Main Logo

Sunday 25 September 2016

අනිච්චා වත සංඛාරා


අනිච්චා වත සංඛාරා

ජාතික හෙළ උරුමය ගැන මතක වස්ත්‍ර පූජා කරලා. සෝභිත හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ඒකෙ තනතුරු අත්හැරලා අත්හරින එක හොඳ දෙයක්. බෞද්ධයන්ට හාමුදුරුවරු නිතර කියන්නෙ අත්හරින ලෙසයි. සමහරු අත්හරින එක පමණක් අත්හරිනවා. සෝභිත හාමුදුරුවන්ගෙයි රතන හාමුදුරුවන්ගෙයි අත්හැරීම රඟපෑමක් වෙන්නත් පුළුවන්. මා ඒ ගැන නිශ්චිත යමක් කියන්නේ නැහැ. කරු පරණවිතාන නමින් දැන් ප්‍රසිද්ධ කරුණාරත්න පරණවිතාන නම් අත්හැරලා නැහැ. ඔහු බදාගෙන. ජාතික හෙළ උරුමයේ සභාපතිකම බදාගෙන තියෙන්නෙ කරු පරණවිතාන නියෝජ්‍ය ඇමතිතුමා. චම්පක තාමත් පක්‍ෂෙ ලේකම්.


මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පරණවිතාන ජාතික හෙළ උරුමයෙ සාමාජිකයකු වුනේ කවදා ද? අප නොදන්නවාට හුඟක් කල් ඉඳලා සාමාජික ලැයිස්තුවේ නම තියෙන්න ඇති. ඔය ලැයිස්තුව භාරව ඉන්නෙ පක්‍ෂෙ ලේකම් චම්පක. එුයාගෙන් ලැයිස්තු ගැන අහලා වැඩක් නැහැ. අනෙක් හැම දෙයක් ම වෙනස් වෙන එකේ ලැයිස්තු වෙනස් නොවී තියෙන්න බැහැ. කරු පරණවිතාන ඉන්නෙ ජාතික හෙළ උරුමයෙ මොන කණාඩායමේ ද කියලා අහලා වැඩකුත් නැහැ. පරණවිතාන හැමදාමත් හිටියෙ තමන්ගෙ කණ්ඩායමේ. අනෙක් අතට ඔහු ජාතික හෙළ උරුමයෙ කොහෙ ඉන්නවද කියන එකත් රටට වැඩක් නැහැ. ජාතික හෙළ උරුමය මැරිලා

ජාතික හෙළ උරුමයේ අතීතය අසූගණන්වල විශ්වවිද්‍යාල දේශපාලනයට දිව යනවා. ඒ ගැන දිගට කතාකරන්න මා කැමති නැහැ. ඕනෑම දේශපාලන පක්‍ෂයක බලාපොරොත්තුව වෙන්න ඔන බලයට පත්වීම. එහි දී ජනතා මිතුරෝ කාලයේ සිට ජාතික හෙළ උරුමයේ නායකයන් ක්‍රියාකර ඇත්තේ ඉතාමත් පහත් ආකාරයකට බව කීම ඔවුන්ට නොදිය යුතු තරමේ ඉහළ සහතිකයක්. ජාතික හෙළ උරුමය කියන්නෙ මෙරට ජාතික ව්‍යාපාරය බිඳ දැමූ සංවිධාන දෙකෙන් එකක් . දැන් අලුතෙන් ම ජාතික ව්‍යාපාරයක්, ජාතික බලවේගයක් ගොඩනගන්න සිදුවෙලා.

අද ජාතික හෙළ උරුමයක් නැහැ. ඔවුන් නොකීවාට ඔවුන් අද ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. ඒක නිල වශයෙන් නො වෙයි. ඒක එහෙම වෙන එක පුදුමයක් නොවෙයි. ත්‍රස්ත විරෝධී කාලෙ දි ඔවුන් මා ඒ දිනවල හැඳින්වූ ආකාරයට බෙල් බොටම් විහාර මහා දේවිලා එක්ක ඊනියා දේශප්‍රේමි පක්‍ෂයක් ගොඩනගන්න කටයුතු කළා. සෝම හාමුදුරුවන්ගෙ සිංහල බෞද්ධ ව්‍යාපාරය කොළඹ අවට සිංහල බෞද්ධයන්ට සීමා වුණා. උන්වහන්සේගේ බණ අහන්න රටේ ම බෞද්ධයන් එකතු වුනත් උන්වහන්සේගේ අදහස් රාජගිරිය, පිටකෝට්ටේ. මහරගම, පිළියන්දළ ආදී ප්‍රදේශවල මධ්‍යම පංතික බෞද්ධයන්ට සීමාවුනා. සෝම හාමුදුරුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට තරමක් පටහැණිව දෙවියන්ට එරෙහිව කතාකළා. විෂ්ණු දෙවියන්ව ගඟට විසිකරන්න කිවුවා. ඒත් කවුරුන්වත් එසේ කෙළේ නැහැ. සිංහල බුද්ධාගමේ දෙවියන් යක්‍ෂ ජනතාවගේ කාලෙ ඉඳන් ම එනවා. සිංහල බුද්ධාගම වෙනස් කරන්න කතාකරලා ජාතිකත්වය ආරක්‍ෂා කරගන්න බැහැ. අද ඇතැම් ඊනියා ප්‍රබුද්ධයන් සිංහල බුද්ධාගම දර්ශනයක් බවට පත්කරලා බුදුදහාමුදුරුවන් සොක්‍රටීස් කෙනකු බවට පත්කරන්න හදනවා. 

