Main Logo

Wednesday, 31 August 2022

මගේ නොහැකියාව

මගේ නොහැකියාව

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මහාචාර්ය මැක්‍රේ පළමු දවසේදීම මා කළ යුතු අධ්‍යයනය මට කිවුවා. එය ක්වේසාර (QUASARS – Quasi Stellar Objects)  හෙවත් මන්දාකිණි මෙන් ශක්තිය නිපදවන එහෙත් තාරකා වැනි වස්තු ගැන. එවැනි වස්තු එලෙස ශක්තියක් නිපදවන්නේ කෙසේ ද යන්නට පිළිගත හැකි සාර්ථක ආකෘතියක් නිර්මාණය කර තිබුණේ නැහැ. බානෝති යුවළ යෝජනා කර තිබුණා ක්වේසාර යනු අවකාශයේ මන්දාකිණි ගුරුත්වජ කාච (Gravitational Lenses) ලෙස ක්‍රියාත්මක වෙමින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්බ කියා.  

 

අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව ආලෝකය අවකාශයේ විශාල වස්තුවක් අසළින් ගමන් කරන විට නැවෙනවා, වර්තනය වෙනවා. ඒ නිසා ඈත වස්තුවක සිට එන ආලෝකය විශාල වස්තුවක් අසළ දී වර්තනය වෙලා ප්‍රතිබිම්බයක් හැදෙනවා. ප්‍රතිබිම්බය අපට  දීප්තිමත්ව පේනවා. බානෝති යුවළ කියා තිබුණේ ක්වේසාර එලෙස ඇතිවෙන දිප්තිමත් ප්‍රතිබිම්බ කියා.

 

එය හොඳ අදහසක්. ඒත් මහාචාර්ය මැක්‍රේ කිවුවේ ඒ ගැන තවදුටත් හොයල බලන්න කියා. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ නැහැ. අර බටහිර විද්‍යාව කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක වෙන ක්‍ෂෙත්‍රය නම් තාරකා විද්‍යාව විද්‍යාවක් නො වෙයි. මා විද්‍යාඥයකු වීමට නොහැකි වූ බව කියන්නෙ පඬිනැට්ටන් තම විද්‍යාව පිළිබඳ නිර්වචනය අනුව තාරකා විද්‍යාව විද්‍යාවක් ලෙස ගණන් ගන්නෙ නැති නිසා නො වෙයි. ඒ කොහොම වෙතත් බානෝති යෝජනාව ගැන මා හොයන්න පටන් ගත්තා.

 

පර්යේෂණ කරන්න මට කොහොමත් බැහැ. මට ඒ සම්බන්ධ හැකියාවක් නැහැ. භෞතික විද්‍යා පරයේෂණවල මා පරයේෂණ කර ප්‍රතිඵල ලබාගෙන ප්‍රස්තාර ඇන්දෙ නැහැ. මා ප්‍රවාදය අනුව ප්‍රස්තාරය ඇඳ ඉන්පසු ප්‍රස්තාරයෙන් ප්‍රතිඵල ලබා ගත්තා. රසායන විද්‍යාවෙ නම් මා දැන සිටියෙ මිශ්‍රණයක කොපර් සල්ෆේට් හඳුනාගැනීමට පමණයි. ඒ පාටින්. නිල් පැහැයෙන්. විෂ්ණු දෙවියන් හා කොපර් සල්ෆේට් අතර සම්බන්ධයක් තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. තාරකා විද්‍යාවෙ මා කිසි දා දුරේක්‍ෂයකින් වස්තු නිරීක්‍ෂණය කරලා නැහැ. පඬිනැට්ටන්ට අනුව නම් මා විද්‍යාවක් කර නැහැ.

