Main Logo

Tuesday 13 September 2016

අවශ්‍ය ජාතික බලවේගයක්

අවශ්‍ය ජාතික බලවේගයක්

පුවත්පත් වාර්තාවලට අනුව දැනට ඒකාබද්ධ විපක්‍ෂයේ නොමැති පක්‍ෂ කිහිපයක් ද ආණ්ඩු විරෝධී බලවේගයකට එකතු වීමට කැමැත්ත පළකර තිබෙනවා. එය ඉතාම විපත්තිදායකයි. අප නැවත නැවතත් මඩගොහොරුවට ඇදී යන බව පැහැදිලියි. මේ ගොඩනගන්න යන්නේ ආණ්ඩු විරෝධි බලවේගයක් නම් එයින් රටට සෙතක් වන්නේ නැහැ. සමහරවිට එයින් ආණ්ඩුව පෙරලන්න හැකිවේවි. ඉන් පස්සෙ පිහිටුවන්නෙ මොන ආණ්ඩුවක් ද? එය වඩාත් පළල් සංධානයක් ද?
අප මේ සංධාන දේශපාලනයෙන් හා සාධාරණ වශයෙන් ගත්කල පක්‍ෂ දේශපාලනයෙන් මිදෙන්නේ කවදා ද? පසුගිය මහා මැතිවරණයේ දී නව පක්‍ෂයකින් සටන් කළ යුතු බව අප කියා සිටියේ ශ්‍රී ල නි ප මරාදමා තිබූ බැවින් හා මෛත්‍රිපාල සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් තිබිය නොහැකි බැවින්. එමෙන් ම මැතිවරණයට ඉදිරිපත්වීමේ අවශ්‍යතාව ද තිබුණා. පක්‍ෂයකින් නැතිව ස්වාධින කණ්ඩායමක් ලෙස තරග කිරීමේ හැකියාව ද තිබුණා. එහෙත් එය එතරම් ප්‍රායෝගික නැහැ. ඇතැමුන් කැමති දේශපාලන පක්‍ෂයකින් තරග කිරීමට මිස ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට නොවෙයි.

ඒත් ඒ අවස්ථාවේ සංධානයේ බලවතුන් කිහිප දෙනකුම එයට විරුද්ධ වූවා. ඔවුන් අතර ඩලස්, විමල්, ජී එල්, බන්දුල ආදීන් සිටියා. ඔවුන් මහින්ද හා මෛත්‍රිපාල අතර ඇතිවන එකඟතාවක් ගැන බලාපොරොත්තුවෙන් සිටියා. අපට කළහැකි දෙයක් තිබුණේ නැහැ. ඔවුන් සංධානයෙන් තරග කළා. ඒ වන විට දහනවවැනි සංශෝධනය සම්මත වී අවසානයි. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ගැන ඔවුන් දැන සිටියා. මැතිවරණයෙන් පසු එ ජා ප හා සංධානය එකතු වී ඊනියා ජාතික රාජ්‍යයක් තැනීමට හැකි බව ඔවුන් දැන සිටියා. ඒත් ඔවුන් සංධානයෙන් මැතිවරණය තරග කළා. සංධානයේ නායකයා මෛත්‍රිපාල.

මැතිවරණයෙන් පස්සෙ ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒකෙ නීත්‍යානුකූලභාවය පිළිබඳ නඩුවක් අද උසාවියේ තියෙනවා. ඒ අමාත්‍ය සංඛ්‍යා ව පිළිබඳ ව. නඩුවේ තීන්දුව අනුව ඇමති සංඛ්‍යාව තීරණය වේවි. මෛත්‍රිපාල ඉන්නකන් හවුල් ආණ්ඩුව තියේවි. අද පාර්ලිමේන්තුවේ නිල වශයෙන් ශ්‍රී ල නි පක්‍ෂයවත් ඒකාබද්ධ විපක්‍ෂයක්වත් නැහැ. ඇත්තේ සංධානය පමණයි. සංධානයෙන් තරග කිරීමේ වැරුද්ද දැන්වත් ඒකාබද්ධ විපක්‍ෂෙ අයට තේරෙනව ද දන්නෙ නැහැ.