ඒ කොහොම වුනත් ජාතික හෙළ උරුමය ඉහත කී ප්‍රදේශවලට සීමා වුනා. එ ජා පක්‍ෂය ගැන කලකිරිලා හිටිය යම් ජාතිකත්වයක් තිබූ එ ජා ප හිතවතුන් ජාතික හෙළ උරුමයට ඇදී ආවා. සෝම හාමුදුරුවන්ගෙ බණ හා ජාතික හෙළ උරුමය අතරෙ සෘජු සම්බන්ධයක් නොතිබුණත් ඇතැම් කරුණුවලින් ඒ සම්පාත වුනා. විශේෂයෙන් ම සිංහල බෞද්ධ මධ්‍යම පංතියට දෙමළ හා මුස්ලිම් ජනවාර්ගියකයන් නිසා සිදුවන ගැහැට පිළිබඳ ව වූ විරෝධය ඒ ව්‍යාපෘතිවලට පොදු වුනා. සෝම හාමුදුරුවන්ගෙ ව්‍යාපෘතිය ධර්මපාලතුමාගෙ ව්‍යාපාරය සමග සංසන්දනය කරන්න බැහැ. සාමාන්‍ය සිංහල බෞද්ධයන් ධර්මපාලතුමාගෙ ව්‍යාපාරය වැළඳ ගත්තත් සෝම හාමුදුරුවන්ගෙ අදහස් නාගරික මධ්‍යාම පංතියට සීමාවුනා.

ජාතික හෙළ උරුමය සිංහල බුද්ධාගමට විරුද්ධව ගිහින් හාමුදුරුවන් රාජසභාවට, පාර්ලිමේන්තුවට යැවුවා. මා මෙයට විරුද්ධව මහරගම වජිරඥාන ධර්මායතනයේ දී කළ දේශනයකට පස්සෙ එහි සිටි මධ්‍යම පංතිකයන් තර්ජනාත්මක ව නැගිට ඉදිරියට ආවා. මධ්‍යම පංතියට එහෙම පහර දෙන්න තරම් ශක්තියක් නැති බව මා අත්දැකීමෙන් දැනසිටියා. මෙරට හාමුදුරුවන් රාජ්‍යයේ උපදේශක ස්වාමීන් වහන්සේ මිසක් රාජ්‍යය වූයේ නැහැ. සුප්‍රසිද්ධ විද්‍යාලංකාර ප්‍රකාශයෙන් කියැවුණෙත් භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යැවීමක් නොවෙයි. එහෙත් නාගරික මධ්‍යම පංතියට භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යෑම (වැඩීම) බෞද්ධ පුනර්ජීවනයක් වුනා. මෙහෙම කියන එක එතරම් හරි නැති වුවත් චම්පක භික්‍ෂූන් වහන්සේලාගේ කර මතින් පාර්ලිමේන්තු ගියා. ඇමතිවරයකු වුනා. භික්‍ෂූන් වහන්සේගේ කරමතින් රජගෙදරට ගිය සද්ධාතිස්සලා හිටියේ එදා පමණක් නො වෙයි.

මධ්‍යම පාංතික ජාතිකත්වයකින් යුක්ත එ ජා පාක්‍ෂිකයන්  ආපසු එ ජා පක්‍ෂයට ගිහින්. ජාතික හෙළ උරුමයට දැන් ටික කලක සිට පැවැත්මක් නැහැ. චම්පක සමග සිටින අය විය යුතු පරිදි ම එ ජා පක්‍ෂයේ ලැගුම් ගෙන. හාමුදුරුවරුන් කිහිප නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරු පක්‍ෂය අත්හෑර ගිහින්. එස් එල් ගුණසේකකරට හා මහාචාර්ය ඉන්ද්‍රරතනට කළ දේ ගැන නැවත කීම අවශ්‍ය නැහැ. රතන හාමුදුරුවන් සමග සිටින අය මෛත්‍රිපාලගෙ සෙවණෙ. ඒ දෙපිරිසම මහින්දට එරෙහි වුනා. ඔවුන් මහින්ද එළවීමේ දී නම් එකතු වුනා.

මහින්ද එළෙවුවෙ මේ කවුරුවත් නොවෙයි බටහිරයන්ගේ අනුග්‍රහයෙන් රෝ ඔත්තු සොවය. ඒත් අද ඔවුන් එකිනෙකා සමග තරග කරනවා මහින්ද එළවීමේ ඊනියා ගෞරවය ලබාගන්න. රාජිත සේනාරත්නගෙ පුතාත් ඒකට උරුමකම් කියනවා. ඔහුට අනුව රතන හාමුදුරුවන් ඔහුට සහාය වී තිබෙනවා.  අර කටුස්සත් කිවුවලු මේව අලින්ගෙ අපේ වැඩ කියලා. මේ කිසිම කටුස්සෙක් මේ ආණ්ඩුව පත්කළෙ නැතිවුනත් ඔවුන් දේශද්‍රේ‍රා්හී මෛත්‍රිපාල රනිල් හවුල බලයෙට පත්කිරීමේ පාපකර්මයට හවුල්. චම්පක රතන හාමුදුරුවො, පරණවිතාන මේ කාටවත් පවු සමාකරගන්න බැහැ. ඔවුන් විශ්වාස කරන්න පුළුවන් අය නොවෙයි. ඒත් මහින්දගෙ වැරැද්ද මේ කාට හරි ඕන වුනොත් යන එන මං නැති වෙලා මේ පැත්තට එන්න මහින්ද ඔවුන් ව වැළඳගන්නවා.  





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා

2016 සපේතැම්බර් 25