Main Logo

Friday, 30 September 2016

සිංහලයා මෝඩයා


සිංහලයා මෝඩයා

සිංහලයා මෝඩයා කැවුන් කන්න යෝධයා යන්න කාගේ නිර්මාණයක් ද කියා මා දන්නේ නැහැ. එය සිංහලයන්ගේ කියමනක් නොවන බව නම් පැහැදිලියි. ඒ සිංහලයන් තමන්ට ම මෝඩයන් කියා නොගන්නා නිසා යැයි පඬි ප්‍රතිචාර දක්වන අයකු කියන්න බැරි නැහැ. මා දැන් ප්‍රතිචාර කියවන්නේ නැත්තේ පඬි ප්‍රතිචාර කියවීම සෞඛ්‍යයට අහිතකර නිසයි. මෙහි ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ මා කිසිවක් නොදන්නා මෝඩයකු කියායි. ඇතැම් විට මා ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොව, ඔබ සිතාගෙන සිටින කරුණුවල විසංවාද ඇති බව ඔබට ම තේරුම් ගැනීමටයි. 

Thursday, 29 September 2016

නොදැනුම


නොදැනුම


බුදුදහම හා අනෙක් දැනුම් අතර ඇති ප්‍රධාන ම වෙනස බුදුදහම අවසානයේ දී දැනුම නොදැනුම බවට පත්කිරීමයි. මෙහි නොදැනුම යන වචනය මා යොදා ගන්නේ වෙනත් වචනයක් නැති නිසයි. බොහෝ බෞද්ධයන් මෙයට විරුද්ධ වනු නොදනුමානයි. බුදුදහම  ආගමක් ද දර්ශනයක් ද ආදී ප්‍රශ්න නිතර කතාබහට ලක්වෙනවා. මගේ නම් අදහස බුදුදහම ව්‍යවහාරාර්ථයෙන් දැනුම් පද්ධතියක්වත් නොවන බවයි. කොහොමටත් පඬියන් අද ආගම යන්න නිර්වචනය කරන්නේ ක්‍රිස්තියානිය ආගමක් ලෙස උපකල්පනය කර එයට සාපේක්‍ෂවයි. මේ නිර්වචන, අර්ථදැක්වීම් මිනිසුන්ගේ බව මිනිසුන්ට අමතක වෙනවා. ආගම යන්නෙහි නිර්වචනය වෙනස් කළ විට කලින් ආගම් නොවූ සමහරක් ආගම් බවටත් ආගම් වූ සමහරක් ආගම් නොවීමටත් ඉඩ තිබෙනවා.  ක්‍රිකට් තරගයක දී හතරේ සීමාව වෙනස් කිරීමෙන් හරි හතරක් වෙනුවට ලකුණු පහක් දීමෙන් හරි වෙනත් ක්‍රමයකින් හරි තරග ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්. වෙනත් ක්‍රිඩාවලත් තත්වය එසේමයි. විභාගවල ලකුණු පටිපාටි වෙනස් කිරීමෙන් නිර්ණායක වෙනස් කිරීමෙන් ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන්.

මේ සාපේක්‍ෂ බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. ඔවුන් ඒවාට ඊනියා වාස්තවිකත්වයක් ආරෝපණය කරනවා. මරණින් මතු සිදුවන්නේ කුමක් ද? එය දැනගන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් එය දැනගත නොහැකියි. මෙහි දීත් සෑමවිටකමත් මා පංචෙන්ද්‍රියන්ගෙන් පමණක්් කියා කියන්නේ මනස නැතිව යන්නට නොවෙයි. මනස නොමැතිව පංචෙන්ද්‍රියන්ට පමණක් ක්‍රියාකාරීවීමට බැහැ එහෙත් පංචෙන්ද්‍රිය නැතිව මනසට ක්‍රියාකාරී වෙන්න පුළුවන්.