 

මේ ලිපිය කියවන ශිෂ්‍යයන් මා අනුගමනය කළ යුතු නැහැ. ඔය තරුණයන් මා මැන්ටලයක් මෝඩයෙක් කියා කියන්නෙ. ඉතින් එවැන්නකු අනුගමනය කරන එක හොඳ නැහැ. ක්වේසාර ගැන මා කෙළේ එලෙස ප්‍රතිබිම්බ සෑදීමට තරම් පද්ධති විශ්වයේ තියෙනවා ද කියා ගණනය කිරීමයි. එය එතරම් අමාරු වැඩක් වුණෙ නැහැ. විද්‍යාව හදාරපු ඕනෑම අයකුට එය කරන්න පුළුවන්. එහෙත් ඒ අධ්‍යයනය මගේ හිතට ඇල්ලුවෙ නැහැ. පඬි නැට්ටන්ට මේ ඕනෑම අයකුට කරන්න පුළුවන් කියන එක තේරෙන එකක් නැහැ. ඔවුන්ට ඒ කිසිවක් ගැන හිතා ගන්නවත් බැහැ. කිරීම පැත්තකින් තියන්න.

 

ක්වේසාර ගැන අධ්‍යනය කරන අතර මා තවත් අධ්‍යයනයක් පටන් ගත්තා. ඒ භ්‍රමණය කියන්නෙ මොකක් ද කියල තේරුම් ගන්න. මා අද කියන විධියට නම් තේරුම් ගන්නවා කියන්නෙ සුදුසු කතන්දරයක් හැදීම. අපි හිතන් හිටියට අපට සරල රේඛාවක වේගය වෙනස් නොකර ගමන් කිරීම  (ත්වරණයක් රහිත චලනය) හා ත්වරණයක් සහිත ව ගමන් කිරීම හරි වක්‍රයක ගමන් කිරීම හරි අතර වෙනස තේරෙනවා කියල අපට ඒ ගැන සුදුසු කතන්දරයක් තවම නැහැ.

 

නිවුටන් කියල තියෙනවා බලයක් යෙදුවෙ නැත්නම් වස්තුවක් (අංශුවක්) සරල රේඛාවක ඒකාකාර ව ගමන් කරනවා කියල. ඒත් ඒ අර අවස්ථිති සමුද්දේශ රාමු කියන ඒවට සාපේක්‍ෂ ව. ඔය අවස්ථිති සමුද්දෙශ රාමු හොයා ගන්න එක තමයි ලොකු ම ප්‍රශ්නය.  ඒවා ඉන්ද්‍රිය ගෝචර නැහැ.  සුප්‍රසිද්ධ වියනා කතාවෙ හිටිය අර්නස්ට් මාක් කියල තියෙනවා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කරන්න ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගන්න එපා කියල. මාක් ගැන මගේ ලෝකයේත් ඇති. ඔහු බෞද්ධයකු ලෙස ජීවත්වන්න උත්සාහ කළ බවත් ගාල්ල පැත්තෙ හාමුදුරුනමක් සමග ලිපි හුවමාරු කළ බවත් කියනවා. කවුරු හරි ඒ ගැන විස්තර හොයනව නම් හොඳයි.                

 

මාක්ල යථානුභූතිවාදයෙ (positivism) පියවරු. ඔහුගෙ කතාව තරුණ අයින්ස්ටයින්ට බලපෑවා. අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් බලාපොරොත්තු වුණෙ අර අවස්ථිති සමුද්දේශ රාමු ඉවත් කරන්න. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නෙ අවස්ථිති සමුද්දේශ රාමුවලට සාපේක්‍ෂ ව. සමහරු හිතන් ඉන්නවා උස ගොඩනැගිල්ලක ජනේලකින් පැන්නොත් ගුරුත්වාකර්ෂණ බලය දැනෙනවා කියල. අයින්ස්ටයින්ට අනුව නම් එහෙම බලයක් දැනෙන්නෙ නැහැ.

 

අප දැන් පොළොව හිටගෙන ඉන්න කොට හරි ඇවිදින කොට හරි තමයි ඊනියා බලයක් දැනෙන්නෙ. මෙහි දී සිදුවන්නෙ පොළොව නිසා අප පහතට යෑම වැළකීම. එතනදි බලයක් යොදන්න ඕන. ඒ බලය යොදන්නෙ පොළොව. පොළොව නැත්නම් අප නිදැල්ලෙ වැටේවි. වැටේවි කියන සංකල්පය නිසා වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත් නිවුටන්ගෙ බලය නිසා ත්වරණ ඇතිවන්නෙ අවස්ථිති  සමුද්දේශ රාමුවල.

