Main Logo

Monday 1 August 2011

සයනයිඩ් හා ආසනික්

පසුගිය දා පළාත් පාලන ආයතන සඳහා පැවති මැතිවරණයෙන් උතුරු පළාතෙන් පිට එ ජ නි ස ජයගැනීම ගැන අනාවැකි පළකිරීමේ අවශ්‍යතාවක් නො වී ය. එකම ප්‍රශ්නය වූයේ ඒ ඒ ආයතනයේ සංධානය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය ය. ජාතිකත්වයෙන් ඈත්වූ එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට අද ජනතාවගේ ඡන්දය දිනාගත නො හැකි ය. ඊනියා ධනපති කම්කරු පංති දේශපාලන තවදුරටත් වලංගු නො වේ. කටුනායක ජ වි පෙ විසින් මෙහෙයවනු ලැබූ කම්කරුවන් පිරිසක් පොලීසිය සමග ඇති කරගත් ගැටුම හා අද කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩනැගීමට එ ජා ප හා ජ වි පෙ හිතවතුන් හා අවස්ථාවාදී නිවටයන් දක්වන විරෝධය කම්කරු පංතියේ විප්ලවීය නැගිටීමක් ලෙස අර්ථදැක්වීමට තැත්කරන ඇතැම් සම්ප්‍රදායික මාක්ස්වාදීන්ට ජාතිකත්වය තව තවත් තහවුරු වෙමින් පවතින බවත් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක්වන බවත් නොපෙනනු ඇත. පසුගිය දා පැවති මැතිවරණය වැදහත් වන්නේ උතුරෙන් පිට පළාත්වල ජයග්‍රහණය නිසා නොව උතුරු පළාතේ දෙමළ ජනතාව ද එ ජ නි ස වටා රොක්වීම හේතුකොටගෙන ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සයනයිඩ් දේශපාලනය පරාජය කිරීම යනු කොටින් පැරදවීමක් පමණක් නො වේ. ඒ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කිරීමකි. අද අවශ්‍ය වන්නේ එය පළාත්පාලන සභාවල හා ව්‍යවස්ථාදායකයෙහි නිරූපණය කිරීමකි. උතුරු පළාතේ ජනතාව තමන් එයට සූදානම් බව පෙන්වා දී ඇත. පළාත් පාලන ආයතන කිහිපයක බලය එ ජ නි සංධානයට ලැබීම සුළුවෙන් තැකිය යුත්තක් නො වේ. උතුරු පළාතේ ජනතාව තවමත් දෙමළ ජාතික සංධානයට හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට යම් ප්‍රමාණයකට ආකර්ෂණය වන බව පැහැදිලි ය. එහෙත් කයිට්ස් හා වෙනත් ප්‍රදේශවල එ ජ නි ස ජයග්‍රහණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ දෙමළ ජාතිවාදී දේශපාලනය පළාත්පාලන ආයතනවල නිරුපණයවීම අඩුවෙමින් පවතින බව ය. උතුරු පළාතේ ජනතාවට ඊනියා ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය ව තිබිණි නම් ඔවුන් එක් ආයතනයකවත් ජයග්‍රහණය එ ජ නි සංධානයට හිමි නොකරණු ඇත. එහි ජනතාවට අද අවශ්‍ය වන්නේ ඊනියා බලය බෙදීමක් නොව යම් මාදිලියක සංවර්ධනයකි. එ ජ නි ස තව තවත් උතුරු පළාතෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගත යුතු ව ඇත. ඒ නායකයන් ප්‍රාදේශීය සංස්කෘතිය හඳුනන එයට ගරු කරන පුද්ගලයන් වීම අනිවාර්ය වෙයි. උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ප්‍රාදේශීය නායකයන් බිහිකර ගැනීම වැදගත් වෙයි.

ප්‍රභාකරන්ගේ සයනයිඩ් මෙන් ම මෙරටට වස විස අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කරන සමාගම්වල ආසනික් ද රටට අහිතකර ය. අද රජරට වකුගඩු රෝගයෙන් වැඩි වශයෙන් ම මියයන්නේ එදා කොටි කටේ ජීවත් වූ ජනතාව ය. මේ ප්‍රදේශ අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ ම සිංහල සංස්කෘතියේ හදවත විය. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කණ්ඩායම විසින් අනාවරණය කෙරී මාස දෙකක් පමණ වෙයි. රජරට ජලයට ආසනික් මිශ්‍ර වී ඇත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය ඔස්සේ ය. ඒ ජලයෙහි මෙන් ම පලිබෝධනාශක රාශියක ද ආසනික් ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පවසන්නේ ද ඒ පිළිබඳ පරීක්‍ෂණ කිරීමෙන් පසුව ය. අපට ඒ හෝඩුවාව ලැබුණේ නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙන් වුව ද අපේ කණ්ඩායම බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසුව පමණක් ජනතාවට තොරතුරු සැපයීය. එසේ නොවන්නට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙනත් ආයතනයක් ලවා කෘමිනාශක වර්ග කිහිපයක ආසනික් ඇත්දැයි පරීක්‍ෂා නොකරනු ඇත. කැලණිය කණ්ඩායමට පින් සිදුවන්නට අද කෘමිනාශක වර්ග නවයක් තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර කෘමිනාශක අඩංගු බහාලුම් දොළහකට වැඩි ප්‍රමාණයක් වරායේ රඳවා තැබීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන ඇත. කැලණිය කණ්ඩායම තම පරීක්‍ෂණවල ප්‍රතිඵල ජනතාව හමුවේ නොතබන්නට මේ කිසිවක් සිදු නොවනු ඇත. ඒ ඒ ද්‍රව්‍යයෙහි අඩංගු විය හැකි ආසනික් සඳහා අවම ප්‍රමාණයක් රජය ලවා නියම කරවා ගැනීමට වස විස වෙළෙන්දන් සූදානම්වන බව පෙනෙයි. එයට කිසිම ඉඩක් දිය යුතු නො වේ. ආසනික් සිරුරෙහි ටික ටික එකතු වී මහා විනාශයක් සිදු කිරීමට ඉඩ ඇත.

