Main Logo

Saturday 27 August 2011

චැනල් ෆෝ හා ග්‍රීස් යකා

චැනල් ෆෝ හෙවත් බීබීසියේ හතරවැනි නාළිකාව පිටුපස වෙනත් කණ්ඩායමක් නැතැයි නො සිතිය යුතු ය. මේ කණ්ඩායම චැනල් ෆෝ යොදා ගන්නේ එයට එංගලන්තයේ ඊනියා බුද්ධියට කතාකරන අපක්‍ෂපාත නාළිකාවක් ලෙස සළුපිළි පොරවා ඊනියා බිරිතානි ජනතාව ගොනාට අන්දවා ඇති බැවිනි. එංගලන්තයේ හා ඔවුන්ගේ ස්කොට්ලන්තය ආදී අනෙක් යටත්විජිත රටවල ඉතා විශිෂ්ට ගණයේ බුද්ධිමතුන් සිටිය ද, සාමාන්‍ය ජනතාවට එතරම් බුද්ධියක් ඇතැයි කිවනොහැකි ය. ඔවුන් ඇන්දවීම අර බුද්ධිමතුන්ට අමාරු ප්‍රශ්නයක් නො වේ. චැනල් ෆෝ පිටුපස ඇති බලවේග ගැන එතරම් කතානොකළ නමුත් ඒ ගැන කෙටි සටහනක් ලිවීමට කාලය පැමිණ ඇත. අද දිවයිනේ තැන් තැන්වල ග්‍රීස් යක්කු කලබල කරති. මේ ග්‍රීස් යකුන් පිටුපස ද විවිධ බලවේග හා පුද්ගලයෝ වෙති. චැනල් ෆෝ යනු ද ඒ අතින් ගත්කල තවත් ග්‍රීස් යකෙකි.

අද ඇතැම් පොලිස් නිලධාරීන් අකර්මණ්‍ය වී තිබීම ග්‍රීස් යකුන්ගේ පහළවීමට එක් හේතුවකක් වුවත් එය ප්‍රධාන හේතුව නො වේ. ඇතැම් ග්‍රීස් යකකු පෞද්ගලික ආරවුලක් නිසා ඇති වුවත් ග්‍රීක් යකුන්ගේ ආගමනය ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වෙයි. සංවිධානාත්මක ව දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රීස් යකුන් පහළවන්නේ හුදු පෞද්ගලික කටයුතු සඳහා ම නො වේ. සබරගමුවේ ග්‍රීස් යකුන් හා නැගෙනහිර පළාතේ ග්‍රීස් යකුන් අතර වෙනසක් වෙයි. සබරගමුවට වඩා නැගෙනහිර ග්‍රීස් යක්කු කෙලින් ම හමුදා කඳවුරු අස්කිරීම සඳහා වසවර්ති මාරයාගෙන් වරම් ලැබී මෙන් කටයුතු කරති. එහෙත් සියළු ග්‍රීස් යක්කු ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි ජනතාව කළකිරවීම සඳහා ක්‍රියා කරති. ආරක්‍ෂක හමුදා ඉතා සුපරික්‍ෂාකාරීව ග්‍රීස් යකුන් මෙල්ල කිරීමට කටයුතු කළ යුතු වෙයි. විවිධ පුද්ගලයන් ග්‍රීස් යකුන්ගේ සම්ප්‍රාප්තිය උපයෝගී කරගනිමින් නීතිය අතට ගැනීමට පෙළඹී ඇත්තේ බොහෝ තැන්වල පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට මතයක් සමාජයේ ඇති වී තිබෙන බැවිනි. පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට රටේ සාමාන්‍යයෙන් තිබෙන මතය උපයෝගී කරගන්නා ග්‍රීස් යකුන් පිටුපස සිටින්නෝ ජනතාව නීතිය අතට ගැනීමට පොළඹවති. ඒ ඔස්සේ පොලීසිය කෙරෙහි තව තවත් මහජනයා කළකිරවීමටත් පොලිසිය හා ආරක්‍ෂක හමුදා අකර්මණ්‍ය කරවීමටත් පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ සියල්ල පිටුපස නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමේ ප්‍රයත්නයක් ඇති බව පෙනී යයි.