 

අපි මෝටර් රථයක ගමන් කරන විට කෙලින් පාරෙ එක ම වේගයෙන් රථය යනව නම් අපට බලයක් දැනෙන්නෙ නැහැ. ඒත් රියැදුරා තිරිංග තද කරලා වේගය වෙනස් කළොත් හරි වංගුවක් ගන්න කොට හරි අර වේගය (ප්‍රවේගය) වෙනස් වීම නිසා අපට බලයක් දැනෙනවා. ඒ අපි අර සමුද්දේශ රාමුව වෙනස් කිරීම නිසා සිදුවෙන දෙයක් ? අපි කලින් හිටියෙ අවස්ථිති සමුද්දේශ රාමුවක ද? අවස්ථිති සමුද්දේශ රාමුවක් කියන්නෙ මොකක් ද? ඒක නිර්ණය කෙරෙන්නෙ කොහොම ද?

 

මේ වගේ තවත් ප්‍රශ්න මට තිබුණා. තවමත් තියෙනවා. මා සසෙක්ස් ගියෙ එවැනි ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒ නිසා මා මහාචාර්ය මැක්‍රේ දුන්න ගැටළුව අධ්‍යයන කරන අතර ම භ්‍රමණය පිළිබඳ ප්‍රශ්නයටත් අත ගැහුවා. ඒකට මට හරි උත්තරයක් දෙන්න බැරි බව තේරුණා. තාමත් බැහැ.  විද්‍යාඥයන් කියන්නෙ අර ක්වේසාර ප්‍රශ්නය  වගේ ප්‍රශ්නවලට උත්තර දෙන අය නොවෙයි.           

 

 

 



ණයට ගිතෙල් කෑ අපි

 අපි ණයට ගිතෙල් කන්නෙ නැහැ. ලංකාවට වෙච්ච දේ බංග්ලාදේශයට වෙන්නෙ නැහැ - 

බංග්ලාදේශ් අගමැතිණිය

Tuesday, 30 August 2022

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල්ගෙ පුංචි අයවැය

 

රනිල් වික්‍රමසිංහ අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ආර්ථික අර්බුදයේ තරම ඇතැමුනට නොතේරෙන බවයි. ඒක ඇත්ත. ඒත් ප්‍රශ්නය එයට වඩා බරපතළයි. අපට වුවමනා මොකක් ද කියල අප වටහා ගෙන තිබෙන්නේ වැරදි දෙයක්. අපේ අය නිතර ම කතා කරන්නේ දියුණු රටවල්වල මෙහෙමයි, අරෙහෙමයි ආදී වශයෙන්. වයස අවුරුදු තිස්පහක් පමණ වන තෙක් මගේ ද මූලික කතාව වුණේ එයයි. අප උත්සාහ කෙළේ පුංචි දියුණු රටක් වෙන්න.

නිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල

 

නිවටයන්ගේ පාරාදීස වූ විශ්වවිද්‍යාල

 

පේරාදෙණිය හා කොළඹ එක ම විශ්වවිද්‍යාලයක් ලෙස 1969 වන තුරූ පැවතුණා. ඒ අවුරුද්දේ කොළඹ වෙන ම විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරුණා කොළඹ විශ්වවිද්‍යාලය නමින්. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙස පැවතුණා. කොළඹ වෛද්‍ය පීඨයෙන් එයට දැඩි විරුද්ධතාවක් පැන නැගුණා. ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර ව පිළිගත් උපාධිය ලංකා විශ්වවිද්‍යාලයේ උපාධිය බැවින් විශේෂයෙන් ම එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ වෛද්‍ය ආයතනවල (විද්‍යාලවල) පරීක්‍ෂණවලට පෙනී සිටීමේ දී ඔවුන්ට පාඩුවක් වන බවයි. ඔවුන්ද ලංකා විශ්වවිද්‍යාල නම ඉල්ලා සිටියා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නම ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ ලෙස වෙනස් කෙරුණා.

