Main Logo

Friday 12 August 2011

ආසනික් ගැන අපේ කතාව

ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව තවමත් විවිධ අංශවලින් විවිධ කතා ගෙතෙනු දක්නට හැකි ය. කතන්දර ගෙතීමට සිංහලයන් දක්වන්නේ අති මහත් දක්‍ෂතාවකි. එහෙත් ඒ කතා සංගතව ගෙතීමට ඔවුන්ට එතරම් දක්‍ෂතාවක් නැත. රජරට ජලයේ ආසනික් නැතැයි කියන්නන් ගෙතා ඇති ප්‍රධාන ම කතාව නම් අප මේ ප්‍රශ්නයේ දී අපේ කතාව වෙනස්කර ඇති බව ය. ඔවුන්ට අනුව අපි රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කී නමුදු දැන් තවත් අවශ්‍යතා දෙකක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එනම් කිවුල් ජලය හා රජරට ප්‍රදේශවල ඇති කුඹුරු පස ය. අප එදා වතුර හා සහල් ගැන කතා කළමුත් අද කතාකරන්නේ කෘමිනාශක සම්බන්ධයෙන් ය. අප අතින් සහල් හා ජලය ගිලිහී ගොස් ඇති සෙයක් යැයි අපේ විරුද්ධකරුවෝ පවසති.

මේ ඉතාමත් වැරදි කතාවකි. අපේ විරුද්ධවාදීන් පැවසීමට තැත් කරන්නේ අප ඔවුන්ගේ විවේචන හමුවේ සහල් හා වතුර අස්කරගෙන ඇති බවත් දැන් අප ඒ වෙනුවට පලිබෝධනාශක කෙරෙහි සිත් යොමුකර ඇති බවත් ය. අප කළේ කුමක් ද? මෙහි ප්‍රවෙිශය කුමක් ද? අපි විමසා බලමු. අපේ මූලික අරමුණ වූයේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීම ය. ඉන්පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීම ය. අපට කලින් ද විවිධ කණ්ඩායම් රජරට වකුගඩු රෝගය ගැන පරීක්‍ෂාකර විවිධ වාර්තා ඉදිරිපත් කෙරී තිබිණි. ඔවුන්ට අනුව කැඩ්මියම්, ඇලුමීනියම් භාජනවල ආසනික් සහිත ජලය තැන්පතුව, ඇල්ගී වර්ග ආදිය රජරට වකුගඩු රෝගයට හේතු විය. එහෙත් මේ එකක්වත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ පිළි ගැනීමට ලක් නොවීය. ඒ සියල්ලෙහිම විවිධ ගැටලු තිබිණි. අදත් ඒ නො පිළිගැනෙයි.

එපමණක් නොවේ. මේ ඇතැම් හේතු කිසිම වූ ආකාරයේ ඊනියා විද්වත් සඟරාවක පළකර නොතිබිණි. එහෙත් කිසිම විද්‍යඥයෙක් අද අපෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ නොකර මහජනතාවට ඉදිරිපත් කළේ ඇයිදැයි ප්‍රශ්න නො කළේ ය. ඇතැමුනට තේරුම් ගැනීමට නොහැකි මේ දෙබිඩි පිළිවෙත ය. එහෙත් තවදුරටත් කරුණු විමසීමේ දී පෙනී යන කරුණ නම් ප්‍රශ්නයට නාථ දෙවියන්ගේ මැදිහත්වීම නිසා වෙනත් අයගෙන් නොඅසන ප්‍රශ්න අපෙන් අසන බව ය. කාගෙ කාගෙත් විරුද්ධතාව නාථ දෙවියන්ට බව පැහැදිලි ය.

නාථ දෙවියෝ යනු කවරහු ද? අපේ සාහිත්‍යයට අනුව නාථ දෙවියෝ මෛත්‍රී නමින් මීළඟට මේ මහාභද්‍ර කල්පයෙහි ම බුද්ධත්වය ලබති. නාථ දෙවියන් හැරෙන්නට වෙනත් දෙවිවරුන්ගෙන් ද අපේ කණ්ඩායමට උපදෙස් හා හෝඩුවා ලැබෙයි. ඒ දෙවිවරුන් අතර විපස්සක දෙවියෝ ප්‍රධාන වෙති. ඒ අතර දෙවොල් දෙවියෝ ද, දැඩිමුණ්ඩ දෙවියෝ ද වෙති. මේ දෙවිවරුන්ගෙන් අපට ලැබෙන හෝඩුවා මත අපි බටහිර රසායන විද්‍යාවට අනුව පරීක්‍ෂණ පවත්වමු.