මනස ශරීරය අතරත් අන්තර් ක්‍රියකාරකම් තිබෙනවා. එහෙත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ මනස කියන්නෙ මොළයේ ප්‍රතිඵලයක් කියලා. එහෙමත් නැත්නම් මනස මොළයට ඌනනය කරන්න පුළුවන් කියලා. මනසේ ශක්තිය දියුණු කරගත්තොත් ශරීරය උඩින් ගෙන යන්න පුළුවන්. වෙනත් ශරීර බවට හරවන්න පුළුවන්. එහෙම කරපු අය ලංකාවෙ විතරක් නොවෙයි සුද්දන් යන්න ඉස්සර ඇමරිකා මහාද්වීපයේ වාසය කරපු අයටත් තිබිලා තියෙනවා. දොන් ජුවාන්ගෙ දැනුම සහ තවත් පොත්වල ඒ බව සඳහන් වෙනවා.  ඒත් අද ඒ මානසික ශක්තිය තියෙන අය එක්කෝ ඇත්තේ ම නැහැ, එහෙමත් නැත්නම් ඉතා අඩුවෙන් ලෝකයේ ඉන්නෙ.

ඒත් මේ කිසිවකින් කියැවෙන්නෙ නැහැ මනස කියලා දෙයක් තියෙනවා කියලා. ද්‍රව්‍ය හා විකීරණ ලෙස සැලකෙන සියල්ල මනසේ නිර්මාණ වගේ, මනසේ සංස්කරණ වගේ, මනසත් මනසේ ම නිර්මාණයක්. ඒක තේරුම් ගන්න බැරිව අප සංසාරයේ සැරිසරනවා. මනසක් කියලා දෙයක් පවතිනවා කියලා හිතන බෞද්ධයන් නිවන් අවබෝධයේ දී මනසට සිදුවන්නෙ කුමක් ද කියලා කියන්න ඕන.

නිවන් අවබෝධයේ දී මනස නැතිවෙනවා ද? එවිට එය උච්ඡෙදවාදයක් වෙනවා. නැත්නම් මනස සදාතනික ව පවතිනව ද? එවිට එය ශාස්වතවාදයට අයත් වෙනවා. එහෙමත් නැත්නම් වෙනත් දෙයක් සිදුවෙනවා ද? මා ත්‍රිපිටකය සම්පූර්ණයෙන් ම කියවලා නැහැ. සූත්‍ර කිහිපයක් පමණයි කියවා තියෙන්නෙ. අටුවාව කියවලා ම නැහැ කියන්න පුළුවන්. ඒවා කියවලා තියෙන අයට මා ගරු කරනවා. ඒත් ඔවුන් කියන සියල්ල පිළිගැනීමට මා සූදානම් නැහැ. මනස පවතින්නෙත් නැහැ නොපවතින්නෙත් නැහැ කියලා කොහේවත් කියලා තියෙනවා ද? එහෙමත් නැත්නම් මනස පවතිනවා ඒ වගේ ම නොපවතිනවා කියලා කොහේවත් කියලා තියෙනවා ද?

බුදුන්වහන්සේ තවත් දැනුමක් දේශනා කළේ නැහැ. කෙනකුට එසේ කියන්නත් පුළුවන්. සූත්‍ර පිටකයේ තිබෙන්නෙ දැනුම නොවේ ද කියලා අහන්නත් පුළුවන්. ඒ එක්තරා අයුරකින් දැනුමක් තමයි. ඒත් එය සොක්‍රටීස් හරි චීන දාර්ශනිකයකු හරි වෙනත් අයකු හරි උගන්නපු දැනුමක් වගේ දෙයක් නො වෙයි. ඒ අනෙක් දැනුම් සමහරක් අප ඉගෙන ගන්නවා. අපට ඒ සියල්ල ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්න බැහැ.  
 
මට තේරෙන විධියට බුදුන්වහන්සේ අපට ඉගැන්නුවෙ දැනුම කියලා හැඳින්වෙන දේ නොදැනුම බවට පත්කරගන්නයි.  බුදුන් වහන්සේ දාර්ශනිකයකුවත්, කවියකුවත්, ගුරුවරයකුවත්, වෛද්‍යවරයකුවත්, ඉංජිනේරුවරයකුවත්, විද්‍යාඥයකුවත් වන්නේ නැහැ. උන්වහන්සේ අපට කියා දුන්නේ තනන්න, නිර්මාණය කරන්න, සංස්කරණය කරන්න, සංස්කරණය කළ  දැනුම එකතු කරන්න නොවෙයි. 

