Main Logo

Thursday, 1 July 2021

තක්කඩි බටහිර දෙබිඩ්ඩෝ

 

තක්කඩි බටහිර දෙබිඩ්ඩෝ

 

අද ලෝකයේ රටවල් අතර මතවාදී වෙනස්කම් නැහැ. මා මෙහි දී මතවාදී වෙනස්කම් යනුවෙන් අදහස් කරන්නේ ධනවාදී/ධනවාදී නොවන ආදිය. එහෙත් තවමත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී ආදී වශයෙන් කියා ගන්නා පරඬැල් කිහිපයක් පුද්ගලයන් අතර දකින්න පුළුවන්. ඔවුන් තම තමන් අතර පොරවල් ලෙස පෙනී සිටීමට තැත් කරන්නන් පමණයි. ඔවුන්ට කළ හැකි විප්ලවයක්වත් ඇති කළ හැකි සමාජවාදයක්වත් නැහැ. රාජ්‍යය වියැකී යන  ඊනියා කොමියුනිස්ට් සමාජයක් ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි.

 

චීනය හා එක්සත් ජනපද අතර ඇත්තේ වෙළෙඳ තරගයක් මිස මතවාදී අරගලයක් නො වෙයි. භාරතීය ඉතිහාසයේ සොළි පාණ්ඩ්‍ය චේර කාලිංග විජයනගර් ආදී වශයෙන් විවිධ රාජ්‍ය අතර ආධිපත්‍යය සඳහා අරගලයක් මිස මතවාදය සඳහා අරගලයක් තිබුණේ නැහැ. මේ කලාපයේ වෙනත් රාජ්‍ය තිබුණේ බෞද්ධ රාජ්‍ය. සිංහල බෞද්ධයන් ලෝකයේ තබා ආසියාවේවත් බෞද්ධ රාජ්‍ය ඇති කිරීමට අරගල කර නැහැ. පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි බුරුමය ආක්‍රමණය කළ බවක් කියැවෙනවා. එය ද බෞද්ධ රාජ්‍යයක් ඇති කිරීම සඳහා නො වෙයි. එකල බුරුමයේත් තිබුණේ බෞද්ධ රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යය අනුව හැඩ ගැසුණු බෞද්ධ රාජ්‍යයක්.

 

එහෙත් භාරතයෙන් විවිධ කාලවල සිංහල බෞද්ධ රාජ්‍යය ආක්‍රමණය කෙරී තියෙනවා. ඒත් මතවාදී ව ද යන්න ප්‍රශ්නයක්. කාලිංගයෙන් පැමිණි ආක්‍රමණිකයන් බෞද්ධයන්. ධාතුසේන රජු මෞර්ය සම්බන්ධකම් තිබූ බෞද්ධයෙක්. හතරවැනි පස්වැනි සියවස්වල සිංහල බෞද්ධ රාජ්‍යයේ යම් වෙනසක් සිදු වී තිබෙනවා. එය ථෙරවාදී අර්ථකථන සමග සම්බන්ධයි. ඒ ගැන පසුව ලියන්නම්.  බුරුම ඉතිහාසයෙන් ද එයට සාක්‍ෂි ලැබෙනවා.

 

චීන කොමියුනිස්ට් පක්‍ෂය කොමියුනිස්ට් වෙන්නේ නමින් පමණයි. චීනයේ ඇති සමාජවාදයක් නැහැ. අද බටහිර රටවල් හා චීනය අතර වෙළෙඳ තරගයක් තියෙනවා. අද ලෝකය බෙදෙන්නේ මේ තරගය මත පදනම් වෙලා. වරාය නගරය, එම්සීසී, නැගෙනහිර පර්යන්තය, හම්බන්තොට වරාය ආදිය මේ වෙළෙඳ තරගය සමග බැඳී තියෙනවා.

