Main Logo

Thursday 15 September 2016

යාපනයේ දෙමළ රාජ්‍යය

යාපනයේ දෙමළ රාජ්‍යය

වේළුසුමන දෙමළ වීම ගැන  ලියූ ලිපියේ පොඩි වැරදීමක් සිදුවෙලා. එහි අදහස් රැගෙන බොහෝ කලකට පෙර මා ලියූ ලිපිවල වේළු යන්න පරිවර්තනය වෙලා තියෙන්නෙ උණ හැටියට. පාලියෙන් වේළු කියන්නෙ උණ මිසක් නුග නොවෙයි. වේළුවනාරාමයේ තියෙන්නෙත් උණ ගස් මිස නුග ගස් නොවෙයි. මා එය මෙවර ලිපියේ නුග හැටියට සඳහන් කර ඇත්තේ වැරදීමකින්. ඒ ගැන මා කණගාටුවෙනවා. වේළුසුමන කියන නම උණසෙවනේ සමන් ආදී වශයෙන් සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්.

වේළුසුමන කතාව දෙමළ උගතුන් පසුගිය කාලයේ ප්‍රචාරය කළ බොරුවලින් එකක් පමණයි. මේ බොරු ඕන වෙන්නෙ දෙමළ ජනයා මෙරට අවුරුදු දෙදහකටත් වැඩිය පදිංචි වෙලා ඉන්නවා කියන්න. අදත් විග්නේස්වරන් වගේ අය මේ බොරු ප්‍රචාරය කරනවා. ඒ කතා සාමාන්‍ය දෙමළ ජනයා අතරට ගියාම ඔවුන් ඒවා විශ්වාස කරනවා. පෘතුගීසීන් ආවට පස්සෙ දෙමළ චෙච්ච සිංහල සම්භවයක් තියෙන අයත් සිතන්නෙ තමන් අවුරුදු දෙදහකට වැඩිය දෙමළ වෙලා තියෙනවා කියලා. යාපනයේ ඉන්න ඊනියා අඩුකුල දෙමළ ජනයා බොහොමයක් සිංහල සම්භවයක් තියෙන අය.

පෘතුගීසි ඉතිහාසඥයකු වන ක්වේරෝස් සඳහන් කරනවා යාපනයේ බහුතරය සිංහල කියලා. ක්වේරෝස්ගෙ මේ නිරීක්‍ෂණය වැරදි වෙන්න බැහැ. ඒ නිරීක්‍ෂණය සඳහා අවශ්‍ය සංකල්ප බොහොම සරලයි. ඒත් ඔහු යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබූ බවට කියන නිරීක්‍ෂණයත් කෝට්ටේ රජු රටේ අධිරාජයා කියන නිගමනයත් ලංකාව ගැන පෘතුගීසි ඇසකින් බලා ලියූ තොරතුරු. යාපනයේ මුහුදු කොල්ලකාර ආර්යචක්‍රවර්තීන් පාලකයන් වූනු බව ඇත්ත. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නැහැ යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබූ බව.
අඩු තරමෙන්් ක්වේරොස්ට අහන්න තිබුණ බහුතරය සිංහල වුනු යාපනය දෙමළ රාජ්‍යයක් වෙන්නෙ කොහොමද කියලා. ක්වේරොස් කතෝලික පූජකතුමෙක්. ඔහු දෙවියන් වහන්සේ හැරුණු විට පංචෙන්ද්‍රිය ගෝචර දේ ගැන විශ්වාස කළ සරල මනුෂ්‍යයකු වූ බව පැහැදිලියි. ඔහුගේ නිරීක්‍ෂණ පදනම් වෙන්න ඇත්තෙ ලෝකය ගැන තමන් දැනගෙන හිටිය කරුණු මත. ඔහුට අනුව යාපනයේ රජකෙනකු හිටියා. ඒ තැනැත්තා රජ කියන නාමය පාවිච්චි කළා. ඒ නිසා ඔහු රජෙක්. මේ රජා කතාකෙළේ දෙමළ. එ නිසා ඔහු දෙමළ රජෙක්. රජු දෙමළ නම් රාජ්‍යයත් දෙමළ වෙන්න ඕන. ඒකෙ ජනගහනය දෙමළ ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. මේ ක්වේරෝස් චින්තනය. ඔහු අඩු තරමෙන් ජැෆ්නා කියන වචනය ආවේ කොහොමද කියන එකවත් කල්පනා කරන්නෙ නැහැ. පෘතුගීසීන්ට ජැෆ්නා වුනේ සිංහල යාපනය මිසක් පසුව ලන්දේසි කාලෙ හදාගත්ත යාල්පානම් නොවෙයි.

