Main Logo

Friday 9 September 2016

බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීම

බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීම

මේ රටේ බෞද්ධ උගතුන් බොහෝ දෙනකු කර ඇත්තේ කරන්නේ බුදුදහම ඊනියා නූතනත්වයට යටකිරීමයි.  කලින් ලිපියක (2016-06-05) මා ඊනියා නූතනත්වය කියන්නෙ ඇයි කියන එක පැහැදිලි කරලා ඇති. ඒ වගේ ම ඊනියා නූතනත්වයට යටවු පුද්ගලයකු වූ දලයිලාමා බුදුදහම පාවාදෙන ආකාරයත තවත් ලිපියක (2016-06-27) සඳහන් කර ඇති. මෛත්‍රිපාලත් මෙලෝ දෙයක් දන්නෙ නැතිව බෞද්ධාගමික රැස්වීම්වලට ගියාම කියනවා ලංකාව ලෝකයේ ථෙරවාද බුදුදහමේ මධ්‍යස්ථානය කරනව කියලා. ඒක හොඳ දේශපාලන සටන් පාඨයක්. එපමණයි. ලංකාවෙ තිබුණ ප්‍රධාන පිරිවෙන් දෙක කසිකබල් විශ්වවිද්‍යාල බවට පත්කරලා ද ලංකාව ලෝකයේ ථෙරවාද මධ්‍යස්ථානය කරන්නෙ.

ඒ පිරිවෙන් කසිකබල් විශ්වවිද්‍යාල බවට පත්කෙරුවෙ මෛත්‍රිපාල නොවෙයි. ඒ කාලෙ ඒක සිද්ධවුනෙ බණ්ඩාරනායක මහත්තයාගෙ ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමතිවෙලා හිටිය දහනායක අතින්. ඒ කාලෙ උසස් අධ්‍යාපන ඇමති කෙනකු හිටියෙ නැහැ. කාට හරි හිතෙන්න පුළුවන් ඒ කාලෙ උසස් අධ්‍යාපනයක් තිබුණෙ නැහැ කියලා. මට නම් හිතෙන්නෙ මේ රටේ අපේ උසස් අධ්‍යාපනයක් තිබුණෙ උසස් පිරිවෙන් තිබුණ කාලෙ විතරයි කියලා. විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනයක් නැහැ. ඒවයෙ තියෙන්නෙ බටහිර උසස් අධ්‍යාපනයෙ අනුකරණ පමණයි. ඒවයෙ කෙරෙන්නෙ අපේ දැනුම බටහිරයන්ට ඕන විධියට ඊනියා නූතනත්වයට යට කිරීමයි. මේවා කිව්වම මා තව තවත් සමාජයෙන් කොන් වෙනවා. අද සමාජයේ පිළිගැනීමට ලක්වෙන්න නන් ඊනියා නූතනත්වයට යටවෙන්න ඕන.

අපේ රටේ බෞද්ධ උගතුන් වැඩි හරියක් ආචාර්ය උපාධි සඳහා එංගලන්තයේ හා එක්සත් රාජ්‍යවල විශ්වවිද්‍යාලවලට යන්නෙ ඇයි? මේ රටේ ආචාර්ය උපාධියක් සඳහා ඊනීියා පර්යේෂණ කරන්න අවශ්‍ය පොතපත නැත් ද? අපේ රටේ පොත්පත් රාශියක් එංගලන්තෙට ගෙන ගිය බව ඇත්ත. හියු නෙවිල් වගේ අය ගැන මෙහි දී මතක් වෙනවා. මේ පොත පත අයිති එංගලන්තෙට ද අපට ද? මෛත්‍රිපාලට මීළඟ ගමන එලිසබෙත් වින්ඩ්සර් නෝන හම්බ වුනාම මේ පොත් අපට ආපහු ලබාගන්න කතාකරනවා ද? අත්වැසුම් ගලවල ම එලිසබෙත් වින්ඩ්සර් අයිතිය ගැන මෛත්‍රිපාලට යමක් කියලා දේවි.

ඒකට කමක් නැහැ. මේ රටේ පන්සල්වල, වෙදමහතුන් ළඟ තියෙන පොත්පත්වල නාමාවලියක් සකස් කරන්න උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති හරි සංස්කෘතික ඇමති හරි අධ්‍යාපන ඇමති හරි පියවර ගන්නවා ද? බුද්ධඝෝෂ හාමුදුරුවන් සිංහලෙන් තිබූ පොතපත ගිනි තිබ්බට ඒකෙන් මගහැරිච්ච හෙළ පොත් තවත් ඇති. සමහර හාමුදුරුවරු ඒ පොත් ගින්නට දාන්න නොදී ආරක්‍ෂා කරගන්නත් ඇති. ඒත් ඒ බව කාටවත් කියන්නත් නැතිව ඇති.  ඒ පොත් හොයාගන්න එක අප කාගෙත් වගකීමක්. බුද්ධඝෝෂ හාමුදුරුවොත් තවත් ආන්ද්‍ර ප්‍රදේශ හාමුදුරුවරුත් මහාවිහාරෙත් බුදුදහම ඒ කාලෙ තිබුණු තත්වයට ගැලපෙන්න සකස් කරන්න ඇති කියලා හිතෙනවා. බුද්ධාගමට, නැත්නම් බුද්ධ ශාසනයට, සිංහල බෞද්ධ සංස්කෘතියට එකතු කළ දේ ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ. එහෙත් බුදුදහමට එකතු වුනෙ මොනව ද සංශෝධනය වුනෙ මොනවද කියලා දැනගන්න පුළුවන් නම් වැදගත්.

