Main Logo

Saturday 21 May 2022

අර්බුදය වසංගත හා රනිල්ගේ පෝලිම

 අර්බුදය වසංගත හා රනිල්ගේ පෝලිම

 

අද ඇත්තේ ඊනියා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් නො වෙයි. මෙය පොහොට්ටුවේ (පොදු ජන පෙරමුණේ) හා එ ජා පක්‍ෂයේ සභාග ආණ්ඩුවක්. ව්‍යවස්ථාව අනුව ඊනියා ජාතික ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට ඊනියා  දේශප්‍රෙමීන් (ඇහින්දන්) ඇහිඳ ගනිමින් සිටිනු දකින්න පුළුවන්. හරීන් ප්‍රනාන්දු තමා කෙතරම් දේශප්‍රේමියකු ද කිවහොත් ඉතා පිළිකුලෙන් ජනාධිපති මුහුණවත් නොබලා රට වෙනුවෙන් ඇමතිකම භාරගත් බව කිවුවා. ඔහුගෙ ඩිජිටල් කතා දන්නා අය එය එතරම් විශ්වාස කෙළේ නැහැ. අදාළ ඡායාරූප ජනමාධ්‍යයට නිකුත් වීමෙන් පසු ඒ පිළිකුල් කතාව අර ඩිජිටල් බැලූම වගේ ම කඩා වැටුණා.

 

චම්පක සුපුරුදු පරිදි හැංගුමුත්තන් සෙල්ලමේ. ඔහු දශමයට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පඬි කතා කියනවා. අප මේ කතා අවුරුදු තිහකට වැඩි කාලයක් අහනවා. විජේදාස රාජපක්‍ෂගේ දේශප්‍රේමීත්වයට ඇමතිකමක් ලැබිල. ඔහු ළඟදි අස්ගිරියට ගියෙ නැත්ද කියා අහන්න වෙනවා. ගම්පහ අස්ගිරියට නොවෙයි නුවර අස්ගිරියට. කාදිනල්තුමාගේ දැගසවුවන් කාලෙකින් දැක්කෙ නැහැ. කාදිනල්තුමා දැක්කෙත් නැහැ. ඒත් අර ආතල්ගමේ මිලක් නියම කරන්න බැරි පූජකවරයා නම් නිතර දකින්න පුළුවන්. අර  දේවදත්ත හාමුදුරුවන්වත් දකින්න පුළුවන්. මේ වෙලවෙ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් සමරන්නෙ නැතුව කාව සමරන්න ද? සොහොයුරියන් තමයි ආරක්‍ෂකයන්, නැහැ ආරක්‍ෂිකාවන්.

 

රනිල් අගමැති වුණාට පස්සෙ ආතල්ගමට කෑම සපයපු උදවිය යන්න ගිහින්ලු. ඒක ප්‍රශ්නයක් නො වෙයි. රුවන්ට පණිවුඩයක් අරින්න. ඔහු නැගිටින්නෙ ටිකක් දවල් වෙලා කියනවා. කමක් නැහැ. දවල් කෑමට ඉස්සෙල්ල නැගිටීවි. රුවන් සියල්ල සපයාවි. ආතල්ගමේ අයිතිකරුවන් ඊනියා ගම්වාසීන් කවුද? පිටගම් කාරයන් කවුද? ආතල්ගම දැන් අපටත් ආතල් දෙනවා. එහි කෙරෙන්නෙ නිර්පාංතික විප්ලවයක්. අර මහාචාර්යවරුනුයි ඒ බව කියන්නෙ. තව ටික දවසකින් කොමියුනිස්ට් සමාජයක් බිහි වේවි. එදාට දාන්න කොඩියක් හොයා ගන්න වේවි. 