මේ දෙවිවරු අපට කිසි විටෙක සියල්ල නො කියති. එසේ කළහොත් දිව්‍ය බලය පිරිහී යන බව පැවසෙයි. එය සුරංගනා කතාවක් නො වේ. දෙවිවරු අපට උපදෙස් හා හෝඩුවා ලබාදෙන්නේ මූලික වශයෙන් ජනයා ධාර්මික කිරීමට හා නිවන් මගට පත්කිරීමට මිස මැජික් පෙන්වීමට නො වේ. අපට ඒ පිළිබඳ කිසිම ගැටළුවක් නැත. ඇතැම් දේව අනුහස් ඇති ස්ථාන ටික කලකින් වැසී යන්නේ අදාළ දෙවියන් අනවශ්‍ය ප්‍රමාණයකට තොරතුරු දී දිව්‍ය බලය නැතිකර ගැනීම නිසා යැයි අපට විශ්වාස කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳ සාකච්ඡා කිහිපයකින් පසුව වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ දෙවිවරුන් කරා යොමු කරන ලද්දේ මා විසිනි. බොහෝ කලක සිට භාවනාවෙන් දැනුම ලබාගැනීම පිළිබඳ මගේ සිත යොමු වී තිබිණි. එමෙන් ම අපේ විද්‍යාවක් ගොඩනගා ගැනීමට මේ ක්‍රමය ද, එනම් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම ද යොදාගත හැකි බව මට පෙනී ගොස් තිබිණි.

වෛද්‍ය චන්න ජයසුමන මහතාට රජරට ප්‍රදේශවලින් ජලය හා පස් නියැදි ගෙන ඒමට දෙවියන්ගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව ගෙනෙන ලද නියැදිවල ආසනික් ඇති බව දෙවිවරු පැවසුහ. ඉන්පසු අපි ජල නියැදි ආසනික් සඳහා පරීක්‍ෂා කළෙමු. එහි දී ද බටහිර රසායන වි්‍යාඥයන්ට ක්‍රමයක් නොතිබුණු බැවින් දෙවිවරු යම් හෝඩුවාවන් සැපයුහ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේ දී අදාළ නියැදිවල ආසනික් ඇති බව හෙළිදරවු විණි.

ජලය සමග අපි විවිධ ශාඛ වර්ගවල ද පළතුරු හා ගෙඩිවල ද ආසනික් ඇත්දැයි පරීක්‍ෂා කළෙමු. එහි දී සහල්වල ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. සහල්වල ආසනික් ඇති බව දැනට අවුරුදු කිහිපයක් තිස්සේ ම මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය දනිති. එබැවින් අපේ හෙළිදරවුව අළුත් දෙයක් නො වී ය. එහෙත් රජරට වකුගඩු රෝගයට හේතුව බත්කෑම යැයි අපි නො කීවෙමු. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ද එහෙත් එයට අමතරව ඒ රෝගය පැතිරයෑම සඳහා කිවුල සහිත ජලය ද කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද අවශ්‍ය බව කීවෙමු. මේ හේතු විවිධ අවස්ථාවල අනෙක් අයගේ විවේචන හමුවේ අපේ කණ්ඩායම විසින් එකතු කළ දේ නොව අප ආරම්භයේ සිට ම ප්‍රකාශ කරන ලද කරුණු විය.

රජරට ප්‍රදේශවලින් හමු වූ රෝගීන් ගැන අධ්‍යයනයක් කළ අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් ඒ රෝගයට හේතුව ආසනික් (ආසනේට්) විෂවීම බව දැනගත්හ. ඔවුන්ට ලබාගත හැකි වූයේ රෝගයෙන් මියගිය අයගේ මෘත ශරීර දෙකක් පමණක් වීම මෙහි දී අපට ඇති ප්‍රධාන ම අඩුපාඩුව වෙයි. එහෙත් ඒ මෘතදේහ දෙක ව්‍යචිඡෙදය කිරීමෙන් පසු පෙනී ගිය කරුණ වූයේ රෝගයට හේතුව ආසනික් බවත් මෙය සාමාන්‍ය ආසනික් විෂවීමකට වඩා වෙනස් බවත් මේ රෝගය පිළිකා විශේෂයක් බවත් ය. මෙහි දී ද අපට දෙවිවරුන්ගෙන් හෝඩුවාවන් ලැබුණු බව සඳහන් කළ යුතු ය.