අද චැනල් ෆෝ ක්‍රියාත්මක වන්නේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා ඉදිරිපත්කිරීමටත් එතුමන් හා හමුදාව අපකීර්තියට ලක්කිරීමටත් එමගින් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමටත් ය. ඒ අතර සම්බන්ධන් නම් භයානක දෙමළ ජාතිවාදියා හා ඔහුගේ පක්‍ෂයේ අනෙක් නායකයෝ අවුරුදු පනහක් හැටක් දේශපාලන වශයෙන් ආපස්සට යෑමට සූදානම් වෙති. ඔවුන්ට ද අවශ්‍ය වී ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමට ය. නන්දිකඩාල් යනු හුදු හමුදා ජයග්‍රහණයක් පමණක් නො වේ. එය හමුදා ජයග්‍රහණයක් නිසා ම දේශපාලන ජයග්‍රහණයක් ද වෙයි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග මිස අනෙකක් නො වේ. දේශපාලනය ඡන්දය, සාකච්ඡාව ආදී සිවිල් කටයුතුවලට පමණක් සීමාවන්නේ යැයි යමකු විශ්වාස කරන්නේ නම් ඒ අඳබාලයෙකි. හමුදා ක්‍රියාමාර්ග ද දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. දේශපාලනය මතවාදය සමග ද බැඳී ඇත. මතවාදයක් නැතිව දේශපාලනයක් ක්‍රියාත්මක නො වේ. තමන් දේශපාලනය නොකරන්නේ යැයි කියන ඊනියා බුද්ධිමතුන් තරම් දේශපාලනයෙහි යෙදෙන්නෝ තවත් නො වෙති. අද මෙරට පවතින බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනය, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම, එහි ඇතැයි කියන විධික්‍රම ආදිය වෙනුවෙන් පෙනී සිටින්නෝ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර ගැති දේශපාලනයක යෙදී සිටිති.

නන්දිකඩාල් ජයග්‍රහණය පසුපස සිංහල ජාතිකවාදී මතවාද ද වෙයි. මේ මතවාද අප විසින් නොව දහනවවැනි සියවසේ ද එයට පෙර ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධව සටන්කළ ජාතික වීරයන් විසින් අරඹන ලද්දේ වෙයි. ඒ මතවාද අද වඩාත්ම දැනෙන බටහිර අධ්‍යාපනික ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය වෙයි. මේ දිනවල ඊනියා විද්‍යාවක් පදනම් කරගනිමින් හා අසත්‍ය චෝදනා නගමින් මට විරුද්ධව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් ආයතනවල ද ඊනියා විද්‍යාඥයන් (හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මොවුන් අතින් සංස්කරණය වී ඇති එක සංකල්පයක්, ප්‍රවාදයක් කියන්න) ප්‍රචාරයක් ගෙනගියේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් කථිකාචාර්යවරුන් මට විරුද්ධව උපකුලපතිතුමාට චෝදනා පත්‍ර යවන්නේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් පරාජයට පත්වී ඇති ජ වි පෙ මතවාද රැගත් කණ්ඩායමකට උඩගෙඩි දෙන්නේ ද ජාතික වූ මතවාද පරාජය කිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලි ය. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතිකත්වයට එරෙහිවූවන් එකතු වී සිටින්නේ මා ගෙදර යැවීමට බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල ගුරුවරුන් ගැන බොහෝ දේ කීමට තිබුණ ද මේ ඒ සඳහා අවස්ථාව නො වේ.

චැනල් ෆෝ නාලිකාව ඉමහත් කැපවීමකින් ලංකාවේ සිද්ධි ගැන වාර්තාකරන්නේ එංගලන්තයේ සිදුවන කැරලිවලට ඇතැම්විට දෙවැනි තැන දෙමිනි. එංගලන්තයේ ජනමාධ්‍යවලට ඇතැම් දිනෙක ලන්ඩනයේ ටොට්න්හම් ප්‍රදේශයෙන් ඇරඹි කැරලිවලට වඩා ග්‍රීස් යකා සම්බන්ධ සිද්ධි වැදගත් වෙයි. බීබීසිය අපක්‍ෂපාත ජනමාධ්‍යයක් යැයි අපට කියා දී අප ලවා එසේ සිතීමට පුරුදු කර ඇත්තේ ද බීබීසිය හා ඉංගිරිසින් මිස වෙනත් අයකු නො වේ. බීබීසියේ අගුපිලේ සිටින සංදේශයට ඉඳහිට සවන් දෙන්නකු වුව ද දන්නා කරුණ නම් සංදේශයේ දෙමළ ජාතිවාදී පක්‍ෂග්‍රාහීත්වය ය. බීබීසිය ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස පෙනී සිටිය ද, ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හා ඉන් ජනිතවූ ධනවාදයට, යටත්විජිතවාදයට මෙන් ම ධනවාදයට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කිසිම තර්ජනයක් නැති මාක්ස්වාදයට ද පක්‍ෂපාති වෙති. ඔවුන් විරුද්ධවන්නේ ඔවුන්ට යුදමය වශයෙන් හෝ මතවාදී වශයෙන් හෝ තර්ජනයක් වන්නා වූ සංස්කෘතීන්ට හා චින්තනයන්ට ය.