 

මේ ආණ්ඩුවේ විශ්වකර්මයන් නැහැ. රනිලුත් විශ්වකර්මයෙක් නො වෙයි. ඔහු මීට කලින් පස්වතාවක් අගමැති වෙලා තියෙනවා. අඩු ගණනෙ චුවිංගම් බ්‍රෙස්ලට්වත් බෙදුව ද? අර අකිල හදපු ෆෝක්ස්වාගන් රථ හින්ද තමයි මේ තෙල් අර්බුදය ඇවිත් තියෙන්නෙ. ඒවට තෙල් ගහන්න එපායැ. එතකොට අර්ජුන් මහේන්ද්‍රන්. ඔහු තාම අර මගුල්ගෙදර ගිය ගමන්. ඔහුගෙ තාත්තා නම් රාජකීය විදුහලේ ඉගැන්නුවා. රනිල්ට ඉගැන්නුවා ද කියල දන්නෙ නැහැ. මා කියන්නෙ නැහැ ගුරු ගෞරවය කියා. රනිල්ගෙ ගුරුවරයකු වූ ජී එල් පිරිස්ට මොකද වෙන්නෙ.

 

රනිල් විදේශ මාධය්‍යකට කියල රට බංකොළොත් තැනකට ඇවිත් කියල. ඒ අතර ඔහු කියනවා මේ තත්වයට වග කියන්න ඕන ගෝඨාභය මහින්ද ආණ්ඩුව කියල. ඔහු රට ගැන කියමින් රටේ අභිවෘද්ධිය ගැන කියමින් කරන්නෙ දේශපාලනයක්. ඔහු බටහිරයන්ගෙ නියෝජිතයා. ඊනියා ගම්වැසියන් කවුරු වුණත් අද ආතල්ගම පවත්වන් යන්නෙ ඔහුගෙ අනුග්‍රහයෙන්. ඔහුට ඕන පහුගිය පාලන තන්ත්‍රයට සියලු වරද පටවන්න.

 

එහෙත් ඔහු කියන්නෙ නැහැ වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ ඔහුගෙ කාලෙ කියල. ඔවුන් ෆෝක්ස්වාගන් හැදුව චුවිංගම් බෙදුව කියන්නෙත් නැහැ. යහපාලන කාලෙ ණය අරගෙන කළ සංවර්ධනය මොකක් ද? අද ගෙවන්න බැරි ඔහු සහ තවත් අය ගත්ත ණය. අපි අද ණය ගෙවීම කඩ කරන තත්වයකට (default) ඇවිල්ල. අදවත් රනිල් කතාකරනවද සංවර්ධනයක් ගැන. ඔහුට අනෙක් අයට වඩා ණය ටිකක් ලැබෙයි. ඒත් මහා ලොකු ගාණක් නො වෙයි.

 

අද වන විට විදේශීය විශේෂඥයන් කියන අය කියනවා මහා බැංකුව වහන්න වෙයි කියල. ඔවුන් කුමක් කිවුවත් අපටත් තේරෙනවා රට ඇත්තෙ ඉතාමත් භයානක තැනක බව. ඔය ඉන්න ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාඥයන්ට විසඳුම් නැහැ.  දන්න එක ම දේ පහුගිය පාලන තන්ත්‍රයට දොස් පැවරීම පමණයි. එය ඉතා පහසු වැඩක්. දූෂිතයන් රාජපක්‍ෂල වටේ එකතු වෙලා රට බංකොළොත් කළා කියා කියන එක ලොකු වැඩක් නො වෙයි. ඒ කියමනෙ ගතයුත්තක් නැහැ. ඒවා ඊනියා මහාචාර්යවරුන්ට ම හොඳයි.