බුදුන්වහන්සේට ගුරුවරයකු වෙදාණන් කෙනකු ආදී වචන යොදා ගැනෙනවා. ඒ සාමාන්‍ය ලෙඩ ගැනවත්, දැනුම ගැනවත් නොවෙයි. උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනත්ත ගැන ඉගැන්වුවා. ඒ සාමාන්‍ය සංකල්පවලින් තේරුම් ගන්න බැහැ. ඒ සංකල්පවලින් ඔබ්බෙන් තියෙන නොදැනුමක්. මේ ලෝකයේ හිස් බව අවබෝධ කර නොගත් අප අවිද්‍යාව හේතුවෙන් සංස්කරණය කරනවා. බුදුන්වහන්සේ අවිද්‍යාව කියලා දේශනා කෙළේ අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනුම. ඒ නොදැනුම නිසා අප දැනුම සංස්කරණය කරනවා. 


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 29

Wednesday, 28 September 2016

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන්ගේ දේශපාලනය

විග්නේස්වරන් කියන විධියට සිංහල මිනිසුන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි ව සිට නැහැ. ඔහුට අනුව අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ එහි පදිංචි ව සිට ඇත්තේ දෙමළ ජනයා යි. ඔහු දෙමළ ජනයාට නැගිටිව් කියා කියනවා. පැහැදිලිව ම ඒ සිංහලයන්ට විරුද්ධවයි. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන් ය කියා ලියා ඇත්තේ සිංහලයකු නොව පෘතුගීසි පූජකවරයකු හා ඉතිහාසඥයකු වූ ක්වේරෝස් පියතුමා. වත්මන් නැගෙනහිර පළාතේ එකල සිටි සිංහලයන් 1817-18 නිදහස් සටනේ දී ඉංගිරිසින්ට විරුද්ධව නැගී සිටියා. එකල එහි දෙමළ ජනයා සිටි බවක් කොහේවත් සඳහන් වන්නේ නැහැ. විග්නේස්වරන් කියන්නේ දෙමළ ජනයා එහි සිටි නමුත් ඔවුන් ඉංගිරිසින්ට පක්‍ෂ වූ බව ද? පෘතුගීසීන්ගේ තාඩන පීඩනවලට ලක් වූ මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුවේ සෙනරත් රජු විසින්. ඉංගිරිසින් 1817 -– 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් සමූලඝාතනය කර ඒ පෙදෙස්වල දකුණු ඉන්දියාවෙන් ගෙනා දෙමළ කම්කරුවන් පදිංචි කෙරුවා. උතුරේ වෙල්ලාලයන් අදටත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයාට සලකන්නේ නැහැ. ඒ තබා උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයාට සලකන්නේත් නැහැ. මේ උතුරු පළාතේ වෙල්ලාල නොවන දෙමළ ජනයා සිංහලයන්ගෙන් පැවත එන්නන්. ඔවුන් දෙමළ සමාජයට අවශෝෂණය කෙරුණේ ඊනියා පහත් කුලවලට අයත් වූවන් ලෙස. 

Tuesday, 27 September 2016

විග්නේෂ්වරන් හා චන්ද්‍රිකා

විග්නේෂ්වරන් හා චන්ද්‍රිකා නැරඹීමට පහත සඳහන් සබැඳියට යන්න


https://www.youtube.com/watch?v=oKqEE8TJ4_E

2012 කෙටුම්පත


2012 කෙටුම්පත

ජාතිකවාදීන් ඇතැම් විට කියන්නේ මහින්ද රාජපක්‍ෂ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කිසිවක් කෙළේ නැහැ කියලා. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඔහුට ලැබුණු අවස්ථා ඔහු මහගැරිය බව ජාතිකවාදීන් ඇතැම් විට කියනවා. දෙමළ ජාතිවාදයට ලන්දේසි කාලයේ සිට ඉතිහාසයක් තියෙනවා. මෙරට දෙමළ ජනයාගේ ඉතිහාසයත් ඉන් ඔබ්බට යන්නේ නැහැ. දෙමළ ජාතිවාදී දේශපාලනය නිල වශයෙන් ඇරඹුණේ දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමත් සමග. එය ක්‍රමයෙන් විකාශය වෙලා ප්‍රභාකරන් අවසානයේ දී සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම සඳහා ආයුධ අතට ගත්තා. ඒ දෙමළ ජාතිවාදී දේශපාලනයේ  විකාශයක් තිබුණා. ප්‍රභාකරන් ඒ විකාශයේ අවසන් ප්‍රතිඵලය.