 

බටහිර රටවලට ලංකාව සම්බන්ධයෙන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. එහි යම්කිසි මතවාදී අරගලයක් තියෙනවා. එහෙත් එය ද ධනවාදය හා සම්බන්ධ වූවක් නො වෙයි. ඒ දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය. ඉංගිරිසින් ලංකාවේ සිංහල බෞද්ධ විරෝධතා ඉදිරියේ සිංහල බෞද්ධ නොවන ජන කොටස් ඉදිරියට ගත්තා. එය ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය සමග ද පෑහුණා. මියන්මාහි ද ඉංගිරිසින් බුරුම ජාතිකයන්ට එරෙහිව වෙනත් ජනවර්ග ඉදිරියට ගෙනවිත් තියෙනවා.

 

සිංහලයන් මේ ප්‍රශ්නයේ දී වරදක් කර තියෙනවා. ඒ සිංහලයන් ලෙස එකතු නොවීමයි. ඇතැම් සිංහලයන්ට කුලය ජාතියට වඩා වැදගත් වී තියෙනවා. ඉංගිරිසින් එය නොදැන සිටියා නො වෙයි. 1912 දී උගතුනට හා දේපළ හිමියන්ට ලැබුණු සීමිත ඡන්දයේ දී ඇතැම් සිංහලයන් මාකස් ප්‍රනාන්දුට ඡන්දය නොදී වෙල්ලාල රාමනාදන්ට ඡන්දය දී තියෙනවා. ඒ මාකස් ප්‍රනාන්දු ගොයිගම කුලයට අයත් නොවූ නිසා. එදා ඇතැම් සිංහලයන් සිතා ඇත්තේ ගොයිගම හා වෙල්ලාල කුල එක මට්ටමක බවත් අනෙක් කුල පහත් බවත්. ඔවුන් මාකස් ප්‍රනාන්දුට ඡන්දය නොදී රාමනාදන්ට ඡන්දය දී තියෙනවා.

 

එහි ප්‍රතිඵලයක් ලෙස පොන්නම්බලම් රාමනාදන් ඊනියා උගත් ලාංකිකයනගේ නියෝජිතයා ලෙස පත් වුණා. ඉංගිරිසින්ටත් අවශ්‍ය ව තිබුණෙ එයයි. පොන්නම්බලම් රාමනාදන් ඊනියා උගත් ලාංකිකයන්ගේ නායකයා වුණා. ඔහුගේ සොහොයුරා ද විවිධ තනතුරුවලට පත් කෙරුණා. කුමාරස්වාමි පොන්නම්බලම් පරම්පරාව මෙරට ප්‍රධාන පවුල ලෙස පිළිගැණුනා. එදා මාකස් ප්‍රනාන්දු දිනුවා නම් මෙරට දේශපාලනය වෙනස් මුහුණුවරක් ගන්න ඉඩ තිබුණා.

 

කෙසේ වෙතත් ඉංගිරිසින්ගේ සිංහල බෞද්ධ විරෝධය තවමත් පවතිනවා. මියන්මාහිත් එවැනි තත්වයක් තියෙනවා. රටවල් දෙකෙහිම ඉංගිරිසින්ට විරුද්ධ පිරිසක් ඉන්නවා. මා මියන්මා ගැන එතැනින් එහාට කියන්නේ නැහැ.  ඉංගිරිසින් අනුව යමින් බටහිර රටවල පාලකයන් අතර සිංහල බෞද්ධ විරෝධයක් තියෙනවා. එහි දී ඔවුන් දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. බටහිර රටවල් දෙමළ විසුරුණු ජනයා ඒ රටවල ඉන්න නිසා දෙමළ ජාතිවාදයට පක්‍ෂවනවා නොව සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව ඔවුන් දෙමළ විසුරුණු ජනයා යොදා ගන්නවා.