රෝගයට හේතුකාරකය ආසනික් බවත්, රජරට ප්‍රදේශවලින් ලබාගත් ජල, පස්, ශාඛ නියැදිවල ආසනික් ඇති බවත් දැනගැනීමෙන් පසු අපට අවශ්‍ය වූයේ ඒ ප්‍රදේශවලට ආසනික් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම ය. අපේ පොළොවේ ආසනික් ස්වභාවයෙන් ආසනික් නැත. ඒ බව ඕනෑම භූවිද්‍යාඥයකුට රසායන විද්‍යාඥයකුට භූරසායන විද්‍යාඥයකුට (විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පියකුට) අඩි දහයක් පමණ යටට පොළොව හාරා ඒ ඒ මට්ටමේ දී ආසනික් ඇති නැති බව පරීක්‍ෂාකිරීමෙන් දැනගත හැකි ය.

ලංකාවේ පොළොවේ සමස්තයක් ලෙස ගත්කල ආසනික් ඇත්තේ අඩි දහයක් පමණ යටට යන තෙක් පමණ යැයි අපි කියමු. අප එසේ කියන්නේත් දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව ය. එසේ නම් එයින් කියැවෙන්නේ මෙරට පොළොවට බාහිර ව ආසනික් එකතු කෙරී ඇති බව ය. ඒ ආසනික්වලට තවමත් පොළොවෙන් අඩි දහයකට වඩා යටට යෑමට කාලයක් ලැබී නැත. එසේ නම් බාහිර ව පොළොවට ආසනික් එකතු කරන්නේ කවු ද යන ප්‍රශ්නයට අපි මුහුණ දුූන්නෙමු.

ඒ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පිළිතුරක් විය. ඒ කවුරුන්වත් නොව මෙරටට පලිබෝධ නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්නන් බව ය. ඔවුහු අසරණ ගොවි මහතුන් ලවා දැන් අවුරුදු හතළිහක් පමණ කාලයක් තිස්සේ කෘෂි රසායන මගින් පොළොවට ආසනික් එකතු කරති. අපේ පිළිතුර අපි පලිබෝධනාශක නියැදි රාශියක් පරීක්‍ෂාකිරීමෙන් පසුව තහවුරු කරගත්තෙමු. අපි ඉන්පසු ඒ බව ක්‍ෂණිකව ම ප්‍රකාශ කළේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ය. අපට ඊනියා විද්වත් සඟරාවල සාම්‍ය සමාලෝචනවලින් පසුව පත්‍රිකා පළකරගැනීමෙන් ඒ කිරීමට අවශ්‍ය නො වීය. එසේ කළේ නම් අපේ පත්‍රිකා මේ වනතුරුත් පළ නොවී තිබෙනු අතර අඩුම තරමෙන් කෘමිනාශක නවයක් අලෙවිකිරීම තහනම් නො කෙරෙනු ද ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහාලුම් දොළහක් පමණ වරායේ රඳවා ගැනීමට ද රේගුවට අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඇතැමුන් කියන්නාක් මෙන් නොව අපි කිසිම විටෙක ජලයේ හා සහල්වල ආසනික් ඇති බව සඳහන්කිරීම අත්නොහැරියෙමු. අප දැන් වැඩි වශයෙන් පලිබෝධනාශක ගැන කතාකරන බව සත්‍යයකි. රජරට වකුගඩු රෝගයට හේතුව බත් හෝ වෙනත් ආහාරයක් හෝ නොවන බවත් එය වැළඳෙන්නේ බොන වතුර නිසා බවත් වතුරට ආසනික් එකතුවන්නේ ආසනික් රඳවාගත හැකි පසක් රජරට ප්‍රදේශවල ඇති නිසා බවත් ඒ පසට ආසනික් ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් දැනගැනීමෙන් පසු අපට හාල්වල ඇති ආසනික් ගැන කතාකිරීමේ අවශ්‍යතාවක් නො වීය. එයට හේතුව අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් වීම ය. එහෙත් අප ජලයේ ආසනික් (කැලිසියම් ආසනේට්) ඇති බව දිගින් දිගට ම ප්‍රකාශ කරන්නේ ඒ බව අපේ අධ්‍යයනයට අදාළ බැවිනි. අප දැන් කෘමිනාශක ගැන වැඩි අවධාරණයක් කරන්නේ ඒ ඔස්සේ රජරටට පමණක් නොව අනෙක් ප්‍රදේශවල පසට ද ආසනික් එකතුවීම නතර කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් පැතිර යෑම නවතාගත හැකි නිසා පමණක් නොව මෙරට ගොවි ජනතාව බෞද්ධ විරෝධී සත්ව ඝාතනයෙන් ඈත්කිරීමට ද හැකි නිසාත් ය. මෙරට ගොවි මහතුන් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඈත්කර සිංහල බෞද්ධ ගොවිතැනකට යොමු කිරීම අපේ එක් අරමුණක් වෙයි.