Monday, 26 September 2016

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා


විග්නේස්වරන් කියන්නෙ හිටපු විනිශ්චයකාරයෙක්. ඒ වගේ ම පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති මුණුබුරෙක්. විග්නේස්වරන් දෙමළ වීම නිසා මේ රටේ නැතිවුණු පදවිය මොකක් ද? අග්‍රවිනිශ්චයකාර පදවිය ද? විරුද්ධපක්‍ෂ නායකකම ද? ඒ පදවි අද දරන්නෙ දෙමළ ජනවාර්ගිකයන්. ඇමතිකම් දරණ දෙමළ ජනවාර්ගිකයන් කවදත් හිටියා. විග්නේස්වරන්ට ඒ පදවි නොලැබුණෙ දෙමළකම නිසා නොවෙයි. ඒත් ඔහුට නොලැබෙන පදවි දෙකක් තියෙනවා. ඒ අගමැතිකම හා ජකනාධිපතිකම. ඒත් මේ රටේ රජකම හිමිවෙච්ච කාලිංගයො පාණ්ඩ්‍යයො විතරක් නොවෙයි වඩිගයොත් හිටියා. ඒ කවුරුත් විතරක් නොවෙයි 1815 දි රට භාරගත්ත ඉංගිරිසිනුත් මෙරට සිංහල බුද්ධාගමේ විශේෂත්වයත් සිංහල සිරිතුත් පිළිගත්තා. විග්නේස්වරන් බෞද්ධ වෙන්න ඕන නැහැ. 1815 ගිවිසුමේ තිබුණු කොන්දේසි රකින බව පොරොන්දු වෙනවා නම් ජනාධිපතිවුනත් වෙන්න පුළුවන්. ඒත් විග්නේස්වරන් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඔහු තම සීයා කෙනකු වූ පොන්නම්බලම් අරුණාශලම් අවුරුදු සියයකට පමණ ඉහත හින්දු මහා සභාව පිහිටු වූ ආකාරයට දෙමළ මහා සභාවක් පිහිටුවා ගෙන.  සීයාත් මුණුබුරාත් තේරුම් නොගත් නොගන්න කාරණය තමයි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂය කියන එක. ඒක කසිකබල් මාක්ස්වාදීන්ට, මාක්ස්වාදය කටගාගත්තවුනට, බොරු සමාජවාදීන්ට තේරෙන්නෙත් නැහැ.

රාමනාදන්ලා අරුණාශලම්ලා වගේ ම විග්නේස්වරනුත් දෙමළ ජාතිවාදියෙක්. සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය නොපිළිගන්නා ඕනැම අයකු සිංහල විරෝධී ජාතිවාදියකු වෙනවා. එ ජා ප දෙමළ ජාතික සංධානය මෛත්‍රිපාල කණ්ඩායම, ජ වි පෙ, සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමී ආදී සියල්ලන් ම සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදීන්. විග්නේස්වරන් කෙනකු අද බිහිවෙලා ඉන්නෙ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා පනත නිසා. 2012 දි පළාත්සභාවල බලතල නැතිකිරීමට පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඇවිත් තිබෙනවා.  ඒකට වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, රාජිත  ආදීන් විරුද්ධ වෙලා තිබෙනවා. මුළු රටේ ම ඡන්ද විසිපන්දාහක් නැති මොවුන්ට කැබිනට් මණ්ඩලය යට වුනේ මොකද කියන එක හිතාගන්න අමාරුයි. මේ පිළිබඳ විස්තර කවුරුන් හරි අදවත් හෙළිකරනවා නම් හොඳයි.

