනෙක් පැත්තට මෙරටින් මාලදිවයිනට ගිය පිරිස් අද කතා කරන්නේ සිංහලෙන් විකාශය වූ භාෂාවක්. ඔවුන් ආගම ද වෙනස් කර ගෙන. ඔවුන්ගේ නම්වල සිංහල කොටස් තියෙනවා ද දන්නෙ නැහැ. මෙරට නම් ඇතැම් මුස්ලිම් ජනයාගේ නම්වල සිංහල කොටස් තියෙනවා. මියන්මාර භාෂාවේ පාලි තියෙනවා. ඒ වගේ ම දෙමළ තියෙනවා කියා සමහරු කියනවා. ඒ ආන්ද්‍ර තෙළිඟු වෙන්නත් පුළුවන්. මියන්මාර වැසියන් ආන්ද්‍ර ප්‍රදේශයේ බුද්ධඝෝෂ හිමියන් තමන්ගෙ කර ගන්න හදනවා. උන්වහන්සේ ටැටොන් නගරයේ විසූ මොන් ගෝත්‍රයට අයත් කෙනකු යැයි සමහරු කියනවා. මිනිසුන් එහෙම තමයි, තමන් වඩා කැමති අය, බලවත් අය, තමන්ගෙ කර ගන්න හදනවා. 

විජයසිංහ (මා විජයට විජයසිංහ කියන්න කැමතියි) අපට ගෙනාවේ ආර්ය සංස්කෘතියක්. සුර සංස්කෘතියක්. පර්සියාවේ තිබුණෙ අසුර සංස්කෘතියක්. අසුරයන් තමයි හොඳ. අහුරාමස්දා සලකන්න. භාරතයේ දී සුරයන් හොඳ වුණෙ කොහොමද? අර කිරි සයුර කළඹල ගත්ත අමෘතෙ බීල ද? මට හිතෙන්නෙ (මේ හුඟක් තාම හිතළු තමයි, ඒවා වැඩ කරනවා ද කියල බලන්න ඕනෙ) අර සිංහල අපට ගෙනාවෙ අසුර සංස්කෘතියක් කියල. විජයසිංහ, අශෝක හරහා මෙරට සුර කතාව බලවත් වෙලා. ඒ සිංහලයන් අතර. සිංහලයන් කුමක් කොහෙන් ගත්තත් ඒ අපේ කරගෙන.

දැන් දෙමළ කියන්නෙ ආදම් හා ඒව කතා කරපු භාෂාව කියමු. අර සර්පයා කතා කෙළෙ මොන භාෂාවෙන් ද දන්නෙ නැහැ. ඒ පැරණිතම භාෂාව වත්මන් තමිල්නාඩුවට ඇවිල්ල ඊට පස්සෙ ලංකාවට ඇවිල්ල. අපි දන්නෙ නැහැ ආදම් හා ඒව කාලයේ සිට පහළොස්වැනි සියවස දක්වා පමණ දෙමළ වෙනස් වුණා ද නැත් ද කියල. වෙනස් වුණත් නැතත් මෙහෙ කතා කරන දෙමළ අපේ රටේ සකස් වුණු භාෂාවක් නො වෙයි. එය මලබාරයෙන් මෙහාට ගෙනාපු දෙමළ භාෂාවක්. එහි තමිල්නාඩු චෙන්නායි දෙමළ භාෂාවෙ නැති මලයාලම් වචන තියෙනව වෙන්න පුළුවන්. ඒත් ඒ මලබාර සම්භවයක් ඇති දෙයක් මිස විග්නේෂ්වරන්ගෙ මුත්තල මෙහෙ දි එකතු කරපු දෙයක් නො වෙයි. මා කියන්නෙ ලංකාවෙ කතා කරන දෙමළ භාෂාව ආදම් හා ඒව කතා කළ භාෂාව වුණත් ඒක ලංකාවෙ සකසපු එකක් නොවන බව. ඒ කියල ඒ භාෂාව ඉවත් කරන්න කියල මා කියන්නෙ නැහැ. ඒකත් ඔහෙ තිබුණාවෙ.