Main Logo

Monday 9 May 2022

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

 හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

 

මෙය වෙනදාට වඩා කෙටි ලිපියක්. අපට කාලය කියල එකක් නැති වුණාට කාලය සමග පොර බදන්න සිද්ධ වෙලා. කාලය විතරක් නොවෙයි ඉන්ද්‍රිය ගෝචර නොවන සියල්ල අපේ මනස්වල සංස්කරණ (නිර්මාණ) . ඉන්ද්‍රිය ගෝචර දේත් අපේ සංස්කරණ. පොඩි වෙනසකට තියෙන්නෙ එතැන දි මනස ඉන්ද්‍රිය සමග එකතු වෙනවා.

 

අද මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස්වෙන බවට ආරංචි පැතිර යනවා. ඒකෙ සම්භාවිතාව කීය ද කියල මා දන්නෙ නැහැ. කොහොමටත් ලංකාව ලෝකෙන් ම උතුම් රට වුණත් නැතත් ලංකාව ලෝකෙන් ම දියුණු රට. අනෙක් රටවල් තවමත් ඉන්නෙ නිවුටෝනීය ලෝකවල. එහි යමක් නිශ්චිත ව කියනවා. ඒත් අපි නිවුටෝනීය ලෝකය පහු කරල ක්වොන්ටම් ලෝකයකට ඇවිල්ල. අපට කිසි දෙයක් සිද්ධ වෙන්න ඉස්සෙල්ල නිශ්චිත ව කියන්න බැහැ. සිද්ධ වීමේ සම්භාවිතාවන් තමයි කියන්න පුළුවන්. යමක් සිද්ධ වුණාට පස්සෙ තමයි අපිට දැන ගන්න පුළුවන් සිද්ධ වෙලා කියලා.

 

මා කියන්නෙ මහින්ද රාජපක්‍ෂ ක්වොන්ටම් අංශුවක් කියල නො වෙයි. ක්වොන්ටම් ජාගොඩත් ඒක දන්නවා. ජාගොඩට අනුව හයිසන්බර්ග් වැරදියි. කාලෝ ෆොන්සේකා ඒ දවස්වල හිතුවෙ ජාගොඩ හරි කියල. කාලෝලට මා වැරදි  යි කියල කියන ඕන කෙනෙක් හරි. ඒක නම් නිශ්චිතයි. කාලෝ දැන් ස්වර්ගෙ ඇති. ඔහු ස්වර්ගෙ ගැන විශ්වාස කළ හේතුවාදියෙක්, බුද්ධිවාදියෙක්. දැන් කාලෝ මොනව හිතනව ද කියල දැන ගන්න විධියක් නැහැ.  මට ස්වර්ගෙට යන්න ඕන කමක් නැහැ. ඒකෙ ඉන්නවා කියන අය ගැන හිතන විට ඒකට යන්න හිත හදාගන්න බැහැ.

 

මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීල ජනාධිපතිතුමා ඒ පිළිගත්තොත් මොක ද වෙන්නෙ. ආණ්ඩුව ඇමති මණ්ඩලය විසිරෙනවා. එතකොට රට අරාජික වේවි ද? කවුද අගමැති කම භාරගන්නෙ? සජිත් ද අනුර ද විමල් ද සුමන්තිරන් ද රනිල් ද ජයවර්ධන ද රනිල් ජයවර්ධන ද? රනිල් ජයවර්ධන කියන්නෙ අර වීරයා. හිපොක්‍රටික් දිවුරම රට වෙනුවෙන් බල්ලට දාපු වීරයා. එය ඉංගිරිසියෙන් නම් හිපොක්‍රසි ද කියල මා අහන්නෙ නැහැ. අද තරම් වීරයො කිසිදාක බිහිවෙලා නැතුව ඇති. ආතල්ගමට ගියා ම කූඩාරමක් කූඩාරමක් ගානෙ වීරයො වීරවරියො. මටත් වීරයකු වෙන්න තිබුණ නම් කියල හිතෙනවා. ඒත් පින් මදි වෙන්නැති. තව පින් කරන්න ඕන.