මැතිවරණයෙන් පස්සෙ නව පක්‍ෂයක් හදන එක බොරු. එහෙම කළොත් ඒකාබද්ධ විපක්‍ෂෙ අයගෙ මන්ත්‍රීකම් නැතිවෙන්න පුළුවන්. ඒකෙන් වැඩක් නැහැ. මෛත්‍රිපාල තවත් එයාගෙ මන්ත්‍රීන් පත්කරලා තහවුරු වේවි. අද ඒකාබද්ධ විපක්‍ෂෙ පක්‍ෂවල සංධානයක් තවත් පක්‍ෂ එකතුකරගෙන හැදුවත් වැඩක් වෙන්නෙ නැහැ. ඒකත් දේශපාලන සංධානයක් ලෙස අර්ථදක්වන්න හැකි වේවි. ආණ්ඩු විරෝධි බලවේගය කියන එක එයට කොහොමටවත් සුදුසු වන්නෙ නැහැ.

මේ ආණ්ඩු විරෝධී බලවේගයේ ප්‍රතිපත්ති මොනවා ද? ආණ්ඩුව පෙරළීම අවශ්‍යයි. නමුත් ආණ්ඩුව පෙරළලා හදන නව ආණ්ඩුවේ දෙමළ ජාතිවාදය ගැන තියෙන ප්‍රතිපත්තිය කුමක් ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා ඔය ආණ්ඩු විරෝධී බලවේගය පිළිගන්නවා ද? අප එතනින් ම පටන්ගන්න ඕන. නැත්නම් අප වටේ යන එක විතරයි සිද්ධවෙන්නෙ. දෙමළ ජනයාට අසාධාරණයක් වෙලා තියෙනවා කියන ආණ්ඩු විරෝධි බලවේගයකින් රටට වැඩක් නැහැ.

අප ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ජාතික ව්‍යාපාරය චම්පක හා විමල් විසින් දේශපාලනීකරණයට ලක්කෙරුණා. එමගින් ඔවුන් ජාතික ව්‍යාපාරය වැනසුවා. අද නැවතත් ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමට අවස්ථාව එළඹිලා තියෙනවා. එ සඳහා ජාතික බලවේගයක් සංවිධානයක් ගොඩ නැගිය යූුතුයි. එය දේශපාලන පක්‍ෂයක් හෝ සංධානයක් හෝ විය යුතු නැහැ. පක්‍ෂ දේශපාලනයෙන් කැඩෙන්න අපට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. පක්‍ෂ දේශපාලනය අපට ගැලපෙන්නෙ නැති බව අප කියලා හුඟක් කල්. පක්‍ෂ දේශපාලනය විතරක් නොවෙයි රෝම ලන්දේසි නීතිය, අධ්‍යාපනය ආදී බටහිරයන් අප මත පැටවූ බොහේ දේ අපට අවශෝෂණය කරගන්න බැරිවෙලා. රථවාහන ගමන්කරවීමත් අපට කරන්න බැහැ. සමහරුන්ට අවශෝෂණය  කියන වචනෙ තේරෙන්නෙ නැහැ. අපට ඒකට කරන්න දෙයක් නැහැ. 

ඊනියා ආණ්ඩු විරෝධී බලවේගයක් වෙනුවට ජාතික බලවේගයක් ගොඩනගමු. එය දේශපාලන පක්‍ෂවල එකතුවක් නොවිය යුතුයි. එයට ජාතික ප්‍රතිපත්ති තිබිය යුතුයි. ඒකීය රාජ්‍යය රැකගැනීම, රණවිරුවන් රැකගැනීම, එක්සත් ජාතින්ගේ සංවිධානයට හා එහි අනුබද්ධ ආයතනවලට රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට කිසිම ඉඩක් නොදීම, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහොසි කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂත්වය රැකගැනීම, අනෙක් සංස්කෘතීන්වල අනන්‍යතාවය රටේ නීතියට යටත්ව රැකීම, දේශීය ගොවිතැනට හා වෙදකමට මුල් තැන දීම, බටහිරින් අවශෝෂණය කරගත හැකි අංග එසේ කර අපේ ම නීතියක්, දේශපාලනයක්, ආර්ථිකයක්, අධ්‍යාපනයක්, ආදිය සකස්කර ගැනීම ඒ ජාතික ප්‍රතිපත්ති අතර තිබිය යුතුයි. ඒ ජාතික බලවේගය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ආණ්ඩු විරෝධි බලවේගයක් වේවි.   




මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 13