Main Logo

Thursday 9 June 2011

රජරට වකුගඩු රෝගය වැළඳී මියගිය බටහිර විද්‍යාව

බටහිර විද්‍යාව පිළිබඳ මගේ විචේචනය ඇරඹී දැනට අවුරුදු විසිපහකට වැඩිවෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු දැනටමත් ලියැවී ඇති අතර ඉදිරියේ දී තවත් දේ ලියැවෙනු ඇත. මේ දිනවල මේ සම්බන්ධයෙන් ලියැවෙන කරුණු විදුසර පුවත්පතෙහි පළවෙයි. අද අප පාලනය කෙරෙන්නේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාව වටා නිර්මාණය වී ඇති බටහිර දැනුම් පද්ධතියෙනි. බටහිර විද්‍යාව ලෝකයේ අධිපතිවාදී දැනුම බවට පත්වූයේ එහි ඇති විශේෂිත ගුණයක් නිසා නොව බටහිර දේශපාලන ආධිපත්‍යය නිසා ය. අපට ඉතා පොහොසත් නිල වෙදකමක් ඇති නමුත් එයට තැනක් නැත. අපේ පැරණි හෙළ නිල වෙදකම සමග සංසන්දනය කරන කල අඟුටුමිට්ටකු වැනි වූ බටහිර වෛද්‍ය විද්‍යාවට අද මහේශාඛ්‍ය තත්වයක් ලැබී ඇත්තේ හුදෙක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් ය. අපේ හෙළ ගොවිකම ද පසෙකට දමා අපට ආසනික්, රසදිය අ්දී වස කවන ඊනියා කෘෂිකර්මය අපේ කරුමයක් බවට පත්කර ඇත්තේත් බටහිර දේශපාලන ආධිපත්‍යය විසිනි. මේ මහේශාඛ්‍ය බව රැකගැනීම සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවියක් වී ඇත්තේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නමැති පට්ටපල් බොරුව ඔස්සේ බටහිරයන් අපේ දැනුම් මිථ්‍යා බවට පත්කර ඇත. අපි මේ බව නොයෙකුත් අවස්ථාවල කියා ඇත්තෙමු. අපට පසුගිය දා මේ බොරුව බටහිරයන්ගේ බසින් ම, එනම් ඊනියා පර්යේෂණ මගින් ම සනාථ කිරීමේ අවස්ථාව එළඹිණි. ඒ සමග නෛසර්ගික පරස්පර හා අපේ කරුණු දැක්වීම් හමුවෙහි මෙතෙක් පණ අදිමින් සිටි බටහිර විද්‍යාව මිය ගියේ ය.

අපේ දැනුමේ පදනම ආධ්‍යාත්මික ශක්තිය බව අපි දැන් අත්දැකීමෙන් ම දනිමු. අවුරුදු ගණනක් ඉතා විශාල මුදලක් වැයකර බිහිකරණ හෘදය රෝග විශේෂඥයන්ට වඩා සමත් වෙදමහත්වරුන් ආධ්‍යාත්මික ශක්තියෙන් මාස කිහිපයකින් බිහිකර ගත හැකි බව අද අපි දනිමු. මේ සියළු විස්තර එක් තීරුවකින් කියා නිමකළ හැකි නො වේ. එහෙත් ඕනෑම අයකුට එවැනි වෙදමහතකු වියහැකි යැයි මෙයින් නො කියැවෙයි. බටහිර වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට ඕනෑම අයකුට නොහැකිවාක් මෙන් අපේ හෙළ නිල වෙදකම ඉගෙනීම ද ඕනෑම අයකුට කළ හැකි නො වේ. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතු ය. පස්පව්වල ගිළී සිටින අයකුට හෙළ නිල කම කිසි ලෙසකින්වත් නො පිහිටනු ඇත. මෙය අරක්කු බී මස් කා ගිනි පෑගී යැයි කියන ආකාරයෙන් කළහැකි යැයි සිතන පඬියකු වේ නම් හැකි නම් ඒ අයුරින් හෙළ නිල වෙදකම ඉගෙන ගන්නා ලෙසට අභියෝග කරමු.