 

ඉතා පැහැදිලි ව පහුගිය අවුරුදු දෙකේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ප්‍රේෂණ අඩුවීම නිසා අප ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. දූෂිතයන් නැති රාජ්‍යයක් ලෝකෙ කොහේවත් නැහැ. ජේ ආර් සමග ලංකාවෙ හැම ආණ්ඩුවක ම දූෂීතයන් හිටිය. එහෙත් ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුව එය නො වෙයි. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සාමාන්‍ය මිලට ආහාර තෙල් ගැනීම ගැන කතා කරනවා. ඒක හොඳයි. ඒත් එයින් සොච්චමක් තමයි ඉතිරි වන්නෙ. අද අර්බුදයට ප්‍රධාන හේතුව අපේ වියදම ආදායමට වඩා වැඩි වීම. මා කලින් ලිපිවල දත්ත සපයා ඇති. දෙරණ නාලිකාවෙ වැඩ සටහනක මා ඒ කරුණු ඉදිරිපත් කළත් ඔවුන් එය ප්‍රචාරය කෙළෙ නැහැ.

 

ඒ අදාළ වැඩ සටහන සජීවී එකක්. එයට ඒ වෙලාවට හැමදාම ශබ්දාගාරය වෙන් කරල තියෙන්න ඕන. වැඩ සටහන නිෂ්පාදකවරයා මට කතා කරළ කිවුව නියමිත වෙලාවට සජීවි ව වැඩ සටහනට සහභාගි වන්න කියා. එහෙත් ටික වෙලාවකට පසු ඔහු කතා කරල කිවුව ශබ්දාගාරය වෙන කටයුත්තකට වෙන් කරල තියෙනජ නිසා පටිගත කිරීමට කලින් එන්න කියා. මට සැකයක් ඇති වුණා. සජිවි වැඩ සටහනකට වෙන් කරල තියෙන  ශබ්දාගාරය වෙන කටයුත්තකට දුන්නෙ ඇයි කියා. ඒත් මා ගියා. වැඩ සටහන පටිගත කළා. පසුව ඔවුන් කීවුවා එය පටිගත වෙලා නැහැ කියා.

 

ඩොලර් අර්බුදය පිළිබඳ  දත්ත ජනමාධ්‍යයෙන් ලබා දුන්නෙ නැහැ. ආණ්ඩුවේ ඊනියා මාධ්‍ය ප්‍රකාශකයනුත් එය කළෙ නැහැ. ඩොලර් අර්බුදය දූෂිතයන්ට පමණක් පටවන්න බලධාරීන් ක්‍රියාත්මක වුණා කියා මා හිතනවා. දූෂිතයන් ඉන්න බව ඇත්ත. ඒත් අර්ජුන් මහේන්ද්‍රන්ලත් හිටියා. අර්බුදය අවුරුදු හැත්තැපහක  අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක්, බොරු උගත්කම නිසා ඇති වූවක්. අපේ වියදම ආදායමට වැඩියි. වසංගතය නිසා අපේ ඩොලර් සංචිතය අඩු වුණා. දත්ත ඉදිරිපත් කරන්නෙ නැතුව හොරා කැව කියන ජනප්‍රිය කතාව  වසංගතයක් වගේ පැතුරූණා. අද රෝග වසංගතය අවසන් කළ අයට හොරු කතාව වසංගතයක් කර පහර දී ඔවුන් එළවන්න කටයුතු කරලා. එය අවසන් වන්නේ හැකි නම් ජනාධිපතිවරයාගේ බලතල ව්‍යවස්ථා  සංශෝධනයකින් අගමැති පවරා ගැනීමෙන්. බැරි නම් ගෝඨාභය ඉවත් කිරීමෙන්. ඒ කුමක් වුවත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඡන්දයෙන් පත් වීමට නොහැකි වූ රනිල් බලයට පත්වීමෙන්. ඒ බටහිරයන්ගේ අපේක්‍ෂාව. ඉන් පසු ඊනියා ජනතාවට යහපත් කාලයක් උදා වේවි! 13 +, එම්සීසී ගිවිසුම, රණවිරුවන් පාවාදීම, සුබසාධන කපා දැම්ම් හා තවත් දේ පෝලිමේ තියෙනවා.