බුදුදහම අශෝක කාලයෙත් වෙනස් වුනා. හැම සංගායනාවක් ම කියන්නෙ ඒ කාලෙට හරියන විධියට බුදුදහම සකස්කිරීමක්. තුන්වැනි සංගායනාව කියලා වෙනසක් නැහැ. ධර්මවාදය හා ක්‍ෂණවාදය තුන්වැනි සංගායනාවෙදී එකතු වෙලා තියෙන බවයි පේන්නෙ. මට නම් ඒ වාද දෙකම ආත්මවාදීයි. මා ඒ දෙකම ප්‍රතික්‍ෂෙප කරනවා. එසේ එකතු කෙළේ කාගේ ආධිපත්‍යයකට යටවෙලා ද? ඒ පිටුපස ඊනියා යථාර්ථයක් තිබෙනවා. යථාර්ථයක් වූ පැවැත්මක් ගැන කියැවෙනවා. මෙය බ්‍රාහ්මණ යථාර්ථවාදයකට යටවීමක් වෙන්න ඕන.

අද බුදුදහම යටකරන්නෙ ඊනියා නුතනත්වයට. එහි විවිධ අංග එක එක අය බදාගෙන. සමහරු විට්ගන්ස්ටයින්වාදීන්. තවත් සමහරු යථානුභූතවාදීන්. වල්පොළ රාහුල හිමියන් ද ඇතුළු උගතුන් කර තිබෙන්නෙ බටහිර බුද්ධිමතුන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම සකස් කිරීම. තම නිබන්ධන උපදේශක දරණ මතය එහි දී වඩාත් ම වැදගත් වෙනවා. ඒ කියන්නෙ බටහිර මතවාදවලට සරිලන ආකාරයට බුදුදහම විවරණය කිරීමයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිය කේ එන් ජයතිලක මහතා අර්ලි බුඩිස්ට් තියරී ඔෆ් නොලේජ් කියන පොතේ චතුස්කෝටිකය ද්විකෝටිකයට ඌනනය කරන්න උත්සාහ ගන්නවා. ඒත් වෑයම අසාර්ථකයි. වයි කරුණාදාස මහත්තයා බුඩිස්ට් ඇනැලිසිස් ඔෆ් මැටර් පොතේ හා ලේඛනවල යථාර්ථය ඉස්මතු  කරන්න හදනවා. එ ව්‍යායාමයත් අසාර්ථකයි. බුදුහාමුදූරුවන් යථාභූත ගැන දේශනා කෙළේ ඊනියා යථාර්ථයක් ගැන කියන්න නොවෙයි. බටහිර ඉන්න හිටිය කිසිම දාර්ශනිකයකුට, බුද්ධිමතකුට පුළුවන් ද බුදුහාමුදුරවන්ට අගුල් තියන්න. මා කියන්නෙ බුදුදහාමුදුරුවන් මහා දාර්ශනිකයකු කියන එක නොවෙයි. බුදුදහාමුදුරුවන් දැනුම නොදැනුම බවට පත්කළා. දර්ශනය පැත්තකට දාලා ප්‍රත්‍යක්‍ෂය ගැන දේශනා කළා. අපට නිවන් පසක් වෙන්න තව කල් ඇති. එතකන් බුදුදහම ඊනියා නුතනත්වයට යටකරමින් ආචාර්ය උපාධි ලබාගන්නවා ද? නැත්නම් නැති මනස ඇති මනසක් ලෙස අර්ථකථනය කරනවා ද? කාට කාටත් පටිච්ච සමුප්පදය ගැන ඇතැම් දේශනාවල තියෙන කරුණක් මා කියන්නම් ඒ තමයි නාමරූප පච්චයා විඤ්ඤාණ විඤ්ඤාණ පච්චයා නාමරුප කියන එක. ඒවගේ ම නාමයේ විඤ්ඤාණ ගැන කියැවෙනවා. එතකොට නාමරූප පචිචයා විඤ්ඤාණ කියලා කියන්නෙ කොහොම ද? ඇරිස්ටෝටල්ට මේ කතාවලට පිස්සු හැදෙන්න තිබුණා. ඇරිස්ටෝටල්ගෙ දැන් ඉන්න සිංහල ගෝලයන්ට කියන්න පුළුවන් මොනවා ද?  



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 09