 

රනිල් ජයවර්ධන මහාචාර්ය කෙනෙක්. අවුරුදු හැටක පමණ කාලයක මා මහාචාර්යවරු හඳුනනවා. අද ලකුණු එකතු කර ගත්ත ම මහාචාර්යවරයකු වෙන්න පුළුවන්. අවශ්‍ය අදාළ චක්‍රලේඛය අධ්‍යයනය කිරීම පමණයි. කොළඹ වෛද්‍ය පීඨය ලෝක ප්‍රසිද්ධ කියල කියනවා. ලෝකය කියන්නෙ ලංකාවට ද? ඒකට කමක් නැහැ. කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහිකරල තියෙන එක සංකල්පයක් කතන්දරයක් (ඊනියා ප්‍රවාදයක්) තියෙනවා ද?

 

මා ඔය හිපොක්‍රටික් දිවුරුම පස්සෙ එළවන්නෙ නැහැ. අපේ පාරම්පරික වෙද මහත්තුරු ඔය දිවුරුම ගන්නෙ නැහැ. එත් ඒ අය බුදුහාමුදුරුවන් අනුගමනය කරනවා. ගිලනුනට උපස්ථාන කිරීම ගැන බුුදුහාමුදුුරුවො ආදර්ශයෙන් ම පෙන්නල තියෙනවා. අර බුද්ධදස රජ්ජුරුවො නාගයාගෙන් ඇහුව ද දන්නෙ නැහැ රාජිතට පක්‍ෂ ද කියල. එහෙම නැත්තත් යහපාලනේට පක්‍ෂ ද කියල. මහාවංසෙ ඒ කතාව ලියල නැහැ. නාගයා නයි ඇරිය බවක් කියන්නෙත් නැහැ. අද නම් කරන්නෙ නයි ඇරල වීරයො වෙන එක. අද රටට වීරයන් අවශ්‍යයි. ඒ නිසාමයි වීරයන් මේ තරම් බිහි වෙන්නෙ. රනිල් ජයවර්ධන සිංහල බෞද්ධ බවක් නම් පේන්න නැහැ. ඔහු බුදුහාමුදුරුවන්වත් බුද්ධදාස රජුවත් අනුගමනය කරන පාටක් නැහැ. අද වීරයන් වෙන්නෙ සිංහල බෞද්ධ ක්‍රමයට විරුද්ධ ව යන අය. කාදිනල්තුමා මොකද කියන්නෙ.

 

ඒ මොකක් වුණත් මහින්ද රාජපක්‍ෂ අස්වුණාට පස්සෙ අගමැති කරන්නෙ කාව ද? කවුරුන්වත් ඒ තනතුර භාර ගත්තෙ නැත්තන් මොක ද කරන්නෙ. එතකොට ආණ්ඩුවක් නැහැ. අද ආතල්ගමත් ඊනියා මයිනාගමත් ආරක්‍ෂා කරන්නෙ ආණ්ඩුව. හරි ප්‍රශ්නෙ. රට අරාජික වෙයි ද? එතකොට උද්ඝෝණය කරන්නෙ කාට විරුද්ධව ද? ජනාධිපතිතුමන්ටත් අස්වෙන්න කියමු ද? රනිල්දාස නම් කියන්නෙ එහෙමයි. ඉතිං ඊට පස්සෙ. ආතල්ගමට බලය දෙනවා ද? ජ වි පෙට බලය දෙනවා ද? කෙකරගාමින්ට බලය දෙනවා ද? ජනාධිපති කෙනෙක් නැතුව බලය දෙන්නෙ කවුද? හොඳ හොඳ සෙල්ලම්  එළිවෙන ජාමෙට කිවුවලු.