Main Logo

Saturday 3 July 2021

කුල දේශපාලනය

 කුල දේශපාලනය 


හෙද හෙදි වර්ජනයේ දී විවිධ පාර්ශ්ව  එකතු වෙලා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් රතන්ප්‍රිය ආදීන් එකතු  වෙලා ඉන්නෙ අද කුලභේදය නිසා කිවුවොත් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වේවි. කොවිඩ් 19 ප්‍රශ්නය ලෝ පුරා පැතිරෙද්දී වෙනත් රටවල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ ද කියා දැන ගැනීමට නැහැ. වත්මන් කුලභේදය බොහෝ රටවල තිබුණත් ලංකාවේ තරම් එය උග්‍ර යැයි මා හිතන්නේ නැහැ. 


අද අප රට ඉතාමත් වැදගත් සංධිස්ථානයකට පැමිණ තියෙනවා. රනිලාගමනය සහ බැසිලාගමනය එක ම දේශපාලනයක් ගැන අපට කියා දෙනවා. පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටුවක් මධ්‍යම කාරක සභාවක් ආදිය ඇති. එහෙත් එහි සභාපති ඒ එකක් ගැනවත් දන්නවා ද යන්න ප්‍රශ්නයක්. රටේ වැඩි පිරිසක් පොදු ජන එක්සත් පෙරමුණ ගැන හිතන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.


මෙරට පැරණි ම දේශපාලන පක්‍ෂය ලංකා සමසමාජ පක්‍ෂයයි. එයට කලින් විවිධ සංවිධාන තිබුණත් ඒ දේශපාලන පක්‍ෂ නො වෙයි. සමසමාජ පක්‍ෂය මෙරට වෘත්තීය සමිති දේශපාලනිකරණයකට ලක් කළා. පසුව ඒ පක්‍ෂය දෙකඩ වුණා. ඒ ලංකාවට වඩා ඊනියා ජාත්‍යන්තරයට වැදගත් ප්‍රශ්නයක් උඩ. ඒ පක්‍ෂ දෙක මෙරටට වාම අදහස් ගෙනාවා. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවනු ලැබුයේ මෙරට වාම පක්‍ෂ දෙකක් ඇති වීමෙන් පසුව. එක්සත් ජාතික පක්‍ෂය බටහිර ගැති පක්‍ෂයක් වුණා. ඩී එස්ගේ සිට රනිල් දක්වා පක්‍ෂයට තිබුණේ තියෙන්නෙ දක්‍ෂිණාංශික දේශපාලනයක්.


එක්සත්  ජාතික පක්‍ෂයෙන් කැඩී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුවා. එයත් ඇරඹුණේ ලිබරල් පක්‍ෂයක් ලෙස. එහෙත් වැඩි කල් නොගොස් එයට ජාතිකත්ව මෙන් ම වාම මුහුණුවරක් ද ලැබුණා. දැන් ඒ පක්‍ෂ හතර ම අඩපණ වෙලා. ඒ වෙනුවට සමගි ජන බලවේගය හා පොදුජන එක්සත් පෙරමුණ තියෙනවා. එයට අමතර ව රටට බලපෑමක් කිරීමට නොහැකි ජාතිවාදී පක්‍ෂ හා වම්මුන්ගේ පක්‍ෂ කිහිපයක් තියෙනවා. වම්මුන්ගේ පක්‍ෂ තිබුණට මෙරට දැන් වමක් නැහැ. වමක් නැතිව වමාලා ඉන්නවා. 


එ ජා ප අඩපණ වුවත් ස ජ බ හා එ ජා ප අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ. ඒ පක්‍ෂ දෙකෙන් එකක්වත් ජාතිකවාදී පක්‍ෂ නො වෙයි. පක්‍ෂ දෙක ම බටහිර ගැති දක්‍ෂිණාංශික පක්‍ෂ. නායකත්වයේ වෙනසක් තියෙනවා. නායකත්වය වලව්වෙන් ගැලවිලා. මේ වලව් නුවර යුගයේ වලව් නො වෙයි. ඉංගිරිසින් ඇති කළ වලව්. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, කොතලාවලලා, වික්‍රමසිංහලා ඉංගිරිසින් ඇති කළ වලව්කාරයන්. එ ජා පක්‍ෂයට ශ්‍රී ල නි පක්‍ෂයට වඩා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව බලපෑමක් තියෙනවා. එය  එ ජා පක්‍ෂයේ වඩාත් බටහිරවාදී දේශපාලනය නිසා ම ඇති වුවක්. 