බටහිර විද්‍යාව යනු ඉතිහාසයේ එක් යුගයක එක් ප්‍රදේශයක බිහිවූ දැනුම් පද්ධතියකි. එහි මුල ඇත්තේ බටහිර භෞතික විද්‍යාව ය. එබැවින් ම බටහිර විද්‍යාවන් අතර වඩාත් ම වර්ධනය වී ඇත්තේත් බටහිර භෞතික විද්‍යාව ය. බටහිර රසායන විද්‍යාව ද ජෛවීය විද්‍යාවන් ද සමාජයීය විද්‍යාවන් පමණක් නොව සාහිත්‍ය විචාරය ද අවසානයේ දී බොහෝ දුරට බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය සුසමාදර්ශය මත පදනම් වන අතර එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත රැඳෙයි. බටහිර භෞතික විද්‍යාවේ සුසමාදර්ශ කිහිපයක් වෙතත් බටහිර රසායන විද්‍යාව හා ජෛවීය විද්‍යා තවමත් නිව්ටෝනීය සුසමාදර්ශය මත පමණක් පදනම් වෙයි. නිව්ටෝනීය සුසමාදර්ශය තමන්ට නොගැලපෙන බව අත්දැකීමෙන් ම හඳුනාගත් බටහිර ඇතැම් සමාජ විද්‍යා ක්වොන්ටම් සුසමාදර්ශය වෙත යනු පසුගිය දශක කිහිපයක කාලයෙහි අපි අත්දුටුවෙමු. ඊනියා පශ්චාත්නූතනවාදී අදහස්වල පසුබිමෙහි ඇත්තේ ක්වොන්ටම් සුසමාදර්ශය ය. එහෙත් ඒ සුසමාදර්ශයෙහි න්‍යාය සමග පෑහීමට බටහිරයන්ට නොහැකි වී ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව, භෞතික රසායන හා ජෛවීය විද්‍යාවන්හි ව්‍යවහාරික විද්‍යා හා තාක්‍ෂණවේදයන් පමණක් වෙයි. මේ අතර පරිගණක විද්‍යාව ආශ්‍රිත ව බිහි වී ඇති දැනුම් පද්ධතිවල බටහිර විද්‍යාවට පරිබාහිරව ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වයක් යථාර්ථයක් වියුක්තයක් ගැන සඳහන් වුව ද පෞද්ගලිකකරණය ලෙස හැඳින්විය හැකි කස්ටමයිස්කිරීම යන්නෙන් කියැවෙන්නක් පරිගණක ක්‍ෂෙත්‍රයෙහි අද දක්නට ලැබේ.

ක්වොන්ටම් භෞතිකයෙහි සුසමාදර්ශය ද චින්තනය ද නිව්ටෝනීය සුසමාදර්ශයට මෙන් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ද පටහැණි ය. අයින්ස්ටයින් විද්වතා වැන්නන් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවූයේත් ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ පද්ධතියක් ලෙස හැඳින්්වූයේත් එබැවිනි. අද බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් පමණක් නොව බටහිර භෞතික විද්‍යාඥයන් ද මහත් වෙර වෑයමක් දරන්නේ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී රාමුවෙහි තබා ගැනීමට ය. බටහිර විද්‍යාවෙහි ඇත්තේ ඉමහත් පරස්පර ය. මේ පරස්පර එකින් එක විදුසර පුවත්පතෙහි විස්තර කෙරෙයි. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර අනුභූතියක් ගැන කතාකරන නමුත් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට බටහිර විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම සුලභ කටයුත්තක් බවට පත් වී ඇත. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය වූව ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ප්‍රවාද පමණක් නොව ඉලෙක්ට්‍රෝන අවස්ථිති රාමු ආදිය ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. බටහිර විද්‍යාවෙහි මේ පිළිබඳ ප්‍රශ්න කළේ ඕස්ට්‍රියානි ජාතික භෞතික විද්‍යාඥ්‍රකු හා දාර්ශනිකයකු වූ අර්නස්ට් මාක් විද්වතා ය. ඔහු ඊනියා ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියෙක් විය. එහෙත් බටහිර බිහිවන අනෙක් මතවාද, දර්ශන ආදිය මෙන් ම ඉන්ද්‍රියානුභූතවාදය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හිර වී ඇත.