මහින්ද පරාද කරන්න ඩිව් මහත් උත්සාහයක් අරගෙන තිබෙන බවත් කියැවෙනවා. රාජිතත් එසේමයි. ඒත් අදත් ඩිව් ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නවා. නමුත් පාද යාත්‍රාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඇතැම් අවස්ථාවල අතීතයේත් එ ජා පක්‍ෂයට හෝ ඔවුන්ගේ පූර්වගාමින්ට හෝ සහාය දී තිබෙනවා. අද ලාල් විජේනායක ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ පාක්‍ෂිකයනුත් මහින්දට හා සිංහලයන්ට විරුද්ධව යහපාලන නඩයට  සහාය දෙනවා. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගමට තැන දෙන වගන්තිය කොල්වින් ආර් ද සිල්වා ඇතුළත් කෙළේ බණ්ඩාරනායක මැතිණියගේ අවශ්‍යතාවට. එය 1815 ගිවිසුමෙත් ගැමුණු රජුගේ අලිඛිත ව්‍යවස්ථාවේත් තිබුණු බව ලාල් විජේනායකලාට අමතක වෙනවා. අවුරුදු දෙදහසකට වැඩි කාලයක එය ක්‍රියාත්මක නොවුනේ 1848 සිට 1972 දක්වා අවුරුදු එකසිය විසිහතරක් පමණයි. 

නමුත් 1848න් පසූුවත් සුද්දන්ගෙ කාලෙදිත් එහි බලපෑම තිබුනා. 1815 ගිවිසුම කිසිවකුට ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. මෙරට බෞද්ධ සිද්ධස්ථාන හැරෙන්න වෙනත් ආගමික ස්ථානයක් ඉදිකිරීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් ඉංගිරිසින් දහනවවැනි සියවසේ අග පැනෙවූවා. මේ නීතිය අදටත් වලංගුයි. විනිසුරුුවකුව සිටි විග්නේස්වරන් ඒක නොදන්නවා වෙන්න බැහැ. ඔහු කියනවා බුදුපිළිම වහන්සේ ඉදිකරන විට ඔවුන්ගෙන් අහන්නේ නැතැයි කියලා. ඔහුගෙන් අහන්නෙ මොන කෙංගෙඩියට ද? හින්දු කෝවිලක්, මුස්ලිම් දේවස්ථානයක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් ඉදිකරන විට නම් ජනාධිපතිගෙන් අවසර ගත යුතුයි. ඒත් ඒක කෙරෙන්නේ නැහැ. සුද්දන්ගෙ කාලෙ තිබුන නීතිවත් අද ක්‍රියාත්මක නොවන්නෙ සිංහල නායකයන්ගෙ නිවටකම නිසා. 

විග්නේස්වරන් දෙමළ ජනයා එක්විය යුතු යැයි කියනවා. ඒ සිහලයන්ට, බෞද්ධයන්ට හා හමුදාවට විරුද්ධව බව පැහැදිලියි. අද ධර්මපාලතුමා හිටියා නම් සිංහලයන් නැගිටිව් කී විට ජාතිවාදියකු ලෙස නම්කර අත්අඩංගුට ගැනීමට ඉඩ තිබෙනවා. ඒත් විග්නේස්වරන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔහු පිටුපස එංගලන්තය සිටිනවා. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් විසින් මෙහෙයවෙන විසුරුණු දෙමළ ජනයා ඉන්නවා. ඔහුගේ ශක්තිය ඇත්තේ පිටරටයි.  විග්නේස්වරන් හා සම්බන්ධන් අතර වෙනස විග්නේස්වරන් පිටුපස ඉංගිරිසින් සිටීමත්, සම්බන්ධන් පිටුපස ඉන්දියාව සිටීමත්. සුමන්තිරන් මෙතෝදිස්ත බැතිමතකු ලෙස මෙහි දී ද්විත්ව රංගනයක යෙදෙනවා.