නන්දිකඩාල් යනු දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අවශ්‍යතාව මත පොන්නම්බලම් රාමනාදන් හා පෙන්නම්බලම් අරුනාශලම් දෙබෑයන් ප්‍රධාන ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානීන් බවට පත්කිරීම සඳහා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන අහිමි කිරීම සඳහා ගෙන යන ලද දේශපාලන ප්‍රවාහයක අවසන් පරාජය ය. එහි විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් ඉංගිරිසි ආණ්ඩුකාරයන්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත. සමස්තයක් ලෙස ද දෙමළ ජාතිවාදීහු චෙල්වනායකම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන සූත්‍රයට අනුව ක්‍රියාකළහ. ව්‍යවස්ථාදායකයේ බහුතරයක් බවට පත්වීම දෙමළ ජාතිවාදීන්ගේ පළමු අභිප්‍රාය විය. ඉංගිරිසින් විසින් ඔවුන්ගේ පැත්තෙන් බැලූ කල ලොකුම මෝඩකම සිදුකළේ ලංකාවට සර්වජන ඡන්දය ලබාදීමෙනි. ඉන්පසු දෙමළ වෙල්ලාල නායකයකුට ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානියා වීම සිහිනයක් පමණක් විය. එයට ඉඩක් නැතිවා නො වේ. එහෙත් ඒ සඳහා පළමුව දෙමළ නායකයන් සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට වූ වෙසෙසියාව (විශේෂත්වය) පිළිගත යුතු ය. චෙල්වනායකම්ගේ අඩිපාරේ යන සම්බන්ධන්ලා එවැන්නෝ නො වෙති. චෙල්වනායගම් අනුව යමින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ඊළමක නායකයන් වීම ය. 1949න් පසු රටේ ම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම්ගත් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත්තේ සිහින ඊළමක නායකයන් වීමට ය. මේ දේශපාලනයෙහිදී විවිධ සාකචිඡා ගිවිසුම් පනත් ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කෙරී ඇත. බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුම ඉන්දියාවේ බලපෑම් මත ඇතිකළ දහතුන්වැනි සංශෝධනය ඒ ඊනියා විසඳුම්වලට අයත් වෙයි. එහෙත් ඒ විසඳුම් දෙමළ ජනතාවට ඇතැයි කී ප්‍රශ්නයක් මුවාවෙන් ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන්ගේ අභිමතාර්ථ සාක්‍ෂාත් කරගැනීම සඳහා ගෙන එන ලද විසඳුම් ය. ප්‍රභාකරන් ද මේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයෙහි කොටසක් විය. ඔහු වෙල්ලාලයන්ගේ සටන වෙල්ලාලයන් වෙනුවෙන් කළමුත් ඇතැම් වෙල්ලාලයෝ ද ඔහු අතින් මැරුම් කෑහ. දෙමළ ජනයාට ඇත්ත ප්‍රශ්නය තිබුනේ සිංහලයන්ගෙන් නොව වෙල්ලාල කුලවාදීන්ගෙනි. ඒ කෙසේ වෙතත් මේ දෙමළ ජාතිවාදී දේශපාලනය දේශපාලන වශයෙන් (හමුදා මෙහෙයුම් යොදාගනිමින්) නන්දිකඩාල් කලපුවේදී පරාජය කෙරිණි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හෝ දහතුන්වැනි සංශෝධනය හෝ වෙනත් එවැන්නක් හෝ අද වලංගු නැත. අද දහනවවැනි සියවසේ ඇරඹුණු දෙමළ ජාතිවාදී දේශපාලනයට වලංගුබවක් නැත. ඒ සියල්ල හමුදාමය වශයෙන්,එනම් දේශපාලන වශයෙන් පරාජය කෙරී ඇත. චැනල් ෆෝ හා එය පසුපස සිටින බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් ක්‍රියාකරන්නේ එම ජයග්‍රහණයට මඩගසා එහි වලංගුබව නැතිකර නැවතත් දෙමළ ජාතිවාදී දේශපාලනයට තැනක් ලබා දී සම්බන්ධන්ලා ලවා සිංහල සංස්කෘතියට හා ඉතිහාසයට පහර දීමට ය. ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට දක්කවන අතර නන්දිකඩාල් ජයග්‍රහණය බාල්දුකර අවලංගුකර හමුදාව අකර්මණ්‍ය කර දෙමළ ජාතිවාදී දේශපාලනය ඉදිරියට ගැනීම චැනල් ෆෝ ග්‍රීස් යකාගේ අවශ්‍යතාව වෙයි. සියළු ග්‍රීස් යක්කු පොලීසිය හා හමුදා අපකීර්තියට පත්කිරීමටත් ඒවා අකර්මණ්‍ය කිරීමටත් කටයුතු කරති. අප එයට ඉඩදිය නො යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ද පැවත එන සිංහලයන්ට ග්‍රීස් යකුන් පරාජය කිරීම නොකළ හැක්කක් නො වේ.