 

බටහිර රටවල් මේ ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන කරුණු දෙකක් උඩ. එකක් දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සම්බන්ධව. චන්ද්‍රිකාගේ හා රනිල්ගේ ආණ්ඩු මෙන් මේ ආණ්ඩුව බටහිරයන්ගේ පදයට නටමින් ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කරන්න ගියේ නැහැ. රනිල් ඉතා ද්‍රෝහී ආකාරයකට නෝර්වේ තානාපති සමග ප්‍රභාකරන් හා ගිවිසුම් අත්සන් කිරීමට ගියා. ඔහු අත්සන් කළා. ප්‍රභාකරන් ආවෙ නැහැ. ඒ අවස්ථාවේ ඔය සමගි ජන බලවේගයේ සජිත් ඇතුළු පිරිස සිටියේ රනිල් සමග. මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ බටහිරයන්ට විරුද්ධ ව ගොස් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. බටහිර රටවල් මේ ආණ්ඩුවට විරුද්ධ වන දෙවැනි කරුණ අර වෙළෙඳ තරගයේ දී ආණ්ඩුව චීනයට බර වීම. 

 

මානව අයිතිවාසිකම් රැකීම කියන්නෙ අපේ මිනිහගේ අයිතිවාසිකම් රැකීම පමණයි. අනෙක් මිනිහ ගැන සැලකිල්ලක් නැහැ. බටහිරයන් කෑ ගහන්නෙ ඔවුන්ගෙ අයගෙ මානව අයිතිවාසිකම් ගැන. දෙමළ ත්‍රස්තවාදීන්ගෙ, තමන් කැමති නිලධාරීන්ගෙ ආදීන්ගෙ මානව අයිතිවාසිකම් ගැන. බටහිරයන්ට අපේ රණවිරුවන් මානව අයිතිවාසිකම් කැඩූ අය. යුද්ධ අපරාධකරුවන්.

 

කලකට සිට මේ ප්‍රශ්නය වැදගත් වෙලා. ඒ සමහර රණවිරුවන්ට සමහර රටවලින් විසා නිකුත් නොකිරීමෙන්. තවත් සමහර රණවිරුවන් ඒ ඒ රටවල තානාපතිවරුන් ලෙස පත් කිරීමේ දී විරුද්ධ වීමෙන්. ඒ හේතුවෙන් රටවල් කිහිපයක ම අපේ තානාපතිවරුන් නැහැ. මෙය තරමක ප්‍රශ්නයක්. තානාපතිවරයකු පත් කිරීමේ දී පත් කරනු ලබන රටේ ද අනුමැතිය ලබා ගන්න ඕන. රණවිරුවන් පත් කිරීමේ දී සමහර අවස්ථාවල බටහිර රටවල් විරුද්ධ වෙනවා.

 

රණවිරුවන්ගේ දේශප්‍රේමයක් තියෙන්න ඇති. එහෙත් ඔවුන් කළේ අණ පිළිපැදීමක්. මෙහෙයුම්වල දී මානව අයිතිවාසිකම් ඔය බටහිරයන් කියන විධියට කැඩෙන්නේ නැහැ. බටහිර රටවල හමුදා අතින් කෙරෙන ක්‍රියා මානව අයිතිවාසිකම් කඩ කිරීමක් හැටියටවත් යුද්ධ අපරාධ හැටියටවත් සැලකෙන්නෙ නැහැ. වත්මන් බටහිරයන් තරම් දුෂිත දෙබිඩ්ඩන් මානව ඉතිහාසයේ වෙනත් කිසි දිනෙක ඉඳලා නැතිව ඇති. ත්‍රස්තවාදීන් කෙළේ අනෙක් අයගෙ මානව අයිතිවාසිකම් කැඩීමක්. බටහිරයන් ඒ මානව අයිතිවාසිකම් කැඩීමක් ලෙස දුටුවේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ දෙමළ ත්‍රස්තවාදීන්ට තව තවත් මානව අයිතිවාසිකම් කැඩීමට ඉඩ දීමට. බටහිරයන් ඒ නුදුන් රණ විරුවන් යුද්ධ අපරාධකාරයන් ලෙස හඳුන්නනවා.