Main Logo

Wednesday 21 September 2016

දෙමළ විඥානය


දෙමළ විඥානය


දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලැබෙන්නේ නැහැ. දෙමළ ජනයා යනුවෙන් හඳුන්වන්නේ කවු ද යන ප්‍රශ්නයට ඇති පිළිතුර කුමක් ද? දෙමළ ජාතියක් ලංකාවේ නොව ඉන්දියාවේවත් තිබේ ද? දෙමළ යනුවෙන් ගෝතය්‍රක්වත් තිබී ඇත් ද? අද ලෝකයේ දෙමළ කතාකරන සියල්ලන් ම පාහේ දෙමළ ජනයා ලෙස හැඳින්වෙනවා. ඔවුන්ට අද පොදු දෙමළ විඥානයක් තිබෙනවා. මලයාසියාවේ ද එංගලන්තයේ ද ඉන්දියාවේ ද ලංකාවේ ද ඉන්න දෙමළ ජනයා සමස්තයක් ලෙස තමන් දෙමළ යනුවෙන් හිතනවා. එයින් කියැවෙන්නේ ලෝකයේ සිටින සියළු ම දෙමළ කතාකරන ජනයා දෙමළ කියා බැඳී ඉන්න බවක් නොවෙයි. ඒ වගේ ම දෙමළ කතාකරන්න බැරි, එහෙත් දෙමළ කතාකරන ජනයාගේ දූ පුතුන් ද සමහරවිට තමන් දෙමළ කියන දෙමළ විඥානයකින් බැඳී ඉන්නවා.

දෙමළ විඥානයකින් බැඳී සිටින අය දෙමළ ජනයා ලෙස හැඳින්වීමට සිදුවෙනවා. ඒත් මේ අය විවිධ රටවල රටවැසියන්. විවිධ රටවල සිටින දෙමළ ජනයා දෙමළ කියන විඥානයකින් බැඳී ඉන්නෙ එක්තරා ආකාරයකට මුස්ලිම් ජනයා මුස්ලිම් සහෝදරත්වයකින් බැඳී ඉන්නවා වගේ. ඒත් මුස්ලිම් ජනයා සුන්නි හා ෂියා යනුවෙන් මූලික වශයෙන් බෙදී හිටියත් දෙමළ ජනයා එහෙම බෙදී නැහැ. ඔවුන් දේශපාලන වශයෙන් ජයලලිතාට හරි වෙනත් කාට හරි සහාය දෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ දේශපාලනඥයන් ව්‍යාජ පුද්ගලයන් බවත් මැතිවරණ මගින් බලයට පත්වීම සඳහා දෙමළකම යොදාගත් බවත් තමලිනී වැනි අය අවබෝධ කරගෙන සිටි බවත් ඇගේ පොත කියවන විට පැහැදිලි වෙනවා.

දෙමළ ජනයාට සිටි පැහැදිලි නායකයා ප්‍රභාකරන්. ඔහු ලංකාවේ රටවැසියන් වූ දෙමළ ජනයාගේ පමණක් නොව සමස්තයක් ලෙස ගතහොත් ලෝකයේ ම දෙමළ ජනයාගේ නායකයා ලෙස පිළිගැනීමක් තිබුණා. නැවතත් කියන්න ඕන සමස්තයක් ලෙස යන්නෙන් සියල්ලන් ම නොකියැවෙන බව. ප්‍රභාකරන්ට විරුද්ධ දෙමළ ජනයාත් ඉන්නවා. ලංකාවේත් ඉන්නවා. ඒත් සමස්තයක් ලෙස ලෝකයේ ම දෙමළ ජනයාගේ නායකයා ව සිටියේ ප්‍රභාකරන්.

ඊනියා දෙමළ ඩයස්පෝරාව කියන්නෙ ලංකාවෙන් පිටරට ගිහිල්ලා ඉන්න දෙමළ විඥානයක් සහිත අය පමණක් නොවෙයි. ඔවුන් එහි ප්‍රධාන කොටස්කරුවන් වෙන්න පුළුවන්. ඩයස්පෝරාව කියන්නෙ අප බොහෝ විට කියා තිබෙන ආකාරයට පරණ තෙස්තමේන්තුවෙ වචනයක්. එයින් මුලින් කියැවුනෙ තම නිජභූමියෙන් පිටමංකරලා ලෝකයා පුරා, විශේෂයෙන් ම මිසරයේ ඒ කියන්නෙ ඊජි්ප්තුවේ සිටිය යුදෙවු ජනයා. ඩයස්පෝරා කි විගස යුරෝපයේ ඇතිවන්නෙ නිජබිමෙන් පිටමංකරපු යන අදහසක්. අපේ පඬියන්, ජනමාධ්‍යයේ ද ඇතුළුව, තමන් නොදන්නා වචන සංකල්ප ගිරාපෝතක අයුරින් උචිචාරණය කරන්න කැමතියි. අර පශ්චාත්නූතනවාදය, කියැවීම වගේ වචන අරගෙන බලන්න. දැන් ඇතැම් ජාතිකත්ව පඬියන් ද තමන්ට නොතේරෙන මාටින් ජැක්ගෙ සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පයත් වමාරනවා දකින්න පුළුවන්.