මෙහි දී තවත් කරුණක් නොකියා ම බැරි ය. මෙරට බොහෝ දෙනා අවුරුදු ගණනක් තිස්සේ කෘමිනාශකවල වසවිස ඇති බව දැනගෙන සිටිය හ. ඒ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂාවලින් නොව අත්දැකීමෙන් දැනගත් කරුණකි. එහෙත් ඒ වසවිස කවරේදැයි ඔවුහු නොදැන සිටියහ. කෘමිනාශකවල ආසනික් පමණක් නොව රසදිය ද ඇති බව අපේ කණ්ඩායම බටහිර රසායන විද්‍යාවට අනුව කරන ලද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. එය ද දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව කෙරුණකි. එපමණක් නොව එහි සයනයිඩ් ද අඩංගු වන බවට හෝඩුවාවක් වෙයි. බොහෝ දෙනා කෘමිනාශකවල වස විස අඩංගු බව දැනගෙන සිටිය ද ගොවීන් මුළුමනින් ම ඊනියා හරිත විප්ලවයේ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත්කිරීමට නොහැකි විය.

නාථ දෙවියන් ප්‍රශ්නයට අවතීර්ණවීමෙන් පසු ඊනියා හරිත විප්ලවයේ ව්‍යසනයට ඇති අවධානය අන් අතකට යොමු වී ඇත් ද? එසේ ප්‍රශ්න කරන්නෝ අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාවට ම සේවය කරති. ඊනියා හරිත කෘෂිකර්මය ද බටහිරයන්ගේ හඳුන්වා දීමකි. එයින් කෙරෙන්නේ එම කෘෂිකර්මයෙන් මුළු මහත් ජනතාවට ම අවශ්‍ය ආහාර නිපදවීමට නොහැකි බව පෙන්වා ගොවි ජනතාව කෘෂිරසායන කෘෂිකර්මයේ ම රඳවා තැබීම ය. අපට දෙවිවරුන්ගෙන් ලැබෙන හෝඩුවාවලින් කියැවෙන්නේ සිංහල බෞද්ධ ගොවිතැන ඔස්සේ අවශ්‍ය ආහාර සියල්ල නිෂ්පාදනය කරගත හැකි බව ය. අද බොහෝ දෙනාට නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රශ්නයක් වී ඇති බව සැබෑ ය. එහෙත් ඒ දෙවිවරුන් ද අපේ විද්‍යාවක කොටස්කරුවන් බව අමතක නොකළ යුතු ය. අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී අපට ඒ දෙවිවරුන් අවශ්‍ය වෙයි. ඒ දෙවිවරුන් ප්‍රශ්නයෙන් ඈත්කර තැබිය යුතු යැයි පවසන්නෝ අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි විද්‍යාවට ම සේවය කරති. මේ අතර ඇතැම්හු අපේ විද්‍යාව යනු විද්‍යාවක් නොවේ යැයි කියති. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ දාසයන් වූ ඔවුන්ගේ විවේචන නොතකා අපේ විද්‍යාවක් ගොඩනැගීමට අතදෙන විදුසරට අපේ ස්තුතිය හිමිවෙයි.