අපේ දැනුම පොතපතෙහි ලිවිය යුතු දැනුමකට වඩා ආධ්‍යාත්මික ව ම ලබාගත යුතු දැනුමකි. පැරණි සිංහලයන්ගේ දැනුම පොත්පත්වල සඳහන් නොවන්නේ එබැවින් විය හැකි බව අපි කියා ඇත්තෙමු. ආධ්‍යාත්මික ව දියුණු වූ අයට පංචෙන්ද්‍රිය වසා සිත එක් අරමුණකට යොමු කිරීමෙන් දැනුම ලබාගත (නිර්මාණය – - සංස්කරණය කළ) හැකි ය. එසේත් නැතහොත් මෛත්‍රී බුදුන් වහන්සේ ලෙස මතු බුදුවන නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මගින් ඒ දැනුම ලබාගත හැකි ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කිහිප දෙනකු බටහිර වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගි කරගනිමින් එසේ ලබාගත් දැනුම අත්හදා බලා ඇත. අපට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දේවතාවුන්ගෙන් ලබාගත් දැනුමක් වෙයි. බටහිර වෛද්‍යවරුන්ට හා බටහිර රසායනික විද්‍යාඥයන්ට රජරට වකුගඩු රෝගය වැළඳෙන්නේ කෙසේ දැයි කිව නොහැකි විය. ඔවුන්ගේ පර්යේෂණ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන හාරසීයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන් කර ඇතැයි කියැවෙයි. අපේ කණ්ඩායම රජරට වකුගඩු රෝගයට හේතුව රජරට කිවුල් ජලයට කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් එකතු වී ඇති ආසනික් බව හඳුනාගෙන ඇති අතර පළමු වරට කිවුල් ජලයේ ලවණ අතර ඇති ආසනේට් පරීක්‍ෂාකිරීමට ද ක්‍රමයක් යොදාගෙන ඇත. මේ දැනුම් අපට ලැබෙන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් බව නො වළහා ප්‍රකාශ කරමු. අපේ සියළු පර්යේෂණ සඳහා තවමත් රුපියල් ලක්‍ෂ තුනක් වියදම් වී නැති බව අවධාරණය කරන්නේ මෙරටට ණය ලෙස ලැබෙන මුදල් ගසාකන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බව ප්‍රකාශ කිරීමට ය. මුදල් ගසාකන්නන් අතර ඇතැම් නිලධාරීහු ද ඊනියා උගත්තු ද වෙති.

බටහිරයෝ නොපෙනෙන දෙවියන් නැතැයි අපට කීහ. එහෙත් ඔවුහු එක් දෙවියකු ඉතිරිකර ගත්හ. මෙරට අනුකාරක පඬියෝ ද දෙවියන් නැතැයි කීහ. ඔවුන්ට බටහිරයන්ගෙන් තාන්නමාන තනතුරු ලැබිණි. මේ පඬියන් අතර ඊනියා බුද්ධිවාදී හේතුවාදී බෞද්ධයෝ ද වූහ. ඔවුහු දෙවියන් හින්දු ගොඩට තල්ලු කර දැමූහ. එහෙත් ඔවුන්ට මහාමංගල සූත්‍රය දේශනාකිරීමට නිමිත්ත වූ අඤ්ඤතරා දේවතා අමතක විය. නොපෙනෙන දෙවියන් නැතැයි කියන පඬියෝ නොපෙනෙන ඉලෙක්ට්‍රෝන ඇතැයි කියති. මොවුන් බටහිරයන් ඉදිරියේ එසේ කරන්නේ කකුල් අස්සේ නගුට ගසාගත් සුනඛයන් මෙනි. සුනඛයන්ට මස්ලේ නැති ඇටකටු ලැබෙන්නාක් මෙන් පඬියන්ට ද එතරම් සරු නැති ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව ලැබෙයි. සංසාරය, කර්මය, ප්‍රතික්‍ෂෙප කරන ඊනියා මහා ලේඛකයන් ප්‍රාඥයන් සාහිත්‍ය කරුවන් සිටි හා සිටින රටක තවමත් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් සිටින්නේ බටහිර කසිකබල් උගතුන්ගේ පිනට නොව මෙරට අසරණ අහිංසක ගැමියන් බටහිර දැනුමට යට නොවීමට ගත් උත්සාහයට පින් සිදුවන්නට ය. පඬියන් දන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය පමණකි. එහෙත් බුදුදහම මේ ද්විකෝටිකය ඉක්මවා යයි. ද්විකෝටිකයෙන් පුනබිභවය තේරුම් ගන්නට උත්සාහ ගන්නා තැනැත්තා තනි අතින් අප්පුඩි ගැසීමට සැරසෙන්නෙකි. දෙවියන්ගෙන් දැනුම ලබාගන්නේ යැයි කී විට කැලණිය විශ්වවි්‍යාලයේ හා වෙනත් විශ්වවිද්‍යාලවල ඇතැම්හු අපට නැති තැන සිනාසුනහ. අප දේවාල තනන්නේ යැයි කීහ. එහෙත් මෙරට විද්‍යාඥයන් යනු සුද්දා කියා දී ඇති ආකාරයට නියැදි එකතුකරන්නන් හා එකතු කළ නියැදි සුද්දාගේ පොතට අනුව පරීක්‍ෂණවලට ලක්කරන්නන් පමණක් බව අපි දනිමු. හැරත් මේ බොහොමයක් ඊනියා විද්‍යාඥයන් වී ඇත්තේ අහම්බෙනි. මොවුන් තම විෂයට එකතු කර ඇති දැනුම කුමක් ද? නැවත ඉපදී ඇති අපේ දැනුම හමුවේ බටහිර විද්‍යාව මියගොස් ඇත. එහෙත් බටහිර ආධිපත්‍යය මගින් මේ මළ මිනිය තව ටික කලක් ඔවුන්ගේ රසායනික ද්‍රව්‍ය ගිල්වා තබාගනු ඇත. එහෙත් ඒ වැඩි කලකට නො වේ.