අද ලෝකයේ ඉන්න දෙමළ විසුරුණු ජනයාට නායකයකු නැහැ. ඒත් ඔවුන්ට දෙමළ විඥානයක් තියෙනවා. මේ සියල්ලන්ගෙ ප්‍රධාන සතුරා මහින්ද රාජපක්‍ෂ. ඒත් මහින්දට සිංහල ජනයාගේ නායකයා වීමට ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න සමහරුන් ඉඩ දෙන්නෙ නැහැ. මහින්ද සිංහලයන්ගේ නායකයා වෙන එක වළක්වන්නෙ එ ජා පක්‍ෂයට හා මෛත්‍රිපාලට වඩා ඒකාබද්ධ විපක්‍ෂෙ අය. ඔවුන් නොවන්නට රනිල් හා මෛත්‍රිපාල මොනච කළත් මහින්ද සිංහලයන්ගෙ නායකයා වෙලා. දෙමළ ජනයාගෙ නායකයා නැතිකිරීමට දේශපාලන තීන්දුව ගත්තු මහින්ද සිංහලයන්ගෙ නායකයා නොකිරීම ගැන ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන් වග කියන්න ඕන.

දෙමළ ජනයාට දෙමළ කියන විඥානය ඇතිවෙලා වැඩි කලක් නැහැ. සිංහලයන්  දෙමළ යනුවෙන් පිරිසක් බොහෝ කලක සිට, අඩුම තරමෙන් මහාවංශය ලියූ කාලයේ ඉඳලා හඳුනාගෙන ඉඳලා තියෙනවා. ඒත් ඒකත් පැහැදිලි සංකල්පයක් නොවෙයි. සිංහලයන් දෙමළ කියලා හඳුන්වලා තියෙන්නෙ මූලික වශයෙන් සතුරන්ව. ඉතා පසු කාලයක ලියැවුණු රාජාවලියෙ පෘතුගීසීන්ව හඳුන්වල තියෙන්නෙත් දෙමළ හැටියට. එයටත් වඩා මා අහලා තියෙන විධියට කාම්බෝජයේ අය සතුරන්ට කියන්නෙ දෙමළ කියලා. අපේ සංස්කෘතිය කාම්බෝජයට ගියාට පස්සෙ ඒ සංකල්පය යන්න ඇති.

මෙරට ඉංගිරිසින්, දෙමළ ජනයා පමණක් නොවෙයි වඩිග රජුන් සමග පැමිණි අය ද හැඳින්වූයේ මලබාර් වශයෙන්. නුවර තියෙන මලබාර් වීදිය සලකන්න.  මලබාර් කියන්නෙ දකුණු ඉන්දියාවෙ අරාබි මුහුදත්  බටහිර ගැට්ස් කඳුවැටියත් අතර තියෙන ප්‍රදේශයක්. එය නිශ්චිත ප්‍රදේශයක් ම නොවෙයි. මලබාර් ප්‍රදේශය, මලබාර් වෙරළ ආදිය ඒ ඒ අරුත් ගෙන දෙනවා. කොහොමටත්  මලබාර් කියන එක මලයාලම් භාෂාවෙන් බිඳී එන්නක්. එහි තේරුම කඳු ප්‍රදේශය  (මලෙයි   වාරම්)      කියන එක. 

ඉංගිරිසින්ගෙ 1871 ජන සංගණනයේත් දෙමළ කියලා ජනකොටසක් නැහැ. ලංකා දෙමළ කියන සංකල්පය එකතුවෙලා තියෙන්නෙ විසිවැනි සියවසේ. මේ කාරණය අප ඉතා වැදගත්කමකින් සලකන්න ඕන. දෙමළ විඥානයට ඒ තරම් වයසක් නැහැ. මේ රටේ දෙමළ රාජ්‍යයක් ගැන කතාකිරීම එක පැත්තකින් දකුණු ඉන්දියාවෙ දෙමළ රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි වීමෙන් පසුව වෙච්ච දෙයක්. ලෝකය පුරා ඉන්න දෙමළ විඥානයක් සහිත ජනයා තවමත් ලංකාවේ දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ සිහිනය අත්හැර නැහැ. ඔවුන් ඒ සිහිනය දකින්නෙ ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ඔවුන්ට නැළවිලි ගී ගායනා කරන නිසා. මලයාසියාවෙ අපේ තානාපතිට පහර දීම ලෝක දෙමළ විඥානයක් සහිත ජනයාගේ වැඩක්. රනිල් ඉංගිරිසින් හරහා දෙමළ විඥානයට යටවෙලා. මෛත්‍රිපාල රනිල්ට යටවෙලා.       

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 21