අපේ බොහෝ උගතුන් අදත් නිගමනවලට එන්නෙ මේ විධියෙ සංකල්ප මත පදනම් වෙලා. සංකල්ප කියන්නෙ මහා භයානක දේවල්. ඒවාත් අපේ නිර්මාණ. ඒවා ගැන සෝදිසියෙන් සිටින්න ඕන. ඒ සංකල්ප කඩලා ඒවයේ වැරදි ඉතිහාසය තේරුම් ගන්න පූළුවන් වෙන්න ඕන. ඔය ඊනියා පශ්චාත්නූතනවාදීන්ගෙ ඩෙරීඩා කියන ප්‍රංශ විද්වතා ඩිකන්ස්ට්‍රක්ෂන් කියලා කියන්ෙැන ඒ වගේ වැඩකට. ඒක මහා ලොකු දෙයක් නොවෙයි. ලංකාවෙ ඉන්න ඊනියා පශ්චාත්නූතනවාදීන්ගෙ සංකල්ප නම් කිසිම වැඩකට නැති බහුබූත අනුකරණ පමණයි.

ලංකාවෙ අන්තිමට තිබුණෙ දෙමළ රාජ්‍යයක් කියලා සමහර පඬියන් කියනවා. ඒ වඩිග රජවරුන් ආන්ද්‍ර සම්භවයක් ඇති නිසා. ඔවුන් කතාකෙළේ තෙළිඟු. සිංහලයන් ඒකට කිවුවෙ අන්ඩර (ආන්ද්‍ර) දෙමළ කියලා. මේ තෙළිමු වචන සිංහලයටත් එකතුවෙලා. ඒත් විකෘති කිරීම් සහිතව. මා  පසුගිය දා එක්සත් රාජ්‍යයන්හි සිටින විට තෙළිමු කතාකරන කුඩා දරුවකු මට තාත්තා කිවුවා. ඔවුන්ගේ භාෂාවෙන් තාත්තා කියන්නෙ සියාට. ඔවුන් අයියා කියන්නෙ තාත්තාට. තෙළිඟු භාෂාවෙන් වලවු කියන්නෙ ගෙවල්වලට. වඩිගයන් සමග පැමිණි අයගේ ගෙවල්වලට කිවුවෙ වලවු  කියලා. සිංහල නායකයොත් තමන්ගෙ ගෙවල්වලට වලවු කියලා කියව ගත්තා. ඒ ලොකුකම පෙන්වන්න. වලවු කියන්නෙ ගෙවල්වලට වුනාට ඉන් පස්සෙ වලවු උනෙ ප්‍රභුන් පදිංචි ගෙවල් පමණයි. අදත් වලවු සංකල්පය යොදා ගන්නෙ ඊනියා ප්‍රභූ කමකුත් ඇඳ ගෙන. සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට අවශෝෂණය කෙරෙන විට මෙවැනි දේ සිදුවෙනවා. 