සයනයිඩ් දේශපාලනය පිටුපස ඊනියා උගත්තු සිටියහ. රාජ්‍ය නොවන සංවිධානවල මෙන් ම ඊනියා ජාතික විශ්වවිද්‍යාලවල ද එවැනි සංවිධානවලින් ලාභ ප්‍රයෝජන ලැබූ බටහිර ගැති නිවට උගත්තු කොටින්ගේ සයනයිඩ් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටියහ. ආසනික් සම්බන්ධයෙන් තත්වය එයටත් වඩා බරපතළ ය. අද ඇත්තේ ආසනික් ත්‍රස්තවාදයකි. ජනතාවට ආසනික් කවන මුදලාලිලා පිටුපස ඊනියා උගත්තු සිටිති. ඔවුහු අර මුදලාලිලා වෙනුවෙන් කතාකරති. සයනයිඩ් ත්‍රස්තවාදයේ දී නිවට උගතුන් ක්‍රියා කළේ ඊනියා මානව අයිතිවාසිකම් වෙනුවෙනි. එසේත් නැත්නම් දෙමළ ජනතාවට කෙරෙන්නේ යැයි කී ඊනියා අසාධාරණ වෙනුවෙනි. අද ආසනික් ත්‍රස්තවාදය වෙනුවෙන් මුදලාලිලාට කඹුරන උගතුන් පෙනු සිටින්නේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙනි. මියගොස් ඇති බටහිර විද්‍යාවක් වෙනුවෙනි. බටහිර විද්‍යාව මියගොස් ඇති බව හා බටහිර ගණිතයේ පදනම කුණු වී ඇති බව මේ උගත්තු නොදනිති. එහෙත් බටහිරයෝ තම දේශපාලන බලය යොදාගනිමින් බටහිර විද්‍යාවේ අවතාරය මහේශාඛ්‍ය ආකාරයකින් ඔසවාගෙන යති. ඒ සමග ඒ අවතාරය යොදා ගනිමින් දේශපාලන බලය පවත්වාගෙන යති. එය චක්‍රීය ආකාරයකින් සිදුවන බව ඇරිස්ටෝටල්ගේ කසිකබල් තර්කය පමණක් දත් පඬියන්ට නො තේරෙයි. ආසනික් ත්‍රස්තවාදයේ උගත්තු ද බටහිර ගැති නිවටයෝ පමණක් වෙති. ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. වෛද්‍ය පීඨයකට හෝ ඉංජිනේරු පීඨයකට හෝ ඇතුල්වීමට තරම් ලකුණු නොතිබූ මොවුහු මහන්සි වී පාඩම් කර ඊනියා විද්‍යාඥයන් බවට පත් වී සිටිති. ඔවුහු දර්ශනයේ ඥානවිභාගයේ දැක්වෙන විද්‍යාත්මක විධික්‍රමය නොදනිති. අඩු තරමෙන් ඒ සම්බන්ධයෙන් ශාස්ත්‍ර පීඨවල ඉගෙන ගන්නා උසස් පෙළට තර්කය හා විද්‍යාත්මක විධික්‍රමය හැදෑරූ ශිෂ්‍යයන් පමණවත් නො දනිති. මේ පඬියන් දන්නේ එකම එක විධික්‍රමයක් පමණකි. ඒ අහවල් ආකාරයෙන් බීකරය සෝදන්න. අහවල් ආකාරයෙන් අම්ලයක් එකතුකරන්න. අහවල් උෂ්ණත්වයට රත්කරන්න ආදී වශයෙන් කියැවෙන සූපශාස්ත්‍ර විධික්‍රමයකි. ඔවුහු තාක්‍ෂණ ශිල්පීහු පමණක් වෙති. බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ බටහිර විද්‍යාව වර්ධනය අනන්‍ය බව කියා එහි ආධිපත්‍යයක් ඇතිකිරීමට විද්‍යාත්මක විධික්‍රම ඇතැයි පැවසූහ. පෝල් ෆෙයරාබන්ඩ් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි පැවසී ය. අප විසින් මේ දැනුම තවත් වර්ධනය කෙරී බටහිර විද්‍යාවට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය වෙනත් දැනුම් පද්ධතීන් මෙන් ම යම් සංස්කෘතියක (යුදෙව් ක්‍රිස්තියානි) යම් චින්තනයක් (ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි) පදනම් කරගෙන නිර්මාණය කෙරී ඇති බවත් පැවසෙයි. මේ කිසිවක් නොදත් බටහිර ගැති නිවටයෝ අපේ කණ්ඩායමේ විධික්‍රමය නොකියන්නේ යැයි අපට චෝදනා කරති. ඒ ක්‍රමය දැනටමත් වාචික ව ප්‍රකාශ කෙරී ඇති අතර ඉදිරි කාලයේ දී ලිඛිතවම ප්‍රකාශ කෙරෙනු ඇත. රජරට වකුගඩු රෝගය බත්කෑම නිසා ඇතිවන්නක් නොවන බව අප පුන පුනා කියද්දීත් මොවුහු රජය අප කෙරෙහි කළකිරවීමේ අදහසින් හාල්්වල ආසනික් ගැන කතාකරති. අපේ තර්කවලට පිළිතුරු දීගත නොහැකි වූ විට ඔවුහු අවලාද නගති.

කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසික්කිතයෙක් මගේ දරුවන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගත් බවට චන්ද්‍රිකා ද නැගූ චෝදනාව නැවතත් නගයි. ඒ දරුවන් ප්‍රථම උපාධිවලට බටහිර රටවල ඉගෙනීම ලබා ඇත්නම් අදාළ විශ්වවිද්‍යාල නම්කරන ලෙස අසික්කිතයාට අභියෝග කරමි. කොළඹ සරසවියේ ආචාර්ය ආර් ඩී ගුණරත්න කියා තිබුනේ මා ගණිතඥයකු මිස විද්‍යාඥයකු නොවන බවකි. ඔහු වැරදි ය. මම ගණිතඥයෙක් ද නො වෙමි. මම ඒ බව දනිමි. එහෙත් ඔහු තමා තාක්‍ෂණ ශිල්පියකු මිස විද්‍යාඥයකු නොවන බව නො දනියි. මම බටහිර විද්‍යාව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ මෙවළමක් බව කියමි. ඔහු මා සමග සංවාදයකට එළඹෙන්නේ නම් ඒ බව පෙන්වා දෙමි. බටහිර විද්‍යාව එලෙස හැඳින්වීම ගැන ඔහු උරණ වෙයි. බටහිර විද්‍යාවට එසේ නොකියා පෙරදිග විද්‍යාව යැයි කියන්න ද? අඩුම තරමින් ඉහත ඡෙදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට ඔහුට හැකිනම් එය බටහිර විද්‍යාව වන්නේ ඇයි දැයි වැටහෙනු ඇත. ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයෙකි. මා ඒ සංගමය අධිරාජ්‍යවාදීන් නියෝජනය කරන භයානක ආයතනයක් බව පවසන්නේ යැයි ඔහු කියයි. මා එසේ කියා නැත. ඒ සංගමයට එවැන්නක් කිරීමට තරම්වත් ශක්තියක් නැත. එයට කළ හැක්කේ බටහිර විද්‍යාවට ගැතිකම් කිරීම පමණකි. ඔහු නොදනිතත් අපේ විද්‍යාවට දෙවියන් සහභාගි කර ගැනීමට හැකි ය. නිව්ටන්ගේ අධ්‍යයනයන් බටහිර ක්‍රිස්තියානි දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ කෙසේ ද යන්න දැනගැනීමට කෙරුණු බව ආචාර්ය ගුණරත්න නොදන්නේ ද? දෙවිවරුන් පත්‍රිකාවල කතෘන් වීමට අකමැති වීදැයි ගුණරත්න පඬිතුමා සාවඥ ලෙස අසයි. අප එසේ සඳහන් කළහොත් විද්‍යාභිවර්ධන සංගමය ඒ පත්‍රිකාව පිළිගන්නේ ද? මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් අඩු තරමෙන් නාථ දෙවියන් ඇති බව විශ්වාස නොකරතියි මේ තාක්‍ෂණ ශිල්පියා පවසයි. ඔහු ඒ බව දැනගත්තේ කිනම් විධික්‍රමයකින් ද? සිංහල බුද්ධාගමට පහර දීමට විවිධ ලෝගුකාරයන් කරළියට එන බවට ඔහු සාධකයකි. බෞද්ධ දෙවියන් සමග ගනුදෙනු කරන්නන් කන්නේ මොනවාදැයි ඔහු අසයි. ඒ බත් මිස බටහිර පිදුරු නොවේ. මා තවමත් විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයකු බව පවසන්නේ උදම් ඇනීමට යැයි ඔහු කියයි. නැත, මා එසේ කියන්නේ හැකිනම් මා අස්කරන ලෙස සංගමයට අභියෝග කිරීමට ය. සයනයිඩ් ත්‍රස්තවාදය පරාජය කළවුන්ට ආසනික් ත්‍රස්තවාදය පරාජය කිරීම කජ්ජකි.