Monday, 29 August 2022

ගණිත විශේෂ පාඨමාලාව

 

ගණිත විශේෂ පාඨමාලාව

 

මේ ලිපි කියවන ඇතැමුන් සිතන්නේ මා පොරක් බව පෙන්වීමට බොරු ලියන බවයි. මට කිසිවකුට මා පොරක් බව පෙන්වීමට අවශ්‍ය නැහැ. එමෙන් ම මට කිසිවකුවත් සතුටු කිරීමට වුවමනාවකුත් නැහැ. මේ ලිපි පෙළින් කියන්න අදහස් කරන්නේ මට ලංකාවේ දී බටහිර මට්ටමෙන් දක්‍ෂතා තිබුණ ද බටහිර දී බටහිර මට්ටමින් ඇතැම් දක්‍ෂතා නොතිබුණු බවයි. ඒ දක්‍ෂතා අදක්‍ෂතා ලිපි පෙළෙන් හෙළි වේවි. යමකුට මේ ලියන දේ සම්මත අර්ථයෙන් ඇත්ත ද බොරු ද කියා මා සමග පාසලේ දී හරි විශ්වවිද්‍යාලයේ දී හරි ඉගෙන ගත් අයගෙන් දැනගන්න පුළුවන්. මෙහි නම් සඳහන් ගුරු මහත්ම මහත්මීන් නම් මේ වන විට මිය ගිහින්.

Sunday, 28 August 2022

විද්‍යාඥයකු වීමට පිය නැගීම

 විද්‍යාඥයකු වීමට පිය නැගීම


ක්‍රිස්ටි ගුණසේකර මහතා අපෙන් අර්ථදැක්වීම තේරුම් කරන්න, තේරුම් කිරීම අර්ථදක්වන්න කියපු එක අවුරුදු දහහතරෙ සිටි මට යම් කිසි අලුත් වැදගත් කතාවක් වුවත් අපේ පන්තියේ හිටි අය ඒ ගැන එතරම් තැකීමක් කෙළේ නැති බව මට අවුරුදු ගණනාවකට පස්සේ තේරුම් ගියා. ඔවුන්ට ඒ කතාව ගැන මතකයක් තිබුණෙ නැහැ. එහෙත් ඒ කතාව මගේ හිතේ රැඳුනා. එය මට තේරුම් ගියේ ඊට අවුරුදු විසිපහකට පමණ පස්සෙ. මා හිතන්නෙ නැහැ ක්‍රිස්ටි ගුණසේකර මහතා ඒ කතාව මා තේරුම් ගත් ආකාරයෙන් කියන්න ඇති කියා. ඔහු ඒ කියන්න ඇත්තේ අපට තේරුම් ගැනීම අර්ථදැක්වීම ආදිය ගැන කීමට වෙන්න පුළුවන්. මා කර ඇත්තේ එයට වෙන ම අර්ථකථනයක් දීමයි. ඒ කුමක් වුවත් ඒ කතාව මට මතක හිිටියේ එහි කුමක් හරි වදගත්කමක් ඇති බව වැටහුණු නිසා වෙන්න ඕන.

Saturday, 27 August 2022

පොරක් නොවූ පොරක්

 

පොරක් නොවූ පොරක්

 

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ලන්ඩන් ගිය විට නැවතුණේ මා මිත්‍ර බන්දුල රාජරත්න නැවතී සිටි ගෙදර. එහි සිටියේ පකිස්ථාන සැමියකු හා ඉන්දීය භාර්යාවක්. සැමියා මුස්ලිම් භාර්යාව හින්දු. ඔවුන්ට කුඩා දියණියන් දෙදෙනකු හිටියා. ලන්ඩනයේ තවත් මිතුරන් කිහිප දෙනකු හිටියා. බර්ටි ප්‍රනාන්දු, මුදුන්කොටුව. නලින්ද සල්පදෝරු එවකට හිටියේ මැන්චෙස්ටර් කිට්ටුව සොල්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. අප ඔහු හමුවීමට දිනක් එහි ගියා. එයට අමතර ව තවත් අය හිටියා. බන්දුල අද ජීවතුන් අතර නැහැ. මගේ ඥාතීන් කිහිප දෙනකුත් හිටියා. එහෙත් මා එකල ඩග්ලස් වික්‍රමරත්න දැනගෙන හිටියේ නැහැ. එකල මා ජාතිකවාදියකු නොවෙයි. කෙසේ වෙතත් මසකට වරක් ලන්ඩන් යෑම මා බලා හිටි ගමනක්.