එබැවින් එ ජා පක්‍ෂ නායකත්වය හරි ජනාධිපති අපේක්‍ෂකත්වය හරි ගොයිගම නොවන රණසිංහ ප්‍රේමදාසට, සරත් ෆොන්සේකාට, මෛත්‍රිපාල සිරිසේනට ලැබුණා. අද ස ජ බ ගොයිගම නොවන කුලයක අයකුගේ නායකත්වය යටතේ සංවිධානය වෙලා. ඉදිරියේ දී වෙනත් අයත් නායකත්වයට පත්වේවි. එහෙත් පැරණි ශ්‍රී ල නි පක්‍ෂයේ හරි පොදු ජන එක්සත් පෙරමුණෙ හරි එහෙම   වෙන්නෙ නැහැ. ඒ එහි යම් ජාතිකත්වයක් ඇති නිසා ම යැයි කී විට ඇතැමුන් එයට විරුද්ධ වේවි. එහෙත් ප්‍රේමදාසට හරි සරත් ෆොන්සේකාට හරි මෛත්‍රිපාලට හරි විමල්ට හරි උවිඳු විජේවීරට හරි ඒ පක්‍ෂවල ජනාධිපති අපේක්‍ෂකයා වීමට බැහැ. අද තියෙන ශ්‍රී ල නි පක්‍ෂය තියෙන්නේ නමට පමණයි. එමෙන් ම එය පැෑරණි  ශ්‍රී ල නි පක්‍ෂයත් නො වෙයි. ඒ නිසා මෛත්‍රිපාලට එහි නායකයා වෙන්න පුළුවන්. ඒත් ඒ පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කරාවිය කියා හිතන්න බැහැ.   


බැසිලාගමනයෙන් (පුනරාගමනයෙන්) පසු පොදු ජන එක්සත් පෙරමුණ වඩා බටහිරවාදී ස්වරූපයක් ගනීවි. ඒ නිසා විමල්ට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබේය කියා හිතන්න එපා. එහෙත් පක්‍ෂයෙන් ජාතිකත්ව මතවාද ක්‍රමයෙන් ගිලිහෙන්න ඉඩ තියෙනවා. පක්‍ෂය චීනයට වඩා ඉන්දියාවට හා බටහිරට පක්‍ෂ වීමට ඉඩ තියෙනවා.  සමහර විට ඒ පැත්තෙන් ඩොලර් ප්‍රමාණයක් ලැබෙන්නත් පුළුවන්. ජීඑස්පී+ ගැන නැවත සලකා බලන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවෙන් අපට වන්දියකුත් ගෙවන්න වේවි. 


පොදු ජන එක්සත් පෙරමුණ බටහිරට ඇදෙද්දී වෙනත් ආකාරයක කුල දේශපාලනයක් ඇති වෙලා. හෙද හෙදි වර්ජනයෙන් පෙන්නුම් කෙළේ එයයි. කොවිඩ් 19 අස්සෙ වර්ජනය කළ එක කොහොමටවත් අනුමත කරන්න බැහැ. ඇතැම් රෝගීන්ට සායනයට එන්න කියා ඇති දිනයේ වර්ජනය කළාම ඒ රෝගීන් නැවත එන්නේ කවදා ද කියාවත් ඔවුන්ට කියන්නේ නැහැ. මෙරට සාක්‍ෂරතාව ගැන සංනිවේදන මාර්ග ගැන අප කෙතෙක් පුරසාරම් දෙඩුවත් බොහෝ රෝගීන් වර්ජනය ගැන දැන ගෙන ඇත්තේ රෝහලට පැමිණීමෙන් පසුව. 


නව කුල දේශපාලනය අධ්‍යාපනය නිසා ඇති වන්නක්. අද සමාජ ධුරාවලියේ උඩින් ම ඉන්නේ බටහිර වෙද මහතුන්. ඔවුන්ට වරප්‍රසාද හිමි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය ඒ ක්‍ෂෙත්‍රයේ හැම අයකුට ම වුවත් බටහිර වෙද මහතුන් තමයි එය මෙහෙය වන්නෙ.  ඔවුන් තමන්ට එන්නත ලබා ගන්නවා. අනෙක් අයට අමාත්‍යංශයේ තැනක් දෙන්නේ නැහැ. අද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ සෙසු අය මේ වරප්‍රසාද ලත් කුලයට විරුද්ධ ව එකතු වෙලා. 


ඔවුන් කියන්නේ බටහිර වෙද මහතුනට කොවිඩ් සම්බන්ධයෙන් ලබා දෙන වරප්‍රසාද තමන්ට ද ලබා දෙන ලෙසයි. මෙය දොස්තරලාට දෙනව නම් අපටත් දෙන්න කියනවාට වැඩි දෙයක්. බටහිර වෙද මහතුන්ටත් වඩා රෝගීන් හමු වීමට යන්නෙ  වෙනත් අය. ඒ කුමක් වුවත් කවුරුන් වුවත් මේ වෙලාවෙ වර්ජන කරන එක අනුමත කරන්න බැහැ. මේ නව කුලභේදය දේශපාලනයටත් ඇදිල ඇවිල්ල. එය ද දේශීයත්වයට එරෙහි ව කටයුතු කරනවා. 


එහෙත් හෙද හෙදියන් දොස්තර කුලයට විරුද්ධ වුණත් ජාතිකත්වයට පක්‍ෂ යැයි කියන්න බැහැ. අද ජාතික ව්‍යාපාරය මේ සියල්ල දැනගෙන කටයුතු කරන්න ඕන.