විග්නේස්වරන් හමුදාව උතුරෙන් ඉවත්කරගන්නා ලෙස ඉල්ලනවා. සිංහලයන් හමුදාව තමන් ඉන්න ප්‍රදේශවලින් ඉවත්කරන්නැයි කිවුවොත් හමුදාව නවත්වන්නෙ ඉන්දියාවෙ ද නැත්නම් මාලදිවයිනේ ද? හමුදා කඳවුරක් සාලාව ප්‍රදේශයේ තිබීම නිසා වූ හානිය ගැන අදටත් වන්දි ගෙවලා නැහැ. ඒ විතරක් නොවෙයි ඒ පිපිරීම කළ එකක් ද වුනු එකක් ද කියාවත් අද වන තුරු හරියට දන්නේ නැහැ. හමුදාවේ බුද්ධි අංශය දුර්වල කරද්දි රණවිරුවන් සිරගත කරද්දි මේ පිපිරීම ගැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි. විග්නේස්වරන් වැන්නන් ඉන්නතාක් උතුරේ හමුදා ශක්තිය තව තවත් තර කළ යුතුයි. හමුදාවට දෙමළ ජනයාගේ ඉඩම් අරගෙන තිබේ නම් කල යුත්තේ ඒවාට වන්දි ගෙවීමයි. කොහොමටත් හමුදාවට උතුරේ සිංහලයන්ගේ ඉඩම් ගන්න බැහැ. ඒ එහි සිංහලයන්ට ඉඩම් නැති නිසා. සිංහලයන්ට ඉඩම් ගන්න දෙන්නෙ නැති නිසා.

රාමනාදන්ලා ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලනය ප්‍රභාකරන් දක්වා විකාශය වූවා. එය නන්දිකඩාල් කලපුවේ දී මේජර් කමල් ගුණරත්නගේ පනස්තුන්වැනි සේනාංකයෙන් අවසාන වශයෙන් පරාජය කෙරුණා. එය එක් සේනාංකයක වැඩක් නොවෙයි. ත්‍රිවිධ හමුදාවේත් සිවිල් අරාක්‍ෂක බලකායේත් ජයග්‍රහණයක්. දෙරණ කාලෝගේ ජූරිය මගින් වැඩක් නැති ඉංගිරිසි ගැත්තන්ටත් සම්මාන දෙන අතර ත්‍රිවිධ හමුදාවටත් සම්මානයක් දී තිබීම ගැන සතුටු වෙනවා.  නන්දිකඩාල් කලපුවේ ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුල්නොවීමේ පාපය අප අද ගෙවනවා. එය නීති පොතට ඇතුල්කිරීමට 2012 දී දැරු උත්සාහය කඩාකප්පල් කළ අය විග්නේස්වරන් යළි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට දරණ උත්සාහය ගැන වග කිවයුතුයි.

බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු පනස්හතකට පස්සෙ මේ ලිපිය ලිවීමට සිදුවීම ගැන පනස්හයේ දරුවන් ලජ්ජා විය යුතුයි.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 26   
 

Sunday, 25 September 2016

අනිච්චා වත සංඛාරා


අනිච්චා වත සංඛාරා

ජාතික හෙළ උරුමය ගැන මතක වස්ත්‍ර පූජා කරලා. සෝභිත හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ඒකෙ තනතුරු අත්හැරලා අත්හරින එක හොඳ දෙයක්. බෞද්ධයන්ට හාමුදුරුවරු නිතර කියන්නෙ අත්හරින ලෙසයි. සමහරු අත්හරින එක පමණක් අත්හරිනවා. සෝභිත හාමුදුරුවන්ගෙයි රතන හාමුදුරුවන්ගෙයි අත්හැරීම රඟපෑමක් වෙන්නත් පුළුවන්. මා ඒ ගැන නිශ්චිත යමක් කියන්නේ නැහැ. කරු පරණවිතාන නමින් දැන් ප්‍රසිද්ධ කරුණාරත්න පරණවිතාන නම් අත්හැරලා නැහැ. ඔහු බදාගෙන. ජාතික හෙළ උරුමයේ සභාපතිකම බදාගෙන තියෙන්නෙ කරු පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමා. චම්පක තාමත් පක්‍ෂෙ ලේකම්.