වඩිග රජවරුන් කොහොමටවත් දෙමළ නොවෙයි. ඔවුන් තෙළිඟු රජවරුන් කියලා කියන්න  පුළුවන් ද? වඩිග කියලා කියන්න පුළුවන් ද? වඩිග කියන එකේ තේරුම දකුණ කියන එක. මේ වඩිගයන් ආන්ද්‍ර ප්‍රදේශයෙන් දකුණේ දෙමළ කතාකරන ප්‍රදේශවලට සංක්‍රමණය වූ අය. ඔවුන් වඩිග වූයේ ඒ නිසයි. ඔවුන් වඩිග නිසා රාජ්‍යය වඩිග වෙනවා ද? රජුගෙන් රාජ්‍යය නම් කෙරෙන විධියක් පෘතුගාලයේ තිබුණ ද? එංගලන්තයෙ තියෙනවා ද. එලිසබෙත් වින්ඩ්සර්ලාගේ සම්භවය ජර්මන්. එංගලන්තෙ තියෙන්නෙ ජර්මන් රාජ්‍යයක් ද? එහි සමහර රජවරුන්ට නෝමැන්ඩිය හරහා ප්‍රංශ සම්භයක් තිබුණා. ඒ නිසා එංගලන්ත රාජ්‍යයට ප්‍රංශ රාජ්‍යයක් කියලා කිවුවෙ නැහැ. 

ක්වේරොස් නුවර කාලයෙ ලංකාවට ආවා නම් නුවර දෙමළ රාජ්‍යයක් තිබුණ කියලා කියන්න තිබුණා. සිංහල පවුල්වල ඉපදිලා යම් යම් ප්‍රශ්න නිසා ප්‍රධාන වශයෙන් ම හීනමානය හේතුකොටගෙන ඊනියා සාධාරණයක් පතා සිංහල බෞද්ධ විරෝධී  වුනු ඇතැම් සිංහල පඬියන් ද නුවර කාලයේ තිබුණෙ සිංහල රාජ්‍යයක් ද කියලා කියනවා. ඒ ගොල්ලන් සුද්දන්ට කටක් ඇරලා කියාවි ද එංගලන්තෙ තියෙන්නෙ ජර්මන් රාජ්‍යයක් කියලා. සුද්දන් ඉස්සරහ මේ පඬියන්ගෙ මුක පූට්ටු වෙනවා.

රාජ්‍යය නම් වෙන්නෙ රජ්ජුරුවන්ගෙන් නොවෙයි. යාපනය මුහුදු කොල්ලකාරයන් පාලනය කළාට එහෙ තිබුණෙත් සිංහල රාජ්‍යයක්. යාපනයේ පාලකයා ගම්පොළ හරි කෝට්ටෙට හරි ගිහිල්ල  රජ්ජුරුවො බැහැ දැකලා තමන්ට රජ කියන පදවි නාමය යොදන්න අවසර ගත්ත. ක්වේරොස්ට ලංකාවෙ තිබුණු එක්සේසත් රාජ්‍යය ගැන කිසිම වැටහීමක් තිබුණෙ නැහැ. මෙරට වත්මන් පඬි ඉතිහාසඥයන්ටත් නැහැ. ලංකාවෙ අධිරාජයකු හිටියෙ නැහැ.

පෘතුගීසීන්ට විරුද්ධව සංකිලි කරපු සටනෙදි ඔහුට ආධාර කෙරුවෙ සිංහල රජ්ජුරුවො. යාපනයෙ තිබුණෙ ගම්පොළට හරි කෝට්ටෙට හරි අවනත වුනු සිංහල රාජ්‍යයක්. සංකිලි පෘතුගීසීන් සමග අත්සන් කළ ගිවිසුම තිබුණෙ සිංහල හා පෘතුගීසි භාෂාවලින් මිසක් දෙමළ හා පෘතුගීසි භාෂාවලින් නොවෙයි. ඒ කාලෙ යාපනෙත් රාජ්‍ය භාෂාව සිංහල.  විග්නේස්වරන්ලා බොරු ප්‍රචාරය කරන්නෙ දෙමළ තරුණ තරුණියන් බිල්ලට දීලා තම  ප්‍රභූත්වය රැකගන්න. සුමන්තිරන් උඩුවිල් බාලිකා විද්‍යාලයෙ සිද්ධියෙ දි ක්‍රියාකරපු ආකාරයෙන් ද මෙය තවත් තහවුරු වෙනවා.





මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද/ කාලය වෙබ් අඩවියෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
https://www1.kalaya.org
නලින් ද සිල්වා

2016 සැප්තැම්බර් 15